බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන නිදහස ලබාගැනීමෙන් පසු පිහිටවූ රජයේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට ආර්ථික නිදහස ලබාගැනීම සඳහා මහබැංකුවක් පිහිටුවීමේ අවශ්‍යතාව රටට අවධාරණය කළේය. මහ බැංකුවක් පිළිබඳව අත්දැකීම් ශ්‍රී ලංකාවට තිබුණේ නැත.
එනිසා ඒ පිළිබඳ අත්දැකීම් තිබූ රටවලින් උපදෙස් ලබාගැනීමට අවශ්‍ය විය. එහෙත් ජේ.ආර්. ජයවර්ධන එම අවස්ථාවේ දී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ අප රටට දිගු කලක් බලපෑම් කළ බ්‍රිතාන්‍යයන්ගෙන් ඒ සඳහා උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු නොවන බවත් අමෙරිකාවෙන් ඒ සඳහා උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්ය. ඔහු ‘යැන්කි ඩිකී’ ලෙස හඳුන්වන්නට බොහෝ දුරට මෙම සිදුවීම ද හේතු වූවා විය හැක. ජේ.ආර්. මහ බැංකුව පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට උපදෙස් ලබා ගැනීමට කැඳවාගනු ලැබූයේ අමෙරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත ක්‍රමයේ සේවය කරමින් සිටි ආර්ථික විද්‍යාඥයකු වූ ජෝන් එක්ස්ටර් ය.
ඒ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්ස්ටර් මහ බැංකුව පිහිටුවීම සඳහා අවශ්‍ය වාර්තාව සහ නීති කෙටුම්පත සකස් කළේය. රජය එම යෝජනා පිළිගත්තේය. ඒ අනුව 1949 දී අංක 58 දරන මුදල් නීති පනත සම්මත කරගත් අතර 1950 අගෝස්තු 28 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත විය. ප්‍රථම අධිපති ධුරයට ජෝන් එක්ස්ටර්ම තෝරාගනු ලැබීය. දේශපාලන නිදහස ලබා ගැනීම සඳහා පිහිටවූ ශ්‍රී ලංකා රජයේ අග්‍රාණ්ඩුකාරවරයා හෙවත් ‘ගවනර් ජෙනරල්‘ බවට මහා බ්‍රිතාන්‍යයේ සෝල්බරි සාමි පත් වූ අතර ආර්ථික නිදහස ලබාගැනීම සඳහා පිහිටවූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හෙවත් ‘ගවනර්’ ධුරයට අමෙරිකානු එක්සත් ජනපදයේ ජෝන් එක්ස්ටර් පත් කරනු ලැබීය.
ජෝන් එක්ස්ටර් මහ බැංකු අධිපතිවරයා ලෙස වසර 03ක් පමණ සේවය කළේය. ඉන් පසුව ඔහු නිවාඩුවකට නැවත අමෙරිකාවට ගිය අතර ඊට පෙර අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමඟ යම් යම් ගැටුම් ඇති කරගෙන තිබුණි. රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ඔහු කළ අනතුරු ඇඟවීම් රජය විසින් භාර නොගත් බවත් එනිසා තමන්ගේ ධුර කාලයේ ඉතිරිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු නොවන බවත් අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු ඩඩ්ලිට දැනුම් දී ඇත. මෙම සිදුවීම ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන සිඩ් මිත්රා මහ ‘බැංකුවට එරෙහිව භාණ්ඩාගාරය‘ නමැති තම කෘතියේ සවිස්තරාත්මකව අන්තර්ගත කර තිබේ.
මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව ලෙස බොහෝ දෙනකු දකින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට රටේ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිදහසක් නොතිබීම නිසා අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ මුදල් මණ්ඩල පනත අනුව එවැනි නිදහසක් බුක්ති විඳීමට එයට ඉඩක් නොලැබෙන බවත්ය.
