ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අවදානම්සහගත තැනක බව සඳහන් කළ යුතුය. ආර්ථික අර්බුදයකින් ඇති කරන ලද පීඩනය සාමාන්‍ය ජනතාවගේ ජීවිත දුක්බර තැනකට පත් කර ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දරුණු තත්ත්වය මැනැවින් පැහැදිලි කරයි. අගමැති ධුරයට පත්ව ඇති හෙතෙම එය එතුමා ඉල්ලා සිටි තනතුරක් නොව මෙම දුෂ්කර අවස්ථාවේ දී වගකීම භාරගැනීමක් බව ප්‍රකාශ කර ඇත. රට තුළ නොතිබුණ අරගලයක් අවසානයේ දී පාර්ලිමේන්තුවට පත්ව සිටින මහජන නියෝජිතයන්ට ආණ්ඩුව භාරගැනීම සඳහා ආරාධනය කෙරිණ. ව්‍යාකූලත්වයේ තරම වටහාගෙන සිටි විපක්ෂ දේශපාලන පක්ෂ ජනවරමකින් හැර බලයට පත්වීම ප්‍රතික්ෂේප කළේය. ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව නොහැකියාව පමණක් නොව එයට කළ යුතු විශාල වියදම ද සලකන අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත බරපතළ වගකීමක් පැවැරී ඇත.
මහ මැතිවරණයක් පැවැත්වුවහොත් අද පවතින නියෝජනයට වඩා දුර්වල, අනපේක්ෂිත ප්‍රතිඵලයක් වාර්තා වන බව පැහැදිලිව පෙනෙන කරුණකි. වැදගත් ප්‍රතිපත්ති තීරණ ගැනීම දුර්වල ආණ්ඩුවකට කළ හැකි දෙයක් නොවේ. මෙම තීරණාත්මක අවස්ථාවේ දී උත්පාදන අවකාශයක් සලකා තීරණ ගත යුතු අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එහි ලා දක්වන එකඟතාව රට ඔසවා තබනු ඇති බව සඳහන් කළ යුතුය.
ආර්ථිකයේ තරම හෙළිකරන ලද ඉලක්කම්
2022 වසර සඳහා ඉදිරිපත් කරන ලද අය වැය වසරේ පළමු භාගය තුළ අවලංගුවීම අවධානයට ගත යුතු කරුණකි. අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 2.3 ක් නමුත් සාක්ෂාත් කරගත හැකි ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.6 ක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දක්වා ඇත. වියදම රු. ට්‍රිලියන 3.3 ක් විය හැකියැයි අනුමාන කර තිබුණ නමුත් එය රු. ටිලියන 4 ක් විය හැකිය. අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට දහ තුන ඉක්මවනු ඇතැයි ප්‍රකාශ වේ. අලුත් ආණ්ඩුව සිය ණය ගැනීමේ සීමාව රුපියල් මිලියන දහසකින් වැඩිකරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගෙන සම්මත කර ඇත.
පසුගිය වසරේ අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12.6 ක පමණ විය. ගෙවී යන වසරේ එය තවත් ඉහළ මට්ටමකට පැමිණ තිබේ. මෙම හිඟය පියවන්නට ගන්නා ක්‍රියාමාර්ග උද්ධමනය වැඩි කරනු ඇති අතර ජීවන වියදම පාලනය කිරීම අසීරු තැනකට පත් කරනු ඇත. අය වැය වාර්තා දක්වන පරිදි වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 8.1 ක සීමාවේ පවතී. ආනයන පාලනය කළ පසු රජයේ බදු ආදායම පහත වැටේ. දළ වශයෙන් වැට් ආදායම සියයට 15 ක පමණ මටට්මක අඩුම වශයෙන් තිබිය යුතු යැයි සැලකේ. දැනට යෝජනා වී ඇති පරිදි වාරික දෙකකින් වැට් බදු නංවන්නට ඉඩ ඇත.
විදේශ සංචිත ගැන කරන ලද සඳහන අගමැතිවරයාගේ ප්‍රකාශයේ තවත් වැදගත් කරුණකි. 2019 වසරේ නොවැම්බර් මාසයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක සංචිත අද වන විට ඩොලර් මිලියනය හෝ එයටත් අඩු ප්‍රමාණයක් දක්වා පිරිහී ඇත. ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන පහක් සොයාගන්නට මහා භාණ්ඩාගාරය අපොහොසත් බව ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිර්ව්‍යාජව ප්‍රකාශ කර තිබේ. පෙට්‍රල් හෝ ඩීසල් තොගයක් මිල දී ගන්නට වත්කමක් නැති, අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනයට අවකාශයක් නැති බව රහසක් නොවේ. ඉන්ධන සඳහා ඉන්දියාව සපයන ලද චක්‍රීය ණය මුදල, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට නිකුත් කරන ලද ඇමරිකානු ඩොලර් බිලියනය රටට ආශීර්වාදයක් වී ඇත. ණය වාරික නොගෙවා ඒවා නැවත ප්‍රතිව්‍යුහගත කරන තීරණයක් ගෙන ඇති අතර එසේ නොකර තවත් වටයකින් විදේශ ණය ගැනීමට උත්සුක වූයේ නම් අර්බුදය නතරවන තැන ඉතාම බිහිසුණු වනු නිසැකය.
