ආර්ථිකයට දිගුකාලීන සැලැස්මක්


අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය මුදල් වැඩසටහන යටතේ මෙවර ණය මුදලේ තුන් වැනි වාරිකයට අනුමැතිය ලැබෙනු ඇති නමුත් ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම වන ආණ්ඩුකරණයට අදාළ නවීකරණයන් සම්බන්ධයෙන් මේ දිනවල ඇති ගැටලු‍ පිළිබඳව දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ.

2023 දෙසැම්බර් මාසයේ අලු‍ත් කරන ලද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන යටතේ 2024 මැයි මස වන විට ඉටු කළ යුතුව තිබූ කැපකිරීම්වලින් සියයට 25 ක් සහතික ලෙස ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව වෙරිටේ රිසර්ච් වාර්තාවේ පෙන්වා දෙයි. එසේ ඉටු කළ යුතුව තිබූ කැප කිරීම් 63 න් අයි.එම්.එෆ්. මීටරයට අනුව 32 ක් ඉටු කර ඇති බවත් 16 ක් ඉටුකර නැති බවත් 15 ක් නොදන්නා බවත් එම වාර්තාවේ තවදුරටත් දැක්වේ. නොදන්නා යන්නෙහි අර්ථය අදාළ කැපවීමේ ප්‍රගතිය තහවුරු කිරීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු නොමැති බවයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මෙසේ ණය ලබා දුන්නේ 17 වැනි වතාවටය. 17 වතාවක්ම ලංකාවට මෙසේ ණය ලබා ගැනීමට සිදු වූයේ කුමන හේතු කාරණා මතදැයි විමසිය යුත්තකි. එසේ ණය ලබා ගන්නට සිදුවන්නේ ආර්ථික වශයෙන් තවමත් අපට දිගුකාලීන සැලැස්මක් නොමැති වීම නිසාය. එය අවාසනාවන්ත තත්වයකි. එම නිසා අප අවධානය යොමුකළ යුතු කාරණය වන්නේ එබදු තත්වයක් තුළ ඉදිරියේ දී  18 වැනි වතාවටත් මේ ණය මුදල මත යැපෙනවාද ? නැත්නම් ණය ලබාගන්නවා වෙනුවට නිසි ආර්ථික වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නවාද? යන ප්‍රශ්නයයි. ලෝකයේ සෑම රටක්ම පාහේ නිසි ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමේ දී ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කොට ඇති බව පෙනේ. අපනයනය, සංචාරක කර්මාන්තය ඒ අතර ප්‍රධාන වේ. එහෙත් අපේ රටේ මේ අංශවල තවමත් ඇත්තේ සාම්ප්‍රදායික ගමනකි.

බොහෝ රටවල් පසුගිය දශක දෙක තුළම නිර්මාණශීලී ආර්ථිකයක් සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු කොට ඇත. එහෙත් අපි තවමත් සාම්ප්‍රදායික ආර්ථිකයක් මත පදනම්ව සිටිමු. සංචාරක කර්මාන්තයේ යළි කිසියම් පිබිදීමක් දක්නට ලැබුණත් නිර්මාණශීලී ආර්ථික ක්‍රමවේද ඒ වෙනුවෙන් විධිමත්ව යොදාගන්නා බවක් නොපෙනේ. ණය ලබා ගැනීම සඳහා නිතර යොමුවීමට සිදුවන්නේ මේ නිර්මාණශීලී ආර්ථිකය ශක්තිමත් නොවන නිසාය. කාලයක් තිස්සේ පියවරින් පියවර ණය මතම යැපීම හේතුවෙන් දැන් ඒ හැර වෙනත් විකල්ප නැති තැනට පසුබිම සකස්වී තිබේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට 17 වැනි ණය මුදල ලබාදීමේ දී ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි ඔවුහු අවධානය යොමු කළෝය. ඉන් එකක් නම් කාර්යක්ෂමතාවයි. දෙවැන්න වංචා සහ දූෂණයි. ලංකාව සම්බන්ධයෙන් කතා කරන බොහෝ රටවල් වැඩි වශයෙන්  අවධානය යොමු කරන කාරණා දෙක බවට කාර්යක්ෂමතාවත්, වංචා දූෂණත් ඉදිරියට පැමිණ තිබේ. 2023 දෙසැම්බර් මාසයේ අලු‍ත් කරන ලද අයි.එම්.එෆ්. මීටරය දෙස යළි අවධානය යොමු කළහොත් වංචා දූෂණ සම්බන්ධ කාරණය යළි තහවුරු වී තිබේ.

