ඇඟලුම් කර්මාන්තය රටට නැතිවම බැරි ඩොලර් නැතහොත් විදේශ විනිමය උපයා දෙන කර්මාන්තයකි. බොහෝ කාලයක සිට එයට හිමිවූයේ තෙවැනි පන්තියේ සැලකිලිය. ඇතැමුන් එය හැඳින්වූයේ සුද්දන්ට ජංගි මහන කර්මාන්තයක් ලෙසය. ඒ කර්මාන්තයේ වටිනාකම හා වැදගත්කම ඉස්මතු වූයේ කොරෝනා වසංගතය නිසා නිර්මාණය වූ ආර්ථික අවපාතය නිසාය.
කොරෝනා වසංගතය මැදත් ඇඟලුම් කම්හල් ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් විශේෂ අනුග්‍රහයක් හා දිරි ගැන්වීම් කෙරිණි. එහෙත් කර්මාන්තයෙහි පවතින සියලු ප්‍රශ්න විසඳී නැත. ශත පහක් වැය නොකර විසඳිය හැකි ප්‍රශ්න ද ක්‍රමයෙන් ඇදී යයි. ගොඩ ගැසෙයි. කර්මාන්තයේ ඉතා ඉක්මනින් විය යුතු වෙනස්කම් කීපයක් ගැන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් ටිව්ලි කුරේ මහතා මෙසේ අදහස් දක්වයි.
ඇඟලුම් කර්මාන්තය දැනට මුහුණ දී සිටින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ අපේ සේවකයන්ට නිදහසේ රැකියාව කිරීමට පවතින නොහැකියාවය. ඔවුනට තවමත් සේවය කිරීමට සිදුව තිබෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය. මුහුණු ආවරණ පැළඳිය යුතුය. මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යා යුතුය. අපේ සියලු සේවකයන් සේවයේ යෙදවිය නොහැකිය. ඒ නිසා අවශ්‍ය තරම් සේවයට ගෙන්වා ගැනීමට පවතින නොහැකියාව දැනට පවතින ප්‍රධාන ප්‍රශ්නයකි. එහෙත් එන්නත්කරණ ක්‍රියාදාමය සාර්ථකව දියත් වන නිසා ඒ තත්ත්වය ක්‍රමයෙන් තුනී වෙමින් පවතී. තවත් කාලයක් යන විට එය හොඳම තත්ත්වයකට පත්වෙතැයි අපි විශ්‍වාස කරමු. එය අපට පමණක් නොව ලංකාවේ පවතින ඕනෑම කර්මාන්තයකට බලපාන ප්‍රශ්නයකි. ඒ නිසා පොදුවේ පවතින ඒ ප්‍රශ්නය තවදුරටත් එලෙසින්ම පවතී.
දැනට පවතින නීති සහ රෙගුලාසි යටතේ පවතින අනෙක් බරපතළ ප්‍රශ්නය විදේශ විනිමය සොයා ගැනීමට ඇති අපහසුවයි. නිෂ්‍පාදනයේ යෙදෙන අපනයනකරුවන්ට මේ ප්‍රශ්නය බලපාන්නේ අඩුවෙනි. ඔවුහු ඩොලර් උපයන්නෝය. ඔවුන් පිටරටවලින් භාණ්‍ඩ ගෙන්වන්නේ නම් කරදරයකින් තොරව භාණ්‍ඩ ගෙන්වීමටත් ඒ සඳහා තමන් උපයන ඩොලර් පරිහරණය කිරීමටත් ඔවුනට හැකියාව තිබේ. ඒ සඳහා රජයේ අවසරය හිමිය. එහෙත් අපි දේශීය වශයෙන් ද නොයෙක් අමුද්‍රව්‍ය මිල දී ගනිමු. පැකින් මැටීරියල්ස් ඊට එක් උදාහරණයකි. එසේම නොයෙක් උපාංග ද එලෙස දේශීය වශයෙන් සපයා ගනිමු. උප කොන්ත්‍රාත් ක්‍රමයට සේවා ලබා ගැනීම ද එසේ දේශීයව කරගන්නා දෙයකි. ඒ ඒ කාර්යයන් හෙවත් ඒ ඒ සේවා ලබාදෙන අය සලකන්නේ වක්‍ර අපනයනකරුවන් ලෙසිනි. ඔවුනට ගෙවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේදී ප්‍රශ්න ඇතිවී තිබේ. එවැනි සමාගම් සලකන්නේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වක්‍ර අපනයනකරුවන් ලෙසිනි. ඔවුනට ගෙවීම් කළ යුත්තේ ද ඩොලර්වලිනි. ඔවුන්ගෙන් අප සපයා ගන්නා සේවාවලට ගෙවිය යුත්තේ ඩොලර් මගිනි. එය ඔවුනට දෙන සහයෝගයකි. පවතින ඩොලර් හිඟය නිසා ඔවුන් සමග කටයුතු කිරීමේ දී යම් යම් අපහසුතා පැන නැග තිබේ. මේ පවතින තත්ත්වය නිසා නිදහසේ කටයුතු කරගෙන යාමේ හැකියාව අඩුවී තිබේ.
