ආර්ථිකයට ලෝක බැංකු පණිවිඩය


ශ්‍රී ලංකාව සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ලෝක බැංකුව විසින් මේ මස 10 වැනිදා ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකා සංවර්ධනයේ නව තත්වය 2024 අනාගතය දක්වා විවෘත කිරීම එම වාර්තාවයි. (Sri Lanka Development Update 2024. Opening up to the future) ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්වය සහ අනාගත ප්‍රවනතා සහ අභියෝග පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා එම වාර්තාව බෙහෙවින් ආධාර වනු ඇතැයි සිතමි.

විශේෂයෙන්ම දේශපාලන පෙරළියක් සිදුව ඇති අවස්ථාවක ආර්ථිකය ගමන් කළ යුත්තේ කවර ආකාරයකට ද යන්න නිගමනය කිරීම සඳහා එමගින් ඉදිරිපත් කර ඇති තොරතුරු සහ විශ්ලේෂණ දේශපාලකයන්ට මෙන්ම ආර්ථික විද්‍යාඥයන්ට ද කිසියම් මග පෙන්වීමක් ලබාදෙනු ඇත.

එම වාර්තාව ප්‍රධාන අරමුණු දෙකක් මත සකස් කර ඇති බව එහි මුලින්ම සඳහන් වේ. පළමු අරමුණ වන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ගෙවී ගිය මාස 12ක කාලය තුළ සිදුව ඇති සංවර්ධනය විමසීමට ලක් කිරීමත්, ඒවා දිගු කාලීන සහ ජාත්‍යන්තර මට්ටමේදී මුහුණදෙන තත්වය සාකච්ඡා කිරීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි වෙනස්කම් යාවත්කාලීන කිරීමත්ය. දෙවැනි අරමුණ වන්නේ තෝරාගත් ආර්ථික සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ගැඹුරු විමර්ශනයක් කිරීමත්, එම තොරතුරු අදාළ වන සියලු‍ දෙනාම දැනුවත් වන ආකාරයෙන් ප්‍රකාශයට පත්කිරීමත්ය. එම අරමුණු අනුව යමින් එය මෑත කාලයේ ආර්ථිකයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව විග්‍රහයක් ඉදිරිපත් කර තිබේ. මේ වසරේ පළමු වැනි කාර්තුවේදී සියයට 5ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර ඊට හේතුවී තිබෙන්නේ කාර්මික අංශයේ වර්ධනයත්, සංචාරක ක්ෂේත්‍රයට අදාළව සිදුව ඇති ඉහළ මට්ටමේ ප්‍රගතියත්ය.

ඒ අතර ශ්‍රී ලංකාවේ උද්ධමනය 2024 අගෝස්තු මාසය වනවිට සියයට 0.5ක් වැනි අවම මට්ටමකට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ භාණ්ඩ හා සේවා පාලන මිල, රුපියලේ වටිනාකම ඉහළ යෑම සහ ආර්ථිකයේ සැපයුම ඉහළ යෑමය. මෙම කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම සියයට 66.1කින් ඉහළ යාම, විදේශ ප්‍රේෂණ සියයට 11කින් ඉහළ යාම වැනි හේතු නිසා ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇතිකර ගැනීමට හැකි වී තිබේ. ඒ හේතුවෙන් රටේ නිල විදේශ සංචිත 2024 අගෝස්තු වනවිට ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරම බැංකු පද්ධතිය සතු විදේශ වත්කම් වසර 04කට පසු 2024 මැයි මාසයේදී ධන මට්ටමකට පත්විය. 2024 අගෝස්තු වනවිට රුපියලේ අගය සියයට 7.3කින් ඉහළ ගියේය. 2023 වසරේදී ඇතිකර ගන්නා ලද ප්‍රාථමික අතිරික්තය 2024 පළමු වැනි හය මාසය තුළ තවදුරටත් ශක්තිමත් විය. ඊට හේතුව වැට් බදු අනුපාතය ඉහළ දැමීමත්, වැට් බදු සහන ඉවත් කිරීමත්ය. එම කාලය තුළ බදු ආදායම සියයට 42.6කින් ඉහළ ගිය අතර රජයේ වියදම් දැඩි ලෙස පාලනය කර තිබුණි.