ඉටුකළ යුතුව තිබූ කැපවීම් හැට තුනෙන් 16 ක් ඉටු නොකළ කැපකිරීම් ලෙස පෙන්වා ඇත. එම ඉටු නොකළ කැප කිරීම් 16 සැකසී ඇත්තේ 7 ක් මූල්‍ය කළමනාකරණයටත්, 6 ක් මූල්‍ය විනිවිදභාවයටත් ,3 ක් දූෂණ මර්දන ක්‍රියාමාර්ගවලටත් වශයෙනි.

මේ අනුව පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික අර්බුදයට මූලිකම හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ විනිවිදභාවයේත්, කළමනාකරණයේත්  දූෂණ මර්දන කටයුතුවලත් ඇති දුබලතාය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනෙන් එම දුබලතාවලට පිළියම් යෝජනා කර ඇතත් එම යෝජනාවලට නිසි ලෙස පිළිතුරු දීමට සමත් වී නැති බව මෙයින්  පැහැදිලි වේ. 

අයි.එම්.එෆ්. මීටරය සලකා බැලීමේ දී ඇති යහපත් ප්‍රවණතාව නම් 63 න් 32 ක් ඉටුකළ කොටසට අයත් වීමය. එසේ වුවත් අසාර්ථක වීමට ප්‍රධාන හේතු ලෙස ගැනෙන අකාර්යක්ෂමතාව හා දූෂණ වංචා පිළිබඳ තවදුරටත් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ඉතා මෑත කාලීන සරල උදාහරණයක් ලෙස දුම්රිය සේවය ගනිමු. දුම්රිය සේවයේ වර්ජනයක් පසුගියදා ක්‍රියාත්මක විය. එහෙත් එය සිදු වූයේ රටේ අයහපත් කාලගුණයක් යටතේ සාමාන්‍ය ජනයා දැඩි අපහසුතාවලට මුහුණ පා සිටියදීය. ලෝකයේ සෑම රටකම පාහේ වැඩවර්ජනයකට යෑමේ දී සලකා බලන කාරණා බොහොමයක් වෙයි. එහි මානූෂීය පැති ගණනාවක් තිබේ. ලංකාවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ කතා කිරීමේ දී රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට බැරිය. මිලියන 1.4 කට වඩා මේ රටේ රාජ්‍ය සේවකයෝ සිටිති. එහෙත් රාජ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය වන්නේ ලක්ෂ හතරක් පමණි. ඒ ගැන මෙතෙක් අවධානයක් යොමු වී ඇති බවක් නොපෙනේ. ඒ අනුව එහි තිබෙන්නේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට රාජ්‍ය සේවය යොදාගන්නා ප්‍රධාන අරමුණ නොවේ.

