රට සතු දෙස් විදෙස් ණය, බරපතළ ආර්ථීක අර්බුද රැසකට හේතුවී තිබේ. මේ ඒ පිළිබඳ විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි. මහාචාර්ය කොළඹගේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ණය අර්බුදය සහ ඊට කළ යුතු පිළියම් ඒ ආර්ථික විද්‍යාඥයා මෙසේ දකියි.
ලංකා ආර්ථිකය මුහුණ දී සිටින හිඟ දෙකකි. ගෙවුම් ශේෂයේ හිඟය එකකි. අනෙක රජයේ අයවැය හිඟයයි. අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 ටත් වැඩිය. එසේම ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය හෙවත් ගෙවුම් ශේෂයේ හිඟය ඇමෙරිකන් ඩොලර් බිලියන 11 ක් පමණ වෙයි.
ඒ දෙපැත්තේම හිඟයක් ඇතිවූ විට රටක් පවත්වාගෙන යාම ඉතා අපහසුය. ආර්ථික විද්‍යාවට අනුව එය කණ්ණාඩියකින් පරාවර්තනයකට (Mirror Image) සමානය. ගෙවුම් ශේෂයේ හිඟයක් ඇතිවන විට අයවැය හිඟයක් අනිවාර්යයෙන්ම ඇතිවන බව එහි අදහසයි. එය වැළැක්විය නොහැකිය. අයවැය හිඟයක් පවතින විට රජයට රට ඇතුළෙන් හෝ පිටරටවලින් ණය ගැනීමට සිදුවෙයි. පිට රටවලින් ණය ගැනීමේදී ගෙවුම් ශේෂයේ හිඟය තවත් වැඩි වෙයි. අවසානයේ ගෙවුම් ශේෂයේ හිඟය පියවීමටත් පිටරටවලින් ණය ගැනීමට සිදුවෙයි.
වර්තමාන ලෝකයේ එවැනි රටවල් 8 ක් ගැන කියැවෙයි. ලංකාව එකකි. අනෙක් රටවල් අතර ඇංගෝලා, කොංගෝ, ගැබෝන්, මාලි, මොසැම්බික් යන රටවල්ද වෙයි. ඒ අනුව අද ලංකාව පවතින්නේ ලෝකයේ කවර තැනකද කියා අවබෝධයක් කරගත හැකිය. ඒ රටවල් සැලකෙන්නේ හා හැඳින්වෙන්නේ තමන් ගත් ණය ගෙවීම පැහැර හැරීමේ ඉඩක් තිබෙන රටවල් ලෙසය. ලංකාවද අද එවැනි රටක් බවට පත්ව තිබේ.
දකුණු ආසියානු රටවල් අතරින් දේශපාලන වශයෙන් අති විශාල අස්ථාවරත්වයක් පවතින ඇෆ්ගනිස්ථානයේවත් මෙවැනි තත්ත්වයක් නොමැති බව අප තේරුම්ගත යුතුය. අවබෝධ කරගත යුතුය.
ලංකාව මේ තත්ත්වයට පත්වුණේ ගත් ණයවලින් ආදායම් උපයන ව්‍යාපෘති නොකළ නිසාය. නෙළුම් කුලුන, සූරියවැව ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව ඊට උදාහරණ තුනකි. ඒ ඉදිකිරීම්වලින් රජයේ ආදායම වැඩිවී නැත. එසේම එමගින් අපනයන වැඩිවීද නැත. අධිවේගී මාර්ග ඉදිකිරීම හොඳ දෙයකි. එහෙත් ඒවාගෙන් ප්‍රතිලාභ ලැබෙන්න කාලයක් යයි. රජය විශාල වශයෙන් ණය ගෙන තිබේ. රජයේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ඒ ණය පොලිය ගෙවීම සඳහා පමණක් වැය වෙයි. ඒ පොලිය ආවරණය වන තරමේ ආදායමක්වත් උත්පාදනය නොවෙයි. එසේ වන්නේ ගත් ණය ආදායම් උත්පාදන ව්‍යාපෘතිවල ආයෝජනය නොකළ නිසාය. ඒ නිසා පොලිය ගෙවීමටත් තව තවත් ණය ගැනීමට සිදුවී තිබේ. ණය උගුලක් නිර්මාණය වී තිබෙන්නේ එහෙයිනි. කළ ආයෝජනවලින් ආදායම් උත්පාදනය නොවන හෙයිනි.
