ඇමැති මණ්ඩලයට සුබ පැතුම් සමඟ පණිවිඩයක්


මහනුවර ඓතිහාසික මඟු‍ල් මඩුවේදී අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දෙන කැබිනට් ඇමැතිවරුන් 28 දෙනාට සහ රාජ්‍ය ඇමැතිවරුන් 40 දෙනාට මුලින්ම අපගේ උණුසුම් සුභාශිංසන පිරිනැමීමට කැමැත්තෙමු.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසි කලෙකත් ළඟා කරගත නොහැකි ජයග්‍රහණයක් වශයෙන් සලකනු ලැබූ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත විජයග්‍රාහී ආණ්ඩුවක සාඩම්බර කොටස්කරුවන් වන මේ මැති ඇමැතීන් 68 දෙනා ඉදිරි පස් වසරක කාලය තුළදී ක්‍රියා කරන ආකාරය ඔවුන්ට ඡන්දය ලබාදුන් සහ නොදුන් සියලු‍ දෙනාගේ බලවත් අවධානයට ලක්වන බවද ඒ සමඟ මතක් කරදීමට ද නොපැකිළෙමු.

මෙවර පත් කෙරෙන නව ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම කිව යුතු කරුණක් තිබේ. එය කලක් මේ රටේ ‍ඡන්දදායකයන් තුළ බලවත් විවේචනයකට ලක් වූ ‘ජම්බෝ කැබිනට්’ සංකල්පයෙන් මිදී ව්‍යවස්ථාවෙන් අනුමත 30ක සංඛ්‍යාවටත් වඩා අඩුවෙන් කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාවක් පත්කිරීමට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ගෙන ඇති යහපත් තීරණයයි. තමන් අත තුනෙන් දෙකක බලයක් තිබුණත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කරගනිමින් කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දැමීමට 19 වැනි ව්‍යවස්ථාවෙන් සලසා ඇති ප්‍රතිපාදනවලට හිස නොනැමීමට ජනාධිපති සහ අගමැති දෙදෙනා ගෙන ඇත්තේ විශිෂ්ට තීන්දුවකි. එය රටේ ජනතාවගේ ඉහළ ඇගයීමට ලක්වන බව සඳහන් කළ යුතුය.

මෙතෙක් කාලයක් තිබූ සංඛ්‍යාත්මකව ඉහළ ඇමැති මණ්ඩලයකින් මේ රටට ප්‍රමාණවත් තරම් සේවාවක් සිදු වී නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ප්‍රචාරණ කාලයේ මහජනතාව හමු වූ අවස්ථාවලදී ජනතාවගෙන් එතරම් ඉල්ලීම් ඉදිරිපත් වීමට ඉඩක් නැත. ඒ ඇතැම් ඉල්ලීම් පාර්ලිමේන්තුවෙන් නොව පළාත් සභාවෙන් හෝ පළාත් පාලන ආයතනයෙන් හෝ වුවද ඉටු කරගත හැකි ඒවාය. එහෙත් මහජන මුදලින් නඩත්තු වන මෙතෙක් පැවැති අති විශාල කැබිනට් මණ්ඩල එවැනි මහජන ගැටලු‍ ගැන දක්වා තිබුණේ ඉතාම අඩු අවධානයක් බව එයින් පෙනී ගියේය. රටේ ජනතාවට ‘ජම්බෝ කැබිනට්’ තිත්ත වී ඒවා පත්කර ගත් ආණ්ඩු පවා පළවා හැරියේද ඒ හේතුවෙනි. ලංකාවේ කොච්චර රෝහල් තිබුණත් බොහෝ මැති ඇමැතින් ‘චෙක්අප්’ එකකට පවා ගියේ සිංගප්පූරු රෝහලකටය.

විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයාද ගියේ සිංගප්පූරු රෝහලකටය. රට කොතරම් ආර්ථික කඩාවැටීම්වලට ලක් වුවද තමන් පාලනය කරන ඇමැතිවරුන්ට එය නොදැනෙන බවත් ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිතවල කිසිම අඩුවක් නොපෙනෙන බවත් තේරුම් ගත්විට ජනතාව එවැනි තීන්දු ගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත. අද දිවුරුම් දෙන ඇමැති මණ්ඩලය මේ යථාර්ථය පිළිබඳව හොඳින් වටහාගෙන සිටීම අවශ්‍ය බව තරයේම පෙන්වා දීමට කැමැත්තෙමු.

