ඇඟලුම් කර්මාන්තයට හෙනහුරු දසාව


කොරෝනා වසංගතය උත්සන්නව පැවැති සමයේ රටට විදේශ විනිමය ලැබුණේ ඇඟලුම් අපනයනවලින් පමණකි. වසංගතය උත්සන්නව පැවැති සමයේ ඉහළ මට්ටමක පැවැති ඒ කර්මාන්තය ද දැන් ක්‍රමයෙන් ඇද වැටෙමින් හා බිඳ වැටෙමින් පවතී. ඊට හේතු මොනවාද සහ කළයුතු පිළියම් මොනවාදැයි අප විමසුවේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ගේ සංගමයේ මහලේකම් හේමන්ත පෙරේරා මහතාගෙනි. මේ ඒ මහතාගේ හඬයි.

අපේ සංගමය ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනයෙන් හා අපනයනයෙන් 30% ක් නියෝජනය කරයි. එසේම ඍජු හා වක්‍ර රැකියා 75,000 කට අධික ප්‍රමාණයක් අපේ කර්මාන්ත ශාලා ඇසුරින් බිහිවී තිබේ. ඔවුන්ගෙන් යැපෙන්නන් ගණන ලක්ෂ තුනකට අධිකය. සමස්ත ඇඟලුම් කර්මාන්තයෙන් යැපෙන පිරිස ලක්ෂ 30ක් පමණ වෙයි. 2020 මාර්තු 18 වැනිදා සිට දිගටම අප මුහුණ දුන්නේ අභියෝගවලටය. එවකට අපට තිබූ ගැටලුවට රජය, රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග සාකච්ඡා කරමින් ගැටෙමින් පිළිතුරු සපයා ගත්තෙමු. කර්මාන්තය රැකගන්නට අපි බොහෝ කැපකිරීම් කළෙමු. එහි ප්‍රතිඵල ලෙස අවුරුදු තිහකට පසුව වැඩිම ආදායමක් උපයන්නට ඇඟලුම් කර්මාන්තයට හැකියාව ලැබිණි. අපේ ඉලක්කය වන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 10 ක ආදායමකි.

එහෙත් පසුගිය මාස දෙකෙහි රටේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිසා කොරෝනා වසංගතය පැවැති සමයේ තිබූ අවදානම් සිය දහස් ගුණයකින් ඉහළ ගොසිනි. ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන අපේ රට දැනට ශ්‍රේණිගත කර තිබෙන තැන ඉතා භයානකය.

වර්තමානයේ උද්ගතව තිබෙන ප්‍රශ්න මහා පරිමාණ යෙන් බලපාන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම්කරුවන්ටය. මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තවලට බලපෑමක් නැතැයි ඉන් නොකියැවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ කම්හල් කඩා වැටෙන විට මහා පරිමාණ කම්හල්වලට පවතින්නට බැරි වෙයි. සුළු හා මධ්‍ය පරිමාණ කම්හල්වලට බොහෝ ඇණවුම් ලබා දෙන්නේ මහාපරිමාණ කම්හල්වලිනි. මහා පරිමාණ අයට ඇණවුම් නැතිවූ ගමන් සුළු හා මධ්‍ය පරිමාණ කම්හල්වලට ඇණවුම් නොලැබී යයි. එවිට ඒ කම්හල්  මියයයි. ඉන් පසුව ඒ තත්ත්වය මහා පරිමාණ කම්හල්වලට ද බලපායි. මහා පරිමාණ අය වැටෙන්නේ පැදුරෙන් නොව ගහෙනි. ඔවුනට නැගිටින්නටම බැරි වෙයි. සුළු හා මධ්‍ය පරිමාණ අය තම ඉඩම් හා දේපළ විකුණා ගනිමින් හෝ නොමැරී ජීවත් වෙන්නට උත්සාහ ගනිති.

ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පවතින්නේ මහා පරිමාණ කම්හල්වල මහිමයෙනි. ඇඟලුම් කර්මාන්තයෙන් සියයට 50% කට වැඩි ප්‍රමාණයක් පදනම්ව පවතින්නේ කපු ආශ්‍රීත නිෂ්පාදනවලිනි. එහෙත් දැන් ජාත්‍යන්තරයේ කපු නිෂ්පාදනවල මිල ගණන් සියයට 120 කින් ඉහළ ගොසිනි. සින්තටික්වල මිල ද සියයට 40 සිට 50 අතර ගණනකින් වැඩිවී තිබේ. සින්තටික් මිල තීරණය වන්නේ ඛනිජ තෙල් මිලත් සමගය. ඒ නිසා අපේ විකුණුම් මිලෙන් 80% කට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ අමුද්‍රව්‍ය සඳහාය. අමු ද්‍රව්‍ය මිල එසේ වැඩිවී තිබුණත් අපේ ගැනුම්කරුවන් ගැනුම් මිල ශතයකින් වත් වැඩි නොකරයි. ඊට හේතුව අපට තරඟකාරී වෙනත් රටවලින් කාටත් මිල වැඩි වීමක් වී නොමැති හෙයිනි. වෙනත් රටවල ආණ්ඩුවලින් ලැබෙන දිරිගැන්වීම් නිසා ඒ රටවල ඇඟලුම්හල් හිමියන්ට කර්මාන්තය කරගෙන යාමට හැකිවී තිබේ. ඒ රටවල් හා සමාන තරඟකාරී මිලක් පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් අපට කර්මාන්තය කරගෙන යාමට නොහැකි වෙයි. ඩොලරයේ වටිනාකම ඉහළ යාමෙන් හා අපේ අතිදක්ෂ ශ්‍රම බලකායත් හේතුවෙන් ජාත්‍යන්තරයේ පවතින මිල සමග කර්මාන්තය කරගෙන යාමට හැකියාව ලැබී තිබේ.

කර්මාන්තය කරගෙන යාමට දැනට අපට තිබෙන ලොකුම බාධාව විදුලිය  කැපීමයි. අනෙක් ප්‍රශ්නය ප්‍රවාහනය නිසි ලෙස කරගැනීමට නොහැකිවීමයි. බොහෝ කර්මන්ත ශාලා සේවා මුර ක්‍රමය යටතේ සතියේ දවස් හතරේම වැඩ කරයි. විදුලිය කැපීම නිසා දැන් කර්මාන්ත ශාලා එසේ පවත්වාගෙන යා නොහැකිය. විදුලිය ජනන යන්ත්‍ර තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට ඩීසල් ද නැත. විදුලිය ජනන යන්ත්‍ර වලින් කටයුතු කළත් කිසිම කර්මාන්ත ශාලාවක් 100% ක ධාරිතාවකින් පවත්වා ගෙන යා නොහැකිය. හැකිවන්නේ 50% ක පමණ ධාරිතාවකින් පවත්වාගෙන යන්නටය. එහෙත් ඒ සඳහා ද අපට අවශ්‍ය ඩීසල් ලබාගත නොහැකිය. බොහෝ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. විදුලිය ජනන යන්ත්‍රවලට රෝද සවිකරගෙන ඒවා ඉන්ධන පිරවුම්හල්වලට තල්ලුකරගෙන යා නොහැකිය. ඒ නිසා ප්‍රතිපත්ති තීරණ ගන්නා නිලධාරීන් කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ඩීසල් ලබාදීමට මූලිකත්වය දිය යුතුය. එහෙත් රජය පැත්තෙන් එසේ ක්‍රියාත්මක නොවෙයි. කර්මාන්ත ශාලා හිමියන් තෙල් පෝලිම්වල තැබීම රටට හා රටේ ආර්ථිකයට අහිතකරය. රටේ කවුරුත් පීඩිතව සිටින බව සත්‍යයකි.  බොහෝ කර්මාන්ත ශාලාවලට මූලිකත්වය දිය යුතු බව කාටත් අවබෝධ විය යුතුය.

ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය සඳහාම ධාවනය කෙරෙන බස් සංඛ්‍යාව 8.500 කි. ඒ බස්වලට අවශ්‍ය ඩීසල් ලබා දීමට සිදුවී තිබෙන්නේද කර්මාන්ත ශාලාවලටය. එහෙත් කර්මාන්ත ශාලාවලට එය කළ ​ෙනාහැකිව පවති. ඒ නිසා කම්හල් පවත්වාගෙන යාමට අවශ්‍ය සේවකයන් ගෙන්වා ගැනීමට නොහැකිය. මේ තත්ත්වය යටතේ අපේ කර්මාන්ත ශාලාවල සේවක පැමිණිම 40% දක්වා පහත වැටී තිබේ. එය දරුණු තත්ත්වයකි. මේ තත්ත්වය අපේ ආදායමට බලපාන්නේ ජුනි සිට අගෝස්තු මාසවලදීය. සේවා ස්ථානවට පැමිණීමට නොහැකි වූ විට සේවකයන්ගේ මාසික ආදායම ද පහළ යයි.

බොහෝ කර්මාන්ත ශාලා තම සේවකයන්ට තුන්වේලටම ආහාර ලබා දෙයි. එහෙත් ආහාර මිල ගණන් සියයට 100% කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොසිනි. කම්හල්වලින් සේවකයන්ට ලබා දෙන්නේ පෝෂ්‍යදායක ආහාරය. ඒ නිසා ආහාර සැපයීමේ වියදම් ද ඉහළ ගොසිනි.

සේවකයකු ප්‍රවාහනය සඳහා දැරූ වියදම ද රුපියල් 3000 සිට 8000 දක්වා ඉහළ ගොසිනි. එසේම දේශීයව සපයා ගන්නා ඇසුරුම් ද්‍රව්‍යවල මිලද වැඩිවී තිබේ. මේ කරුණු නිසා ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන වියදම දැන් අනෙක් රටවලට වඩා බොහෝ ඉහළ ගොසිනි.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා හිමියන්ට තිබෙන අනෙක් බරපතළ ප්‍රශ්නය බැංකු ණය  සහ අයිරාය. මින් පෙර විදෙස් මුදල්වලින් ණය ගත්විට ගෙව්වේ සියයට හතරත් හයත් අතර පොලියකි. එය දැන් සියයට දහයක් එකොළහක් අතර පවතී. රුපියල්වලින් ගත් ණයවලට මින් පෙර ගෙවීමට සිදු වූයේ සියයට 8.5 සිට 10.5 අතර පොලියකි. එහෙත් දැන් ඒ පොලිය සියයට 18 සිට 30 දක්වා ඉහළ ගොසිනි. මේ හේතු නිසා සෑම කර්මාන්ත ශාලාවකම වියදම සියයට 200 සිට 300 අතර ගණනකින් ඉහළ ගොස් පවතී. වියදම් මෙසේ ඉහළ යාම දරා ගන්නට බැරිය. මේ තත්ත්වය දිගටම පැවැතිය හොත් අපේ කම්හල් පවත්වාගෙන යාමට තිබෙන මුදල් ක්ෂය වී යයි. ඒ නිසා සියලු ඇඟලුම් කම්හල් මරණ මංචකයට වැටීමේ ඉඩ කඩ ඉතා ඉහළය.

විදෙස් මුදල්වලින් දෙන ණය පහසුකම් වැඩි කිරීමට දැන් කිසිදු බැංකුවකට හැකියාවක් නැත. එසේම අපට  අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිලද 100% කින් පමණ ඉහළ ගොසිනි. ඒ නිසා බැංකු ණය පහසුකම් 100% කින් වැඩි කරගැනීමට අවශ්‍යව තිබේ. එහෙත් බැංකු මුහුණ දී සිටින අර්බුදය නිසා අපේ ඒ බලාපොරොත්තුද ඉටු කරගත නොහැකිය. මේ හේතු මත සුළු හා මධ්‍ය පරිමාණ කම්හල් සියල්ල බරපතළ මූල්‍ය අර්බුදයකට ගොදුරු වෙමින් පවතී. ඒ තත්ත්වයෙන් අප ගලවා ගන්නට රජයට හා බැංකුවලට ද විසඳුම් දීමේ හැකියාවක් නැත.

