ආර්ථිකයේ පසුබෑමෙන් විඳවන්නෝ


සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2023 දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ වාර්තාව දත්ත කෙරෙහි රටේ අවධානය යොමු වී තිබේ. එහි සඳහන් වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදය පවුල්වලට හෙවත් කුටුම්භවලට බලපා තිබෙන ආකාරය  පිළිබඳ දත්ත ය.

පවතින ආර්ථික අර්බුදය සාක්කුවට, කුස්සියට සහ ගෙදරට බලපා ඇති ආකාරය පිළිබඳව රටේ ජීවත් වන සියලු‍ දෙනාට මනා අවබෝධයක් තිබේ. ආදායම් අඩුවීමෙන්  පරිභෝජනය පහත වැටී තිබුණත් වියදම් ඉහළ ගොස් තිබීම සියලු‍ දෙනා නිතිපතා අත්විඳින සහ මුහුණ දෙන ප්‍රබල සහ ප්‍රමුඛ අර්බුදය යි. සල්ලි  නැතිකම නිසා දරුවන් පාසල් යැවීමට නොහැකිවීම සහ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වෛද්‍යවරුන් නියම කරන ආකාරයෙන්ම මිලදී ගැනීමට නොහැකි වීම අද රටේ කොතැනත් පවතින ඛේදවාචකයයි. ඒ ගැන ජනතාවට ඇත්තේ සුපැහැදිලි අවබෝධයකි.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන් වන්නේ අප මැනවින් දන්නා ඒ තොරතුරුම ය. දත්ත එක්  රැස්කිරීම සහ ඒ දත්ත විශ්ලේෂණය කිරීම සඳහාම නඩත්තු කරන රාජ්‍ය ආයතනය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව යි. එහෙයින් ඊට විශාල වගකීමක් පැවරෙයි. ඔවුන් කළ යුත්තේ රටේ ජනතාව නොදන්නා තොරතුරු රට හමුවේ තැබීම ය. එහෙත් ඉහත කී වාර්තාවෙන් රට නොදන්නා තොරතුරු කිසිවක් ඉදිරිපත් නොකරයි. 

ඒ වාර්තාව පටන් ගන්නේ ම දේශපාලන අරමුණකින් බව ඉතා පැහැදිලි ය. වාර්තාවේ පළමුවැනි පේළි දෙකෙහි සඳහන් කරන්නේ ‘2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සහ 2019 ඇති වූ කොරෝනා වසංගතය නිසා මේ ආර්ථික අර්බුදය ඇති වූ’ බවය. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් ප්‍රබල බලපෑමක්  එල්ල වන්නේ සංචාරක කර්මාන්තයට සහ ඇඟලු‍ම් කර්මාන්තයට යි. එය මාස ගණනාවක් ඇතුළත යථාතත්වයට පත් වෙයි. කොරෝනා වසංගතය ලංකාවට වඩා බලපෑ රටවල් තිබේ. එහෙත් ඒ බොහෝ රටවල කොරෝනා නිසාම ආර්ථික අර්බුද ඇති නොවෙයි. ලංකාවේ පමණක් එසේ වුණාය කියන්නේ කෙසේදැයි ඇත්තේ ප්‍රශ්නයකි.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එසේ කීමෙන් යමක් සැඟවීමට උත්සාහ කරන බව මැනවින් ප්‍රදර්ශනය වෙයි. ආර්ථික අර්බුදයට හේතු  වූයේ 2019 සිට පවතින මේ ආණ්ඩුවේ මෝඩ ප්‍රතිපත්ති, මෝඩ ක්‍රියාමාර්ග සහ අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ නොගැනීම ය. වැරැදි සහ අසාර්ථක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අද අප අත්විඳින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවයි. ආණ්ඩුව අනුගමනය කළ ආර්ථික මූලධර්ම බොහෝ අඩු පාඩු සහිතය. ඒවා නිසි ලෙස කළමනාකරණය නොකර වැරැදි  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙයි. එහෙත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඒ ගැන මේ වාර්තාවේ කිසිවක් සඳහන් නොකරයි. එය සිතාමතාම කරන්නක් බව ඉතා පැහැදිලි ය. සඟවන්නට උත්සාහ කරන්නේ ඒ සත්‍යයයි. ‘ඔක්කොම කුණු බේරුවල් බොක්කට’ කීවා සේ ආර්ථික හේතු, පාස්කු ප්‍රහාරයට සහ කොරෝනා වසංගතයට ලඝු කරයි. මේ වාර්තාව වර්තමාන ආණ්ඩුවේ ‘සුදු හුණු ගෑමට’ ඉදිරිපත් කළ වාර්තාවක් බව මා කියන්නේ එහෙයිනි.

මේ ආර්ථික අර්බුදය නිසා ජනතාවට අභියෝග කිහිපයකට මුහුණ දෙන්නට සිදු වූ බව ද ඒ වාර්තාවේ ඊළඟ පේළි දෙකෙහි සඳහන් වෙයි. පවුලේ වියදම් කළමනාකරණය කරගැනීමට සිදු වූ බව ඒ කියන පළමුවැනි අභියෝගයයි. දෙවැනි අභියෝගය ලෙස සඳහන් කරන්නේ මේ ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාව තම පවුල්වල සාමාජිකයන්ට එනම් මව්පියන්ට, දරුවන්ට සහ සරණක් නැති අසරණයන්ට යුතුකම් ඉටුකිරීමට නොහැකිව සිටින බවය. ඔවුන් කියන තෙවැනි අභියෝගය පවුලේ සාමාජිකයන්ගේ යහපත සාක්ෂාත් කිරීමට නොහැකිවීම යි. වෙනදා ඒ සියල්ල කරගත්තත් දැන් ඒ කිසිවක් කරගැනීමට නොහැකිව සිටින බව ඒ කියන අභියෝග තුනෙන් පැහැදිලි වෙයි.

ආර්ථික අර්බුදය නිසා ජනතාව මහ පොළවට සමතලා වී සිටින සිටින බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මුලින්ම පිළිගනියි. මේ දෙපාර්තමේන්තුව විද්‍යාත්මක ලෙස දත්ත එක් රැස් කළ යුතු ආයතනයකි. එසේම ඒ දත්ත විද්‍යාත්මක ලෙස විශ්ලේෂණය කළ යුතු ආයතනයකි. ඒ ආයතනය පිහිටුවා තිබෙන්නේ ම දත්ත නිවැරැදිව එකතු කර, නිවැරැදිව විශ්ලේෂණය කර  රජයට සහ ⁣රටේ ජනතාවට ලබා දීම සඳහා ය. මේ වාර්තාවේ සමීක්ෂණ ක්‍රමවේදය ගැන වචනයක්වත් සඳහන් නොවෙයි. තෝරාගත් නියැදිය කුමක්දැයි නොකියයි. මේ සමීක්ෂණය රට පුරා කළා ද නැති නම් තෝරාගත් ප්‍රදේශ කිහිපයක පමණක් කළා ද යන්න ද සඳහන් නොවෙයි. අඩු, වැඩි සහ මැදි ආදායම් ලබන සියලු‍ පාර්ශ්ව මේ සමීක්ෂණයට සහභාගි කරගත්තා ද යන කාරණය ද හෙළි නොකරයි. කාන්තාවන්ට, පිරිමින්ට, දරුවන්ට, වැඩිහිටියන්ට, ග්‍රාමීය, නාගරික, වතු සහ ආදිවාසී යනාදී ඒ ඒ ජන කොටස්වලට මේ ආර්ථික අර්බුදය බලපෑවේ කෙසේද යන්න ගැන විශ්ලේෂණයක් මේ වාර්තාවෙහි නැත.

එහෙයින් මෙය වැදගත් සහ නිල පර් යේෂණ ආයතනයක නොවැදගත් වාර්තාවක් බවට පත්වෙයි. එය එසේ වන්නේ සමීක්ෂණයක් කරද්දී සහ ඒ පිළිබඳ වාර්තාව එළිදක්වද්දී  අනුගමනය කළ යුතු මූලික කොන්දේසි සපුරා නැති හෙයිනි.

පවුල් සියයට 60.5 ක ආදායම් අඩු වී තිබෙන බව කියයි. පවුල් සියයට 91 ක මාසික වියදම් වැඩි වී තිබෙන බව ද කියයි. ඒවා අප දන්නා තොරතුරු ය. අප කාගේත් පොදු අවබෝධය සහ දැනුම එයයි. අපට දැනගැනීමට අවශ්‍ය වන්නේ එහෙම වුණේ ඇයි සහ කොපමණ ප්‍රමාණයකින් වැඩි වී තිබේ ද යන තොරතුරු ය. මීට පෙර රුපියල් 50,000 කින් ජීවත් වූ පවුලකට දැන් රුපියල් 1,70,000 ක් අවශ්‍ය බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලම සඳහන් වෙයි. ඉන් අනාවරණය කරන්නේ පවුලක මාසික වියදම රුපියල් 1,20,000 කින් පමණ වැඩි වී තිබෙන බවය. ඒ පවුලක  මාසික  වියදම වැඩි වීමේ සාමාන්‍ය අගයයි. එක වාර්තාවක එහෙම කියද්දී තවත් වාර්තාවකින් කියන්නේ පවුල් සියයට 91 ක වියදම් වැඩි වී තිබෙන බවයි. ඉතිරි පවුල් සියයට 09 ක වියදම් වැඩි වුණේ නැතැයි කියන්නේ කොහොම ද ? භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම ඒ සියයට 09 ට බලපෑවේ නැතැයි කියන්නේ කොහොම ද ?. එය විය නොහැකි දෙයකි.  ජනතාවගෙන් අතිවිශාල බහුතරයකගේ වියදම් වැඩි වී තිබෙන්නේ පරිභෝජනය අඩු වී තිබියදී ය. එහෙයින් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ කියන දත්ත වැරැදි බව ඉතා පැහැදිලි ය.

රටේ සෑම තැනැත්තකුගේම වියදම් වැඩි වී තිබෙන බව කවුරුත්  අත්විඳින පොදු  සත්‍යයයි. වියදම් වැඩි වී ඇත්තේ සියයට 91 කගේ පමණකැයි කීමෙන් ම මේ වාර්තාවේ සඳහන් වන්නේ බොරු තොරතුරු බව ප්‍රදර්ශනය වෙයි. ඔප්පු වෙයි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කාර්යභාරය රටට බොරු කීම ද ?. ආණ්ඩුවේ කුණු සේදීමේ වගකීමක් හෝ කාර්යභාරයක් ඒ දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ නීතියෙන් හෝ වෙනත් නීතියකින් පැවරී නැති බව අපේ අවබෝධයයි.

මේ වාර්තාවට අනුව  සතියකට පැයක් වැඩ කරන කෙනෙක් සේවා නියුක්තිකයකු හෙවත් රැකියාවක් කරන්නකු ලෙස සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සලකයි. එය කොපමණ වැරැදි භාවිතයක් ද ? සතියකට පැයක් වැඩ කිරීමෙන්  දවසක වියදමවත් සොයා ගත නොහැකි බව කාටත් ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඒ සත්‍යයය නොදැන සිටීම අපභ්‍රංසයකි. එහෙයින් මෙය ව්‍යාජ වාර්තාවකි. විද්‍යාත්මක වාර්තාවක තිබිය යුතු මූලික කොන්දේසි සපුරා නැති එය ප්‍රජා පීඩක ආණ්ඩුවේ ‘සුදු හුණු ගාන’ වාර්තාවකි.

ඒ වාර්තාවේ අන්තිම පිටුවේ   සඳහන් වන්නේ ආර්ථික අර්බුදය තිබුණත්  රටේ ජීවත් වන පවුල්වලින් සියයට 93 ක ආහාර පරිභෝජනය පිළිගත හැකි මට්ටමක තිබෙන බවය. ඒ කියන්නේ පවුල්වලින් සියයට 93 ක් හොඳට කාලා බීලා සිටින බවය. සියයට දෙකක් ආහාර පරිභෝජනය අතින් දුප්පත් බවත්  සියයට පහක් වැට උඩ සිටින බවත් කියයි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ කියන්නේ පට්ටපල් බොරුවකි. ලෝක බැංකුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනත් ලංකාවේ දුප්පත්කම සියයට 27 දක්වා වැඩි වී තිබෙන බව හෙළි කරයි. එසේ නම් පවුල්වලින් සියයට 93 ක් හොඳින් කා බී සිටින බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ කෙසේ ද ? සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ කියන  දත්ත ඔවුන්ගේ වෙනත් වාර්තාවල සේම මේ වාර්තාවේ ඇතැම් තැන්වල සඳහන් තොරතුරුවලට පටහැණි ය. එක ඉලක්කමක් තවත් ඉලක්කමකින් නිෂේධනය වෙයි. මෙය සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු නොවිය යුත්තකි. ආණ්ඩුවල කුණු සේදීමේ හෝ සුදු හුණු ගෑමේ වගකීමක් හෝ කාර්යභාරයක් ඒ දෙපාර්තමේන්තුවට රටේ කිසිම නීතියකින් පැවරී නැති බව ඒ ආයතනයේ ලොකු ලොක්කෝ දැනගත යුත්තෝ ය. මෙය ආණ්ඩුවට මැතිවරණ ජයග්‍රහණයක් අත්පත් කරදීමට සකස් කළ වාර්තාවක් බව මගේ තක්සේරුවයි.

මේ වාර්තාවේම සඳහන් වන්නේ පවුල්වලින් සියයට 31 ක් තමන් සතු දේපළ සහ වත්කම් උගස් කර තිබෙන බවයි. කන කර ආබරණ සහ ඉඩම් උගස් කළ පවුල්වලින් සියයට 22 ක්ම ඒ සල්ලි වියදම් කර  තිබෙන්නේ එදිනෙදා කෑම බීම වියදම් පියවා ගැනීම සඳහා ය. දේපළ සහ වත්කම් උගස් කළ ඒ කවුරුත් දවසින් දවස අගාධයටම තල්ලු‍ වෙයි. ඒ මාසිකව ණය පොලිය ගෙවීමට සිදුවීමෙන් සහ නැවත නැවතත් එදිනෙදා වියදම් සොයා ගත යුතු හෙයිනි. එසේම උගස් කළ දේවල් බේරා ගැනීමට නොහැකි වීමෙනි. ඒ ජනතාවගේ අද දවසට වඩා හෙට දවස ඉතා භයංකාරය. වර්තමාන ආර්ථික අර්බුදයේ ස්වරූපය එයයි. එහෙත් ඒ බව නොකියන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව රටට බොරු චිත්‍රයක් මවා පායි. ඒ දෙපාර්තමේන්තුව කියන්නේ මිනිසුන්ගේ ආදායම් අඩු වී  වියදම් වැඩි වී ඇතත් ජනතාව හොඳින් කා බී සිටින බවයි. අපේ නූගත් නොදැනුවත් ගැමියන් පවා එවැනි කතා හඳුන්වන්නේ කුණුහරුප ලෙසිනි. මේ කතාවලින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන අවස්ථා ද අහිමි කරයි.

ලොව පිළිගත් ප්‍රකට සහ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයකු වන කේන්ස් 1936 දී  කියා තිබෙන්නේ මෙවැනි ආර්ථික අර්බුදයකදී බදු අඩු කළ යුතු බවය. එවිට ජනතාව අතේ මුදල් ඉතිරි වෙයි. ඒ මුදල් පරිභෝජනයට වැය කළ හැකි වෙයි. එසේම ඒ මුදල් යළි ආර්ථිකයට එකතු වෙයි. එමගින් ආර්ථිකය සක්‍රීය වෙයි. එසේ වීමෙන් ඉල්ලු‍ම අඩු නොවී වැඩි වෙයි. එහෙත් වර්තමාන ලංකාවේ ආණ්ඩුව කරන්නේ ජනතාව අත තිබෙන සබ්බ සකලමනාවම බදු මගින් සූරා ගැනීමය. අනතුරුව ඒ මුදල් නැති නාස්ති කිරීමය. එහෙයින් ඒ මුදල් ආර්ථිකයට යළි එකතු නොවෙයි. ජනතාවගේ වියදම් වැඩිවීමට බදු අනුපාත ඉහළ නැංවීම හේතු වී තිබෙන බව සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෙළි කළ යුතුව තිබූ සත්‍යයකි. එහෙත් ඒ කිසිවක් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් නොවෙයි. එහෙයින් මේ වාර්තාව බංකොලොත් ආර්ථිකය ඉන් මුදාගැනීමට වත් ප්‍රතිපත්ති සම්පාදනයට වත් ඉවහල් නොවන්නකි. මෙය තනිකරම ආණ්ඩුවේ දේශපාලකයන්ට ජනතාව මුළා කර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා හයේ පහරක් ගැසීමට අවකාශ සහ ඉඩ කඩ සලසා දීමටම සකස් කළ වාර්තාවක් බව මගේ නිරීක්ෂණයයි, නිගමනයයි, තක්සේරුවයි.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)