රටකට පමණක් නොව පුද්ගලයකුට ද මේ කාරණය අදාළය. ඕනෑම පුද්ගලයකු ණය ගත යුත්තේ ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවල ආයෝජන සඳහාය. තමන් ගන්නා ණයවලින් ඒ පුද්ගලයා කළ යුත්තේ ආදායම උත්පාදනය වන ව්‍යාපෘතිය. එසේ නොකළහොත් ඔහු ගත් ණයෙහි පොලිය හා වාරිකය ගෙවීමටත් ඔහුට තව තවත් ණය ගැනීමට සිදුවෙයි. එහි කෙළවර ඒ පුද්ගලයා බංකොලොත් වෙයි. රටක් ලෙස අද ලංකාවට සිදුවී තිබෙන්නේද එයයි. ණය ගෙන ඒ සල්ලිවලින් ආදායම් උත්පාදනය නොවන ව්‍යාපෘති කිරීම නිසා ඒ ණය පොලිය ගෙවීමටත් ණය වාරික ගෙවීමටත් තව තවත් ණයවීමට සිදුවී තිබේ. ඕනෑම ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යයනයක් කිරීම සාමාන්‍ය පිළිවෙතයි. මෑත අතීතයේ අපේ රට ණය ගත්තේ ඇමෙරිකාව, ජපානය, එංගලන්තය, ජර්මනිය වැනි රටවල් සේම ලෝක බැංකුවෙන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. ණය ගැනීමට පෙර ඒ ණය ගන්නේ කුමක් සඳහාද කවර ප්‍රතිලාභ අත්පත් කර ගැනීම සඳහාද කියා තුලනාත්මක අධ්‍යයනයක් කරයි. ජාත්‍යන්තර සංවිධානයකින් හෝ රටකින් ගන්නා වූ ණයකින් ආදායම් උපයන්නේ නැතිනම් නැතහොත් එය දිගු හෝ කෙටි කාලීන ප්‍රතිලාභ සහිත ආයෝජනයක් නොවන්නේ නම් ඒ ණය ගැනීමෙන් ප්‍රයෝජනයක් නොවෙයි. යම් ණයක් යොදවන්නේ අපනයන සංවර්ධන ව්‍යාපෘතියකට නම් එමගින් රජයේ අපනයන ආදායමට අමතරව රජයේ බදු ආදායමද ඉහළ යයි.
එහෙත් දැන් ලංකාවේ එසේ සිදු නොවෙයි. අවසානයේ ඒ ණය ගෙවීමට කෙටි කාලීන ණය (Swap) ගනියි. බංග්ලාදේශයෙන්, චීනයෙන්, ඉන්දියාවෙන් කෙටි කාලීන ණය ගනියි. එහෙත් එය නියම විසඳුමක් නොවේ. එමගින් රටේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. විසඳුම් ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමෙනි. එහෙත් එය එසේ නොවන්නේ රජයට සාර්ව ආර්ථික සැලැස්මක් නැති හෙයිනි. මහ බැංකු හිටි ගමන් නින්දෙන් ඇහැරිලා සේ විවිධ දේවල් කරයි. පිටරටවල සිටින ශ්‍රමිකයන් එවන මුදල් වැඩිකර ගැනීමට විවිධ දේවල් කියයි. ඔවුන් එවන ඩොලර්වලට වැඩි රුපියල් ගණනක් දෙන බව කියයි. නැතිනම් ඔවුන් බිය කරයි. මහ බැංකුවේ ඒ පියවර පැලැස්තර මිස විසඳුම් නොවේ. බදු සමා හඳුන්වාදීමද නියම පියවරක්, විසඳුමක් වී නැත. ඒ හැම දෙයක්ම හුදෙකලා ක්‍රියාමාර්ගය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියහොත් රජයට මහ බැංකුවට හා මහා භාණ්ඩාගාරයට ඉදිරි අවුරුදු තුනක් සඳහාවත් සාර්ව ආර්ථික සැලැස්මක් සකසා ගැනීමට හැකි වෙයි. අයවැය හිඟය අඩු කරන්නේ කෙසේද, ගෙවුම් ශේෂයේ පවතින හිඟය අඩු කරන්නේ කෙසේද, රජයේ ආදායම වැඩිකර ගන්නේ කෙසේද යනාදී වශයෙන් සාර්ව ආර්ථිකයම ආවරණය වන සැලැස්මකට යා හැක්කේ මූල්‍ය අරමුදල වෙත ගියහොත් පමණකි.