මෙවැනි අංශ දෙස අප බැලිය යුත්තේ අයි.එම්.එෆ්. අරමුණු ඉටුකර ගැනීමට පමණක් නොවේ. මෙතැන ඇත්තේ රටේ ජනතාවගේ ආකල්ප පිළිබඳ අවුලකි. එබඳු ආකල්පමය වෙනසක් ඇති නොවී, රට පිළිබඳ ආදරයක් හැඟීමක් ඇති නොවී අයි.එම්.එෆ්. අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කළත් එය දිගු කාලීන වශයෙන් පල රහිත වන්නකි. අනෙක් කාරණය මේ රටේ අධ්‍යාපනයේ ඇති විය යුතු බරපතළ වෙනසයි. වසර ගණනාවක් තිස්සේ අප මේ කතා කරන කාර්යක්ෂමතාව පිළිබඳව හෝ වංචා දූෂණ පිළිබඳව හෝ අධ්‍යාපනයේ කතා කරනවානම් කතා කරන්නේ විෂය නිර්දේශ ආවරණය කෙරෙන නිර්නායක පමණි. අධ්‍යාපනයෙන් අරමුණු කරන්නේ මෙරට ශිෂ්‍ය ප්‍රජාව ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සමත් කරවීම මිස පුද්ගලයා සංවර්ධනය කිරීම නොවේ. ආකල්ප සංවර්ධනය කිරීම නොවේ. එබඳු සංවර්ධනයක් නොමැතිව රටට ආදරය කරන පිරිසක් බිහිවන්නේ කෙසේද? රටට ආදරය කරන පිරිසක් නොමැතිව රටේ සංවර්ධනය අපේක්ෂා කරන්නේ කෙසේද? භෞතික ජීව දත්ත දර්ශකය තුළ ආර්ථික සංවර්ධනයත් සමග දල දේශීය නිෂ්පාදිතය, පුද්ගල ආයු අපේක්ෂාව, ආදිය ගැන ද අවධානය යොමු කෙරේ.

පුද්ගල සංවර්ධනය යනු සංවර්ධනයේ ප්‍රධාන ඉලක්කයකි. පුද්ගල සංවර්ධනය සමාජ සංස්කෘතියේ ද සංවර්ධනයකි. බොහෝ රටවල් තම සංවර්ධන ඉලක්කවල දී මේ ගැන අවධාන ය යොමු කරන බව පෙනේ. එහෙත් අවාසනාවකට අපේ රටේ පුද්ගල සංවර්ධනය සඳහා ලබා දෙන තැන ගැන සතුටු විය නොහැකිය. එස් 5 වැනි සංකල්ප ජපානය භාවිත කළේ ඔවුන්ගේ සංස්කෘතික කාරණා ලෙසය. එහෙත් එම සංකල්ප ලංකාවේ වැඩමුළුවලට පමණක් සීමා විය. රටකට ජාතියකට අනන්‍යතාවක් නොමැති වූ විට එහි ජනතාවගෙන් සිස්ටම් චේන්ජ් අපේක්ෂා කිරීම විහිළුවකි. සංවර්ධනය අප සාකච්ජා කරන්නේම මූල්‍ය ආර්ථිකය පෙරමුණෙහි තබා ගෙනය. සංස්කෘතියට නොසලකන, මවු බසට නොසලකන සිංහලත් ඉංග්‍රීසිත් දෙකම හරිහැටි නොදත් පරම්පරාවක් බිහිකිරීමෙන් රටට ආදරය කරන පිරිසක් අපේක්ෂා කළ හැකිද?. රටට ආදරය කරන පිරිසක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අපට අවශ්‍ය වන්නේ එබැවිනි. ආර්ථික ඉලක්ක සපුරාගත හැකි දිගුකාලීන වැඩපිළිවෙළට ශක්තිමත් පදනම වන්නේ එයයි.

අයි.එම්.එෆ්. අරමුණු ඉටු නොවීම ගැන පමණක් සිල්ලර මට්ටමින් කතා කිරීම තාවකාලික ප්‍රයත්නයකි. පවත්නා පසු බිම තුළ  මේ ණය මුදලට පසු කලෙක ගන්නා තවත් ණය මුදලක් වෙනුවෙන් තවත් ඉදිරි  වසර කීපයක දී අපට කතාකරන්න වන්නේත් මේ ටිකමය. අපට දැන් අවශ්‍ය වන්නේ එසේ නොවීමට අවශ්‍ය පරිසරය සකසන දිගුකාලීන වැඩපිළිවෙළ හඳුනා ගැනීමය. මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇතිවිය යුත්තේ එබැවිනි.

(*** සටහන – ගාමිණී කන්දේපොළ)