ලෝක බැංකුවේ මෙම වාර්තාව විශේෂයෙන් අවධාරණය කර ඇති කරුණක් වන්නේ ගතවූ කාලය තුළදී ආර්ථිකය ස්ථාවර කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයයි. ශ්‍රී ලංකාව 2022 වර්ෂයේදී බංකොලොත්භාවයට පත්වූ බවත් එයට හේතු වූයේ අයහපත් සාර්ව ආර්ථික කළමනාකරණය හේතුවෙන් ණය අස්ථාවර තත්වයක් ගොඩනැගීම, සංචිත අඩුවීම, දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතා සහ බාහිර කම්පන යන කාරණා නිරීක්ෂණය වී ඇත. එසේ වුවද 2022 වසරේ දී ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් නැවත වරක් සාර්ව ආර්ථික ස්ථාවරත්වයත් ගොඩනැගීමට හැකිවී තිබේ. එම ප්‍රතිසංස්කරණ අතර උපයෝගීතා (ජලය, විදුලිය වැනි) අංශවල පිරිවැය පිළිබිඹු කරන මිල නියම කිරීම්, අලු‍ත් ආදායම් මාර්ග, ඵලදායී මූල්‍ය ප්‍රතිපත්ති, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආදිය වේ. 2022 වර්ෂයේදී ආර්ථිකය සියයට 7.3කින් පහළ වැටුණද, 2023 වර්ෂයේ අවසන් කාර්තුවේදී ආර්ථිකය වර්ධනය විය. 2022 සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 69.8 දක්වා ඉහළ ගියද දැන් ඒකාංකික මට්ටමකට ගෙනවිත් තිබේ.

මෙම වාර්තාව විශේෂයෙන්ම පෙන්වා දී ඇත්තේ විදේශ විනිමය හිඟය නිසා ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත් වුවද 2022 වර්ෂයෙන් පසු විදේශ විනිමය සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් අත්කරගෙන ඇති ආකාරයයි. ආර්ථික අර්බුදයෙන් පසු 2022 වර්ෂයේදී රුපියල සියයට 81.2කින් අව ප්‍රමාණය විය. එය කැපී පෙනෙන සහ වාර්තාගත අවප්‍රමාණයක් විය. එහෙත් 2023 වසරේදී රුපියල සියයට 10.8 කින් ප්‍රතිප්‍රමාණය විය. 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 500ක් විය. එහෙත් ඉහතින් සඳහන් කළ පරිදි සංචාරක ආදායම වැඩිවීම, විදේශ ප්‍රේෂණ වැඩිවීම සහ සංවර්ධන පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර හේතුවෙන් වි‌දේශ සංචිත විශාල ලෙස වැඩිවී තිබේ.

මේ සියල්ල තුළ ලෝක බැංකුව එම වාර්තාව මගින් මීට පෙර එය විසින් ශ්‍රී ලංකාව සඳහා ලබාදී තිබු ආර්ථික වර්ධන පුරෝකථන වෙනස් කර තිබේ. ලෝක බැංකුව මීට පෙර පුරෝකථනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී සියයට 2.2කින් ඉහළ යනු ඇති බවය. එහෙත් එම තත්වය වෙනස් වී ආර්ථික වර්ධන මට්ටම දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් දක්වා තිබු පුරෝකථන පිළිබඳ මෙම තීරුව මගින් 2024 අගෝස්තු 07 දින මම පැහැදිලි කර පෙන්වා දුනිමි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එම පුරෝකථනය ලෝක බැංකුව ද පිළිගෙන තිබේ. ඒ අනුව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේදී සියයට 4.4කින් වර්ධනය වන බව එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ. 2022 වසරෙන් පසු ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ මූල්‍ය ප්‍රතිපත්ති රාජ්‍ය ආදායම් සහ වියදම් ප්‍රතිපත්ති, බදු වැඩි කිරීම් සහ වියදම් පාලනය යනාදී සාර්ව ආර්ථික කළමනාකරණය හේතුවෙන් ඉතා කෙටි කාලයක් තුළදී විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීමට හැකිවී තිබෙන බවට ලෝක බැංකුව දුන් සහතිකයක් ලෙස මෙම වාර්තාව සැලකිය හැකිය.

කෙසේ වුවද ආර්ථිකයේ සියලු‍ කටයුතු යහපත් අතට හැරී ඇති බවක් හෝ ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇති බවක් ඉන් අදහස් නොවන බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පසුගිය කාලය තුළදී සියයට 25ක මට්ටමකට වඩා ඉහළ ගිය බව ප්‍රකාශ වී තිබුණි. මෙහිදී දරිද්‍රතාව ලෙස සැලකෙන්නේ දිනකට ඩොලර් 3.65කට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාවයි. ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ ක්‍රමානුකූලව දරිද්‍රතාව අඩුවිය හැකි නමුදු 2026 දක්වාම එය සියයට 20 ට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බවය.

