ආර්ථික අර්බුදයේ මුල දූෂණය ද?


2022 වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය හා එහි උපනතීන් පිළිබඳව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම මස 15 වැනි දින සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රසිද්ධ කළේය. එකී වාර්තාව අනුව, 2022 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඍණ සියයට 7.2 ක අගයක් වාර්තා කර තිබේ. එයින් අදහස් වන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව 2022 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය සියයට 7.8 කින් සංකෝචනය වීමකි. ඒ අනුව, කෘෂිකාර්මික අංශය සියයට 4.6 කින්ද කර්මාන්ත අංශය සියයට 16 කින්ද සේවා අංශය සියයට 2 කින් ද සංකෝචනය වී ඇත. එනම්, එම අංශත්‍රයම සලකා බලන ලද වසරේදී කඩා වැටී තිබෙන බවය.

2022 වර්ෂයට අදාළව මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය දැක්වෙන්නේ රුපියල් බිලියන 12017 ක් වශයෙනි. 2016 වසර සඳහා එම අගය දැක්වුණේ 12151 ක් ලෙසය. එයින් අදහස් වන්නේ 2022 වර්ෂයට අදාළ දළ දේශීය නිෂ්පාදිතය අදින් වසර 7 කට පෙර වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයට සමාන බවය. එහි යටිපෙළ වන්නේ ආර්ථිකය වසර 7 කින් පිටුපසට ගමන් කර ඇති බවයි.

මෙපරිදි 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය ඍණ අගයක් වාර්තා වීමට බලපෑ හේතු අපි දනිමු. මෙම වාර්තාව අනුව, කෘෂිකර්ම සහ සේවා අංශවලට සාපේක්ෂව වැඩි අගයකින් බිඳ වැටී තිබෙන්නේ කර්මාන්ත අංශයයි. එකී පසුබෑම කෙරෙහි 2021 සහ 2022 වසරවලදී ගන්නා ලද වැරැදි ආර්ථික ප්‍රතිපත්ති ඍජුවම බලපෑ බව කිව හැකිය. වෙසෙසින්ම කොවිඩ් වසංගතයත් සමග 2021 වර්ෂයේදී ආර්ථිකයේ උද්ගත වූ කඩාවැටීම එවක පැවති ආණ්ඩුව විසින් ගන්නා ලද ඇතැම් ප්‍රතිපත්ති හේතුවෙන් තීව්‍ර විය.

2019 අගභාගයේ ක්‍රියාත්මක කළ බදු සහන එවැනි එක් අදූරදර්ශී තීරණයකි. එම සන්දර්භයේ 2022 වසරාරම්භය වන විට තත්ත්වය අයහපත් වූ අතර විදුලිය කප්පාදු කිරීම්, ඉන්ධන සහ ගෑස් ආදී භාණ්ඩවල සැපයුම කඩාවැටීම් සහ අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑම් ආදී ඍණාත්මක බලපෑම් රැසක් ඇති විණි.

නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම, සංචාරක කර්මාන්තය මුළුමනින්ම පාහේ බිඳ වැටීම, විදේශ ප්‍රේෂණ ලැබීම් අඩු වීම යනාදියත් එම ලැයිස්තුවට ඇතුළත් කළ හැකිය. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේදී මෙරට ආර්ථිකයේ දරුණු කඩාවැටීමක් ඇති විය.

2021 වසරේදී මධ්‍යම බැංකුව විසින් නූතන මූල්‍ය න්‍යාය මත පදනම්ව පහළ පොලී අනුපාතිකයක් පවත්වා ගනිමින් මුදල් සැපයුම විශාල වශයෙන් වැඩි කරන ලදී. එමෙන්ම රටට එවන විදේශ ප්‍රේෂණවලින් යම් ප්‍රමාණයක් රුපියල්වලට හුවමාරු කළ යුතුය ආදී වශයෙන් විදේශ සංක්‍රාමවලට අදාළ නීති රීති වෙනස් කළ ආකාරයක් ද දැකගන්නට ලැබිණි. එකී තත්ත්ව හමුවේ උණ්ඩියල් සහ හවාලා වැනි නීතිවිරෝධී මුදල් හුවමාරු ක්‍රම රටේ වේගයෙන් ව්‍යාප්ත විණි.

2022 මුල් භාගයේදී විනිමය අනුපාතය ක්‍රමයෙන් පාවෙන්නට හැරි අතර එයින් පැති දෙකකින් අවාසි ආර්ථිකයේ උද්ගත විය. එකක් නම්, මධ්‍යම බැංකුව සතු විදේශ සංචිත වේගයෙන් ක්ෂය වීමය. දෙවැන්න නම්, ඩොලරයේ රුපියල් අගය ඉහළ යෑමය. කිසිදු අධ්‍යයනයකින් තොරව ගන්නා ලද මේ ආකාරයේ වැරැදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේදී ආර්ථිකය මේසා විශාල අගයකින් පිරිහීමට ලක් විය. මෑත ඉතිහාසයේදී ආර්ථිකය මෙවැනි ඉහළ අගයකින් කඩාවැටුණු අවස්ථා මෙය යැයි නම් කළ හැකිය.