පවතින තෙවැනි ප්‍රශ්නය ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය රට ඇතුළේ නිෂ්‍පාදනය කිරීම වැඩි දියුණු කිරීමය. අප අමුද්‍රව්‍ය ගෙන්වන රටවල ද කොරෝනා නිසා බරපතළ ප්‍රශ්න ඇතිවිය. ඒ රටවල් විවෘත කරන විට අපේ රට ලොක්ඩවුන් ය. ජී.එස්.පී. සහනය ලැබුණත් දේශීයව අමුද්‍රව්‍ය සපයා ගැනීමට අපට හැකිවී නැත. ඒ නිසා රජය සමග එකතුවී එරාවුර් ප්‍රදේශයේ රෙදි නිෂ්පාදන කම්හල් ආරම්භ කිරීමට දැනට අපි කටයුතු කරගෙන යමින් සිටිමු. එරාවුර් තෝරාගත්තේ කාර්මික තාක්ෂණික, පාරිසරික හා භූගෝලීය සාධක මතය. නිෂ්පාදනයේ දී පිටවන අපද්‍රව්‍ය බැහැර කිරීමේ සුවිශේෂ හැකියාවක් ඒ ප්‍රදේශයේ පවතින නිසා එරාවුර් තෝරා ගත්තෙමු. ඒ කටයුත්තට සුදුසු වෙනත් ප්‍රදේශයක් ලංකාවේ නැත. පරිසරයට හානියක් නොවන සේ එරාවුර්වල ඒ නිෂ්‍පාදන කටයුතු කළ හැකිය. දැනට ලෝකයේ පවතින විශිෂ්ටතම යන්ත්‍ර සූත්‍ර භාවිතා කර එහි රෙදිපිළි නිෂ්පාදන කටයුතු ඇරැඹීමට නියමිතය. ඒ රෙදිපිළි දේශීය වෙළෙඳපොළට සේම විදෙස් වෙළෙඳපොළට අපනයනය කිරීමට ද නියමිතය. එරාවුර්වල නිෂ්‍පාදනය කරන්නේ රෙදි පමණකි. ඇඟලුම් නිෂ්‍පාදනයක් එහි සිදු නොවෙයි. කපු හා සින්තටික් හෙවත් කෘත්‍රිම නූල් පිටරටවලින් ගෙන්වා රෙදි නිෂ්පාදනය කිරීම බලාපොරොත්තුවයි. ඒ නූල් ලංකාවේ නිෂ්‍පාදනය කළ නොහැකිය.
රෙදි විවීම හා කැටීම එරාවුල්වල සිදුවීමට නියමිතය. ඒ රෙදි ඍජුව අපනයනය කළ හැකිය. එසේම අපනයනය සඳහා ඇඟලුම් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන්ට සැපයිය හැකිය. එසේම දේශීය වෙළෙඳපොළට ඇඟලුම් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන්ට ද ඒ රෙදි සැපයිය හැකිය. දැනටත් සමාගම් දෙකක් එහි ක්‍රියාත්මකය. ඒ සමාගම් දෙක දැනට ආයෝජනය කර තිබෙන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 80කි. 2022 වසර අවසානයේ දී නිෂ්‍පාදන කටයුතු ආරම්භ කිරීම අපේ බලාපොරොත්තුවයි. ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්‍පාදනය කිරීම මහා පරිමාණ ක්‍රියාවලියකි. එය ලෙහෙසි හෝ පහසු කටයුත්තක් නොවේ. වියදම හෙවත් ආයෝජනය ද ඉතා විශාලය. එරාවුර් කාර්මික ප්‍රදේශය අක්කර 200ක් පමණ විශාලය. එය හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කළ පර්ෙය්ෂණවල ප්‍රතිඵලයකි. ඒ පර්ෙය්ෂණ මත ඇති කරන කාර්මික ප්‍රදේශයකි.
කතා කළ යුතු අනෙක් ප්‍රශ්නය ලෝක වෙළෙඳ පොළය. ලෝක වෙළෙඳ පොළේ අසමතුලිතා රැසකට අපි මුහුණ දෙමින් සිටිමු. ලෝකය පුරාම ඇඟලුම් වෙළෙඳාම ආරක්ෂිතව කෙරෙන්නකි. සෑම රටකම නොයෙක් සීමා කිරීම් පවතී. සීමා කිරීම් කොතෙක් තිබුණත් සංවර්ධිත රටවල් ඇඟලුම් වෙළඳාම සඳහා විවිධ රටවලට නොයෙක් සහන සපයයි. යුරෝපයේ පවතින ජී.එස්.පී. සහනය තෙයාකාරය. සාමාන්‍ය සහන එකකි. ඉන් සිදු වන්නේ යම් කිසි රටකට ඇඟලුම් ආනයනය කිරීමේදී ඒ සඳහා අය කරන රේගු බදු මුදල සියයට 20 කින් අඩු කිරීමය. ඒ සහනය ලැබෙන්නේ ඇඟලුම් නිෂ්පාදනය කරන රටේ කම්කරුවන්ට හොඳට සලකනවා නම් ය. දෙවැනි ජී.එස්.පී. සහනය එව්රිතින් බට් ආර්ම් (Everything But Arm) ලෙස හඳුන්වයි. එසේ හැඳින්වෙන්නේ ආයුධ වෙළඳාම හැරුණු කොට අනෙක් සියලු භාණ්‍ඩ සඳහා දෙන සහනයකි. එහිදී යම් රටක් තවත් රටකට ඒ සහනය දී තිබුණොත් තම රටට ආනයනය කරන බඩුවලට අයකරන බදු සියයට 100 කින් අඩු කරයි. ඒ කියන්නේ බදු අය කරන්නේම නැත යන්නය. ඒ සහනය දෙන්නේ ඌණ සංවර්ධිත රටවලටය. එසේ ඌණ සංවර්ධිත රටවල් ඇත්තේ 12 කි. ඒ රටවලට වෙනත් රටවලට තීරු බදුවලින් තොරව භාණ්‍ඩ සැපයිය හැකිය.
ජී.එස්.පී. ප්ලස් නමින් හඳුන්වන්නේ තෙවැනි ක්‍රමයයි. ලංකාවට ලැබී තිබෙන්නේ ඒ සහනයයි. එහිදී බදු සහන ලැබෙන්නේ භාණ්‍ඩ වර්ග 6000 සිට 7000 අතර ප්‍රමාණයකටය. ඒ භාණ්ඩ වර්ගවලට පමණක් සියයට 100 ක බදු සහනයක් හිමිවෙයි. ලංකාවට ඒ සහනය තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යැවීමට පමණකි. එහෙත් බංග්ලාදේශයට යුරෝපයට අමතරව තවත් රටවල් 12 කටත් සියයට 100 ක බදු සහනයක් යටතේ ඇඟලුම් අපනයනය කළ හැකිය. චීනය හා ජපානය උදාහරණය. එහෙත් චීනයෙන් හෝ ජපානයෙන් අපට එවැනි සහනයක් නොලැබෙයි. එවිට අප බංග්ලාදේශය සමග තරග කළ යුත්තේ සියයට 12 සිට සියයට 18 අතර අවාසියක සිටිමිනි. බංග්ලාදේශය ඇතුළු රටවල් 12 කට අපට නැති සහනයක් හිමිය. ඒ අනුව අපට තිබෙන තරගය ඉතා තියුණුය. එක පැත්තකින් අපට අමුද්‍රව්‍ය නැත. අනෙක් පැත්තෙන් අපේ නිෂ්පාදන වියදම ඉහළ මට්ටමක පැවතීම හේතුකොටගෙන ඇතිවී තිබෙන මිල පිළිබඳ තරගයකට ද මුහුණ දිය යුතුය. ඒ සියල්ල අතර ලංකාව මුහුණ දී සිටින්නේ විශාල තරගයකටය. ඒ නිසා අප තරග කාරිත්වය නිරතුරුවම වර්ධනය කරගත යුතුය. තරග කාරිත්වය නැති වුණොත් අපට කිසිවක් නැති වෙයි.