එම වාර්තාව ප්‍රකාශ කරන්නේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරීත්වය ඉතා හොඳ තත්වයක පැවතුණද මූල්‍ය, ආදායම් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගෙන යෑම ඉතා වැදගත් බවයි. ඒ තුළ ආර්ථික ස්ථාවරත්වය ළඟාකර ගැනීමට හැකිවනු ඇත.

උද්ගතව තිබෙන දේශපාලන වෙනස්කම් මත ආර්ථික ප්‍රතිපත්තිවල කෙබඳු වෙනසක් ඇතිවේද යන්න පිළිබඳව බොහෝ දෙනකු විමසිල්ලෙන් සිටින බව පෙනේ. බලයට ඒමට පෙර දේශපාලන වේදිකාවලදී දුන් පොරොන්දු අනුව ක්ෂණිකව සමහර ආර්ථික පිළිවෙත් පිළිබඳව වෙනස්කම් ඇතිවනු දැකීමට පුල පුලා බලා සිටින පිරිසක් ද සිටින බව පෙනේ. එසේ වුවද ලෝක බැංකු වාර්තාව අඟවා ඇත්තේ බලාපොරොත්තු වන හෝ පොරොන්දු වී සිටින ආකාරයේ වෙනස්කම් ඇති කිරීමට හැකියාවක් රටට නැති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා මගින් රට අර්බුදයෙන් ගොඩඒම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති සහ උපාය මාර්ග නිශ්චය වී තිබේ. උදාහරණයක් ලෙස රාජ්‍ය ව්‍යවසාය මගින් පිරිවැයට අනුකූලව මිල නියම කිරීම, ඒවා ලාබ ලබන තත්වයට පත් කිරීම සහ පෞද්ගලීකරණය කිරීම පිළිබඳව ද එකඟතා ඇති කරගෙන තිබේ. එබැවින් තවදුරටත් විදුලිය, ඉන්ධන හෝ ජල බිල්පත් අඩු කිරීමට හැකිවේ යැයි සිතිය නොහැකිය. ලාබ නොලබන රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කිරීමට බදු ආදායම් යෙදවීමට ද හැකි නොවනු ඇත. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයට අලෙවි කිරීමේ ක්‍රියාදාමයෙන් වැළකීමට ද නොහැකිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා වෙනස් කළ නොහැකි බවට මැතිවරණ අවස්ථාවේදී කර තිබෙන ප්‍රකාශ සෑහෙන දුරකට සත්‍ය බව පිළිගැනීමට සිදුවේ. මෙම ලෝක බැංකු වාර්තාව කියවනවිට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව මේ දක්වා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් හොඳ ප්‍රතිඵල ලැබී තිබුණද සම්පූර්ණ ක්‍රියාදාමයම සාර්ථක වී රට ගොඩගැනීමට නම් ඉදිරියටත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදුවන බවය. උදාහරණයක් ලෙස ආර්ථිකය වර්ධනය වී රටේ සමස්ත ඉල්ලු‍ම වැඩි වනවිට උද්ධමනය පිළිබඳ ඉලක්ක සම්පුර්ණ කර ගැනීම පිළිබඳව ගැටලු‍ ඇති වේ. එවිට තද මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යාමට සිදුවේ.

අද සිදුවන දේශපාලන වෙනස්කම් හමුවේ ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි පණිවිඩයක් ද ලෝක බැංකු වාර්තාවේ   අන්තර්ගත කර තිබෙන බව පෙනේ. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැවැති රජය අනුගමනය කළ ප්‍රතිපත්ති සාධනීය ලෙස සාර්ථක වී තිබේ. ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන ඇති, ප්‍රමාණවත් විදේශ සංචිත ප්‍රමාණයක් ගොඩනගාගෙන ඇති, ගෙවුම් ශේෂයේ අතිරික්තයක් ඇති, අයවැයෙහි ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති, රටේ බදු ආදායම ඉහළ නංවා ඇති, උද්ධමනය අඩුකර ඇති ආර්ථිකයක් පැවති රජය විසින් නව රජයට භාරදී තිබේ. එම තත්වය වැඩි දියුණු කර ගැනීම නව රජයේ වගකීමයි.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා
අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර