කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 6 වැනිදා වත්මන් ආර්ථික අර්බුදයට හේතු හා ඊට වගකිව යුත්තන් සොයා දැන ගැනීම සඳහා 14 දෙනකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය. එහි සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මහතා පත්කරනු ලැබ සිටී.
මෙම කාරණය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතුය යන අදහස මතු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදීය.
රාජපක්ෂ මහතාගේ පාලනයට එරෙහිව පැන නැගුණු උද්ඝෝෂණය උච්ඡස්ථානයට පත්වී එමඟින් අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එසේ එම ධුරයට පත්වී සතියකින් පමණ මෙම අදහස ඉදිරිපත් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය වසරේ මැයි 22 වැනිදා වාර්තා කොට තිබිණි.
ඉන් දින කීපයකට පසු එවකට ඉතා දරුණු තත්ත්වයට පත්වී තිබුණු ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා 2022 මැයි 26 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) මහ බැංකුවේ නිලධාරීන් කැඳ වූයේය. එහි දී එවකට කෝප් කමිටුවේ සභාපතිව සිටි මහාචාර්ය චරිත හේරත් මහතා ද මෙවැනි තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි පැවසීය.
එම වසරේ දෙසැම්බර් මස 8 වැනිදා යළිත් මෙම කාරණය පාර්ලිමේන්තුවේ දී මතුවිය. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් දැන ගැනීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු යැයි එහිදී පැවසීය. එදින පාර්ලිමේන්තු රැස් වීමට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රශ්න සොයා බැලීම සඳහා වඩා සුදුසු වන්නේ ජනාධිපති කොමිසමකට වඩා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකැයි පැවසීය.
කෙසේ වෙතත් එම අදහස ක්‍රියාවට නැඟී අත්තේ එම අදහස මතුවී වසරකටත් වැඩි කාලයකට පසුවය. මෙම කාරක සභාවේ සභාපතිධුරය හොබවන්නේ සාගර කාරියවසම් මහතා යැයි කතානායකවරයා පසුගිය 6 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන් විට විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කළහ.
ඒ කාරියවසම් මහතා හිටපු මුදල් ඇමැති හා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු වීමත් බැසිල් රාජපක්ෂ මහතා වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් අතර ප්‍රධාන පුද්ගලයෙකැයි විපක්ෂයේ බොහෝ දෙනා චෝදනා කරන නිසාත්ය.
පවිත්‍රා වන්නිආරච්චි, ඩී.වී. චානක, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, ජයන්ත කැටගොඩ, හර්ෂණ රාජකරුණා, මේජර් ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ශානක්කියන් රාසමානික්කම් හා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරු මෙම තේරීම් කාරක සභාවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.
කතානායකවරයා මෙම තේරීම් කාරක සභාව පිළිබඳව දැනුම් දුන් දිනයේම දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක්වී තිබූ දූෂණ විරෝධි පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම පිළිබඳ විවාදය පැවැති අතර එදිනම එය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
දෙවැනි වර කියවීමේ විවාදයේ දී දක්නට ලැබුණු විශේෂත්වයක් නම් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳව ද බොහෝ දෙනා අදහස් දැක්වීමය. මෙම අර්බුදයට මෙතෙක් රට පාලනය කළ සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු යැයි මෙහිදී කතා කළ මන්ත්‍රීවරු ගණනාවක් ප්‍රකාශ කළහ. එය එසේ නොවේ යැයි කියන්නට කිසිවකු ඉදිරිපත් වූයේ ද නැත. එමඟින් තම තමන් නියෝජනය කළ හා කරන පක්ෂ ද මෙම අර්බුදයට වගකිව යුතු යැයි පාර්ලිමේන්තුවේ පැවැති හා පවතින ප්‍රධාන පක්ෂවල මන්ත්‍රීවරුන් පිළිගන්නා බව පැහැදිලිය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේත් එය දෙවැනිවර කියවීමේ විවාදයෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සම්මත් වුණේත් පනත් කෙටුම්පත ඉදිරිපත් කළ වත්මන් ආණ්ඩු පක්ෂය හෝ ප්‍රධාන විපක්ෂය දූෂණයට එරෙහි නිසා නොවේ. මෙම පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂය කැමැත්තෙන් ඉදිරිපත් කළා යැයි කියනවාට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බල කිරීම නිසා ඉදිරිපත් කිරීම නිසා ඉදිරිපත් කළා යැයි කීම නිවැරැදිය.
මෙරට ආර්ථික දේහයේ අස්සක් මුල්ලක් නෑරම දූෂණය ඉහ වහා ගොස් තිබීම වත්මන් ආර්ථික අර්බුදයට බලපාන ප්‍රධාන හේතුවලින් එකක් බව මූල්‍ය අරමුදල අදහස් කරයි. එය නිවැරැදිය. ඒ අනුව දූෂණය අවම කිරීමේ අවශ්‍යතාව එම අරමුදලේ නිලධාරීන් මෙරට බලධාරීන් සමඟ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට කරගෙන ආ සාකච්ඡාවල දී දැඩි ලෙස අවධාරණය කෙරිණි.
මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා මෙරට බලධාරීන් අතර ඉකුත් වසරේ සැප්තැම්බර් 1 වැනිදා ඇති කරගන්නා ලද කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේ ද දූෂණ අවදානම අවම කිරීම ප්‍රධාන කරුණක් වශයෙන් සඳහන් වී තිබිණි. එසේම ඒ සඳහා නව පනතක් සකස් කළ යුතු බව ද මූල්‍ය අරමුදල අවධාරණය කොට තිබිණි.