මීළඟට ආර්ථිකයේ එක් එක් අංශ කඩාවැටී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කළ හැකිය. කෘෂිකාර්මික අංශය ගතහොත් ධාන්‍ය වගා කිරීම් සියයට 21.6 කින්ද තේ වගාව සියයට 15.9 කින්ද කරදිය ධීවර කටයුතු සියයට 15.5 කින්ද වී වගාව සියයට 13 කින්ද සත්ව නිෂ්පාදනය සියයට 12.9 කින්ද එළවළු වගාව සියයට 8.4 කින් සහ රබර් වගාව සියයට 6.7 කින්ද යනාදී වශයෙන් කඩා වැටී ඇත. 

2022 වසරේදී වැඩිම බලපෑමට ලක්ව ඇති කර්මාන්ත අංශය සලකා බැලුව හොත් ඉදිකිරීම් කර්මාන්තය සියයට 20.9 කින්ද පතල් හා කැණීම් කර්මාන්තය සියයට 31 කින්ද විදුලිය, ගෑස් සහ වායු සැකසුම් කර්මාන්ත සියයට 5.9 කින්ද පසුබෑමට ලක්ව ඇත. රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සියයට 30.7 කින් ලෝහ නොවන ඛනිජ වර්ග සියයට 29 කින්ද ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සියයට 26.4 කින්ද ලෝහ හා ව්‍යුහාත්මක ලෝහ නිෂ්පාදනය සියයට 27.6 කින්ද නිමැවුම් කර්මාන්ත සියයට 21.7 කින්ද යන්ත්‍ර සූත්‍ර උපකරණ නිෂ්පාදනය සියයට 19 කින්ද රසායන ද්‍රව්‍ය හා ඖෂධ වර්ග නිෂ්පාදනය සියයට 14 කින්ද යනාදී වශයෙන් ඍණ වර්ධනයන් වාර්තා කර තිබේ. රටක කර්මාන්ත අංශයෙහි මේ ආකාරයේ පසුබෑමක් වාර්තා වීම අනාගතයට එතරම් සුබදායක නොවේ. එම නිසා විශාල පිරිසකගේ ආදායම් හා රැකියා අහිමි වීම දැක ගත හැකිය.

කෘෂිකාර්මික සහ කාර්මික අංශවල හටගන්නා පසුබැසීම්වලට සාපේක්ෂව සේවා අංශය ද කඩා වැටිය හැකිය. මන්ද, සේවා අංශයෙන් කෘෂිකාර්මික සහ කාර්මික අංශවලට අවැසි සේයා සපයනු ලබන හෙයිනි. මූල්‍ය සේවා ක්‍රියාකාරකම් සියයට 11 කින්ද රක්ෂණ සේවා සියයට 47.2 කින්ද දේපළ වෙළෙඳාම් සහ නිවාස අයිතිය සියයට 12.1 කින්ද වැඩසටහන් සම්පාදනය ශ්‍රී ලංකා ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන කටයුතු සියයට 11 කින්ද සෞඛ්‍ය සේවා සියයට 8.4 කින්ද වෘත්තීය සේවා සියයට 4 කින් ද තොරතුරු තාක්ෂණ සේවා සැපයීම් සියයට 2.3 කින් සහ තොග හා සිල්ලර වෙළෙඳාම් සියයට 0.2 කින්ද යනාදී වශයෙන් සෘණ වර්ධන වේගයන් වාර්තා කර ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

මෙපරිදි 2022 වර්ෂයේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශත්‍රයම පසුබෑමට ලක්වීම සඳහා එම වර්ෂයේදී ගන්නා ලද ප්‍රතිපත්ති ද්විත්වයක් හේතු වූ බව කිව හැකිය. මධ්‍යම බැංකුව විසින් අන්තගාමීව ඉහළ පොලී අනුපාතිකයක් පවත්වා ගෙන යෑම අධිඋද්ධමන තත්ත්වයක් පැවතීම ආදිය එහිලා ප්‍රධාන විණි. එය රජය සහ මධ්‍යම බැංකුව විසින් හිතාමතාම ඇති කරන ලද තත්ත්වයකැයි කිව හැකිය. උද්ධමනය පාලනය කිරීම අරබයා පොලී අනුපාත ඉහළ නැංවිය යුතුය යන තර්කය මත පිහිටා මධ්‍යම බැංකුවත් ආණ්ඩුවත් කටයුතු කළේය.

ඉල්ලුම් පාර්ශවයේ හටගත් උද්ධමනයක් රටේ ක්‍රියාත්මක වන බවත් එය පාලනය කිරීම පිණිස පොලී අනුපාතිකය ඉහළ දැමිය යුතු බවත් යන පදනම මත පිහිටා මධ්‍යම බැංකුව කටයුතු කළේය. එහෙත් එය වැරැදි උපකල්පනයකි. මන්ද, ලංකාවේ ඇති වූයේ සැපයුම් පාර්ශවයේ හටගත් උද්ධමනයක් නිසාය. ඉල්ලුම් පාර්ශවයේ උද්ධමනය 2022 වසරේ තෙවැනි කාර්තුව වන විට අවසන් වෙමින් තිබිණි. එතැන් සිට මෙරට උද්ගත වූයේ සැපයුම් පාර්ශවයේ උද්ධමන තත්ත්වයකි. ඩොලරයේ රුපියල් අගය 370 සීමාව දක්වා ඉහළ ගියෙන් ආනයනික භාණ්ඩවල මිල ගණන් ද වේගයෙන් වැඩි විය.

මේ සන්දර්භයේ කළ යුතුව තිබුණේ සැපයුම් පාර්ශවය ඉහළ නැංවීම පිණිස ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමය. එහෙත් ඒ වෙනුවට කරන ලද්දේ ඉල්ලුම පාලනය සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය කර්මාන්තකරුවන් හට දැඩි අයහපත් බලපෑම් එල්ල විණි. ඔවුන්ගේ කර්මාන්ත වැසී යන තත්ත්වයක් උද්ගත විය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ 2022 වසරේදී ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණවලින් ද සිදුව ඇත්තේ ආර්ථිකය සංකෝචනය වීමක් බවය. ආර්ථිකයක් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක තවදුරටත් ආර්ථිකය සංකෝචනය කරමින් උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ කිසිදු රටක් කටයුතු නොකරයි.

ආර්ථිකය ප්‍රසාරණය කරමින් ඒ ඔස්සේ උද්ධමනය පාලනය කිරීම පොදුවේ පිළිගත් සිද්ධාන්තයයි. එහෙත් මෙරට මධ්‍යම බැංකුවත් ආණ්ඩුවත් එම පොදු සිද්ධාන්තයට පිටුපා කටයුතු කිරීම නිසා අපේ අර්බුදය තවත් පළල් විය.

2023 වසරේ මුල් කාර්තුව වන විට යම් ආකාරයකට උද්ධමනය පාලනය කර ගැනීමට හැකි වුවද ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබේ. බොහෝ පුද්ගලයන්ගේ ආදායම් මාර්ග ඇහිරී තිබේ. රැකියා අහිමි වී ඇත. මෙපරිදි වැටුණු ආර්ථිකය පහසුවෙන් නගාසිටුවිය නොහැකිය. ආණ්ඩුව එම තත්ත්වය නිවැරැදිව අවබෝධ කර ගත්තේ නැත. 

රටට අවැසි ආර්ථික ප්‍රතිපත්ති හඳුනා ගෙන ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවට මධ්‍යම බැංකුවේ සහ ආණ්ඩුවේ මූලික ප්‍රවේශය වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමය. එකී ප්‍රවේශය යටතේ බදු බර වැඩි කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම කිරීමට අදාළ පියවර නොගෙන ඒවායේ පිරිවැයට සමාන මිලක් ඇති කිරීම සඳහා විශාල වශයෙන් මිල ගණන් ඉහළ නැංවීම ආදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරන ලද කොන්දේසි ගැන නිවැරැදි අවබෝධයකින් තොරව ක්‍රියාවට නංවන ලදී.

කෙසේවෙතත් එම ආයතනය විසින් නිර්දේශ කරන ලද ඇතැම් කොන්දේසි කෙරෙහි ආණ්ඩුව මෙතෙක් අවධානය යොමු කර නැත. උදාහරණයක් ලෙස දූෂණය මැඬලීම පිණිස යාන්ත්‍රණයක් මේ දක්වා ස්ථාපිත කර නොමැත. ශ්‍රී ලංකාවේ මේ ආකාරයේ ආර්ථික අර්බුදයක් උද්ගතවීමට බලපෑ එක් හේතුවක් වන්නේ ද දූෂණය හා නාස්තියයි. දේශපාලනඥයන් අඛණ්ඩව ක්‍රියා කළේ දූෂණය ඉදිරියට පවත්වාගෙන යමින් ජනතාව රවට්ටමින් මැතිවරණ ජයග්‍රහණ කිරීමටය. ඔවුහු තවදුරටත් එම ක්‍රියාදාමය පවත්වා ගෙන යමින් සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අපට ලැබෙන්නේ තවදුරටත් ණය ගැනීම සඳහා මාවතක් විවර වීමකි. එහෙත් අපට අවශ්‍ය වන්නේ එවැන්නක් නොවේ. ලංකාවට අවැසි ණය ගෙවීමටද අදාළ නව මංපෙත් විවර කර ගැනීමටය. ඒ සඳහා වැඩි වැඩියෙන් ඩොලර් ඉපැයිය යුතුය. එහෙත් ඊට අදාළ නිශ්චිත වැඩසටහනක් මධ්‍යම බැංකුවට හෝ ආණ්ඩුවට හෝ ඇති බවක් පෙනෙන්නට නැත. එබැවින් 2023 වසරේදී ද ආර්ථිකය ඍණ වර්ධන වේගයක් වාර්තා කිරීමට ඉඩ ඇති අතර එයින් නොනැවතී මේ ආර්ථික අර්බුදය ඉදිරියේදී තවත් ප්‍රසාරණය වීමට පිළිවන.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ

සටහන - උපුල් වික්‍රමසිංහ