ආර්ථිකය ගොඩනැගීමේ මූලික ප්‍රශ්නය


ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස ජනතාව හෙම්බත්ව සිටින සමයක රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක මැතිවරණයකට මුහුණ දීමට සියල්ලම සූදානම්ව පවතී. එළඹෙන මැතිවරණයෙන් බලයට එන අනාගත නායකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය සමස්ත සමාජයේම හැඩතල තීරණය කරනු ඇත. එබැවින් බලයට පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙබඳු විය හැකි ද? යන කාරණය පිළිබඳව විමසා බැලීම කාලෝචිතය.

වසර ගණනාවක් දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් පැවැති ආර්ථිකය ක්‍රමිකව යථාතත්වයට පත්වෙමින් පවතී. එවන් අවස්ථාවක බලයට පැමිණීමට අපේක්‍ෂා කරන විවිධ දේශපාලන ධාරා තම ආර්ථික ප්‍රතිපත්තිය කෙසේ සකස් කරගනු ඇද්ද යන්න පිළිබඳව යම් යම් අදහස් මේ වනවිටත් ඉදිරිපත් කර අවසන්ය. අනාගත ආර්ථිකය සකස් කර ගැනීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලට යටත්ව ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කිරීමේ වැදගත්කම බහුතර ශ්‍රී ලාංකිකයන් විසින්ම මේ වනවිටත් පිළිගෙන ඇත. එවන් තත්වයක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන ධාරාවේ සියලු‍ නායකයන් පොදුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව යමින් තම ආර්ථික ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන බව ප්‍රකාශ කොට අවසන්ය. එසේ වුවත් ප්‍රධාන දේශපාලන ධාරාවේ සියලු‍ නායකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වලට එළැඹ ඇති එකඟතා සම්බන්ධයෙන් යම් යම් සංශෝධනය ගෙන එන බවට කරුණු දක්වමින් සිටී. එවන් තත්වයක් යටතේ බලයට පත්වන අනාගත නායකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙබඳු විය හැකි ද සහ කෙසේ විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වේ.

රටක ආර්ථික ප්‍රතිපත්තිය යනු රජයක් විසින් තම රටේ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කිරීමට සහ කළමනාකරණය කිරීමට ගන්නා උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග සමූහයයි. මේ යටතේ මුදල් සැපයුම සහ පොලී අනුපාත, රාජ්‍ය වියදම් සහ බදු ගැළපීම, ජාත්‍යන්තර වෙළඳාම නියාමනය, ව්‍යාපාර සඳහා නීති සැකසීම, රටේ විවිධ කර්මාන්ත සඳහා වන ප්‍රතිපත්ති මූලික වශයෙන්ම ඇතුළත් වේ. එසේම ආදායම් බෙදාහැරීම, ආයෝජන, විනිමය අනුපාත ප්‍රතිපත්තිය යනාදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලබයි. මෙසේ පුළුල් පරාසයක විහිදී යන ආර්ථික ප්‍රතිපත්ති මඟින් ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය සහ සාධාරණත්වය වැනි ඉලක්ක සපුරා ගැනීම අරමුණු කරයි.

