ආර්ථිකය වැටීමට හේතු සාධක


ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් කතා කිරීමට පෙර ලංකාවේ බදු සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ජනතාවට මේ අවස්ථාවේ ඇති බරපතළ ප්‍රශ්නය වන්නේ බදු පිළිබඳ කාරණය වන නිසාය. මේ බදු පනවන්නේ කෙසේද? කවුද? වැනි ප්‍රශ්න ජනතාවට නිරන්තරයෙන් ඇතිවන ඒවාය. අයි.එම්.එෆ් ණය ක්‍රියාවලියේදී ඔවුන් ආණ්ඩුවෙන් විමසා සිටින්නේ ඉදිරියේදී ආණ්ඩුවට ලබාගත හැක්කේ කෙබඳු ආදායමක්ද යන්නයි. එවිට ආණ්ඩුව තම ඉදිරියට යෑමේ හැඩය පැහැදිලි කළ යුතුය.

අන්තර් ජාතික මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ඉදිරිපත් කරන්නේ ඒ අනුවය. මේ ණය තිරසාරවීමේ විශ්ලේෂණය ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව සමග යම් එකඟත්වක් ඇතිවය.

එහිදී ආදායම වැඩිකර ගැනීමට ආණ්ඩුවට කළ හැක්කේ කුමක්ද?අනෙක් රටවලට සාපේක්ෂව එහි යම් සාධාරණ බවක් ඇද්ද යන්න මෙහිදී සලකා බැලේ. ඉන්පසු අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙහි අවධානය යොමුවන්නේ ඔවුන් කී දේ ආණ්ඩුව ඉටු කරන්නේ ද යන්නයි. ඒ කියන දේ කරන්නට නම් ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමට යම් වැඩපිළිවෙළක් අවශ්‍යය. ලෝකයේ රටවල් 152ක් අතු‍රින් අඩුම ආදායම් ලබන ආණ්ඩු පහ, හය අතරට ලංකාවේ ආණ්ඩුව ඇතුළත් වේ. එයින් පෙනෙන්නේ ආණ්ඩුවේ ආදායම පැත්තෙන් ඉතාම පහළ තැනක සිටින බවය. මේ වනවිට රජයේ ආදායම සියයට 15 දක්වා වැඩිකර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. එය ආසියානු කලාපයේ සාමාන්‍ය අගයන්ටත් වඩා අඩු තත්වයකි. දියුණු රටවල රජයේ ආදායම්වල සාමාන්‍ය අගය සියයට 30 කට 40 කටත් වඩා වැඩි අගයක් ගනී. කොටින්ම මාලදිවයින් දූපත්වල පවා රජයේ ආදායම් අගය සියයට 35ක් පමණ වේ. මේ අගයන් දෙස බැලීමේදී ලංකාවේ රාජ්‍ය ආදායම සියයට 15 ක් දක්වා රැගෙන ඒම සාපේක්ෂව ඉහළ අගයකැයි නොපෙනේ.

අන්තර් ජාතික මූල්‍ය අරමුදල අසන ඊළඟ ප්‍රශ්නය නම් එම ආදායම වැඩිකර ගන්නේ කෙසේද යන්නයි. බදු වැඩිකිරීම් ආදිය සිදුවන්නේ මේ ඉලක්ක වෙත යාමට ක්‍රම සොයා බැලීමේදීය. තමන්ගේ හැකියාවන් අනුව යම් දත්ත විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල බැඳී සිටී. එය තාක්ෂණික විශ්ලේෂණ වාර්තා මත පදනම් වූවකි. එම විශ්ලේෂණ එකඟතා අනුව බදු පැනවීම් පිළිබඳ තීරණය කිරීමට ආණ්ඩුවට හැකියාව ඇත.

එබඳු විශ්ලේෂණයක් ඇත්නම් වැට් බද්ද සියයට 15 ක් කිරීමට මුලින් තීරණය කර තිබියදී එය සියයට 18 ක් කළේ ඇයිද යන්න කෙනෙකුට මෙහිදී ප්‍රශ්නයක් නැගිය හැකිය. වෙනත් වත්කම් බද්දක් භාවිත නොකොට මේ සඳහා වැට් බද්දම යොදා ගත්තේ ඇයිද යන්න තවත් පැනයකි. එසේ නම් මේ බදු බර බෙදාගැනීම තීරණය වන්නේ කෙසේද? බදු බර බෙදාගන්නා ආකාරය සම්බන්ධයෙන් අන්තර් ජාතික මූල්‍ය අරමුදල උනන්දුවක් නොදක්වයි. ඔවුන් සිතන්නේ මෙය රට තුළ ප්‍රශ්නයක් හැටියටය. රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය අනුව එය රට තුළම විසඳා ගැනීමට ඔවුහු ඉඩ හරිති. ඒ අනුව මෙය අභ්‍යන්තර ප්‍රශ්නයකි.

