විදුලිය ඇතුළුව රජය මගින් සපයන සියලු සේවාවල මිල ගණන් පිරිවැය අනුව ගැළපිය යුතුය. එසේ නොකිරීම නිසා රාජ්‍ය ආයතන බොහොමයක් පාඩු ලබන අතර ආර්ථිකයට විශාල බරක් වී තිබේ. එහෙත් විදුලි ගාස්තු වැඩි කිරීමේදී සැලකිල්ලට ගත යුත්තේ විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයෙන් මුදා එයින් ලබා දෙන සේවා වෙනුවෙන් පිරිවැය ආවරණය වන ආකාරයේ අය ක්‍රමයක් හඳුන්වා දීම පමණක් නොවේ. එසේ කිරීමෙන් සිදු වන්නේ එක් ආයතනයක් පමණක් සුවපත් වීමකි.
ඊට ප්‍රතිවිරුද්ධව සමස්ත ආර්ථිකයම ලෙඩ කිරීමට එයින් ඉඩ හසර විවර වන්නේ නම් එය යහපත් තීරණයක් නොවේ. එබැවින් විදුලි බිල වැඩි කළ යුත්තේ සාර්ව ආර්ථික දෘෂ්ටියක් මත පදනම්ව මිස තනි ආයතනයක් බේරා ගැනීමේ අභිලාෂයෙන් නොවේ. ඒ අර්ථයෙන් ගත් විට සියයට 66කින් විදුලි ගාස්තු ඉහළ නැංවීම විදුලි බල මණ්ඩලයට හා බලශක්ති අමාත්‍යාංශයට යහපත් වුවත් රටක් වශයෙන් සලකා බලන කල්හි එය වැරදි තීරණයක් බව මගේ අදහසයි.
අදාළ විදුලි ගාස්තු සංශෝධනය, විදුලිය ඒකක අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන අයට වැඩි බලපෑමක් සිදුවන ආකාරයටත් වැඩි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට අවම බලපෑමක් වන ආකාරයටත් සිදු කර තිබේ යනුවෙන් සමාජයේ වැරදි මතයක් සංසරණය වන බවක් පෙනේ. ගාස්තු වැඩි කර ඇති ආකාරය දෙස බැලූ බැල්මට එවැන්නක් පෙනේ. එහෙත් අප මෙහිදී අමතක කරන කාරණයක් තිබේ. එනම්, වැඩි විදුලිය ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන් අඩු ඒකක පසුකරමින් සහ ඒවාට ගෙවිය යුතු වියදම් දරාගනිමින් වැඩි ඒකක වෙත යන බවය. එබැවින් එම වැරදි අර්ථකථනය සමාජයෙන් ඈත් විය යුතුය.
ආර්ථිකයක් කඩා වැටී ඇති අවස්ථාවක එය ගොඩ ගැනීමට අදාළ උපක්‍රම තේරිය යුත්තේ ආර්ථිකය ප්‍රසාරණය වන ආකාරයටයි. එහෙත් ශ්‍රී ලංකාවේ මුල්‍ය හා පිස්කල් යන ප්‍රතිපත්ති ද්විත්වයම තෝරාගෙන තිබෙන්නේ සංකෝචනාත්මක ප්‍රවේශයකිනි. එයින් අපේක්ෂා කරන්නේ ආර්ථිකය තවදුරටත් සංකෝචනය කරමින් උද්ධමනය පාලනය කිරීමය. කඩාවැටුණු නොඑසේනම් ඍණ අගයක පවතින ආර්ථිකයක් සංකෝචනය කිරීමෙන් සිදු වන්නේ එය තවදුරටත් කඩා වැටීමය. උද්ධමනය පාලනය කිරීම සඳහා ක්‍රම දෙකක් තිබේ. එකක්, ඉල්ලුම පාලනය කිරීමය. දෙවැන්න, සැපයුම වැඩි කිරීමය. ඒ දෙකෙන් ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ ඉල්ලුම සංකෝචනය කර උද්ධමනය පහළ අගයකට ගැනීමේ ක්‍රියාමාර්ගයයි.