ණය ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව ඉතා පහත් මට්ටමකට වැටී සිටින නිසා මෙරට බැංකුවලින් ලබාදෙන ණයවර ලිපි (L.C) විදෙස් රටවලින් අනුමත නොකරයි. ඒ රටවල් දැන් අපට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන්නේ පළමුව මුදල් ගෙව්වොත් පමණකි. එසේ ගෙවිය යුත්තේ රුපියල් නොව ඩොලර්ය. මින් පෙර ණයවර ලිපියක් විවෘත කළ පසු දින 30 සිට 45 අතර කාලයක දී අපට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයයි. අප මුදල් ගෙවන්නේ ඉන් අනතුරුවය. එහෙත් දැන් එසේ පසුව මුදල් ගෙවීමේ පදනම මත මිලදී ගත නොහැකිය. දැන් ඇනවුම් කළ යුත්තේ මුදල් ගෙවීමෙන් අනතුරුවය. ඒ නිසා දැන් අපේ ව්‍යාපාරවලට යොදන මූල්‍ය ශක්තිය (Working Capital) තවත් දින 45 කින් අඩුවී තිබේ. කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට එයද දරුණු බාධාවකි.

එසේම අපේ ගැනුම්කරුවෝද දැන් ණය ගෙවීමට දෙන කාලය තව තවත් වැඩියෙන් ඉල්ලති. ඊට හේතුව යුක්රේන යුද්ධයයි. ඒ පිළිබඳව මා හොඳින් දන්නේ සති දෙකක් පමණ කාලයක් අපේ යුරෝපීය ගැනුම්කරුවන් සමග සාකච්ඡා කර පෙරළා පැමිණි නිසාය. යුද්ධය නිසා ඔවුහු ලංකාවට දෙන ඇනවුම් ප්‍රමාණය අඩු කරති. අප ඔවුන්ට සපයන භාණ්ඩවලට මුදල් ගෙවීමට ද වැඩි කාලයක් ඉල්ලති. මේ හේතු මත ඇඟලුම් නිෂ්පාදකයන්ට රට ඇතුළෙන් සේම පිටින්ද දරුණුතම කාලයකි. මෙතරම් දරුණු කාලයකට ඔවුහු මින් පෙර කිසිදාක මුහුණ නොදුන්හ. මේ සියලු හේතු මත අපේ ඇඟලුම්හල් හිමියන් බොහෝ දෙනකුට බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වෙයි. එමගින් බැංකුවල ස්ථාවරභාවයට ද බරපතළ බලපෑමක් එල්ල වෙයි.

සියල්ල හොඳ අතට හරවා ගැනීමට නම් පළමුව කළ යුත්තේ අප රටෙහි දේශපාලන ස්ථාවරභාවය ගොඩ නගා ගැනීමයි. ඒ සඳහා ආණ්ඩුව ව්‍යවසයක හා අපනයන වෙළෙඳ ප්‍රජාවට සවන් දිය යුතුය. ඔවුනට සවන් නොදී ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිය. පාලකයන් ජනතාවට හා වාණිජ ප්‍රජාවට සවන් දිය යුතුය. වෙළෙඳ ප්‍රජාවගේ මූලිකත්වයෙන් යුතු උපදේශක කමිටු පත්කිරීම හොඳ දෙයකි. එහෙත් ඒ කමිටුවල නිර්දේශ පිළිපදින්නේ නැති නම් ඒ කමිටු පත්කිරීමෙන් ප්‍රයෝජනයක් නොවෙයි. රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් සෙවිය යුත්තේ ව්‍යාපාරික ප්‍රජාවගේ මූලිකත්වයෙනි.

