ආර්ථික ඉතිහාසයේ සුබ දවසක්


“ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ වනවිට එයට වැඩිම ප්‍රසිද්ධියක් ලබාදී ඇත්තේ සහ වැඩි වශයෙන්ම එය සමාජ මාධ්‍යවල බෙදාහැර (Share) ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට සම්බන්ධ සමාජ මාධ්‍ය විසින් බව ද පෙනී යයි. ‍

අද ජූනි 26, ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ තවත් සුවිශේෂ දිනයක් බවට පත්වීමට ඉඩ තිබේ. එයට හේතුව මීට වසර දෙකකුත් මාස දෙකකට පෙර, එනම් 2022 අප්‍රේල් මස 12 වැනිදා ශ්‍රී ලංකාව තම බංකොළොත් බව ප්‍රකාශයට පත්කළ ද එය අද දින බොහෝ විට අවසන් වීමට ඉඩ ඇති බැවිනි. පැරිස් සමාජයේ නිල ණය හිමි රටවල කමිටුවේ (The Official Creditors Committee-OCC)  සාමාජික රටවල් විසින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා වූ ගිවිසුම් ශ්‍රී ලංකාව සමග තනි තනිව අත්සන් කරනු ලැබුවහොත් ශ්‍රී ලංකාවේ බංකොළොත්භාවය අවසන් වෙනු ඇත.

ශ්‍රී ලංකාව බංකොළොත්භාවයට පත්වීම ප්‍රකාශ කිරීම විවිධාකාරයේ ප්‍රතිවිපාක ගෙන දෙන්නක් විය. ඉන්  ප්‍රකාශ වූයේ ශ්‍රී ලංකාව විසින් එම දිනය දක්වා ලබාගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම අත්හිටුවන බවය. ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් එහි අදහස වූයේ ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට රටට හැකියාවක් නැති බැවින් ණය ගෙවීම නවතා දමන බවය. ශ්‍රී ලංකාව ණය ලබාගෙන ඇති ක්‍රම දෙකක් ඇති අතර ඒවා දේශීය සහ විදේශීය වශයෙන් වර්ග කළ හැකිය. ගෙවීම් නතර කරන ලද්දේ විදේශීය ණය ආපසු ගෙවීමය.

මුලින්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරනු ලැබීය. දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේ කාලය දික්කර ගැනීමෙන්ද පොලී අනුපාත නිශ්චිත කාල සීමාවක් සඳහා අඩුකර ගැනීමෙන්ද දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කරන ලදී.

ශ්‍රී ලංකාව විසින් විදේශ ණය තුන් ආකාරයකින් ලබාගෙන ඇත. එනම් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර සහ කලාපීය මූල්‍ය ආයතන වලින් ලබාගෙන ඇති ණය, විවිධ රටවලින් ලබාගෙන ඇති ද්වීපාර්ශ්වීය ණය සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් වෙළෙඳපොළ පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය වශයෙනි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය මුදල් ආපසු ගෙවීම බංකොළොත් බව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව වුවද නතර වූයේ නැත. එම ණය අඛණ්ඩව ආපසු ගෙවමින් සිටී. බංකොළොත් බව  ප්‍රකාශයට පත්කිරීමෙන්  පසු එම ආයතනවලට මේ දක්වා ආපසු ගෙවා ඇති ණය මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 1909.7කි.

ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේ  ඊළඟ පියවර වූයේ විවිධ රටවලින් ලබාගෙන ඇති ද්වීපාර්ශ්වීය ණය සහ චීන රජයේ එකඟතාව මත එරට Exim බැංකුව වැනි ආයතනවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සම්බන්ධයෙනි. අද ගිවිසුම් අත්සන් කරනුයේ මෙසේ ද්වීපාර්ශ්වීය ලෙස ණය ලබාගෙන ඇති රටවල ණය ආපසු ගෙවීමට අදාළවය. රජය විසින් ඒ සම්බන්ධව ජපානය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය සහ කොරියාව වැනි රටවල් රැසක් සමග පවත්වන ලද සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇත. ණය ආපසු ගෙවීම තවත් වසර කිහිපයකට පසු නැවත ආරම්භ කිරීමට එමගින් ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙනු ඇත. චීනය සහ චීනයේ Exim බැංකුව සමග පවත්වාගෙන ගිය සාකච්ඡා ද සාර්ථක වී ඇති අතර එම රට සමග ද ගිවිසුම් අත්සන් කෙරෙනු ඇත.

ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ද්වීපාර්ශ්වීය ගිවිසුම් ඉහත කී රටවල් සමඟ අත්සන් කිරීමට ඉඩ ලැබුණොත් ශ්‍රී ලංකාවට ඉතා හිතකර තත්වයක් උදාවේ. මෙහිදී වඩාත් වාසිසහගත කරුණ වන්නේ ශ්‍රී ලංකාවට තවත් වසර කිහිපයක් යන තුරු ලබාගත් ණය ආපසු ගෙවීමට සිදු නොවීමයි. යළි ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සෑහෙන කාලයක් ලබාදීමට ඉඩ  ඇති අතර, ඒ සඳහා වසර කීයක් ඉඩ ලැබෙන්නේ ද යන්න ගිවිසුම අත්සන් තිරීමෙන් පසු දැනගැනීමට ලැබෙනු ඇත. කෙසේ වුවද ණය නොගෙවන කාලය තුළ එම ණය සඳහා පොලිය පමණක් ගෙවීමට සිදුවේ. ඒ අතරම බොහෝවිට මුළු ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කපා හැරීමට ද ඉඩ තිබේ. අද ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව ඒ තොරතුරු ද ප්‍රකාශයට පත්වනු ඇත.

තවමත් විසඳුමකට ඒමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළෙන් ණය ලබාගෙන ඇති පෞද්ගලික ණයකරුවන් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව විසින් එම වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලද ස්වෛරීත්ව බැඳුම්කර ආදිය මගින් මෙම ණය මුදල් ලබාගෙන ඇත. එම බැඳුම්කර ආදිය මිලදී ගත් සැලකිය යුතු පිරිසක් සිටින අතර, ඔවුන් සියල්ලන් සමගම සාකච්ඡා කිරීමට සිදුවේ. කෙසේ නමුදු මෙම පිරිස සමග ද ඉතා ඉක්මනින් එකඟතාවලට පැමිණ එම ණය මුදල් ද ගෙවා දැමීමට රටට හැකියාවක් ලැබෙනු ඇත.

අද අත්සන් කිරීමට නියමිත ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් හේතුවෙන් රටේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් ලැබෙනු ඇත. විදේශ ණය සහ ආධාර මත ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නතර කර දමනු ලැබීය. එයට හේතුව එම ණය සහ ආධාර ලබාදුන් රටවල් එම ණය මුදල්වල ඉතිරි කොටස් ලබාදීම නතර කර දැමීමයි. උදාහරණයක් ලෙස කොළඹ-නුවර මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු ඇතුළු තවත් ව්‍යාපෘති රැසක් මේ වනවිට නතර වී තිබේ. ගිවිසුම් අත්සන් කිරීමට හැකි වුවහොත් ඒවා නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව සැළසේ.

බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිටම ඇතැම් දේශපාලන පක්ෂවල සහ කණ්ඩායම්වල අදහස වූයේ රාජ්‍ය බලය අත්පත් කරගැනීම  සඳහා එය තමන්ට ආධාරයක් වනු ඇතැයි යන්නයි. එබැවින් තමන් බලයට පත් වනතුරු ආර්ථික අර්බුදය සහ බංකොළොත්භාවය ඔඩුදුවනු දැකීම එම අයගේ අවශ්‍යතාව වී ඇති බව පෙනේ. ඒ නිසා එම කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ රට තවදුරටත් බංකොළොත් වී පැවතීමය. තවදුරටත් ණය නොගෙවා සිටීමය. දැන් ජනාධිපතිවරණය ද ආසන්න වී තිබේ. එවැනි තත්වයක් තුළ රට බංකොළොත් බවින් මුදා ගතහොත් එය එම කණ්ඩායම්වලට නියත  පරාජයක් අත්කරදීම සඳහා ඉවහල් වනු ඇති බව එම පිරිස සිතන බව ද පෙනේ.