මේ වසරේ පෙබරවාරි මස 23 වැනි දින රජයේ ගැසට් පත්‍රයේ ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ වූ නව පනත් කෙටුම්පතක් ප්‍රකාශයකට පත් කර තිබේ. නව පනතේ ව්‍යවස්ථානුකූල බව විමසා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද නඩු කිහිපයක් ද පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් මෙවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමේදී මහ බැංකුවේ ස්වාධීනතාව තහවුරු කළයුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර ඇති නිසා යැයි ප්‍රකාශ වේ. ශ්‍රී ලංකාවේ ආර්ථීක ගැටලුවලට මූලික හේතුවක් වී ඇත්තේ දැනට පවතින පනත මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනතාව සීමා කර ඇති නිසා යැයි ප්‍රකාශ වේ. මහ බැංකුව පාලනය කරනු ලැබූයේ තුන්දෙනකුගෙන් යුත් කුඩා මණ්ඩලයක් විසිනි. මුදල් මණ්ඩලය ලෙස හඳුන්වනු ලැබූ එම මණ්ඩලයේ සාමාජිකයන් වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත පත් කරන ලද තවත් සාමාජිකයකුගෙන්ය. එහෙත් මීට පෙර ඉදිරිපත් කරන ලද සංශෝධන මගින් පත් කරනු ලබන සාමාජිකයන්ගේ සංඛ්‍යාව තුන්දෙනකු දක්වා ඉහළ නංවා ඇත. දැන් සාමාජික සංඛ්‍යාව පහකි.
ජෝන් එක්ස්ටර් මෙවැනි කුඩා මණ්ඩලයක් මහ බැංකුවේ පාලනය සඳහා පත් කරන ලෙස නිර්දේශ කළේත්, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එයට පත් කර මණ්ඩලයේ තීරණ ඒකමතික විය යුතු බවට නීති පැනවූයේත්, රටේ මූල්‍ය කටයුතු පාලනයේ දී ඒවා ඒකමතිකව රජයේ අනුමැතියෙන් ක්‍රියාත්මක විය යුතු බව අදහස් කළ නිසාය. කෙසේ වුවද සමහර ආර්ථික විද්‍යාඥයෝ මෙයාකාරයට මුදල් ලේකම්වරයා එයට ඇතුළත් කිරීමත්, තීරණ ඒකමතික විය යුතු බව සඳහන් කිරීමත් මඟින් මහ බැංකුවේ ස්වාධීනත්වය විනාශ වී ඇතැයි ප්‍රකාශ කරති. මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කිසියම් යෝජනාවකට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විරුද්ධ වන්නේ නම් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබේ. ඉන් අදහස් වන්නේ රජයට අවශ්‍ය නම් මහ බැංකු මුදල් මණ්ඩලයට ඉදිරිපත් වන ඕනෑම යෝජනාවක් නොපිළිගෙන සිටීමට මහ බැංකු පනත තුළින්ම ඉඩ ලබා දී ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරනු ලැබේ. එනම් පොලී අනුපාත, සංචිත අනුපාත සහ විනිමය අනුපාත තීරණය වීමට මැදිහත් වී ඒවායේ ඇති කරන වෙනස්කම් මඟින් රටේ මූල්‍ය කටයුතු පිළිබඳව ස්ථාවරභාවයක් ඇති කිරීම එහි වගකීම වේ. අනෙක් අතට මුදල් අමාත්‍යංශය විසින් රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව තීරණ ගනු ලබයි. එනම් රජයේ ආදායම් වියදම්, රජයේ ණය ප්‍රමාණය, එය ලබා ගන්නා ආකාරය ආදිය තීරණය කරනු ලබයි. ඒ අනුව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට ද රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම මහා භාණ්ඩාගාරයට ද පැවරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයැයි ප්‍රකාශ කිරීම මඟින් පැහැදිලි කරන්නේ රටේ පොලී අනුපාත, සංචිත අනුපාත සහ විනිමය අනුපාත පිළිබඳව බලපෑමකින් තොරව ස්වාධීනව තීරණ ගනු ලැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව තිබිය යුතු බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය කාල පරිච්ඡේදය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා විවිධාකාරයේ නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙනු ලැබීය. එක් මන්ත්‍රී ධුරයක් පමණක් ලැබුණු එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ රටේ ජනාධිපති ධුරයට පත් වූ ඔහු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැත. එයින් ජනාධිපතිවරයාගේ බලතල විශාල ලෙස අඩු වන බැවිනි. එය පාර්ලිමේන්තුවට ගෙන ආවද එය පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට කටයුතු කරනු ඇතැයි තවත් සමහරෙක් සිතුවේය.