ඉල්ලුම සංකෝචනය කරමින් එනම්, පොලී අනුපාත ඉහළ නංවා මුදල් සැපයුම සීමා කර උද්ධමනය පාලනය කිරීමේ ක්‍රමවේදයේදී උද්ධමනය පහළ යෑමක් සිදු වුවද සමස්ත ආර්ථිකය තවදුරටත් ඍණ අගයක් කරා ගමන් කරයි. ඊට ප්‍රතිවිරුද්ධව සැපයුම වැඩි කරමින් උද්ධමනය පාලනය කිරීමේ ප්‍රවේශය අනුගමනය කළහොත් ආර්ථිකය වර්ධනයක් ලබමින් උද්ධමනය පාලනය වේ. මේ සන්දර්භයේ උද්ධමනය පාලනය කිරීම යහපත් වුවද එයින් රටේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බැවින් ඒ ගැන සතුටු විය නොහැකිය.
උද්ධමනය අඩු වීම භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ යෑමක් ලෙස බොහෝ අය තේරුම් ගනිති. එහෙත් එය වැරැදි තේරුම් ගැනීමකි. එහි සැබෑ අර්ථය නම්, පෙරට වඩා අඩු වේගයකින් භාණ්ඩවල මිල ඉහළ යෑමක් සිදු වන බවය. කඩාවැටුණු ආර්ථිකයක උද්ධමනය වේවා වෙනත් විචල්‍යයක් වේවා ගමන් කරන ස්වාභාවික දිශාවක් තිබේ. උද්ධමනය ඉහළ අගයකට පැමිණි පසු එය ක්‍රමයෙන් අඩු වීම සිදු වේ.
ආර්ථිකයක ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත්වන කොටසක් ද තිබේ. උද්ධමනය පහළ යෑම පිළිබඳ සංසිද්ධියේ එම කොටස ද තිබෙන බව අප අමතක නොකළ යුතුය. උද්ධමනය ඉහළ ගිය විට මිනිස්සු ඇතැම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් වැළැකී සිටිති. එවිට ඉල්ලුම ස්වයංක්‍රීයව පාලනය වන අතර භාණ්ඩ හා සේවා මිල ගණන් පහළ යයි. එයින් පැහැදිලි වන්නේ උද්ධමනය පාලනය කිරීම පිණිස මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගවලට අමතරව එකී ස්වයං යාන්ත්‍රණය ද ක්‍රියාත්මක වන බවය.
මතභේදයට තුඩු දී ඇති පුද්ගල ආදායම් බදු සංශෝධනය සම්බන්ධයෙන් සමාජයේ වැරදි මතයක් ගොඩනැගීමට උත්සාහ දරන බවක් පෙනේ. එනම්, ඉහළ ආදායම් ලබන වෘත්තිකයන්ගෙන් අය කරන බදු මුදල් වැඩි කර එසේ එකතු කරනා මුදල් සමාජයේ පහළ ස්ථරවල ජීවත් වන මිනිසුන්ගේ සුබසිද්ධිය පිණිස යොදවන බවය. එහෙත් ක්‍රියාත්මක මේ බදු ප්‍රතිපත්තිය ඇතුළත එපරිදි පහළ සමාජ කොටස් වෙත සහන සැලසීමක් සිදු වන බවක් පෙනෙන්නට නැත.
ඉහළ ආදායම් ලබන පිරිසක් පහළ ආදායම් ලබන්නන් බවට පත් කළ පසු ආර්ථිකය ඉදිරියට ගමන් කිරීමට අවැසි ගාමක බලවේග ස්වාභාවයෙන් දුර්වල කිරීමක් සිදු වේ. නිදසුනක් ලෙස මෙම බදු සංශෝධනයත් සමග වෘත්තිකයන් තමන් ලබන ආදායමෙන් කරමින් සිටි ඇතැම් වියදම් කපා දමා තිබේ. නිවාස තැනීම හා අලුත්වැඩියා කටයුතු නතර කර ඇත. තවද රථවාහන අලුත්වැඩියා කිරීම් ද නතර කර තිබේ. එයින් බලපෑම් සිදු වන්නේ එම ආර්ථිකයේම සිටින තවත් කොටසකටය.