සිග‍රැට් හා අරක්කු සඳහා අයකරන බද්ද උද්ධමනයට සාපේක්ෂව වැඩිකර ගැනීමට ආණ්ඩුව උනන්දු නොවූ නිසා ආණ්ඩුවට ලැබිය යුතුව තිබූ ආදායම නොලැබී ගියේය. සමස්ත ආදායම අඩුවීම නිසා එය අයි.එම්.එෆ් අවධානයට යොමුවේ. මේ හේතු නිසා වැට් බද්ද නැවත වැඩි කිරීමට ආණ්ඩුවට සිදුවිය. බදු පනවන්නේ කුමන ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ද යන්න ආණ්ඩුවේ තීරණයක් මිස අයි.එම්.එෆ් තීරණයක් නොවේ. බදු වැඩි කළ යුතු බව කීවත් එය කොතැනින් වැඩි කළ යුතුද යන්නට ඔවුහු බලපෑම් නොකරති.

අනෙක් පැත්තෙන් සූදු ක්‍රීඩා සම්බන්ධ බදු විශාල ලෙස අඩු කිරීමට ආණ්ඩුව තීරණය කළේය. මීට පෙර ඒ සම්බන්ධව විශාල බදු තක්සේරුවක් පැවතියත් එය එකතු කළේ නැත. 2015 සිට එහි එකතු නොකළ බද්දක් පවතී. එයින් ද විශාල බදු ආදායමක් ආණ්ඩුවට අහිමි විය. එක තැනකින් බදු කප්පාදු කෙරෙන අවස්ථාවලදී එය තවත් තැනකින් ගෙවිය යුතුය. ඒ අනුව බදු බෙදාගැනීම සම්බන්ධ කාරණය මුළුමනින්ම ආණ්ඩුවේ තීරණ අනුව සිදුවන්නකි. අයි.එම්.එෆ් හී අවධානය මූලිකව යොමුවන්නේ බදු ඉලක්කය වෙතය. එම ඉලක්කයට යන ආකාරය පිළිබඳ නිදහස ආණ්ඩුවට හිමිවේ.

මේ තත්වය තුළ ඉදිරියේදීද බදු වැඩිවීමට ඇති ඉඩකඩ දැකිය හැකිය. ඒ සඳහා ප්‍රධාන හේතු තුනක් හඳුනා ගත හැකිය. එක් හේතුවක් නම් බදු එකතු කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ප්‍රමාණවත් නොවීමය. එහෙත් බදු එකතුකිරීමේ නිර්දේශ හා ඇගැයීම්වල සංඛ්‍යා ලේඛන සකසා තිබෙන්නේ බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිකරනවාය යන අදහස ඇතිවය. අපේක්ෂිත ලෙස බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි නොවුණහොත් සිදුවන්නේ දැනට එකතු කරන බදු තවත් වැඩි කිරීමය.

දෙවැනි කාරණය නම් ආණ්ඩුව පැනවිය යුතු බදු පැහැර හැරීමය. මුලින් සඳහන් කළ පරිදි සිගරැට් හා අරක්කු ආදියට පනවන බදු උද්ධමනයට අනුව වැඩිවිය යුතුය යන්න ට නීතියක් පැනවිය යුතුව තිබුණත් ඒ ගැන නිසි අවධානයක් යොමු වූ බවක් නොපෙනේ. මේ අනුව කොහොමටත් මේ බදු තක්සේරුව තුළ බදු හිඟයක් පවතී. අපට පෙනෙන්නේ ආණ්ඩුව තවමත් බදු විරාම ලබා දෙමින් යම් යම් ව්‍යාපෘතිවලට ඉඩ සලසන බවකි. අදානි සමාගමට අවුරුදු 25ක බදු විරාම කාලයක් ලබා දීමත් පෝට්සිටි ව්‍යාපෘතිය සඳහා අවරුදු 40 ක බදු විරාම කාලයක් ලබා දීමත් ආදී උදාහරණ මෙහි දී සිහිපත් කළ හැකිය. බදු විරාම ලබා දෙන තරමට අපේක්ෂිත බදු ආදායමේ යම් අහිමි වීමක් දැකිය හැකිය. ආණ්ඩුවම 2022 දී පළ කළ ගැසට් පත්‍රයකට අනුව බදු විරාම හෝ අඩුකිරීම් ආදියෙන් එකතු නොකළ බදු ආදායම රුපියල් බිලියන 976 කට ආසන්න ගණනකි. එය පෙර වසරේ එකතු කළ මුළු ආදායමට සාපේක්ෂව සියයට 56කි. සමෘද්ධි හා අස්වැසුම ව්‍යාපෘති සඳහා යොදවන මුළු මුදල බැලු‍වත් මෙය එමෙන් පස් ගුණයකි. මෙබඳු තත්වයක් තුළ ආණ්ඩුවට සිදුවී තිබෙන්නේ කොහෙන් හෝ බදු වැඩි කරන්නටය.