ඒ නිසා අපේ රට ද අනෙක් රටවල් සේ විදේශ වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් විය යුතුය. අපට ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමක් තිබේ. ඉන් අපට ලැබී තිබෙන්නේ ඉන්දියාවට කෑලි මිලියන අටක් යැවීමට පමණකි. ඒ එක කෑල්ලක වටිනාකම ඩොලර් පහක් නම් ඉන්දියාවට යැවිය හැක්කේ මිලියන 40 ක් වටිනා භාණ්‍ඩ පමණකි. ඒ කියන්නේ ඉතා විශාල ඉන්දියානු වෙළෙඳ පොළට පිවිසීමට අපට ඉන්දු ලංකා වෙළෙඳ ගිවිසුමෙන් ඉඩ ලැබී නැත. ඒවා ගැන සාකච්ඡා කළ යුතුය. අපට විශාල වෙළෙඳ පොළක් හිමිකර ගත යුතුය. චීනය සමග වෙළෙඳ ගිවිසුමක් ගැන කතා කළත් එය ඉටු නොවීය. ජපාන වෙළෙඳ පොළ අපට හිමි නොවුණත් බංගල්දේශයට ඒ වෙළෙඳපොළ හිමිය. ඒ වෙළෙඳ පොළවල අපට වරණීය සහනයක් හෙවත් බදු නැතිව බඩු යැවිය නොහැකි නිසා අප අවාසිදායක තත්ත්වයක සිටිමින් තරග කළ යුතුය. එහෙයින් අප කළ යුත්තේ අපේ ශ්‍රම බලකායේ හැකියා වර්ධනය කිරීමය. ශ්‍රමයේ ප්‍රාගුණ්‍යය ඉහළ නංවා එමගින් වාසි ලබාගනිමින් දැනට අපි විදේශ වෙළෙඳ පොළෙහි රැඳී සිටිමු. පවතින ජාත්‍යන්තර තරගය මත ඇඟලුම් කර්මාන්තය දැනුම මත පදනම් වූ ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. වටිනාකම එකතු කළ නිෂ්පාදන කිරීම ඇඟලුම් වෙළෙඳාමේ වටිනාම කොටසය. ඒ ගමන අප ආරම්භ කර තිබුණත් ඉහත කී අඩුපාඩු වහා සම්පූර්ණ වන බවක් නොපෙනෙයි. දැනුම පදනම් කරගෙන වුවද අපට යා හැකි දුර ඉතා සීමිතයි.
එහෙයින් අපගේ මූලිකම ඉල්ලීම වන්නේ ලෝක වෙළෙඳ පොළ සමග ලෝක වෙළෙඳ ප්‍රජාව සමග වරණීය සහන හෙවත් බදු නැතිව භාණ්ඩ අපනයනයට ඉඩකඩ සලසා ගැනීමය. ලෝකයෙහි රටවල් අතර ඇතිකරගෙන තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම් ගණන 500 කට අධිකය. අප වෙළෙඳ ගිවිසුම්වලට එළඹ සිටින්නේ ඉන්දියාව සිංග්පූරුව හා පාකිස්තානය සමග පමණකි. ඉන්දු ලංකා වෙළෙඳ පොළේ දොරටු විවෘත කර නැති බව මම ඉහත කීවෙමි. පාකිස්තානය අපත් සමග ලෝක වෙළෙඳ පොළෙහි තරග කරන රටකි. දැනට තිබෙන වෙළෙඳ ගිවිසුම් තුනෙන්ම ඇඟලුම් කර්මාන්තයට කිසිම වාසියක් නැත.
එසේ නම් අප ලෝක වෙළෙඳ පොළක් ගැන කතා කළාට අප ලෝක වෙළෙඳ පොළෙහි වෙළඳාම් නොකරන බව දැන් අනාවරණය වෙයි. ලෝක වෙළෙඳපොළ අත්පත් කරගන්නා අතරම අපේ නිෂ්පාදනවල තරගකාරිත්වය ඉහළ නංවා ගත යුතුය. එරාවුර්වල රෙදි නිෂ්පාදන කම්හල් පිහිටුවන්නේ ඒ සඳහාය. නගරයේ තිබුණු ඇඟලුම් කම්හල් ගමට ගෙන ගියේ ඒ සඳහාය. ඒ සියල්ලෙන් උත්සාහ කරන්නේ වියදම් අඩුකර තරගකාරිත්වය ඉහළ නැංවීමය.
රජය පැත්තෙන් ඇඟලුම් කර්මාන්තයට සහන ලැබෙන බව සත්‍යයකි. එහෙත් මා කියන්නේ රජයට කළ හැකි හා කළ යුතු බොහෝ දේවල් තවත් තිබෙන බවය. රජයෙන් ඉටුවිය යුතු ප්‍රධාන යුතුකම වගකීම ජාත්‍යන්තරයේ සහනදායක වෙළෙඳ පොළ තව තවත් හිමිකර දීමය. එසේම දේශීය වශයෙන් අපේ වියදම් අඩු වන ක්‍රම සහ විධි ඇති කළ යුතුයි. රේගුව සමග ගනුදෙනු කිරීමේදී තොරතුරු තාක්ෂණය ඔස්සේ ගනු දෙනු කිරීමේ ක්‍රම හඳුන්වා දිය යුතුය. එසේ කළහොත් ඒ වෙනුවෙන් අප කැප කළ යුතු කාලය හා ශ්‍රමය අඩු කරගත හැකිය.
කාලය හා ශ්‍රමය අඩුවූ විට වැය වන මුදල ද අඩු වෙයි. කාලය අඩුවීම ඉතා වැදගත්ය. අප දැනට වෙළෙඳ පොළේ රැඳී සිටින ප්‍රධාන කාරණයක් වන්නේ ඇණවුම් වෙලාවට සැපයීමෙනි. ඒ සඳහා ගතවන කාලය තවත් අඩුවෙයි නම් ලෝක වෙළෙඳ පොළෙහි රැඳී සිටින්නට අපට ලැබෙන ශක්තිය තවත් වැඩිවෙයි.
දැනට අප රේගුව සමග කරන කටයුතුවලට දවස් පහක් ගතවන්නේ නම් එය දවසකට අඩු කරගත යුතුය. එවිට අපට දවස් හතරක් ඉතිරි වෙයි.
නිර්මාණකරණය වැනි බොහෝ කටයුතු දැන් අප කරන්නේ තොරතුරු තාක්ෂණය ඔස්සේය. අතීතයේ දවස් 14ක් ගිය කටයුත්ත දැන් දවස් දෙකකින් කරන මට්ටමට අපි දියුණු වී සිටිමු.
තොරතුරු තාක්ෂණයෙහි ඇතුළත් 3D තාක්ෂණය ඔස්සේ කළ හැකි විස්කම් ඉතා විශාලය. නිෂ්‍පාදනය සඳහා නොවන වියදම් අඩු කළ විට අපේ තරගකාරිත්වය නිරුත්සාහකවම ඉහළ යයි. රජයෙන් හොඳ ප්‍රතිචාර නැතිවා නොවේ. එහෙත් විසඳුම් ඉතා මන්දගාමීය. ජාත්‍යන්තර වශයෙන් තරග කළ හැකි වෙළෙඳ ප්‍රතිපත්තියක් සකසා ගැනීමට තවමත් ක්‍රියාත්මක නොවෙයි. වෙළෙඳ පොළ අත්පත් කරගැනීම සඳහා අනෙක් රටවල් සමග සාකච්ඡා කළ යුතුය. එය විය යුත්තේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ඔස්සේය. එහෙත් රජය තවමත් ඒ ගැන සිතා ඇති බවක් නොපෙනෙයි. මට හිතෙන හැටියට රජය තිබෙන්නේ ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයකි. ජී.එස්.පී. ප්ලස් බදු සහනය රැක ගැනීම සඳහා රජය අවශ්‍ය කටයුතු කළ බව අපි දනිමු. ඒ වගේම වෙළෙඳ ගිවිසුම්වල දී අපේ බඩු ඒ රටවලට යවා ඒ රටවල බඩු මෙරටට ගෙන්වා ගැනීමට බෑ කියන්න බැරිය. එය දෙපැත්තටම ජයග්‍රහණ ලැබෙන ක්‍රියා මාර්ගයක් විය යුතුය. එහිදී අනුගමනය කළ යුත්තේ දීම් සහ ගැනීම් (Give & take) ප්‍රතිපත්තියයි. අපේ භාණ්ඩ යැවිය යුතුය. එරට භාණ්‍ඩ භාරගත නොයුතුය කියන චින්තනය වෙනස් විය යුතුය.
(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)