ආර්ථිකයේ අහේනියට උත්තරයක්


රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා දැනට සියයට 8 ක් වන වැට් බද්ද සියයට 12 දක්වාත් විදුලි සංදේශ බද්ද සියයට 11.25 සිට 15% දක්වාත් වැඩි කිරීමට යෝජිත ය. පුද්ගල ආදායම් බදු අය කරන සීමාව රුපියල් මිලියන තුනේ සිට මිලියන 1.8 දක්වා අඩු කිරීමටත් නියමිතය. තවත් බදු සංශෝධන කීපයක් කිරීමට ද නියමිතය. මේ ඒ පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

 මෙම විග්‍රහය කරන්නේ මුදල් අමාත්‍යාංශයේ සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ සේම ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ආර්ථික පර් යේෂණ විශ්ලේෂකයකු (Research Analyst) වන උමේෂ් මොරමුදලි ය. ඒ මහතා දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකි. ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් දිනාගත් උමේෂ් විද්‍යාපති (M.S.C) උපාධිය දිනාගෙන තිබෙන්නේ එක්සත් රාජධානියේ වෝටික් විශ්වවිද්‍යාලයෙනි. මේ ඒ කථිකාචාර්යවරයාගේ හඬයි.

යෝජිත බදු සංශෝධන අත්‍යවශ්‍යය ය. මේවා කළයුතුව තිබුණේ මීට කලිනි. ඊට ප්‍රධාන හේතුව ලංකා ආර්ථිකයේ පවතින ගැටලු ය. ලංකාවේ බදු ආදායම ඉතා අඩු මට්ටමක පැවැතීම ඉන් එක් ගැටලුවකි. අනෙක් ගැටලුව වන්නේ ලංකාවේ අපනයන ආදායම ඉතා අඩු මට්ටමක පැවැතීම ය. මේ නිසා ලංකාවේ අයවැයෙහි පවතින්නේ හිඟයකි. ඒ අය වැය හිඟය නිදහස ලැබූ 1948 සිටම පවතියි. එදා සිටම අපට අපේ ප්‍රාථමික වියදම් හෙවත් එදිනෙදා වියදම්වත් බදු ආදායමෙන් උපයා ගැනීමට හැකි වී නැත. ආදායමට වඩා වියදම වැඩිවීම නිසා ණය ගැනීමට සිදුවිය. ඒ ණය ගෙවිය යුත්තේ පොලිය සමගය. එවිට රජයේ වියදම තවත් වැඩිවෙයි. එසේ වූ කල අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි සේවාවලට කරන වියදම් වැඩි කිරීමට නොහැකි වෙයි. ඉහළ බදු ආදායමක් තිබුණේ නම් ඒ ප්‍රශ්න කිසිවක් ඇති නොවෙයි.

ඒ ප්‍රශ්න නිසා ලංකාව සිටින්නේ විශාල ණය අර්බුදයකය. ණය ගෙවීමට ද ණය ගනියි. රජයේ වියදම් පියවා ගැනීමට මහ බැංකුවෙන්ද මුදල් ලබා ගනියි. සියල්ල එසේ වන්නේ රජයේ බදු ආදායම ප්‍රමාණවත් නොවන නිසාය. රජයේ බදු ආදායම අඩුවීම රටේ ආර්ථිකයේ තුවාලයකි. දසක 7 ක් තිස්සේ පැවැති ඒ තුවාලය දැන් රටේ සමස්ත ආර්ථික දේහය පුරා පැතිරුණු පිළිකාවකි. ඒ නිසා යම් සහනයක් ලබා ගැනීමට බදු ආදායම වැඩි කිරීමටම සිදුවෙයි. එසේ වන්නේ රටේ බදු ආදායම ඉතා පහළ අගයක පැවැතීම නිසාය. ඒ කාරණය මැනවින් තේරුම් ගැනීමට අපි සංඛ්‍යා දත්ත කීපයක් දෙසට හැරෙමු.

1990 දී ලංකාවේ බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20.4 කි. 1990 න් පසුව එය දිගින් දිගටම අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 වෙද්දී ලංකාවේ බදු ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 10.1 කි. 2020 දී එය සියයට 8.1 ක් ද 2021 දී සියයට 7.7 ක් ද දක්වා පල්ලම් බසියි.

 රජයේ බදු ආදායම එලෙස අඩු වූයේ වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය මත ය. රජයේ බදු ආදායම ක්‍රමයෙන් පල්ලම් බසින නිසා 2017 දී බදු සංශෝධන රැසක් සිදුවිය. ඒ සංශෝධන රෝගියාගේ දිවිපැවැත්මට සේලයින් දීමක් විය. එහෙත් වර්තමාන රජය බලයට පැමිණි වහාම ඒ සේලයින් බෝතලය ගලවා දමා ලංකා ආර්ථික දේහයට එන්නත් කළේ වස විෂය.

ඒ බදු අනුපාත අඩු කිරීම සහ ඇතැම් බදු අහෝසි කිරීම මගිනි. එසේ නම් ආර්ථික දේහය යළි සුවපත් කිරීමට බදු අනුපාත වැඩිකර රජයේ බදු ආදායම ඉහළ නංවා ගත යුතුමය.

වර්තමාන රජය 2019 දී ගත් තීරණ නිසා එය එසේ කිරීමට සිදුවී තිබේ. 2019 දී ඇතැම් බදු අනුපාත අඩු කිරීම සහ ඇතැම් බදු අහෝසි කිරීම තර්කානුකූලව සාධාරණීකරණය කළ නොහැකිය. 2019 දී වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩු කළේය. ජාතිය ගොඩනැගීමේ බද්ද (N.D.T) සම්පූර්ණයෙන්ම අහෝසි කර දැම්මේය. රජය එසේ කළේ ජනතාවගේ ඉල්ලීමක් මත නොවේ. මැතිවරණවලදී ඔවුන්ට සහාය දැක්වූ ව්‍යාපාරිකයන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඇතැම් වෘත්තිකයන්ගේ ඉල්ලීම මතය.

 රජය බදු අය කළේ ඉහළ ආදායමක් ලැබූ අයගෙනි. ඔවුන්ගෙන් බදු අය කළ යුතුය. ඔවුන් රජයට බදු ගෙවිය යුතුය. ඒ රටේ පැවැත්ම සඳහා ය. එහෙත් ඔවුනගේ ඉල්ලීම මත උපයන විට ගෙවීමේ බද්ද ද අහෝසි කළේය. එසේ අහෝසි කළේ එකතු කරගැනීම ඉතා පහසු වූ බද්දකි. ගැමි වහරට අනුව ‘බඩේ බත් තරම්’ විශ්වාස කළ හැකි අනිවාර්යයෙන්ම රජයට ලැබුණු බද්දකි.

සියයට 29 ක් වූ ආදායම් බද්ද 18% ක් කෙරිණි. සමාගම් බදු ද අඩු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 14% ක් ද අනෙක් ව්‍යාපාරවලින් 28% ක් ද මත්පැන්, සිගරට්, සූදු වැනි ව්‍යාපාරවලින් 40% ක බද්දක් ද 2019ට පෙර අය කළේය.

එහෙත් වත්මන් රජය සියයට 24ක් වූ ආදායම් බද්ද 18%ක් දක්වා ද අඩු කළේය. ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කළ අතර පහසුවෙන් අය කර ගත හැකිව තිබූ වැට් බදු සියයට 15 සිට 8% දක්වා අඩු කෙරිණි. එසේම වැට් බදු අය කරන ආදායම් සීමාව ද (Threshold) ඉහළ නැංවීය. 2019 ට පෙර වැට් බදු අය කළේ කාර්තුවකට ලක්ෂ 30ක ආදායමක් ඉපයූ ව්‍යාපාරවලිනි. එහෙත් 2019 දී ආණ්ඩුව කියා සිටියේ වැට්බදු ගෙවිය යුත්තේ කාර්තුවකට ලක්ෂ 750කට වැඩි ආදායමක් ලබන ව්‍යාපාරිකයන් බවය. ඒ නිසා එතෙක් වැට් බදු ගෙවූ අතිවිශාල පිරිසක් වැට් බද්දෙන් නිදහස් වූහ. ඒ නිසා රජයට අතිවිශාල ආදායමක් අහිමිවිය. 2019 දී කළ ඒ විවිධ බදු සංශෝධන සහ අහෝසි කිරීම් නිසා 2019ට සාපේක්ෂව 2020 දී රජයේ බදු ආදායම පමණක් රුපියල් බිලියන 500කින් පමණ අඩුවී ඇතැයි අනාවරණය වෙයි. රජයේ බදු ආදායම එසේ අඩුවීමට කොරෝනා නිසා ආර්ථිකයේ ඇතිවූ සංකෝචනය වීමද හේතුවූ බව අපට පිළිගැනීමට සිදුවෙයි. එහෙත් බදු ආදායම අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුව බදු අඩු කිරීම සහ අහෝසි කිරීම් ය.

රජයේ බදු ආදායම ආණ්ඩුව විසින්ම අඩු කරගනු ලැබීම නිසා ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමටද නොහැකි විය. එසේම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව එතෙක් සිටි ශ්‍රේණිවලින් පහළට ඇද දැම්මේය. රජයේ ආදායම අඩු කර ගැනීම නිසා ලංකාව ණය ගෙවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව ණය ශ්‍රේණිගත කිරීමේ ඒ ආයතනවල තක්සේරුව විය. ණය ගැනීම සඳහා ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට ලංකා රජයට නොහැකි වූයේ ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාව සිටි තැනින් පහළට දැමූ නිසාය.

බදු සංශෝධන අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි. ලංකාව තම බදු ආදායම වැඩි කරගත යුතුමය. බදු ආදායම වැඩි කර නොගත්තොත් අපට තව තවත් ණය ගැනීමට සිදුවෙයි. එහෙත් දැන් ලංකාව සිටින්නේ තව තවත් ණය ගත හැකි තත්ත්වයක නොවේ. දැන් අපේ පොලී අනුපාත ඉතා ඉහළය. ඒ නිසා ගෙවීමට සිදුවන පොලියද ඉතාම ඉහළ යයි. මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කරවා රජයට ණය ගැනීමෙන් රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි වී උද්ධමනය තවත් ඉහළ යයි. ඒ නිසා අතිඋද්ධමනකාරී ක්‍රියා මාර්ගවලට නොගොස් බදු ගෙවිය හැකි අයගෙන් බදු අයකර ගත යුතුය. එය කළ හැකි සරලම ක්‍රමය 2019 ට පෙර පැවැති බදු අනුපාත යළි සක්‍රීය කිරීමය. එදා අහෝසි කළ බදු යළි පැනවීමය.

උදාහරණයකට යළිත් උපයනවිට ගෙවීමේ බද්ද ක්‍රියාත්මක කළ යුතුය. එය පෙර අය කරගත් ක්‍රමයටම අය කරගත හැකිය. එය සරලය, විධිමත්ය. ඒ නිසාම ඒ බදු පහසුවෙන් හා ශීඝ්‍රයෙන් අයකරගත හැකිය. එසේම රඳවා ගැනීමේ බද්ද යළි ක්‍රියාත්මක කළ යුතුය. ආදායම් බදු වැඩි කළ යුතුය. ආදායම් බදු අය කරන්නේ ආදායම් තිබෙන පුද්ගලයන්ගෙන් මිස ආදායම් නැති අයගෙන් නොවේ. දැනට 18%ක් බද්දක් ගෙවන සමාගමකට 24%ක් ගෙවිය හැකිය. ඔවුන් බදු ගෙවන්නේ ලාබයෙන් මිස ආදායමෙන් නොවේ. උදාහරණයකට රුපියල් දාහක ලාභයකින් දැන් බදු ලෙස ගෙවන්නේ රුපියල් 180 කි. සියයට 18 බද්ද 24% කළොත් ගෙවිය යුත්තේ රුපියල් 240 කි. එවිටද ඔහු අතේ රුපියල් 760ක් ඉතිරි වෙයි.

 එය ප්‍රමාණවත් නැතැයි කිව හැකිද? බදු ගෙවිය හැකි අය බදු නොගෙවීම නිසා සහ ඔවුන් බදු ගෙවීමෙන් නිදහස් කළ නිසා රට මෙතරම් ආර්ථික අගාධයකට ඇද වැටුණු බව අප පිළිගත යුතුය. තේරුම්ගත යුතුය. වටහා ගත යුතුය. අවබෝධ කරගත යුතුය.

වැට් බදු වැඩි කිරීමේ දී ඉතා පරිස්සම් විය යුතුය. මක් නිසාද යත් එමගින් අඩු ආදායම් ලබන අයට ඉහළ බලපෑමක් විය හැකි බැවිනි. 2019 වනවිට අය කළේ 15%ක වැට් බද්දකි. 2019 දී එය 8% දක්වා  අඩු කළේය. දැන් එය යළිත් 15% ක් නොකර 12%ක් කිරීමට යෝජනා කර තිබේ. එය හොඳ තීරණයකි. වැට් බද්ද ඉහළ අගයක පැවැති හෙයින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිලද තවත් ඉහළ යයි. ඒ නිසා වැට් බදු ඉහළ අගයක නොතැබීම සාධනීය පියවරකි. එහෙත් වැට් බදු ගෙවිය යුතු ආදායම් සීමාව (Threshold) ඉතා පහළ දැමිය යුතුය. එවිට බදු ගෙවන පිරිස ඉහළ යයි. කළ යුත්තේ බදු අනුපාතය ඉහළ දමා බදු ගෙවිය යුතු පිරිස අඩුකර ගැනීම නොව බදු අනුපාතය පහළ දමා බදු ගෙවිය යුතු පිරිස වැඩි කර ගැනීමය. එමගින් රජයට වැට් බදු ලෙස ඉහළ ආදායමක් උපයා ගත හැකිය. 2019 දී වැට් බදු සංශෝධනය කිරීමට පෙර කාර්තුවකට ලක්ෂ 30ක ආදායමක් උපයන පුද්ගලයන් සහ ව්‍යාපාර වැට් බදු ගෙවිය යුතු විය. 2019 දී කළ සංශෝධනවලින් පසු වැට් බදු ගෙවිය යුතු වූයේ කාර්තුවකට රුපියල් ලක්ෂ 750ක ආදායමක් උපයන පුද්ගලයන් හා ව්‍යාපාරය.

ඒ නිසා වැට් බදු ගෙවීමෙන් නිදහස් වූ පිරිස දහස් ගණනකි. මා යෝජනා කරන්නේ ඉන් වැඩි පිරිසක් යළිත් වැට් බදු දැලට හසුකර ගත යුතු බවය. එහෙයින් අවම වශයෙන් කාර්තුවකට රුපියල් ලක්ෂ 250ක ආදායමක් ලබන පිරිසවත් වැට් බදු දැලට හසුකරගත යුතුබව මගේ යෝජනාවයි. වැට් බදු අය කරන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් ලක්ෂ 150ක් දක්වා අඩු කළ යුතු බව මගේ ස්ථාවරයයි. එසේ කළහොත් බදු දැලට හසුවන පිරිස ඉහළ ගොස් ඊට සාපේක්ෂව රජයේ බදු ආදායමද ඉහළ යයි.

බදු ඉහළ නැංවීම මගින් සිදුවන්නේ රජයේ ආදායම ඉහළයාම පමණක් නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ලබා ගැනීමටද බදු ආදායම ඉහළ නංවා ගැනීම ඉවහල් වෙයි. එසේම ණය ගෙවීමේ හැකියාව අතින් ලංකාව පහළට ඇද දැමූ ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ද මෙය සුබ ලකුණක් ලෙස දකියි. ඒ ආයතන මගින් ලංකාව පහළට දැමීමට ආරම්භක හේතුව වූයේද ලංකා ආණ්ඩුව තම බදු ආදායම අඩුකර ගැනීමය. එහෙයින් රජය තම බදු ආදායම වැඩිකර ගැනීමට පියවර ගැනීම සුබ ලකුණක් ලෙස ඒ ආයතන ද දකියි.

රටේ ආර්ථිකය ගැන කතා කරන කව්රුත් දැනගත යුතු ඉලක්කමක් තිබේ. එය නම් දෙස් විදෙස් ණය පොලිය (ණය වාරික නොවේ) ගෙවීමට පමණක් රජයේ බදු ආදායමෙන් සියයට 81ක් වැය වන බවයි. ඒ 2021 වසරේ දී ය. අනෙක් පැත්තෙන් දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ බදු ආදායම සියයට 7.7කි. ඒ ද 2021 දීය. 2021 දී එතරම් පල්ලම් බැස්සේ 1990 දී 20.4%ක් තරම් ඉහළ මට්ටමක පැවැති රාජ්‍ය බදු ආදායමයි. 2021 ඒ දත්තවලින් අනාවරණය වන්නේ රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම කොතරම් වැදගත් ද යන්නය. එසේම එය කොතරම් ඉක්මනින් කළ යුතුද යන්නය. රට සිටින්නේ ණය ගැනීමේ හැකියාවක්ද නැති නැතිකය. එසේ නම් හැකි තරම් ඉක්මනින් බදු ආදායම වැඩිකරගන්නවා හැර වෙන කුමක් කරන්නද? එය එසේ කිරීම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සහාය ලබා ගැනීමට ද ඉවහල් වෙයි. ඒ මූල්‍ය ආයතනවල සහාය ලබාගැනීමකින් තොරව අපේ විදේශ සංචිත ද ඉහළ නංවා ගත නොහැකිය. මේ කරුණු එකිනෙකට සම්බන්ධ බව විවේචකයෝ කල්පනා කළ යුත්තෝය. රජය කළ යුත්තේ නිවැරදි මාවත තෝරා ගැනීමය. අඩු ආදායම්ලාභීන්ට අසහනයක් නොවන ලෙස බදු අනුපාත ඉහළ නැංවීම කාලීන අවශ්‍යතාවයකි. එසේම එය ඉතා ඉක්මනින් කළ යුත්තකි.

(***සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත් )