පවතින ලෝක තත්ත්වයන් යටතේ අපේ විදෙස් ගැනුම්කරුවන් මත පමණක් යැපීම අනුවණය. අප පිටරටවල ව්‍යාපාර ආරම්භ කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය නීතිසම්පාදනය කිරීම රජයේ වගකීමකි. පිටරටවල ව්‍යාපාර පටන් ගැනීමට වැඩි ඩොලර් ප්‍රමාණයක් රැගෙන යාමට හැකි ලෙස පවතින නීති සංශෝධනය විය යුතුය. ඉදිරි අවුරුදු පහේදී මේ නීතිමය පද්ධතිය වෙනස් කරගත නොහැකි වුණොත් රටත් ව්‍යාපාරත් ව්‍යවසායකයෝත් ඉතා දරුණු ඉරණමකට ගොදුරු වෙති. අද රටේ පවතින තත්ත්වයකට 1948 සිට පවතින ආණ්ඩු හා විපක්ෂ වගකිව යුතුය. තමන් රටට කළ විනාශයෙන් රට ගොඩ ගැනීම සඳහා ඒ සියලු දෙනා පෞද්ගලික න්‍යාය පත්‍ර හා පක්ෂ දේශපාලනය ඉවතලා එකතු විය යුතුය. රටට ජනතාවට හා විදෙස් රාජ්‍යයකට පිළිගත හැකි විශ්වාස කළ හැකි පාලන ක්‍රමයක් සැකසිය යුතුය. එය කළ යුතුව තිබුණේ අද නොව ඊයේය.

අපේ ඇඟලුම් කර්මාන්තය ඉතා සංවේදීය. මින් යැපෙන පිරිස ලක්ෂ 30ක් බව ආරම්භයේදී ද කීවෙමු. ලෝක ඇඟලුම් අවශ්‍යතාවෙන් සියයට එකක්වත් ලංකාවෙන් සපයන්නේ නැත. ලෝක ජනතාව තමන්ට අවශ්‍ය ඇඟලුම්වලින 90 % කටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයා ගන්නේ වෙනත් රටවලිනි. ඒ තත්ත්වය මත අපේ රටේ අපනයන ආදායමෙන් ප්‍රමුඛ කොටස හෙවත් වැඩිම ප්‍රමාණය ලබාදෙන ඇඟලුම් කර්මාන්තය කඩා වැටුණොත් අපත් රටත් ඇද වැටෙන්නේ හතර ගාතෙනි. ඇඟලුම් මිලදී ගන්නා අයට ලංකාව අත්‍යවශ්‍ය රටක් නොවේ. අප ලෝක ඇඟලුම් වෙළෙඳ පොළෙහි ජීවත්වන්නේ අපේ ඇඟලුම් නිෂ්පාදනවල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය ඉහළ හෙයිනි. ඒ නිසා අප අපේ තරම තේරුම් ගත යුතුය. අනවශ්‍ය ලෙස ඉදිමීම හානිකරය. එය ව්‍යවසායක ප්‍රජාවටත් පාලකයන්ටත් ඇතුළුවය. අද රටේ පවතින දේශපාලන අර්බුදයට මූලික හේතුව රටේ පැවැති හා දැනටත් පවතින ආර්ථික ප්‍රශ්නවලට පිළියම් නොයෙදීමය.

එහෙයින් ආර්ථික ප්‍රශ්නවලට පිළියම් යෙදුවහොත් එමගින් දේශපාලන අර්බුදයට ද විසඳුම් ලැබෙයි. ව්‍යවසායක ප්‍රජාවට සවන් නොදී ඔවුන්ගේ ප්‍රබුද්ධ යෝජනා ක්‍රියාත්මක නොකර ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය නොහැකිය. දේශපාලකයෝ සියල්ල නොදනිති. ඔවුහු ඒ බව තේරුම් ගත යුත්තෝය. ඔවුහු ජාතික ධනය වැය කරන්නෝ මිස ධනය උපයන්නෝ නොවෙති. ධනය උපයන්නෝ ව්‍යවසායකයෝය. එහෙයින් දේශපාලකයන්ට වැය කිරීමට ධනය උපයා දෙන ව්‍යවසායකයන්ට සවන්දීම දේශපාලකයන්ගේ වගකීමකි. ඒ වගකීම ඉටු නොකළොත් තමන් ද වැනසෙන බව පක්ෂ විපක්ෂ දේශපාලකයන් සියලු දෙනාට අවබෝධ වේවා!!!

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)