ආහාර අහේනිය දුරලන ජාතික සැලැස්මක් අවශ්‍යයි


ආහාර අහේනිය, මන්දපෝෂණය, ආහාර වේල් අතහැර දැමීම කාලයක සිට මේ රටේ පොදු මාතෘකා බවට පත්ව තිබේ. බැලූ බැල්මට රටේ ආහාර හිඟයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. එහෙත් ඊට යටින් දිවෙන හැබෑ කතාව ඉතා අමිහිරි ය. කටුක ය. ඒ බව අනාවරණය වූ සමීක්ෂණ ගණනාවක් පසුගිය කාලය තුළ දී ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එහි නවතම වාර්තාවේ තොරතුරු හෙළිකර තිබුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වන වලේබොඩ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙරට ජනගහනයෙන් සියයට 28ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් අධික උද්ධමනය හේතුවෙන් ජනතාවට ආහාර සඳහා සිය ආදායමෙන් සියයට 75ක් වැය කිරීමට සිදුව ඇති බවත් ය. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමීක්ෂණවල දී මේ තොරතුරු අනාවරණය වූ බව ද ඒ මහතා ප්‍රකාශ කර තිබිණි.

2019 වර්ෂයේ දී ආහාර සඳහා ජනතාව වැයකර තිබුණේ ආදායමෙන් සියයට 32ක ප්‍රතිශතයක් පමණක් වීම සමඟ සසඳා බලනවිට මෙය ජනතාවගේ බත්පතට හෙනහුරා කඩා වැටීමකි. ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය ද වසර 10ක පමණ කාලයක සිට සියයට 20 තරම් ඉහළ අගයක පවතින බව ද එයට දරිද්‍රතාව සහ වෙනත් කරුණු බලපා තිබෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබිණි. ජනගහනයෙන් සියයට 80ක් පමණ නිසි පෝෂණය නොලබන පිරිසක් බව ද සමීක්ෂණවලට හසු වී තිබූ තවත් තොරතුරකි.

මෙය ආහාර සහ පෝෂණය අතින් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය සැබෑ ලෙස පිළිබිඹු කිරීමකි. දිගින් දිගට ම මෙවැනි ආහාර අහේනියකට මුහුණ දීමට සිදුවීම ජනතාවගේ සෞඛ්‍යයට ඍජුවම බලපාන බවත් එහි ප්‍රතිඵල ඉතාම අහිතකර විය හැකි බවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ගණනාවක්ම වරින්වර පෙන්වා දී තිබිණි. ආහාර අහේනියේ වැඩි ම බලපෑම ජීවන මට්ටමේ පහළ ම අඩියේ සිටින පිරිසට එල්ල වන බව යථාර්ථයයි.

කොහොමත් දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටින මේ පිරිසේ පෝෂණ මට්ටම කෙසේ හෝ ඉහළ නංවා ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් ඔවුන් තවදුරටත් දුර්වලවීම වළක්වා ගත නොහැකි වනු ඇත. ආහාර මලු‍, සහල් මලු‍ බෙදාදීමේ වැඩපිළිවෙළ මේ තත්ත්වය තරමක් දුරකට හෝ මර්දනය කිරීමට හේතු වුව ද එය ස්ථිර විසඳුමක් නොවේ. ඒ සඳහා විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාවේ යෙදවීම අවශ්‍ය වෙයි. වලේබොඩ මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි දරිද්‍රතාව වැළැක්වීමට නම් රටේ උද්ධමනය පාලනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවේ යෙදවිය යුතුය. 

ලෝක බැංකුව මගින් පසුගියදා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාවේ වර්ධනය යාවත්කාලීන කිරීමේ වාර්තාවට අනුව නාගරික මට්ටමේ දරිද්‍රතාව මේ වනවිට සියයට 25ක් දක්වා ඉහළ නැග තිබෙන අතර ඉදිරි වසර කිහිපය තුළ දී එය එසේ ම පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබේ.

ආර්ථික අර්බුදය මගින් දිළිඳුකම අඩු කිරීම සහ ජනතාවගේ සුබසෙත වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ලබාගන්නා ලද ප්‍රගතිය ආපස්සට හරවා ඇති බව ද එහි සඳහන් ය. මෙය ආර්ථික අර්බුදයෙන් බරපතළ ම පහර වැදී සිටින දිළිඳු මට්ටමේ ජනතාව බෙල්ල ළඟට ම සිර කිරීමකි.

මේ රටේ ජනගහනයෙන් මිලියන තුනකට අධික සංඛ්‍යාවක් අඩු ආදායම්ලාභීන් වශයෙන් සැලකෙයි. ඔවුන් සඳහා සමෘද්ධිය ඇතුළු සුබසාධන සැලසුම් ක්‍රියාත්මකය. එහෙත් නොපෙනෙන යථාර්ථය නම් මැදි ආදායම් ලබන පවුල් විශාල පිරිසක් ද ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් පීඩා විඳින බව ය. මේ හේතුවෙන් ඔවුන්ගේ බත්පතින් ද බොහෝ පෝෂණ කොටස් මේ වනවිට හැලී තිබේ. එහි බලපෑම් වඩාත් එල්ල වන්නේ එම පවුල්වල දූ දරුවන් කෙරෙහිය. 

පසුගිය වසරට සාපේක්ෂව මේ වනවිට ඇතැම් අත්‍යාවශ්‍ය ආහාර වර්ගවල මිල ගණන් පහළ ගොස් තිබෙන බව සැබෑවකි. තෙල් සහ ගෑස් මිල ගණන් ද පහළ ගොස් තිබේ. එහෙත් සෙසු වියදම් සහ බදු ඉහළ යාම හේතුවෙන් මධ්‍යම පාන්තික ජනතාව ද තුන්වේල ගැට ගසා ගන්නේ මහත් අපහසුවකිනි.

සමීක්ෂණ වාර්තා සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන්නේ පවතින සැබෑ තත්ත්වය නොවන බවත් මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම දිළිඳු ම මට්ටමේ ජනතාවට පමණක් නොව මධ්‍යම පාන්තික ජනතාවට ද මහත් ගැටලු‍වක් වී ඇති බවත් කනගාටුවෙන් වුව ද පෙන්වා දිය යුතුය.

(***)