‍මෙවර ඇමැති මණ්ඩලයේ විෂය බෙදාදීම අමාත්‍යධුර පත්කිරීම්වලට පෙර සිටම ප්‍රසිද්ධියට පත්කර තිබීමද විශේෂත්වයකි. එම විෂය බෙදීම තුළද පුළුල් වෙනසක් දැකිය හැකිය. රාජ්‍ය ඇමැතිවරුන්ට ප්‍රමාණවත් තරම් බලතල පවරා දී ඇති අතර අධ්‍යාපනයට රාජ්‍ය ඇමැතිවරුන් 4 දෙනකු පත්කර තිබීමෙන් එම විෂයය සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රමුඛතාව පෙන්වා දී තිබේ. මේ ප්‍රමුඛතා වඩාත් හොඳින් හඳුනාගත යුතු වන්නේ අදාළ රාජ්‍ය ඇමැතිවරුන්ය. විෂය කලින්ම බෙදා දීම හේතුවෙන් කැබිනට් ඇමැතිවරුන් පසුපස ගොස් තමන් වැඩ ඉල්ලා ගැනීමට හෝ එසේ නොලැබෙන විට සිත් අමනාපකම් ඇති කරගැනීමට හෝ දැන් අවශ්‍යතාවක් නැත. අවශ්‍ය වන්නේ බාරදී ඇති වගකීම හරිහැටි ඉටුකිරීම පමණි.

මේ ආකාරයටම නාගරික සංවර්ධන, කර්මාන්ත සහ වැවිලි අමාත්‍යාංශ සඳහා ද රාජ්‍ය ඇමැති පදවි 3 බැගින් වෙන්කර තිබේ. වඩාත්ම කැපී පෙනෙන වෙනසක් පෙන්වන්නේ පුරාවිද්‍යා විෂයයයි. එය මෙතෙක් පැවැති සංස්කෘතිය හා සම්බන්ධ අමාත්‍යාංශවලින් ගලවා ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ. එසේම සංස්කෘතික අරමුදල, මුදල් අමාත්‍යාංශය යටතට ගෙන තිබේ.

මේ වෙනස්කම් සිදුකර ඇත්තේ රජයට ඒ සඳහා ප්‍රමාණවත් තරම් හේතු සාධක තිබීම නිසා යැයි අපි සිතමු. අදාළ විෂය සම්බන්ධයෙන් සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අදාළ අමාත්‍යවරුන්ගේ වගකීම වෙයි. එසේම පෙරපාසල්, දහම් පාසල්, අලි වැට ඉදිකිරීම්, උසස් තාක්ෂණික, කෘෂිකර්ම, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත, ග්‍රාමීය කුඹුරු, විසිතුරු මසුන්, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත වැනි රට පුරා විසිර සිටින විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන මෙතෙක් වැඩි අවධානයක් නොවූ විෂය ගණනාවක් ද රාජ්‍ය අමාත්‍යාංශවලට වෙන්කර තිබීමද විශේෂත්වයකි.

කැබිනට් මණ්ඩලය සීමිත වීම හේතුවෙන් ඔවුන් මත වැඩි වගකීමක් පැවරෙයි. එම වගකීම් සඳහා තමන් කැප වී සිටින බව කතාවෙන් පෙන්වීම පමණක් ප්‍රමාණවත් නැත. එහි ප්‍රතිඵල ද රට හමුවේ ප්‍රදර්ශනය විය යුතුය. රටේ ජනතාව ‘ඇන්දවීම’ දැන් පහසු නැත. මෙවර මනාප සලකුණු කිරීමේදී අලු‍ත් මුහුණු කෙරෙහි තබා ඇති විශ්වාසය එය පෙන්නුම් කරන ප්‍රබල සාධකයකි. තමන් කෙරෙහි විශ්වාසය තබා ඉල්ලා සිටි ආකාරයටම තුනෙන් දෙකක බලයක් ලබා දුන් පොදු මහ ජනතාව තුළ විශ්වාසය ගොඩනැගෙන්නේ වැඩ කිරීමෙන් පමණි. ජනතාව තුළ ඇති විශ්වාසය කඩවන ආකාරයට කටයුතු කිරීමේ පලවිපාක එජාපය ප්‍රමුඛ විපක්ෂය මෙවර ලැබූ පරාජය හරහා හොඳින් පෙන්නුම් කර තිබේ.

සුළු පක්ෂවල ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවී හොඳ කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට රජයට වරම ලබා දුන්නේ රටේ මහජනතාව බව කිසිවිටෙක අමතක නොකළ යුතුය. එම වරමට පයින් ගැසුවොත් යළි ආපසු හැරෙන බවට ජනතාව ප්‍රබල සංඥාවක් ලබා දී ඇති බවද සිහි තබාගත යුතුය.