මූල්‍ය අරමුදල සමග සාර්ව ආර්ථික සැලැස්මකට ගිවිස ගැනීමට ආණ්ඩුව බියවීම උභතෝකෝටිකයකි. සාර්ව ආර්ථික සැලැස්මකට අනුගත වුවහොත් ආර්ථික අර්බුදවලින් ගොඩ ඒමට හැකිවෙයි. එහෙත් මෙවැන්නක් වනවාට අකැමැති වීම උභතෝකෝටික ප්‍රශ්නයකි. රජයට අවශ්‍යව තිබෙන්නේ ප්‍රශ්නයට විසඳුම් නම්, විසඳුම් ලැබෙන පැහැදිලි මාවතක් පෙනෙන්නට තිබියදී ඊට අනුගත නොවීම අදහාගත නොහැකි රහසකි.
අයවැය හිඟය වැඩිවීමට ප්‍රධාන හේතුව වර්තමාන රජය බලයට පැමිණි වහාම ක්‍රියාත්මක කළ මහා පරිමාණ බදු කපා හැරීමය. ඇතැමුන් ඒවා බදු සහන ලෙස හැඳින්වුවත් ඇත්තෙන්ම වූයේ තිබූ බදු කපා හැරීමය. සමාගම් බදු කපා හැරීම එක උදාහරණයකි. ඒ නිසා රජයේ බදු ආදායම අවුරුද්දකට රුපියල් මිලියන 600 කින් පමණ අඩුවිය.
ආණ්ඩුව එසේ තම ආදායම කපා හැරියාට වියදම් කපා හැරියේ නැත. ඒ නිසා අයවැය හිඟය වැඩිවිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවා තිබෙන්නේ එවැනි අර්බුදවලට මුහුණ දෙන රටවලට ආධාර කිරීමටය. ලංකාවද ඒ අරමුදලෙහි සාමාජික රටකි, කොටස්කරුවෙකි. එය රකුසකු නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කළ යුගවලදී ලංකාවේ ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වී තිබේ. එසේම ආර්ථික වර්ධන වේගයද ඉහළ ගොස් තිබේ. ගෙවුම් ශේෂයේ ඇතිවී තිබෙන හිඟය පියවා ගැනීමට අපට මූල්‍ය අරමුදලෙන් විශාල සහයෝගයක් ලබාගත හැකිය. මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක් පමණ පහසුවෙන් ලබාගත හැකිය. වැදගත්ම දෙය වන්නේ මූල්‍ය අරමුදල වෙත ගියහොත් දැනට රජයට නැති සාර්ව ආර්ථික සැලැස්මක් සකසා ගැනීමට හැකිවීමය. එසේම මූල්‍ය අරමුදලෙන් ණයක් ලැබුණහොත් රට ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් ඇති වෙයි. ඒ විශ්වාසය මත වෙනත් රටවලින් හෝ ජගත් සංවිධානවලින් ණය ලබාගත හැකි වෙයි. දැන් ජාත්‍යන්තරයේ පවතින්නේ ලංකාව ගැන අවිශ්වාසයකි. ලංකාවට ණය දීමට ජගත් සංවිධාන සේම විදෙස් රටවල් ද බියය.
දැනට සිඳී බිඳී වැනසී පවතින ඒ අවිශ්වාසය නැතිකර විශ්වාසය දිනාගත හැකි මාවත මූල්‍ය අරමුදල වෙත යාම බව දැනමුතු කාගේත් නිර්දේශයයි. දෙස් විදෙස් ආර්ථික විද්‍යාඥයන්ගේ එකම නිර්දේශය එයයි.
එහෙත් රජය මූල්‍ය අරමුදල වෙත යාමට දක්වන්නේ මැලිකමක් නොව බියකි. ඒ බියට හේතුව මූල්‍ය අරමුදලෙන් දෙන මුදල් අත්තනෝමතිකව වියදම් කිරීමට රජයට නොහැකිවීම බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.