ශ්‍රී ලංකාවට එම අරමුදල දෙන්නට එකඟවී ඇත්තේ ඩොලර් බිලියන 2.9 ණය මුදලේ දෙවැනි වාරිකය ලබන සැප්තැම්බර් මාසයේ දී ලැබෙන්නට නියමිතව ඇති අතර ඊට පෙර ශ්‍රී ලංකා ආණ්ඩුව ඉටු කළ යුතු වගකීම් අතර මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම ද ඇතුළත්ය. මෙම පනත් කෙටුම්පත කරළියට එ්මේ පසුබිම එයයි.
ආර්ථික අර්බුදයට හේතු හා ඊට වගකිව යුත්තන් පිළිබඳව තේරීම් කාරක සභාවක් මඟින් හෝ වෙනත් ක්‍රමයකින් සොයා බැලීමට කිසිවකුටත් විරුද්ධ විය නොහැකිය. එහෙත් දූෂණය රට තුළ පැතිර ඇති ආකාරය අනුව එය සොයා බලන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය අතිශයෙන්ම විවාදාත්මක වීම නොවැළැක්විය හැකිය. තමන් නියෝජනය කරන පක්ෂ ද මෙම අර්බුදයට වගකිව යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම පිළිගන්න තත්ත්වය තුළ එම මන්ත්‍රීවරුන්ම මේ ගැන සොයා බැලීම ඊටත් වඩා මතභේදාත්මක වීම ද නොවැළැක්විය හැකිය.
මෙම තේරීම් කාරක සභාවට පත්කරනු ලැබ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කොට තිබිණි. එසේම මෙම තේරීම් කාරක සභාවෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ (ජාතික ජන බලවේගයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ වනවිටත් එම තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ රට පාලනය කළ සියලු පක්ෂ ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි පොදුවේ කියන අතරම එම පක්ෂවලම සිටිමින් එම පක්ෂවලට එල්ල වන නිශ්චිත චෝදනා ප්‍රතික්ෂේප කරන මන්ත්‍රීවරුන්ට වඩා මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් මෙම අර්බුදයේ වගකිව යුත්තන් පිළිබඳව දැනුවත්ව සිටිති. අරගලය යැයි දැන් පොදුවේ හඳුන්වනු ලබන පසුගිය වසරේ ඇතිවූ මහා ජනතා නැඟිටීමේ දී නැගුණු සටන් පාඨවලින් ඒ බව පෙනෙන්නට තිබිණි.
එසේම මෙම අර්බුදයට බලපෑ කරුණු හා ඊට වග උත්තර දිය යුතු පුද්ගලයන් අතරින් කොටසක් පිළිබඳව හෝ ජාත්‍යන්තර ප්‍රජාවට ද ඉතා හොඳ අවබෝධයක් ඇති බව පෙනේ. පසුගිය වසරේ මැයි 26 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව වැරැදි කළමනාකරණය බවයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් පිළිබඳ එ.ජා. නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය එ.ජා. මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවෙන් කියවුණේ දණ්ඩනයෙන් තොරව මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා ආර්ථික අපරාධ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලික හේතුව බවයි.
මීට පිළිතුරු දුන් විදේශ ඇමැති අලි සබ්රි මහතා ‘‘ආර්ථික අපරාධ’’ යන යෙදුමට සිය විරෝධය පළ කළේය. එම විරෝධය පළ කිරීමම එම ආර්ථික අපරාධවලට වගකීම භාර ගැනීමක් විය. කෙසේ වෙතත් ආණ්ඩුවේ වරදින් පවුල් දශ ලක්ෂ ගණනකගේ ජීවිත උඩු යටිකුරු විය. පවුල් ආර්ථිකය කඩා වැටීම නිසා රටේ අති බහුතරයකගේ නිවාස සිහින, වාහන සිහින, උසස් අධ්‍යාපන සිහින සුනු විසුනු වී ගියේය. ලක්ෂ ගණන් දරුවෝ අලුතින් මන්දපෝෂණයට ලක්වූහ. මේවා අපරාධ නොවේ නම් ඒවා හැඳින්විය හැක්කේ කෙසේද?
ශ්‍රී ලංකාවේ පාලකයන් පසුගිය දශක ගණනාවක් පුරා කළේ රටේ ආර්ථික සංවර්ධනයට ලැබෙන දායකත්වය නොතකා තමන්ගේ නම පවත්වා ගෙන යාම සඳහාත් ගසා කෑම සඳහාත් යම් යම් ව්‍යාපෘති ආරම්භ කිරීමත් ණය ගෙවීම ගැන නොසිතා ණය ගෙන එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත්ය. මේ නිසා රටේ ණය ගැති භාවය දිනෙන් දින ඉහළ ගියේය.
ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්භාවයට පත්වීම මේ නිසා අනිවාර්ය විය. මේ කාරණයේදී ගෝඨාභය රාජපක්ෂ පාලනය කළ වැඩ කොටස අනෙක් ආණ්ඩුවල වැඩ කොටසට වඩා අතිශයින්ම අහිතකර විය. එම ආණ්ඩුවේ සිටි ආර්ථික විශේෂඥයන් යැයි කියා ගන්නා අය ඇතුළු මැතිඇමැතිවරු තමන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සියල්ල සාධාරණීකරණය කළහ. රසායනික පොහොර ආනයන තහනම ඊට හොඳම උදාහරණයයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් රට බංකොලොත් වූයේ කෙසේදැයි සොයන්නට යන්නේ ඒ පසුබිම තුළය.
(*** එම්.එස්.එම්. අයුබ්)