ගම්පහ රතුපස්වල දැන් පැටළුණු නූල් බෝලයක් බඳුය. බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ද පසුගිය දා රතුපස්වලට ගොස් එම නූල්බෝලයේ පැටළුණු බවට පැතිර යන ආරංචිය ගැනත්, රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ගෝලයන් පිරිසක් මහ ඇමැතිට හූ තැබීම ගැනත් අපි ඔහුගෙන් විමසීමක් කෙළමු.
රතුපස්වලට ගියේ කාගේ ඉල්ලීමක් උඩද ?
අතිගරු ජනාධිපතිතුමාගේ හා ගමේ අයගේ ඉල්ලීම පරිදි.
රතුපස්වල ගැන ජනාධිපති මොකද කිව්වේ ?
ජනාධිපතිතුමාගේ මතය එතුමා ජනතාවට දැනුම් දීලා තියෙන්නේ. මට ජනාධිපතිතුමාට කියන්න තරම් දෙයක් එදා ජනතාව සමග සාකච්ඡා කර ගත්තේ නෑ. එදා සාකච්ඡාව අසාර්ථකයි.
හූ කිව්වේ ඇයි ?
හූ කිව්වේ නෑ. එතන තිබ්බේ ඝෝෂාවක්, බාධා කිරීමක්, පොලිසිය සම්බන්ධව කතා කිරීමේදී ජනතාව ඔවුන්ගේ විරෝධය පළ කළා.
හූ කිව්වේ රජයේ නියෝජ්‍ය ඇමති කෙනෙක්ගේ ගෝලයෝ නේද ?
මට එහෙම කියන්න බෑ. එතන ගම් 20 ක ජනතාව හිටියා. ඒ ජනතාවම තමා දන්නේ එතන හිටිය අය කවුද කියලා. ඒක ජනතාව තීන්දු කරයි.
රතුපස්වල ගැන ආණ්ඩුව ඇතුළේ මත ගැටුම් තියෙනවද ?
මං දැනුවත්ව නෑ.
ඇයි මෙච්චර කල් ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ සම්බන්ධ නොවුනේ ?
නෑ. එහෙම කියන්න බෑ. ප‍්‍රාදේශීය නායකත්වය නොවෙයි ජාතික නායකත්වයේ ඉඳන් පහළට මේ සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කළා. මේ සිද්ධිය ඇති වුනාට පස්සේ ආර්ථික සංවර්ධන ඇමතිතුමාත් පණ්ඩු ඇමතිතුමාත් ලසන්ත ඇමතිතුමාත් මේ ජනතාවට පානීය ජලය ලබා දෙන්න කටයුතු කළා. ඒ වගේම දිස්ත‍්‍රික් නායක බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දිසාපතිතුමා හරහා කමිටුවක් පත් කරලා වාර්තාවක් ගන්න කටයුතු කළා. ඒ නිසා මුල ඉඳන්ම සම්බන්ධ වෙලා තියෙනවා. සම්බන්ධ වුනේ නෑ කියන්නේ මොන හේතුවක් නිසාද කියන්න මං දන්නේ නෑ.
බස්නාහිර ඡන්දේ ළඟ නිසා රතුපස්වල පැත්තේ යනව කියන්නේ ඇත්තද ?
මට මේ වෙලාවේ මෙතනට යන්න කිව්වේ ජනාධිපතිතුමා. මං රතු පස්වල, වැලිවේරිය, මහර, ගම්පහ, බියගම වගේම ගම්පහ දිස්ත‍්‍රික්කයේම ජනතාවට අවුරුදු 20 කට වැඩි කාලයක් වැඩ කරලා තියෙනවා. මහ ඇමති උනහම මට ඒ වැඩ කොටස දෙගුණ තෙගුණ කරලා කරන්න පුළුවන් වුණා. ජනතාව ඒ බව දන්නවා. මෙතන ඉන්නේ අපේ මිනිස්සු. මෙතන දේශපාලන ප‍්‍රශ්නයක් නෑ. එහෙම හදන්න හදනවනම් ඒක වැරදියි. මැතිවරණය වෙලාවට ඒ අය තීරණය කරයි කාටද ඡන්දේ දෙන්න ඕනේ කියලා.
1997 දී රතුපස්වල ප‍්‍රශ්නයකට සම්බන්ධ වුණා කියන්නේ මොකක්ද?
තාත්තා එවකට පාරිසරික නියෝජ්‍ය ඇමති. තාත්තට ජනතාව ඇවිල්ලා තමුන්ට තියෙන ප‍්‍රශ්නය කියපු වෙලාවේ මමත් තාත්තා එක්ක ගිහිල්ලා ඒ පිළිබඳව සොයලා බලලා කටයුතු කළා.
|