එහෙත් තුනෙන් දෙකක බලයෙන් එය සම්මත කරවාගෙන එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. ඉන් පසු මැතිවරණ වියදම් සීමා කරන පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන එය ක්‍රියාත්මක කරවනු ලැබීය. ඉදිරියේ දී රජය විසින් තවත් පනත් තුනක් සම්මත කර ගැනීමට නියමිතය. එකක් වන්නේ ඉහතින් සාකච්ඡා කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කරන පනතයි. අනෙක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුතින් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතයි. එසේම රජය විසින් දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද නියමිතය.
මහ බැංකුවේ ස්වාධීනතාව තහවුරු කිරීම යන්නෙහි අදහස සම්පූර්ණයෙන්ම රජයේ පාලනයෙන් බැහැර වූ ආයතනයක් බිහි කිරීම නොවේ. නව පනත අනුව දැනට පවතින මුදල් මණ්ඩලය වෙනුවට පාලක මණ්ඩලයක් සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක් පත් කරනු ලැබේ. පාලක මණ්ඩලයට මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ වගකීම පැවරෙන අතර එය මහ බැංකු අධිපතිවරයාගෙන් සහ විශේෂඥයන් හය දෙනකුගෙන් සමන්විත වේ. මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයට මුදල් ප්‍රතිපත්ති සකස් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරේ. එය පාලක මණ්ඩලයේ සාමාජිකයන්ට අමතරව ආර්ථික විද්‍යාව සහ මූල්‍ය යන ක්ෂේත්‍රයක විශේෂඥයන් දෙදෙනකුගෙන් ද මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකුගෙන් ද සමන්විත වේ. ඉහත මණ්ඩල දෙකේ සභාපතිවරයා ලෙස මහ බැංකු අධිපතිවරයා කටයුතු කරයි. අධිපතිවරයාත් පාලක මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනාත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂඥයන් දෙදෙනාත් මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය මත පත් කළ යුතුය. ඉන් පැහැදිලි වන්නේ මහ බැංකු ස්වාධීනතාව යනු පාර්ලිමේන්තුවට උඩින් සිටින ආයතනයක් නොව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් පත්වීම් අනුමත කරනු ලබන, පාර්ලිමේන්තුවට වග කියන ආයතනයක් බවය. රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව මැදහත් ආකල්පවලින් සහ විද්‍යාත්මක පදනමකින් විමසා බැලිය හැකි පරිසරයක් අදාළ මණ්ඩලවලට ලබාදීම මේ ආකාරයට මහ බැංකුවේ ස්වාධීනතාව තහවුරු කිරීම යන්නෙහි අදහස වන බව පැහැදිලිය.
දේශපාලන බලපෑම අවම මට්ටමකට ගෙන ඒම මගින් මෙම මණ්ඩලවලට තම ප්‍රතිපත්තිවල ජනප්‍රියභාවය පිළිබඳ නොසලකා නිවැරදි තීරණ ගැනීමට අවස්ථාව සැලසේ. රටේ ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා ද එවැනි ස්වාධීනතාවක් අත්‍යවශ්‍යය. මෙම පනත මගින් එම අවශ්‍යතාව සම්පූර්ණ කර තිබේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර