ආර්ථික අර්බුදයත් සමග නිර්මාණය වූ විචල්‍යයන්ගේ යම් වෙනසක් මේ වන විට දක්නට ලැබේ. ඒ අතර උද්ධමනය ප්‍රධාන වේ. මහ බැංකුව ක්‍රියාත්මක කරන දැඩි පිස්කල් සහ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් 2022 වසරාවසානය වන විට සියයට 70 ඉක්ම වූ අගයක පැවති උද්ධමනය මේ වන විට නිරුද්ධමන තත්ත්වයක් කරා ගමන් කර තිබේ.
ඒ අනුව, මේ වසරේ අප්‍රේල් මාසය වන විට උද්ධමන අනුපාතිකය සියයට 35.3 දක්වා අඩු වී ඇත. එයින් පැහැදිලි වන්නේ අපේක්ෂිත උද්ධමන ඉලක්ක වෙත මේ වසර ඇතුළත ළඟා විය හැකි බවය. භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩු වීම නිසා ජීවන තත්ත්ව යහපත් වීමට පිළිවන.
ආර්ථික අර්බුදයට සමගාමීව වෙළෙඳ හා ගෙවුම් ශේෂයන්හි අර්බුද හටගත් අතර අත්‍යවශ්‍ය ආයාතවලට අදාළ ගෙවීම් කිරීමට අපහසු තත්ත්වයක් ද ආර්ථිකයේ ඇති විය.
විදේශ සංචිත යම් පමණකට වැඩි වීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය දායකත්වයත් සමග එකී අපහසුතා මේ වන විට යම් පමණකට සමනය වෙමින් ඇති බවක් ද දිස් වේ. අප අනුගමනය කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය හොත් බාහිර ස්ථායීතාව ඇති කර ගත හැකි වේ. එය දෙවැනි යහපත් ප්‍රවණතාවයි.
විදේශ විනිමය ඉපැයීම් ද යම් පමණකට වැඩි වෙමින් තිබේ. ඒ යටතේ විදේශ ප්‍රේෂණ ලැබීම් මේ වන විට අර්බුදයට පෙරාතුව පැවැති තත්ත්වයට ළඟා වෙමින් තිබේ. ඒ අනුව 2023 වර්ෂයේ ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලයේදී රටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1413.2 කි. එසේම සංචාරක කර්මාන්තය ද යථාවත් වෙමින් ඇති බවක් දිස් වේ. 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් 25 දක්වා කාලයේ දී මෙරටට විදේශ සංචාරකයන් 422995 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව මේ වසරේ ජනවාරි – මාර්තු අතර කාලයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් මිලියන 592.8 කි. 2024 වසර සඳහා වන විදේශ විනිමය ඉපැයීම්වලට අදාළ ඉලක්ක වෙත ළඟා වීමට හැකි වෙතැයි සිතිය හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අනුමැතිය ලැබී ඇති බැවින් ඒ ඔස්සේ ආර්ථික උන්නතියට අදාළ තත්ත්වය ද ඇති වේ. ඒ යටතේ සංවර්ධන ආධාර හෝ සහන ණය හෝ ලබා ගැනීම මගින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අවකාශ උදා වේ.
ආර්ථිකය යහපත් වීමට අදාළ ප්‍රවණතා සාර්ව මට්ටමින් ක්‍රියාත්මක වන බව ඉහත තත්ත්ව විචාරය කිරීමේ දී පැහැදිලි වේ. කෙසේ වෙතත් මෙතෙක් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ අවසන් ගිවිසුම්වලට එළැඹීමට අප සමත් වී නොමැත. ඊට අදාළ සාකච්ඡා තවදුරටත් පැවැත් වේ.
පැරිස් සමාජය නියෝජනය කරන ණය හිමියන් සමග සාකච්ඡා සාර්ථකව අවසන් කළ හැකි බව මගේ විශ්වාසයයි. පැරිස් සමාජය නියෝජනය නොකරන ඉන්දියාව සහ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡාවල දී චීනය පැරිස් සමාජය සමග එක්ව එකී සාකච්ඡාවලට පැමිණීමට කැමැති නැත.
චීනය නිතර ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ ණය ගැන වෙනම සාකච්ඡා කළ යුතු බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය තිබෙන නිසා චීනය සමග කරන සාකච්ඡාවල දී ණය කපා හැරීම් ණය ගෙවන කාල සීමාව දීර්ඝ කිරීම් ආදී ක්‍රියා මාර්ග වෙත අවතීර්ණ වීමට හැකි වෙතැයි සිතිය හැකිය. ණය ඉක්මනින් ගෙවිය යුතු නොවීම යහපත් තත්ත්වයකි. මන්ද, ණය ගෙවීමට ඩොලර් අවැසි හෙයිනි. මේ පසුබිමේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ප්‍රමාද වුවහොත් එය රටට යහපත් බව මගේ අදහසයි.