පෙදරේරුවන්ට වඩු කාර්මික ශිල්පීන්ට සහ වාහන අලුත්වැඩියා කරන්නන් හට රැකියා අහිමි වීම සිදු වේ. එපරිදි ආර්ථිකයේ පහළ ස්ථරය නියෝජනය කරන බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙති. එබැවින් තීරණ ගත යුත්තේ සමස්ත ආර්ථිකය ගැන අවධානය යොමු කරමින් මිස එක් එක් කොටස් ඉලක්ක කරගෙන නොවේ. එම අර්ථයෙන් බැලූ විට කිව හැක්කේ රටේ ක්‍රියාත්මක වත්මන් බදු ප්‍රතිපත්තිය රටට නොගැළපෙන බවය.
ඕනෑම ආර්ථික අර්බුදයක දෙවැනි අදියර වන්නේ සමාජ අර්බුදයක් ඇති වීමය. තෙවැනි අදියරක් ද ඇති අතර එහිදී සිදු වන්නේ එකී ආර්ථික අර්බුදයට වගකිව යුතු පාර්ශ්ව වෙත චෝදනා කරමින් දේශපාලන අර්බුදයක් හට ගැනීමය. ශ්‍රී ලංකාවේ මේ වනවිට එම අදියර තුනම උද්ගතව තිබේ. රටක ආර්ථිකයක් කඩා වැටෙන විටෙක ආහාර අනාරක්ෂිතභාවයක් ඇති වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මන්දපෝෂණ තත්ත්ව ඇති වීම දැකිය හැකි දෙයකි. එවැනි අවස්ථාවක අර්බුදයට ලක් වන සමාජ කොටස්වලට සහන සැලසීම වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කළ යුතුය. එය ආණ්ඩුවක ප්‍රමුඛ වගකීමකි. මෙම අර්බුදයෙහි බරපතළකම එයට හිමි බරින් යුතුව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බවක් සහ සමාජ ආරක්ෂණ ජාල ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.
ආර්ථික අර්බුදයකදී මෙන් පුද්ගල ආදායම් අඩු වූ විට කාලයක් ගත වනවිට ඒවා වැඩි කර ගැනීමෙන් ප්‍රශ්නය විසඳිය හැකි පරිද්දෙන් මිනිසුන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රශ්න විසඳිය නොහැකි බව ආණ්ඩුව තේරුම් ගෙන නොමැත. අවුරුදු 5 ට අඩු දරුවන්ට ලැබිය යුතු පෝෂණ මට්ටම අහිමි වී මන්දපෝෂණයට ගොදුරු වුවහොත් සහ එයින් දරුවාගේ බුද්ධි වර්ධනයෙහි කිසියම් හානියක් සිදු වුවහොත් එය නැවත සකස් කිරීමට හැකියාවක් නොමැත. එසේම ගර්භණී කාන්තාවන්ට එම කාලය අතරතුර ලබාදිය යුතු පෝෂණය ලබා දීමට නොහැකි වුවහොත් එය පසුවට ලබාදීම නිෂ්ප්‍රයෝජනය.
වැරදි ආර්ථික ප්‍රතිපත්තිවලට වගකිව යුත්තේ දේශපාලනඥයන් පමණක් නොවේ. නිලධාරී පන්තිය ද ඊට වගකිව යුතුය. මන්ද දේශපාලනඥයන් පසුපස එකී නිලධර පන්තිය සිටින බැවිනි. ඇතැම් නිලධාරීන් ඔවුන්ට හිමි බලතල භාවිත කර නිවැරදි තීන්දු තීරණ ගැනීම වෙනුවට දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන හෙයින් මේ අර්බුදයේ කොටසකට නිලධර පන්තියේ සමහරුන්ද වගකිය යුතුය. ජනතාව ද වගකිව යුතුය.
පාලකයන් පත් කරන්නේ ජනතාව වන නිසාය. දූෂණය, වංචාව, ඥාතී හිතමිත්‍රාදීන්ට රටේ ජාතික ධනය මංකොල්ලකෑමට ඉඩ ලබා දෙන තත්ත්ව දැක දැකම ජනතාව නැවත එවැනි දේශපාලනඥයන් බලයට ගෙන එයි. මේ අර්බුදයට ජනතාව වගකිව යුතු නැති එකම තැන වර්තමාන ආණ්ඩුවයි. වත්මන් ජනාධිපතිවරයාට ජනවරමක් නොමැත. එහෙත් ඔහු සියලු බලතල භාවිත කරමින් පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය යටපත් කරගෙන තම අභිමතය පරිදි රජයේ සම්පත් භාවිත කරයි.
එම සන්දර්භයේ ආණ්ඩුව ගන්නා වැරැදි තීරණ ප්‍රතිපත්ති කිසිවකට ජනතාව වගකිව යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගත් වැරදී තීරණ හා ප්‍රතිපත්තිවලදී ජනතාව තරමක් දුරට හෝ ඉවසිය යුතුය. මන්ද, ඔහු 69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් තේරී පත් වූ බැවිනි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ යනු එසේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයෙක් නොවේ. එබැවින් මේ ආණ්ඩුව ගන්නා වැරදි ප්‍රතිපත්තිවලට ජනතාව වගකිව යුතු නැත.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ප්‍රමාණයකින් ශක්තිමත් වෙමින් තිබෙන බව ප්‍රකාශ වේ. එසේ වීම ආර්ථිකය පැත්තෙන් බලන විට යහපත්ය. වෙසෙසින්ම විදේශ ප්‍රේෂණ රටට ගෙන්වා ගැනීමට එයින් සානුබල සැපයේ. එහෙත් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නැවතත් සියයට එකකින් ඉහළ නැංවීය. රුපියල ශක්තිමත් වනවිට මහ බැංකුව කළ යුත්තේ පොලී අනුපාත පහත හෙළීමය. කෙසේ වෙතත් මහ බැංකුව එසේ නොකළේය. රුපියල ශක්තිමත් වීම අඛණ්ඩ පවත්වා ගෙන යා නොහැකි බව මහ බැංකුව දනියි.
එබැවින් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කරනවා වෙනුවට වැඩි කරන ලදී. මේ සන්දර්භයේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යම් පමණකට ශක්තිමත් වීම උදම් ඇනිය යුතු තත්ත්වයක් නොවේ. මා ඉහත දී විස්තර කළ ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත්වීමේ කොටස ආර්ථිකයේ සෑම විචල්‍යයකම දැකිය හැකිය. එය ආණ්ඩුව කළ දෙයක් යැයි සිතා ආණ්ඩුවට ලකුණු දීමට අවශ්‍ය නැත. ආණ්ඩුව විසින් ගනු ලබන ප්‍රතිපත්ති ඔස්සේ මිනිසා සුවපත් කරන්නේ නම් පමණක් ආණ්ඩුවට ප්‍රශංසා කළ යුතුය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වේගයෙන් ප්‍රපාතයකට ගමන් කරන වාහනයක් නම්, ආණ්ඩුව සහ මහ බැංකුව ගත් සහ ගන්නා ක්‍රියාමාර්ගවලින් එම වාහනය ආපසු හැරවීමක් සිදු නොවන අතර තිරිංග තද කිරීමේ උත්සාහයක පමණක් යෙදේ. එම උත්සාහය වෙනුවෙන් ආණ්ඩුවට සහ මහ බැංකුවට ප්‍රශංසා කළ හැකි වුවද ස්වයංක්‍රීයව යථා තත්ත්වයට පත්වන කොටස වෙනුවෙන් ආණ්ඩුවට හෝ මහ බැංකුවට හෝ ලකුණු දීමට අවශ්‍ය නොවේ.
රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