අපගේ අවධානයට යොමුවිය යුතු තුන් වැනි කාරණය නම් ණය තිරසාරවීමේ ගමන සම්බන්ධව අයි.එම්.එෆ් ලබා දී ඇති තක්සේරුවයි. ණය වැඩිවීම සිදුවන්නේ පොලී අනුපාතය අනුවය. පොලී අනුපාතය සියයට 7 හා සියයට 10 අතර වෙතැයි යන අදහස තුළ සිටිමින් ආණ්ඩුව සැලසුම් සකස් කළත් අද වනවිට පොලී අනුපාතයේ වැඩි වීමක් දැකිය හැකිය. ඒ අනුව කෙටිකාලීන ණය සියයට 9.5 කට අධික පොලී අනුපාතයකටත් දිගුකාලීන ණය සියයට 12 කට අධික පොලී අනුපාතයකටත් ලබා ගන්නට ආණ්ඩුවට සිදු වී තිබේ. මේ තත්වය තුළ පොලිය වෙනුවෙන් ගෙවන්නට සිදුවන මුදල වැඩි වී තිබේ. එම මුදල පියවා ගැනීමට ආදායම හිතුවාට වඩා වැඩිකරගන්නට සිදුවේ.

අප මේ යන ගමන තුළ දැනට පවත්නා තත්වය අනුව අවම වශයෙන් සියයට 20 ක වත් රාජ්‍ය ආදායමක් ලබා නොගත හොත් ණය තිරසාර වීමේ ගමන අඩාළවන්නට පුළුවන. මේ පරිසරය අනුව තව දුරටත් බදු ඉහළ නැංවීමේ ඉඩ කඩක් පැවතිය හැකිය. එහෙත් වඩා නිවැරැදි ක්‍රමය නම් ආණ්ඩුව බදු වැඩි කිරීමට පමණක් අවධානය යොමු නොකොට පනවා ඇති බදු එකතු කිරීමේ වඩාත් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමයි. දේශීය බදු එකතු කිරීමේ ලෝකයේ වෙනත් ආයතනවලට සාපේක්ෂව අපේ රටේ ඊට සම්බන්ධ ආයතනය ඇත්තේ ඉතාම අඩු ක්‍රියාකාරී තත්වයකය. එම ආයතනය මීට වසර 30කට පෙර අද පවත්නා තත්වයට වඩා යහපත් තැනක තිබුණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විධිමත් සක්‍රීය ආයතනයක් ලෙස කාර්යක්ෂමව නැවත පවත්වාගෙන යාම ඉතාම වැදගත් ය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව අද වන විට රටේ සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කොට තිබේ. එය රටේ විශාල අර්බුදයක් නිර්මාණය වීමට හේතුවකි. මේ අර්බුදය මුදල් ඉපයීම සම්බන්ධ එකක් නොවේ. කාර්යක්ෂම නොවීමේ අර්බුදයකි.

එක් පාර්ශ්වයකින් බදු අය කරගන්නටත් තවත් පාර්ශ්වයකින් බදු අය නොකරන්නටත් හේතු සොයාබැලීමේ විශ්ලේෂණයක් අවශ්‍ය ය. එහෙත් එබඳු කිසිම විශ්ලේෂණයක් එළි දක්වා නොතිබීම තවත් අර්බුදයකි. නිසි විශ්ලේෂණයක් නොමැතිව ආර්ථික ගමනක් යන විට එම ගමන නිවැරැදි නොවීමට තිබෙන ඉඩ කඩ වැඩිය. විශ්ලේෂණයක් දියුණුවන්නේ එය රටට නිසි පරිදි ඉදිරිපත් කිරීමෙනි. සාකච්ජා කිරීමෙනි. එහෙත් බදු කැපීමේදීත් බදු වැඩි කිරීමේදීත් නිසි විශ්ලේෂණයක් නොමැතිව කටයුතු කරන බවකි මේ වන විට පෙනී යන්නේ. එසේ නැතහොත් විශ්ලේෂණය ගණනකට නොගෙන අසාධාරණ ලෙස වැඩ කරන සැටියකි මෙයින් පැහැදිලිවන්නේ. එබඳු නිසි විශ්ලේෂණයක් තිබේ නම් බදු පැනවීමේදී ජනතාවට එය පීඩාවක් නොවන අන්දමින් පැනවීමේ සැලැස්මක් ක්‍රියාත්මක වනු ඇත. එවැන්නක් නැති තැන බදු ගෙවන අයට තව තවත් බදු ගෙවන්නට සිදුවනවා පමණක් නොව එයින් ආර්ථිකයද අඩපණ වේ. එය රටට ලොකු අවාසියකි.

දැනට පවත්නා තත්වය අනුව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී අවධානය යොමු වූ විශේෂ අංශ දෙකකි. එකක් නම් ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය අයි.එම්.එෆ් තක්සේරුව සමග එකඟ නොවීමය. එසේ වූ විට ණය කප්පාදුව අඩු කරගත හොත් එය ලංකාවට අවාසි සහගත තත්වයකි. අනෙක් පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කොට ඇති තවත් අදහසක් වන්නේ ආණ්ඩුවේ ක්‍රියාදාමය සුබවාදී පැත්තකට හැරුණොත් ණය කප්පාදුව වැඩිකර ගැනීමය. එය ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර හා සම්බන්ධ වේ. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලංකාවට මේ ක්‍රමය හඳුන්වා දෙන්නේ ප්‍රථම වතාවටය. ආණ්ඩුකරණය දියුණුකරගැනීමට දැනටමත් පොරොන්දු වී ඇති දෑ ඉටුකළොත් වැඩි ණය කප්පාදුවක් මේ අනුව සිදුවේ.

ආණ්ඩුකරණය දියුණු වූ විට පෞද්ගලික ණය හිමියන් ලංකාවට වාසියක් ලබා දෙනවා කී විට එය ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයකැයි ඇතැම්හු කල්පනා කරති. එහෙත් එවැනි තර්ජනයක් එහි නොවේ. හේතුව නම් මේ තක්සේරු ක්‍රමය ඉදිරිපත් කරන්නේ ණය හිමියන් නොවේ. එහි තීන්දුව ගන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුකරණය දියුණුකිරීම සම්බන්ධ ඇගැයීම් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවමයි. ගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආණ්ඩුව ඉදිරිපත් කළ ඇගැයීම් වාර්තාවට සිවිල් සමාජයේ සියයට 80 කගේ එකඟතාව ලැබී ඇති බව පෙනේ. අයි.එම්.එෆ් ගිවිසුමේ එකඟතාවලටත් මේ අනුව මේ එකඟතා එකතු කෙරේ.

ද්විතීයික වෙළෙඳ පොළෙහි ලංකාවේ බැඳුම්කර විකිණීම සිදුවන්නේ ඒ සම්බන්ධ පවත්නා විශ්වාසවන්තභාවය අනුවය. අවිනිශ්චිත භාවය වැඩිවුවහොත් මිල අඩු වේ. අවිනිශ්චිතතාව අඩුවුවහොත් මිල වැඩි වේ. අවිනිශ්චිතතාව අඩුකරගැනීමට ආණ්ඩුව තම ආණ්ඩුකරණය දියුණුකරගත යුතුය, ලංකාව වැනි රටකට වැඩි පොලියකට ණය ලබා ගැනීමට සිදුව ඇත්තේ අවිනිශ්චිතභාවය වැඩි නිසාය.

ලංකාවේ ආර්ථිකය කඩා වැටුණේ කොවිඩ් වැනි ගැටලු‍ නිසාම නොව ආණ්ඩුකරණයේ ගැටලු‍ නිසාය. කිසිම විශ්ලේෂණයක් නොමැතිව වැඩකිරීමෙන්, ආර්ථිකය සම්බන්ධ අත්තනෝමතික තීරණ ගැනීමෙන් ලංකාවට සිදුවූයේ ආර්ථික වශයෙන් අන්ත අසරණ තත්වයට වැටීමටය. ඉදිරියේදී ආණ්ඩුකරණය දියුණුකිරීමට නම් ප්‍රධාන වශයෙන් පැහැදිලි විනිවිදභාවයක් ඇතිකළ යුතුය. ඒ විනිවිදභාවය තුළ ආර්ථිකය සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණ ගැනීමට ඇති ඉඩකඩ අහුරාලිය යුතුය.

 

(*** සටහන – ගාමිණී කන්දේපොළ)