මෙපරිදි යහපත් ප්‍රවණතා රාශියක් දැකිය හැකි වුව ද ආර්ථික පුනර්ජීවනයට අදාළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනෙනි. එය කල් නොමරා ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එමගින් දේශීය හා විදේශීය ආයෝජන දිරිමත් කර නිෂ්පාදන ආර්ථිකය සවිමත් කිරීමට ඉඩ ප්‍රස්ථා විවර වන බැවිනි.
එකී ප්‍රතිසංස්කරණවල අඩංගු දූෂණ විරෝධී යාන්ත්‍රණයක් පිහිටුවීම නියත වශයෙන්ම සිදු කළ යුතුය. එවිට සංවර්ධන ක්‍රියාවලිය වේගවත් වනු ඇත. දෙවැන්න නම්, යෝජිත නව මහ බැංකු පනත මගින් ඇති කරන ප්‍රතිපාදනයි. එමගින් පිහිටුවීමට යෝජනා කරන පූර්ණ ස්වාධීන මහ බැංකුව යන අදහසට මම එකඟ නොවෙමි.
එහෙත් මූල්‍ය හා පිස්කල් ප්‍රතිපත්ති අතර පවත්නා සබඳතාවලට නීති මගින් සීමා පැනවිය යුතුය යන ප්‍රතිපාදනය මගින් මහ බැංකුවේ ස්වාධීනතාව තහවුරු වේ. ආණ්ඩුවේ ණය ගැනීම සඳහා සීමා පැනවීම අවශ්‍යය. ස්ථායීකරණයට අදාළව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වෙමින් තිබුණ ද ස්ථායීකරණය ඇති කළ පමණින් රටේ ආර්ථිකය නිවැරැදි වන්නේ නැත.
පසුගිය වසරේද දී ආර්ථික වර්ධනය සෘණ 7.8 කි. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පුරෝකථනවලට අනුව, 2023 වසරේ පළමු කාර්තුවේ දී ආර්ථිකය සෘණ සියයට 3.2 කින් හැකිළෙනු ඇත. කාර්මික කෘෂිකාර්මික සහ සේවා අංශවල නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීම අවශ්‍ය වන අතර ඒ අරබයා දේශීය හා විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගත යුතුය. දැනට එම ක්‍රියාකාරීත්වය ප්‍රමාද වුව ද මේ වසර ඇතුළත අපේක්ෂිත ඉලක්ක කරා ළඟා විය හැකි බව මගේ විශ්වාසයයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද මේ වන විට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. මෙහිදී දේශීය ණය යන්නෙන් අදහස් වන්නේ ආණ්ඩුවේ දේශීය ණයයි. එයට පුරවැසියන්ගේ ණය අදාළ නොවේ. මෙය බොහෝ අය වැරැදියට වටහා ගෙන ඇති බවක් දැකිය හැකිය.
ආණ්ඩුව දේශීය මූලාශ්‍රවලින් ණය ගන්නා අතර එසේ ගන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අලෙවි කිරීමෙනි. එපරිදි ආණ්ඩුව ණය ගන්නා දේශීය මූලාශ්‍ර අතර සේවක අර්ථ සාධක අරමුදල (EPF), සේවක නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල (ETF) සහ බැංකු පද්ධතිය ප්‍රධානය. පුරවැසියන්ට බලපෑමක් ඇති නොවන පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ හැකි ආකාර තිබේ. එසේ කළ රටවල් ද ඇත.
රජය බැංකුවලින් ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී එම බැංකුවල ශේෂ පත්‍ර විශ්ලේෂණය කර ඒවායෙන් ණය ගෙන තිබෙන සහ ඉතුරුම් කර ඇති පුරවැසියන්ට බලපෑමක් ඇති නොවන පරිදි කළ හැකි ක්‍රමවේදයක් සොයා ගැනීමට සිදු වේ. මේ අනුව, කිව හැක්කේ ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යන්න භයංකර දෙයක් නොවන බවය. තක්සේරු කළමනාකරණ ආයතන හරහා එය කළ හැකිය.
බැංකු පද්ධතියේ තිබෙන නරක ණය/ක්‍රියාත්මක නොවන ණය (non-performing loans) කළමනාකරණය පිණිස වත්කම් කළමනාකරණ ආයතනයක් පිහිටුවීමට පසුගිය අයවැයෙන් යෝජනා කෙරිණි. එය යහපත් පියවරකි. ඒ ඔස්සේ බැංකුවල නරක ණය කළමනාකරණයේ වගකීම එකී ආයතනයට පවරා සාමාන්‍ය කටයුතු කරගෙන යෑමට බැංකුවලට පිළිවන.
පුනරාවර්ථන වියදම්වලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ආණ්ඩුවේ ණය පොලී ගෙවීමට වන අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් එම මුදල් යම් ප්‍රමාණයකට අඩු කර ගැනීමට පිළිවන. එමගින් අයවැය හිඟය ඔස්සේ උද්ගත වන අහිතකර ප්‍රතිවිපාක ද අවම කළ හැකිය.
එබැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවශ්‍ය වේ. බදු සංශෝධනය කර ජනතාව පීඩනය පත් කරනවා වෙනුවට අප මෙවැනි ක්‍රියාමාර්ගවලට පූර්වයෙන් අවතීර්ණ විය යුතුව තිබිණි.තවදුරටත් ණය ගනිමින් අපට මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකිය.
ණය වෙනුවට විදේශ ආයෝජන ආදේශ කිරීමට අවැසි ප්‍රතිසංස්කරණ වහාම කළ යුතුය. ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අනුමැතිය හිමි වීමත් සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් තවත් ඩොලර් බිලියන 7 ක පමණ ණය ගැනීමය. අප එම ණය ද ගෙවිය යුතුය. එබැවින් ආණ්ඩුව කළ යුත්තේ ණය ගෙන සහන දීමේ ප්‍රවේශයෙන් මිදී ආර්ථිකය පණ ගැන්වීමය. එවිට ආර්ථිකයේ නව රැකියා සහ ආදායම් මාර්ග විවර වී තවදුරටත් සහන ලබාදීම අවශ්‍ය නොවනු ඇත.
ආණ්ඩුව එහි ඉහළ අවධානය යොමු කළ යුත්තේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහිය. සංචාරක කර්මාන්තය හා විදේශ ප්‍රේෂණ දියුණු කර ගැනීමට අදාළ නව මානයන් කෙරෙහි ද ආණ්ඩුව අවධානය යොමු කළ යුතුය. මේ දේවල් නොකර ණය ගැනීමෙන් පමණක් ආර්ථිකය පවත්වා ගෙන යෑමේ ප්‍රවේශය ආණ්ඩුව අත්නොහැරිය හොත් උද්ගත වූ අර්බුදයට වඩා තියුණු ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට පිළිවන.
අපනයන අභිමුඛ නව කර්මාන්ත ඇති කිරීම ඉතා වැදගත්ය. ඒ සඳහා ද විදේශ ආයෝජන අවශ්‍ය වේ. එහිදී අපට කෘෂි නිෂ්පාදන සැකසුම් කර අපනයනය කිරීමට යොමු විය හැකිය. මෙරට නිෂ්පාදනය වන එළවළුවලින් විශාල ප්‍රමාණයක් දෛනිකව විනාශ වන බව අපි දනිමු. එසේ ඉවත දමන එළවළු විදේශ ආයෝජන ඔස්සේ පිටරටවලට අපනයනය කිරීමට පිළිවන.
අප සතුව රබර් පැවතියද එය අමුද්‍රව්‍යයක් ලෙස අපනයනය කරනවා හැරෙන්නට එයින් නිෂ්පාදන සිදු කර ඒවා අපනයනය කිරීමක් වන්නේ නැත. මේ නිසා අපගේ අපනයන ප්‍රවර්ධනය කිරීම පිණිස නව කාර්මීකරණ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. ඒ අරබයා ආයෝජන මණ්ඩලයට ප්‍රමුඛ කාර්ය කොටසක් පැවරේ. විදේශ ආයෝජන රටට ගෙන්වීම පිණිස එම ආයතනය යුහුසුළුව ක්‍රියාකාරී විය යුතුය.
ලොව ඇතැම් රටවල් ඒවායෙහි ආර්ථික සංවර්ධනයට අවශ්‍ය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ දී වෙන රටවල වෙසෙන එම රටවල ඩයස්පෝරාවන් (විවිධ රටවල විසිර සිටින ප්‍රජාවන්) හි සහයෝගය ලබා ගන්නා ප්‍රවණතාවක් නූතනයේ දී දැකිය හැකිය. ඒ සම්බන්ධව දැක්විය හැකි මනා නිදසුනක් නම් රුවන්ඩාවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය දයාරත්න බණ්ඩා
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