2020 වසර මැද හරිය වනවිට ආර්ථික අර්බුදය උත්සන්න වී රටේ විදේශ සංචිත සිඳී ගොස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කර ගන්නට නොහැකි වූයේය. ප්‍රවාහනය අඩාල විය. විදුලි බල සැපයුම් අඩාල විය. එදිනෙදා ඉවුම් පිහුම් කරගන්නට ගෑස් පවා සපයාගත නොහැකි විය. මේ සියල්ල සිදු වුණේ ආහාර මිල දරාගත නොහැකි අයුරින් දිනෙන් දින ඉහළ යන පසුබිමකය. හිරිහැර ඉවසාගත නොහැකි වූ ජනතාව පාරට බැස උද්ඝෝෂණ කළහ. අරගලයට මොනයම් අර්ථකථන දුන්නද එය නතර වූයේ රටේ දේශපාලන නායකත්වයේ වෙනසක් සිදු වීමෙන් අනතුරුවය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන තවමත් ඇත්තේ දෙකට දෙවාරනේය. එකී වැඩසටහනේ යෝජිත ප්‍රමුඛතාවක් වන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් විදේශවලින් ණයට ගත් ඩොලර් බිලියන 33ක පමණ ණය මුදලක් නැවත ගෙවීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමය. එසේ වුවද සමස්ත රාජ්‍ය ණය (පළාත් සභා ඇතුළු සියලු රාජ්‍ය ආයතන විසින් ගෙවිය යුතු ණය) ඩොලර් බිලියන 80ක් පමණ වන බව මෑතකදී අනාවරණය විය.
අපගේ විදේශ ණයවලින් සියයට 50කට වැඩි කොටසක ණය හිමියා වූ චීනය මෙතෙක් කිසිදු ණය ප්‍රතිශතයක් කපා හැරීමට හෝ ණය ගෙවීමේ සහන කාලයක් පිළිබඳ එකඟතාවකට එන්නට සූදානම් නැති සෙයක් පෙනේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවක් සිදු වන්නේ නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් අපට ලැබෙන්නේ නැත. විස්තීර්ණ ණය පහසුකම් යටතේ අපට දීමට යෝජිත ණය මුදල ඩොලර් බිලියන 2.9කි. එය ලැබෙන්නේද අපට ණය ගෙවාගත හැකි බව සනාථ වුවහොත් පමණකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 725 ගානේ මාස 48ක් පුරා එම ඩොලර් බිලියන 2.9 ලැබීමට යෝජිතය. ගෙවිය යුතු ණය කන්දරාව අභියස විස්තීර්ණ ණය පහසුකම් ඔස්සේ ලැබෙන මුදල කූඹියකුටත් වඩා කුඩාය. ඒ අතර ඉදිරි වසරවල ඉන්ධන සඳහා ඩොලර් බිලියන තුන හතරක්ද, ණය පොලී හා වාරික උදෙසා තවත් බිලියන 5 බැගින් ද ගෙවිය යුතුව තිබේ. දැන් රටේ ආර්ථිකය පවතින්නේ එවැනි තැනකය.
ආර්ථිකය මෙවැනි අවදානම් තත්ත්වයක තිබියදී දූෂණයේද අඩුවක් සිදුවී නොමැති බවට විපක්ෂය චෝදනා කරයි. මේ සියලු ඉන්ධන අර්බුද හමුවේ තෙල් ප්‍රසම්පාදනයේ අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා නැගේ. රාජය තුන්වැනි පාර්ශ්වයකගෙන් රුසියානු තෙල් ඉහළ මිලකට ගත්තේ (රුසියාවෙන් ඍජුව අඩු මිලකට ගත හැකිව තිබියදී) මන්දැයි විපක්ෂය චෝදනා කරයි. මේ වසර මැද සියලු සමාජ අසහනයන්ට බලපෑ ඉන්ධන අර්බුද හමුවේ ඉන්ධන ආනයනයෙන් ගසා කෑම නැවතී නැත්තා සේය. ගල් අඟුරු ආනයනයේදී ද අක්‍රමිකතා සිදු වී ඇති බවට චෝදනා නැගේ. පෞද්ගලික වාසිය තකා නුසුදුසු බොරතෙල් ආනයනය කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.
ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් කරනු ලැබූ (2021) ලෝක දූෂණ ශ්‍රේණිගත කිරීම්වලදී අපට හිමි වුණේ ලකුණු සියයෙන් 37ක් පමණි. අඩුම ලකුණ ලැබූ සූඩානය ලැබුවේ ලකුණු 11කි. එතැන ඇත්තේ 26ක වෙනසක් පමණි. රටවල් 180කින් දූෂණය අතින් අප ඉන්නේ 102 වැනි ස්ථානයේය. (අවම දූෂණ ඇති රට පළමු ස්ථානයට පැමිණේ).
අප රාජ්‍ය ණය ලෙස ලබාගෙන ඇති බිලියන 80න් කෙතරම් ප්‍රමාණයක් යටි මඩි ගසා ඇත්තේද යන්න එම දර්ශකයට අනුව සිතාගත හැකිය. රටේ අර්බුදයට දූෂණය කෙතරම් දුරට වගකිව යුතුද යන්න මෙහිදී සිතා බලනු වටී.
වරින් වර වාර්තා වූ සීනි වංචා, සුදු ලූනු වංචා ආදිය සම්බන්ධයෙන් නීතිය කොතෙක් දුරට ඉටු වී දැයි දැනගන්නට නැත.
එක් අතකින් රට ණය බරෙන් පෙළෙන අතර රට තුළට ගලා එන ධනයද දූෂණයට ලක්වන විට රට කෙතරම් කාලකන්නි තත්ත්වයකට ඇද වැටේද? මේ සියලු බර අවසානයේ උසුලන්නේ රටේ දුප්පත් මහජනතාවය. දැන් කිසිවක් සිදු නොවූවා සේය. රටේ පැවති මහජන කැළඹිලි දැන් අමතකය. ආණ්ඩු පක්ෂයට රිසි පරිදි දැන් ඇමැතිකම් ප්‍රදානය කෙරේ. ව්‍යවස්ථා සංශෝධනය ගැන ඇති උනන්දුව දිය වී ගොස් දැයි මහජනයා අසන තරමට ඒ ගැන කතා නැත. රටේ ආර්ථික අර්බුදය විසඳා ගන්නා ක්‍රමෝපාය ගැන සාකච්ඡා ඇසෙන්නේම නැත. හෙට දවසට අත්‍යවශ්‍ය ඉන්ධන, ආහාර, ඖෂධ ආනයනය කර ගන්නා හැටි ගැන සාකච්ඡාවක් නැත. ආහාර උද්ධමනය අතින් නම් දැන් අපි ඉහළින් වැජඹෙන්නෙමු. අපනයන වර්ධනය කිරීම සම්බන්ධයෙන් යොමු වෙන වැඩපිළිවෙළක් නැති තරම්ය. අපි හෙට දවසට මීට වඩා සැලකිල්ලෙන් මුහුණ දිය යුතු නොවෙමුද?
(***)