මීට පෙර විවිධ අවස්ථාවලදී විවිධ කණ්ඩායම් විසින් ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ පළකර තිබූ අතිශය නිශේධනාත්මක අදහස් බොහෝ දෙනකුගේ මතකයට නැගෙනු ඇතැයි සිතමි. දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සාර්ථකව අවසන් කළ ද ඒ සම්බන්ධයෙන් වුවද තවමත් මැසිවිලි නගන බව පෙනේ. ඒ ආකාරයටම චීනය ණය ප්‍රතිව්‍යූහගතකරණයකට එකඟ නොවී ඇති බැවින් එම සාකච්ඡා අසාර්ථක වී ඇති බවට ද  ප්‍රකාශ නිකුත් කරනු ලැබීය. ණය ප්‍රතිව්‍යූහගතකරණ සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන චිත්‍රයට වඩා සියල්ල පැහැදිලිවම වෙනස්  බව පෙනේ. රජය මේ වනවිට ඉතා සාර්ථක ලෙස දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කර තිබේ. අද ඒ ආකාරයටම ණය ලබාගෙන ඇති විදේශ රටවල් සමඟ ගිවිසුම්වලට එළඹීමට හැකි වුවවොත් ඒ හේතුවෙන් රට බංකොළොත් බවින් මිදෙනු ඇත. බංකොළොත්භාවයට පෙර තිබූ තත්වයට සමානව විවිධ රටවල් විසින් ශ්‍රී ලංකාවට නැවත ණය සපයනු ඇත. ආර්ථික සංවර්ධනයේ විශාල වෙනසක් ඇතිවීම සඳහා එමඟින් අවස්ථාව උදාවෙනු ඇත.

ලැබෙන “සුබ ආරංචිය” රට බංකොළොත් බවින් මිදීම පිළිබඳ තොරතුර යැයි විපක්ෂයේ ඇතැම් පිරිස් මේ වනවිටත් සැක කරමින් සිටින බව පෙනේ. ඒ නිසා එම තොරතුරු දැන ගැනීමත් සමඟ අනෙක් සියලු‍ දේ අමතක කර එයට පහර ගැසීම සඳහා සියලු‍ ශක්තිය යොදවා ඇත. බංකොළොත් බවින් මිදුණු බව ප්‍රකාශ කළ හැක්කේ ණය ශ්‍රේණිගත කිරීමේ (Credit Rating Agencies) ආයතන විසින් පමණක් යැයි එක් පක්ෂයක් ප්‍රකාශ කරද්දී, තවත් පක්ෂ නායකයකු ප්‍රකාශ කරන්නේ රජය මාධ්‍ය සර්කස් එකක් පෙන්වන බවයි. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මේ දක්වා කිසියම් රටක් බංකොළොත් බවින් මිදී ඇතැයි කිසිම අවස්ථාවක ප්‍රකාශ කර නැත.

අද රට බංකොළොත් භාවයෙන් මිදුනොත් එය තම ජනපති සිහිනය බොඳවීම සඳහා හේතුවනු ඇතැයි සිතන පිරිස “ආරංචිය සුබයි” පෝස්ටරය නිසා දැඩි කම්පාවකටත්, කැළඹීමකටත් පත්ව තිබෙන බව පෙනේ. ඒ නිසා බංකොළොත් භාවයෙන් අත්මිදීම පිළිබඳව ඉතාමත් ළාමක මට්ටමේ අර්ථනිරූපණ ඉදිරිපත් කරන බව ද පෙනේ. ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුම් අදාළ රටවල් සමග අත්සන් කළවිට ශ්‍රී ලංකාව විසින් මීට පෙර ප්‍රකාශයට පත්කර ඇති ණය නොගෙවා සිටීමේ නිවේදනය අහෝසි වේ. ඒ සමඟ බංකොළොත්භාවය ද අවසන් වේ. බංකොළොත්භාවය ප්‍රකාශ කරන ලද්දේ ඒකපාර්ශ්වීය ය. අද ගිවිසුම් අත්සන් කළහොත් ඉන් ප්‍රකාශ වන්නේ බංකොළොත්භාවය අවසන් කරනුයේ ණය ලබාදී ඇති රටවල එකඟතාව අනුව බවය. බංකොළොත්භාවය අවසන් කළහැකි වෙනත් ක්‍රමයක් ද නැත. රටේ බංකොළොත්භාවය අවසන් කිරීම සමස්ත ජාතියටම සුබ ආරංචියක් වුව ද, ජනපති සිහින දකින අයගේ එම සිහින බංකොළොත්වීමට එය හේතුවක් වනු ඇත. එයට කළහැකි දෙයක් නැත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර