ආහාර අර්බුදයට විප්ලවීය විසඳුමක්


ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කතා කිරීමේ දී ජාතික සහ නිවාස මට්ටමින් ඉදිරිපත් වන දත්ත ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. නිවාස මට්ටමින් වන ආහාර සුරක්ෂිතතාව ගතහොත් අප අයහපත් තැනක නොසිටි බව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. එය යහපත් තැනක් කරා ගමන් ගනිමින් තිබිණි. රටේ බහුතරයක් ප්‍රජාව ධාන්‍යමය ආහාරවලින් ලැබෙන කැලරිවලින් ආහාර සුරක්ෂිතතාව ඇති කරගෙන තිබිණි. එහෙත් හදිසියේ උද්ගත වූ තත්ත්ව සහ ගත් වැරදි තීන්දු නිසා එම තත්ත්වය කඩාගෙන වැටුණි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ අන්තර්ජාතික ආහාර ප්‍රතිපත්ති පර් යේෂණ ආයතනය වැනි ගෝලීය සංවිධානවල දත්තවලට අනුව මෙරට ආහාර සුරක්ෂිතතාව පවතින්නේ යහපත් තැනක නොවේ. වෙනත් රටවල් ආහාර සුරක්ෂිතතාව අතින් ඉදිරියට යයි. නො එසේනම් සිටි තැනම සිටියි.

එහෙත් ශ්‍රී ලංකාව 2021 වසරේ සිට පල්ලම් බසිමින් සිටියි. වෙසෙසින්ම ආහාර සුරක්ෂිතතාවෙහි බිඳ වැටීම නිවෙස් මට්ටමින් සලකා බැලුවහොත් මිල ඉහළ යෑම, භාණ්ඩ නොමැති වීම සහ භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන නොහැකියාව යන හේතු මත එය සිදුව තිබේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය ආයතනවල හා දේශීය ආයතනවල දත්තවලින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක් කරා ගමන් ගනිමින් සිටින බවය. සුදුසු පියවර ගතහොත් මේ ගමන නැවැත්විය හැකි බව ද කිව යුතුය.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සම්බන්ධයෙන් ඉකුත් දිනෙක ලෝක බැංකුව එළි දැක්වූ වාර්තාවකට අනුව 2021 සහ 2022 වසරවල දී මෙරට දරිද්‍රතා මට්ටම සියයට 13.1 සිට 25 දක්වා ඉහළ ගොස් ඇති අතර මිලියන 2.5 ක ජනතාවක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇත. කෘෂිකර්මාන්තයෙහි යෙදී සිටින ශ්‍රමිකයන් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සඳහා භාවිත කළේ උපැයූ ආදායම්ය. 2021 වසරේ ජූනි මාසයේ කෘෂි පවුල්වල මුදල් උපැයීම් සියයට සියයක මට්ටමේ තිබුණි යැයි සිතමු.

වසර දෙකක් ගෙවුණු තැන උපැයීම් සියයට 20 කින් පමණක් වැඩි වී සමස්ත උපැයීම් සියයට 120 දක්වා වැඩි වී ඇතැයි ද සිතමු. එහි ප්‍රශ්නයක් නැත. එහෙත් ආහාර මිල ගණන් දර්ශකය වේගයෙන් ඉහළ ගොස් තිබේ. ප්‍රශ්නය එයයි. එනම්, කෘෂිකර්මාන්තයෙන් යැපෙන පුද්ගලයන්ගේ උපැයීම්වල වර්ධනය මන්දගාමී වුවද ආහාර මිල ගණන්වල මිල ඉහළ යෑම ශීඝ්‍රයෙන් සිදු වී ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය මට්ටමින් ආර්ථිකයේ විශේෂ කලාපවල ජීවත් වන පවුල්වලට ඔවුන් උපයන ආදායමෙන් ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ. ආහාර සුරක්ෂිතතාව සියයට 30 හෝ ඊට වැඩි ප්‍රමාණයකින් බිඳ වැටී ඇත. මෙවැනි තත්ත්වයක් මීට කලින් උද්ගතව නොතිබිණි.

ආහාර අනාරක්ෂිතතාව හේතුවෙන් මන්දපෝෂණය වැඩි වී ඇති බව පෙන්වා දෙන ලෝක බැංකු වාර්තාව 2021 දී සියයට 7.4 ක් වූ මන්දපෝෂණය 2022 දී 9.4 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි. ශ්‍රී ලංකාව ද ඇතුළුව දකුණු ආසියානු රටවල් හඳුන්වන්නේ සහල් රටවල් (Rice countries) වශයෙනි. ආහාර අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් සපුරා ගන්නේ සහල් හෝ ඒ ආශ්‍රිත ධාන්‍යමය භෝගවලින් බැවිනි. එහෙත් වෙනත් රටවල ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට සහල්වලට අමතරව රට කජු, බඩ ඉරිඟු, එළවළු, පලතුරු, කිරි, බිත්තර, මස්, මාළු අදිය ද යොදා ගැනේ.

මේ සියලු ආහාර ද්‍රව්‍ය පරිභෝජනය අතින් දකුණු ආසියානු කලාපයේ හොඳම තැනක සිටියේ ශ්‍රී ලංකාවයි. කැලරි ප්‍රතිශතය ගත්ත ද වෙනත් සෞඛ්‍ය දර්ශක ගත්ත ද අපි කලාපයේ ඉහළින් සිටියෙමු. ශ්‍රී ලංකාව සිටියේ අලුතින් දියුණු වූ මැලේසියාව තායිලන්තය ආදී රටවල්වල සංවර්ධනය සැසඳූ දර්ශකවලය. ආහාර සුරක්ෂිතතාව අතින් ඒසා දියුණු මට්ටමක සිටි ශ්‍රී ලංකාව ගෙවුණු වසර දෙක ඇතුළත කඩා වැටුණි.

Stunting wasting ආදී ළදරු මන්දපෝෂණ දර්ශකවලින් අප රට මේ වන විට ඉතා අවාසනාවන්ත තත්ත්වයක් කරා ගමන් කර තිබේ. ළමයන්ගේ බර අඩු වීමේ මන්දපෝෂණ තත්ත්වය ගතහොත් ලෝකයේ වෙනත් රටවල් සිටින තැනම සිටියි. නැතහොත් වඩා යහපත් තැනකට ගමන් කරයි. කෙසේ වෙතත් මෙරට ඉතා නරක තැනකට ගමන් ගනු ඇත. එහි බරපතළකම කොතෙක්ද යත් ලංකාව මන්දපෝෂණය උග්‍ර වන රටක් හැටියට මේ වන විට හඳුනා ගෙන තිබේ. අලුත උපන් දරුවකුට පළමු මාස 24 ඇතුළත ලැබිය යුතු පෝෂණ මට්ටම මේ වන විට ලැබෙන්නේ නැත.

ආහාර සුරක්ෂිතතාව බිඳවැටීමෙන් වැඩිමනත් බලපෑම් එල්ල වූයේ කුඩා දරුවන්ට, ගර්භණී මාතාවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ටය. තරුණයන්ට පෝෂණය අවශ්‍ය නොවන බව ඉන් අදහස් නොවේ. පෝෂණය සියලු දෙනාට අවැසි වුවද වැඩි වශයෙන් ඕනෑ වන්නේ ඉහත සඳහන් කළ පාර්ශ්වවලටය. මෙපරිදි මන්දපෝෂණය ඉහළ යෑම දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල දක්නට නොලැබේ. එය අපට පමණක් අනන්‍ය වූ ප්‍රශ්නයක් වූයේ ගනු ලැබූ වැරදි තීන්දු තීරණ නිසාය. අර්බුදය කෘෂි කර්මාන්තයෙන් හට ගැනුණ ද එහි ප්‍රතිඵල දර්ශනය වන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලිනි.

උද්ගතව ඇති මේ තත්ත්වය පාලනය කිරීම පිණිස කළ යුතු දේවල් ගැන මීළඟට අවධානය යොමු කළ හැකිය. ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක් මතුවූ විට ඇති විය හැකි තත්ත්ව කිහිපයක් තිබේ. එකක් නම්, ඊට බලපෑ හේතුව කුමක්ද යන්නය. දේශගුණ හා කාලගුණ විපර්යාස එක් හේතුවකි. ඒ සම්බන්ධව ඇති විය හැකි වෙනස්කම් නිවැරදිව පුරෝකථනය කර එමගින් අපේ කෘෂිකර්මාන්තයට විය හැකි බලපෑම් නිසි ලෙස තක්සේරු කිරීමක් සිදු වූයේ නැත. ඒවා සම්බන්ධයෙන් විශේෂඥයන් ලබා දුන් දැනුම භාවිත කළ බවක් අපි නුදුටුවෙමු.

දෙවැන්න නම්, පාරිසරික අර්බුදයයි. වෙසෙසින්ම ජලය දූෂණය වීම, පස සංරක්ෂණය නොවීම සහ ජෛව විවිධත්වය ආදී දේවල් පොතට පමණක් සීමා වූ ප්‍රවණතාවක් දැකිය හැකිය. ඒවා සම්බන්ධයෙන් ගොඩනගන ලද විද්‍යාත්මක දැනුම ප්‍රයෝජනවත් අයුරින් කෘෂිකර්මාන්තය සඳහා යොදා ගත් බවක් පෙනෙන්නට නොතිබිණි.

තෙවැන්න නම්, කොවිඩ් වසංගතයයි. එය අප විසින් නිර්මාණය කරගන්නා ලද අර්බුදයක් නොවුණ ද එය ද අපේ ආහාර සුරක්ෂිතතාව බිඳ වැටීම කෙරෙහි බල පෑවේය. එය සෞඛ්‍යමය බලපෑමකි. අප එම වසංගතයට සුදුසු ලෙස මුහුණ දුන්නේද යන ප්‍රශ්නය පැන නගී. වසංගතය මධ්‍යයේ කාබනික කෘෂිකර්මයට යොමු වෙමින් අපි තවත් අනතුරක් නිර්මාණය කළෙමු. චීනය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ආදී රටවල් වසංගතය හමුවේ වුවද තම වෙළෙඳපොළවල් දියුණු කර ගත්තේය.

සිව්වැන්න නම්, ආර්ථික අර්බුදයයි. එවැනි අර්බුදයක් හට ගැනීම වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග නොගැනීම නිසා රටේ ආර්ථිකය කඩාවැටී එයින් ආහාර සුරක්ෂිතතාවට ද දැඩි අහිතකර බලපෑම් එල්ල විය. 

පස්වැන්න නම්, දේශපාලනික හා ආයතනික වශයෙන් උද්ගතව ඇති අර්බුදයි. රටේ දේශපාලන ක්‍රමය අස්ථාවර වන අතර ආයතනික පද්ධතිය ද නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත.

ඉහත සාකච්ඡා කළ අර්බුදවලට ලෝකයේ වෙනත් රටවල් විසඳුම් සොයන්නේ ඒවා එකට ගෙනය. එහිදී ඒවාට අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ විශේෂඥයන් අතර මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගේ. එහෙත් අපි ඊට අසමත් වූයෙමු. 

සියලු පාර්ශ්වවල සම්බන්ධීකරණය සහිතව සකස් කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණ ද අවාසනාවට එය මෙතෙක් ක්‍රියාත්මකභාවයට පැමිණ නැත. ඒ ආකාරයේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මුඛ්‍ය අරමුණ වූයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමය. ඒ අරබයා සියලු දෙනාගේ අනුමතය ඇතිව ප්‍රතිපත්ති කලාප 10 ක් හඳුනා ගැනිණි.

ප්‍රතිපත්ති ප්‍රකාශන 15 ක් යටතේ විවිධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු 200 කට වැඩි ක්‍රියාකාරකම් සංඛ්‍යාවක් ද එම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් ඉදිරිපත් කරන ලදී. එය ක්‍රියාත්මක කළ පමණින් මේ සියලු ප්‍රශ්න නොවිසඳුන ද අර්බුදය විසඳීමට අදාළ පරිසරය ගොඩ නැගෙනු ඇත

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට සමගාමීව මෙරට කෘෂිකර්මය නිවැරදි ආකාරයට ප්‍රතිසංවිධානය කිරීමට හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව සකස් කරන ලද අධි සාදන කෘෂිකර්ම ප්‍රතිපත්තිය (Overarching Agricltural Policy) ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වේ.

දැන් මේ ප්‍රතිපත්ති දෙකම ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමයි. එය කළහොත් කෘෂිකර්මයට සම්බන්ධ මේ අර්බුදවලින් එළියට පැමිණීමට අපට හැකි වේ. කෘෂිකර්මයෙන් දියුණු වූ සෑම රටකම දියුණු ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඇත. ඉන්දියාව, බංග්ලාදේශය වැනි කලාපීය රටවල කෘෂිකර්මය ඊට දැක්විය හැකි මනා නිදසුන්ය. එම රටවල් ප්‍රතිපත්ති බිඳ වැටෙන්නට ඉඩ නොතියයි.

ජනාධිපතිවරයා ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබුණේ සාම්ප්‍රදායික කෘෂිකර්මය මත රැඳී නොසිට එය නවීකරණය කළ යුතු බවය. එම ප්‍රකාශයට මම එකඟ වෙමි. නවීකරණය වූ තාක්ෂණයෙන් දියුණු වූ වරාය හා වෙළෙඳපොළ සම්බන්ධ වූ කෘෂිකර්මයකට අප යා යුතුය. ඊට අදාළ පියවර අද දිනයේ දී නොගත හොත් තව අවුරුදු තුන හතරකින් අප සිටි තැනම සිටිනු ඇත.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති, කෘෂි ආර්ථික හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ

සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