ආර්ථිකයක දීර්ඝ කාලීන හැඩතල තීරණය කරනු ලබන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වයෙන් ආර්ථිකය ස්ථාවර කිරීමට හෝ අස්ථාවර කිරීමට හේතුවිය හැකිය. ඵලදායී ප්‍රතිපත්ති මගින් ආර්ථිකයක සුමට සහ අඛණ්ඩ පැවැත්ම සහතික කළ හැකි අතර දුර්වල ආර්ථික තීරණ නිසා උද්ධමනය, විරැකියාව වැනි ආර්ථික කැලඹීම් ඇති විය හැක. එසේම ආර්ථික ප්‍රතිපත්ති දේශීය හා විදේශීය ආයෝජනවල විශ්වාසයට බලපෑම් කළ හැකිය. හිතකර ප්‍රතිපත්ති මඟින් ආයෝජන ආකර්ෂණය කර ගත හැකිය. රටක ආර්ථික ප්‍රතිපත්ති ඍජුවම පුරවැසියන්ගේ ජීවිතවලට බලපාන අතර රැකියා, ආදායම් මට්ටම් සහ සමාජ සේවා කෙරෙහි බලපායි. එසේම නව ප්‍රතිපත්ති දරිද්‍රතාව, අසමානතාව සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රවේශ වැනි පවතින ගැටලු‍ ආමන්ත්‍රණය කිරීමට හෝ උග්‍ර කිරීමට හේතු විය හැක. ආර්ථික ප්‍රතිපත්ති රටක ස්ථාවරයට සහ වෙනත් ජාතීන් සමඟ සබඳතාවලට බලපෑම් කළ හැකිය. වෙළඳ ගිවිසුම්, විදේශ ආධාර සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බොහෝ විට ආර්ථික උපාය මාර්ග සමඟින් බැඳී පවතී. නව ආර්ථික ප්‍රතිපත්ති මගින් සකස් කරන ලද දිශානතිය රටේ දිගුකාලීන ආර්ථික ගමන් මග හැඩගස්වාගත හැක.

මේ වන විටත් ප්‍රධාන දේශපාලන ධාරාවේ නායකයන් තම ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ගේ ඇති කැමැත්ත ප්‍රකාශ කොට අවසන්ය. එය ඉතා යහපත් තත්වයකි. එහෙත් යම් යම් සංශෝධන සඳහා සියලු‍ම දේශපාලන ව්‍යාපාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරන බවට ප්‍රකාශ කොට ඇත. නව ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය හා රටේ අනාගත ආර්ථික සැකැස්ම තීරණය කිරීමේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික එකඟතා තීරණාත්මක බලපෑමක් කර ඇති බව නම් පැහැදිලිය. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන තිබෙන එකඟතා පිළිබඳව කෙටි විමසුමක් කිරීම වැදගත් වේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇතිකරගෙන තිබෙන විස්තීරණ ණය පහසුකමට අදාළ ගිවිසුමෙහි ප්‍රධාන එකඟතා කිහිපයක් ඇත. ඒ අතරින් ආර්ථිකය නිවැරදි කිරීම සඳහා වන ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ ඇතුළත්ය. විශේෂයෙන් ආදායම් ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ ඉන් ප්‍රමුඛ වේ. ඍජු සහ වක්‍ර බදු ආදායම් වැඩි කර ගැනීම, පාඩු නොලබන ආකාරයට බලශක්තියක් වැනි උපයෝජන සේවාවල මිල තීරණය කිරීම ඒ අතර පවතී. එසේම ණය තිරසාර භාවය සඳහා වන ක්‍රියාමාර්ග ගැනීම හඳුන්වා දී ඇත. තෙවනුව රටේ මුදල් ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා වන මහ බැංකුව ලබාදෙන ණය සහ උද්ධමනය පාලනය සම්බන්ධයෙන් එකඟතා හඳුන්වා දී ඇත. එසේම දුප්පත් සහ අවදානම්සහගත ප්‍රජාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීම එම එකඟතා ලෙස ලේඛනයට ඇතුළත්ය.

ඒ සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත. ඉහත දක්වන ලද සමස්ත එකඟතාවලට ප්‍රධාන දේශපාලන ධාරාවේ නායකයන් තම ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ මෙම එකඟතාවලට අනුව ක්‍රියාත්මක වන බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව දැනට බලයේ සිටින ජනාධිපතිවරයාගේ මූලික අදහස වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යන බවයි. එ තුළින් ඉදිරි දසක කිහිපය තුළ සංවර්ධිත දේශයක් බිහිකිරීම ඔහුගේ ආර්ථික දැක්ම වේ. එහෙත් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් තීරණාත්මක වැටුප් ඉහළ දැමීමක් සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති අතර ඒ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් එකඟතාවලට පැමිණීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කොට ඇත. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා යටතේ වඩාත් ලිබරල් ආර්ථිකය ක්‍රියාකාරීත්වය යටතේ ක්‍රියාත්මක වීම ඔහුගේ අපේක්ෂාව බව නම් පැහැදිලිය. එසේම ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ඔහු දක්වන අදහස් වලින් ගම්‍ය වනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා යටතේ කටයුතු කරවීමට කැමැත්තක් දක්වන නමුත් එහි ඇති යම් යම් එකඟතා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කොට විකල්ප ඉදිරිපත් කරන බවයි. විශේෂයෙන් සුබසාධන ආර්ථික ක්‍රියාකාරීත්වයක් කෙරෙහි ඔහුගේ ඇති නැඹුරුව මැතිවරණ ව්‍යාපාරයෙන් ගම්‍ය වේ. එසේම තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණයක් සඳහා බලාපොරොත්තු දල්වා සිටින ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන එකඟතා යටතේ කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කොට ඇති අතර ඒ සඳහා වන යම් යම් සංශෝධන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බවට දක්වා ඇත. විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය, සමාජ සුබසාධන සේවා සහ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් ගැන ඔවුන් කරුණු දක්වා ඇත. ස්ථායි ආර්ථික වෘද්ධියක් තුළින් ජනතාවට ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකම වශයෙන් ප්‍රජාතන්ත්‍රික බව තහවුරු කිරීම ඔවුන්ගේ මූලික අභිප්‍රායක් වන බව ප්‍රකාශ වේ. ආදායම් බෙදීයාමේ විෂමතාව අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීම, රටෙහි සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වන ක්‍රියාමාර්ග ගැනීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය විවිධ ආකෘති යටතේ එනම් රාජ්‍ය පෞද්ගලික සහ ජනතා හිමිකාරිත්‍වයක් සහිත ව්‍යාපාර ලෙස ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි ඔහු වැඩි වශයෙන් කරුණු දක්වා ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය මගින් පැහැදිලි වනුයේ රාජ්‍ය ව්‍යවසාය තවදුරටත් රාජ්‍ය ව්‍යවසාය ලෙස පවත්වා ගැනීමේ ඇති වැදගත්කමත් සහ සමාජ සුබසාධන ආර්ථිකයක ඇති වැදගත්කම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති සමුදායක් හඳුනාගෙන ඇත. ඒ අනුව පැහැදිලි වනුයේ පසුගිය කාලය පුරාවට ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික මොඩලය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා වන ඔවුන්ගේ කැමැත්ත ඒ අනුව ප්‍රකාශවනු බවයි.

මෙවන් පසුබිමක ‍ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ප්‍රතිපත්තියේ හැඩතල කෙබඳු වේද යන්න පිළිබඳව යම් අදහසක් ලබාගැනීම අපහසු නොවේ. ඒ කෙසේ නමුත් මැතිවරණ ප්‍රකාශන තුළ දක්වන ආර්ථික ප්‍රතිපත්ති සහ යෝජනා ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනු ඇතැයි කිසිසේත් බලාපොරොත්තු විය නොහැක. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීම් සහ බලයට පත්වීමෙන් පසු ඔවුන් ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තිය අතර සුවිශේෂී වෙනස්කම් හඳුනාගත හැක. කෙසේ නමුත් මෙවර ඒ සඳහා ඇති ඉඩකඩ බොහෝ සෙයින් අවම වී පවතිනුයේ ශ්‍රී ලංකාව බංකොලොත් ආර්ථිකයක සිට ඉදිරියට ඒමට වෙර දරන කාල සමයක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් පවතින තත්වයක් යටතේ තවදුරටත් ආර්ථික ප්‍රතිපත්ති සමඟ එවැනි ගැටුමකට දේශපාලන ව්‍යාපාර යොමුවේද යන්න පිළිබඳව සැක සහිතය. එවන් තත්වයක් යටතේ කිසිසේත් අපේක්ෂා නොකළ ආර්ථික බිඳ වැටීමක් ඉතා කෙටි කාලයක් තුළ සිදුවීම වැළැක්විය නොහැකි වීම නිසාය. මේ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ගය දේශපාලන දෘෂ්ටිකෝණයකින් තොරව සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් සහ හෙට දවස සම්බන්ධව සලකා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරනු කැමැත්තෙමි. ඒ අනුව තවදුරටත් සුබසාධන ආර්ථික මොඩලයකින් ආර්ථිකය පවත්වාගෙන යෑමට කිසිසේත් නොහැකි වනු ඇත. ශක්තිමත් මෙන්ම අඛණ්ඩ ආර්ථික වෘද්ධයක් ඇති කරමින් සැමට එහි ප්‍රතිලාභ සාධාරණව බෙදා හැරීම සඳහා වන ක්‍රියාමාර්ග පමණක් ගැනීම වැදගත් වනු ඇත.

නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වන ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමේ අවශ්‍යතාව අනාගත ජනාධිපතිවරයා සතු මූලික අභියෝගයක් වනු ඇත. ගෝලීය සැපයුම් දාම හා ඒකාබද්ධ වෙමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව හුදකලාවේ දේශීය කර්මාන්ත පද්ධතියකින් පමණක් ජාත්‍යන්තරය ජය ගැනීම කිසිසේත් නොහැකි වනු ඇත. එබැවින් ගෝලීය සැපයුම් දාම හඳුනා ගනිමින් ඒ සඳහා වන ක්‍රියාමාර්ග අනාගත ජනාධිපතිවරයාට ගැනීමට සිදුවනු ඇත. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 5 මට්ටමක පවත්වාගෙන යෑම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමේ දී රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග හඳුන්වාදීම අත්‍යවශ්‍ය වේ.

ආදායම් ඉහළ නැංවීම සඳහා පවතින බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය වේ. තවදුරටත් වක්‍ර බදු මගින් ආදායම ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග අපේක්ෂා නොකෙරේ. ඒ සඳහා ඍජු බදු ආදායම වැඩි කිරීම සඳහා බදු නොගෙවන පිරිස් ඒ වෙත යොමු කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමත් රටේ නිෂ්පාදන ආර්ථිකය පුළුල්කොට ඒ තුළින් බදු ආදායම් ලබාගැනීමට ක්‍රියාත්මක වීමත් නව ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කෙරේ.

එසේම ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් පුළුල් කිරීම සඳහා විදේශ ආයෝජනය රට තුළට ගෙන්වා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමත් අත්‍යවශ්‍ය වේ. වත්මන් මැතිවරණ ව්‍යාපාරය තුළ පුළුල් වශයෙන් සාකච්ඡාවට බඳුන්වන කරුණක් වන වංචා සහ දූෂණය අවම කොට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව තවදුරටත් පවතිනු ඇත. මෙවන් ක්‍රියාමාර්ග හරහා ඉදිරියේදී බලයට පත්වෙන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය කිනම් හැඩතල ගනු ඇත්දැයි යන්න පැහැදිලි කරගත හැක. එසේම මැතිවරණය සඳහා වන යම් යම් ප්‍රකාශ වෙනුවට වඩාත් තාර්කික ආර්ථික විද්‍යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ආර්ථිකය මෙහෙයවීමේ ඇති වැදගත්කම බලයට පත්වීමට අපේක්ෂා කරන සියලු‍ම අපේක්ෂකයන් විසින් සහ ඔහුගේ ආර්ථික උපදේශකයන් විසින් මතකයේ තබා ගත යුතු වැදගත් කරුණකි. එසේ නොමැති වුවහොත් ඉතා කෙටි කාලයක් තුළ නැවත අප ආර්ථිකය කිසිසේත් අපේක්‍ෂා නොකළ බිඳ වැටීමකට පත්වීම නොවැළැක්විය වනු ඇත. එවන් තත්වයක් ඇතිවීම වැළැක්වීම අනාගත ජනාධිපතිවරයාගේ මූලික වගකීම වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

(***)