මූල්‍ය අරමුදලට ගියහොත් රජයේ වියදම් කපා හැරිය යුතු බවටත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවටත් කොන්දේසි පනවනු ඇතැයි මහ බැංකු අධිපති කියයි. එසේම රුපියල තවත් අවප්‍රමාණය කිරීමට නිර්දේශ කරනු ඇතැයි ද කියයි. එසේ වුවහොත් උද්ධමනය තවත් ඉහළ යනු ඇතැයිද කියයි. මා කියන්නේ මූල්‍ය අරමුදලට නොගොස් සිටියදීත් ඒවා වී තිබෙන බවය.
එසේම ලංගම, දුම්රිය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව හා එයාර් ලංකා ගුවන් සමාගම වැනි මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ පාඩු පිටය. මහා භාණ්ඩාගාරයේ සහනාධාර මතය. ඒ සහනාධාරවල බර පැටවෙන්නේ ජනතාව මතය.
ඉතින් ජනතාව ඒ බරින් නිදහස් කළහොත් මහා භාණ්ඩාගාරයද ඒ බරින් නිදහස් වෙයි. එය එසේ වීම වරදක් වන්නේ කෙසේද? අය වැය හිඟය ඉහළ යාමට මේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රබල ලෙස බලපා තිබෙන බව නොරහසකි. එසේ නම් ඒ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කළහොත් අයවැය හිඟයද අඩුවෙයි. එවැනි දේවල් කළ යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසා නොවේ. අය-වැය මතත් ජනතාව මතත් පැටවී තිබෙන බර නිදහස් කිරීම අපේම වගකීමක් වන නිසාය.
මූල්‍ය අරමුලට ගියහොත් කපා හළ බදු යළි පනවන්නැයි කීමටද ඉඩ තිබේ. ඇත්තෙන්ම එය එසේ කළ යුත්තේ මූල්‍ය අරමුදල කියන නිසා නොව එමගින් රජයට අවුරුද්දකට රුපියලි මිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමිවූ නිසාය.
රජය එදා කපා හැරියේ ඍජු බදුය. ධනපතියන්ගෙන් හා ධනපති සමාගම්වලින් අය කළ බදුය. ඍජු බදු කපා හළ විට වක්‍ර බදු නිරායාසයෙන්ම වැඩි වෙයි. වක්‍ර බදු බර පැටවී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව මතය. කපා හළ බදු පැනවීමට ආණ්ඩුව අකැමැති නම් ඉන් කියැවෙන්නේ සාමාන්‍ය ජනතාව මත පැටවී තිබෙන බදු බර අඩු කිරීමට රජය අකැමැති බවය. එසේම සාමාන්‍ය ජනතාව මත පැටවී තිබෙන බදු බර අඩුකර ධනපතියන්ගෙන් වැඩි බද්දක් ගැනීමට රජය අකැමැති බවය.
රජය සාමාන්‍ය ජනතාවට ආදරය කරන්නේ නම් කළ යුත්තේ ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කිරීමය. එහෙත් රජය ප්‍රායෝගිකව කරන්නේ වක්‍ර බදු වැඩිකර ඍජු බදු අඩු කිරීමය. ඍජු බදු ආදායම සියයට 60 ක් සහ වක්‍ර බදු ආදායම සියයට 40 ක් පමණ විය යුතු බව සාමාන්‍ය පිළිගැනීමයි.
එහෙත් රජය ඍජු බදු කපා හැරීම නිසා වක්‍ර බදු අනුපාතය සියයට 80 කට ළංවී තිබෙනු නිසැකය.
රුපියලේ විදේශ විනිමය අනුපාතය බලහත්කාරයෙන් ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම තවත් ප්‍රශ්නයකි. මහ බැංකුව කියන්නේ ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 199 සිට 203 අතර ගණනක් වන බවය. එහෙත් නිල නොවන වෙළෙඳ පොළේ එය රුපියල් 250 ක් පමණ වෙයි. මහ බැංකුවේ ඒ පිළිවෙතින් අපනයනකරුවෝ අධෛර්යවත් වෙති. හේතුව ඔවුන්ට ලැබිය යුතු නියම මිල නොලැබෙන නිසාය. රට ඇතුළේ තියෙන මේ ප්‍රශ්නය නිසා මහ බැංකු අධිපතිවරයා කියන්නේ නිල මාර්ගවලින් රටට එවන ඩොලරයකට අමතරව තවත් රුපියල් 10 ක් දෙන බවය. එසේම විධිමත් ක්‍රමවලට පරිබාහිරව මුදල් එවීම තහනම් කරන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. ඇත්තෙන්ම එය ඔහුට කළ නොහැකි දෙයකි. ඔහු කරනවාය කියන්නේ තමන්ට කළ නොහැකි දෙයකි.
විදෙස් රටවල සිටින අය ලංකාවේ සිටින තම පවුල්වලට මුදල් එවන්නේ හවාලා (Hawala) ක්‍රමයටය. ඒ ක්‍රමය බොහෝ විශ්වාසදායක මාර්ගයක් වී තිබේ. එය මහ බැංකු අධිපතිටවත් රජයටවත් නැති කළ හැකි හෝ තහනම් කළ හැකි ක්‍රමයක් නොවේ. විදේශ විනිමය අර්බුදය තුනී කිරීමට විසඳුම් හැටියට ආණ්ඩුව හා මහ බැංකුව ගෙනෙන්නේ විසඳුම් නොව අර්බුදය තවත් තිව්‍ර කරන ක්‍රියාමාර්ගය. විදෙස් රැකියා කරන අය ලංකාවට එවන ඩොලරයකට රුපියල් 10 ක් වැඩියෙන් ගෙවන බව මහ බැංකු අධිපති කියයි. එවිට ඩොලර් එවන අයට එසේ වැඩියෙන් ගෙවනවාය කියන්නේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ නිසා අවිනිශ්චිතතාවය තවත් වැඩිවෙයි. තමන් සතු ඩොලර් දැන්ම ලංකාවට නොයවා තවත් කාලයක් තමන් ළඟම තබාගෙන වැඩි රුපියල් ප්‍රමාණයක් ලබාගැනීමට ඕනෑම අයෙකු කල්පනා කරයි. මහ බැංකු අධිපතිවරයාගේ කතාව එසේ කල්පනා කරන අයට තවත් ගැටලුවකි. ඒ නිසා මේ නුසුදුසු අයෝග්‍ය වැඩ නොකර රුපියලේ විනිමය අනුපාත නම්‍යශීලි කළ යුතුය. නැතහොත් වන්නේ ලංකාවට එවන ඩොලර් ප්‍රමාණය තව තවත් අඩුවීමය, අඩු කිරීමය.
මහ බැංකු වාර්තා අනුව ඉදිරි මාස 12 දී ගෙවීමට තිබෙන විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 කි. රට සතුව දැනට පවතින නිල විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2.3 කි. ඉන් රත්තරන්වල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තැන්පතුවල වටිනාකම අඩු කළ විට එයද ඩොලර් බිලියන 1.7 ක් වෙයි. ඒ නිසා අප සිටින්නේ බරපතළ ණය අර්බුදයක බව නිහතමානීව පිළිගත යුතුය.
පුරසාරම් කතාවලින් මේ අර්බුදයෙන් ගොඩට පැමිණිය නොහැකිය. කළ යුත්තේ අප ණය ගෙන තිබෙන රටවල් සමග සාකච්ඡා කර ඒ ණය යළි ප්‍රතිව්‍යුහ ගත කර ගැනීමය. අපට එය කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර සහ සහාය මතය. අප පෞද්ගලිකව ගොස් තැන් තැන්වල සාකච්ඡා කළාට ඔවුහු අප නොපිළිගනිති. මූල්‍ය අරමුදල මැදිහත් වුවහොත් ඒ මාර්ගයෙන් ඒ පිළිගැනීම ලබාගත හැකිය. මීට මාස කීපයකට පෙර ඉන්දියාව අපේ රජයට කියා තිබුණේ මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ආපසු ගෙවීමට ප්‍රතිව්‍යුහගත සැලසුමක් සකස් කරගන්නා ලෙසය. මූල්‍ය අරමුදලට ගියත් නොගියත් අපට වැඩපිළිවෙළක් තිබිය යුතුය. ප්‍රශ්නයකට ඇත්තේ රජයට එවැනි වැඩපිළිවෙළක් නැති බවය. ණය අර්බුදයෙන් ගොඩ එන දිගු කාලීන වැඩපිළිවෙළක් රජයට නොමැති බව රජය විසින්ම ප්‍රදර්ශනය කර තිබේ.
(***සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)