ජාතික අවශ්‍යතා සලකා තීරණ ගැනීමේ ව්‍යුහයක්
ආර්ථික අර්බුදය විද්‍යමාන කරන්නේ විදුලිය බලය උත්පාදනය බිඳ වැටීම, ඉන්ධන හා ගෑස් සැපයුම නිසි පරිදි කරගෙන යා නොහැකි තත්ත්වයට පත්වීම සමගය. හිඟයක් ගැන වාර්තාවන වහා අධි පාරිභෝජනයක් සිදුවේ. දැනටත් තෙල් පිරවුම්හල් අසල ඇති පෝලිම් සහ ඇතැම් පිරිස් රැස්කරගෙන ඇති බවට සැලකෙන අතිරේක ඉන්ධන ප්‍රමාණය මෙම තත්ත්වයට සාක්ෂියකි. අර්බුදකාරී අවස්ථාවක නිරවුල් භාවය වැදගත්ය. මහජනතාව තුළ විශ්වාසයක් ජනිත කළ යුතුය. සත්‍ය තත්ත්වය පැහැදිලිව පහදා දිය යුතුව තිබේ. බලශක්ති හා ආර්ථික අංශවල විපත්තියට හේතු වූ මූලික සාධකය විදේශ විනිමය හිඟය බව දැක්විය යුතුව ඇත. ප්‍රමාණවත් සංචිත පවත්වාගැනීමට හැකි අවස්ථාවක අද පවතින තත්ත්වය ඇති නොවේ. සාමාන්‍ය ජීවිතයේ දී පවා අගහිඟකම් ඇති වේ. එවැනි අවස්ථාවක අතමාරු කරගැනීම සාමාන්‍ය සිද්ධියකි. ණයක් තුරහක් කරගැනීම පවා අපහසු අවස්ථාවක තමන් සතු දේපළ උකස් කිරීමක් හෝ විකිණීම හැර විකල්පයක් නැත. අර්බුදයකට මුහුණ දෙන රටකට පවා පොදු තත්ත්වයකි.
මහජනතාව තුළ අපේක්ෂා දල්වන අතර අනුගමනය කළ යුතුව තිබුණ පිළිවෙල නොතකා ක්‍රියා කිරීමේ විපාක අද අප හමුවේ ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සංචිත ලබාගැනීම හෝ වෙනත් උපාය මාර්ගයකින් විනිමය ගෙන්වා ගැනීම නොකිරීම වරදකි. ස්වභාවිකව සිදුවිය යුතු විනිමය අනුපාතිකය අවප්‍රමාණයට ඉඩ නොදී බලහත්කාරයෙන් රඳවා තබාගැනීම සාමාන්‍යයෙන් ලැබෙන විනිමය ද නොලැබෙන තැනට පත් කළේය. විදේශගත ශ්‍රමිකයන්, අපනයනකරුවන් ප්‍රේශන ප්‍රමාද කරන ලද අතර සාමාන්‍යයෙන් සිදුවන අවප්‍රමාණය නොවීම පදනම් කරගෙන අපනයන සඳහා ඉල්ලුම අඩුවීම, සංචාරක ආකර්ෂණය පහත වැටීම හා ඒ වන විටත් පැන නැගී තිබුණ ආයෝජන ඌණතා ස්වභාවය තවත් සංකීර්ණ තත්ත්වයකට හැරවීය. අනුචිත තීරණ හා අනුවණභාවය ගැන චෝදනා කිරීම මෙහි දී වැදගත් නැත. අහිමි වූ අවස්ථා නැවත දිනාගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙළ ගැන සාකච්ඡා කිරීම සුදුසුය.
කැලඹිලි හා කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සුගතියක් අත්වෙන්නේ නැත. පසුගිය දශක හතර තුළ රට තුළ තිබුණ වාතාවරණය අපට උගන්වා ඇති පාඩම් අමතක කළ යුතු නැත. මානව හිමිකම් උල්ලංඝනය කරන, දේශපාලන ස්ථාවරභාවක් රහිත රටක් බව ජාත්‍යන්තරය හමුවේ සනිටුහන් කර ඇත. මානව හිමිකම් කොමිසම පනවා ඇති කොන්දේසි ඉවත් කරගෙන නැත. පසුගිය දිනවල රට තුළ ඇති වූ තත්ත්වය ශ්‍රී ලාංකිකයන්ගේ දුබලතා මැනැවින් දක්වන්නකි. ජාත්‍යන්තරය පවා තැතිගන්වන ලද එම රාමුව වෙනස්කරන්නට අප සියලු දෙනාට වගකීමක් තිබේ. ජාතික අවශ්‍යතා සලකා වැදගත් තීරණ ගන්නා තැනකට මහජන නියෝජිතයන් පත්විය යුතුය.
බෙල්ල තිබුණොත් තැල්ලක් බැඳිය හැකිය
පසුගිය කාලයේ රට ගැන තිබුණ කතාබහ තුළ තැල්ලක් බඳින්නට නම් ගෙල ආරක්ෂා කරගැනීමේ වැදගත්කම කියැවිණ. මහජන නියෝජිතයන් පමණක් නොව පොදු මහජනතාව ද තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමේ ක්‍රමවේදයකට ඇතුළත් විය යුතුය. දේශපාලනය කරන්නට රටක් අවශ්‍යය. රට යහතින් පවත්වාගත හොත් අලුත් ව්‍යවස්ථාවකට ඉඩ තිබේ. ක්‍රමය වෙනස් කළ හැක. ජනතාව ඉල්ලා සිටින දියුණුව සාක්ෂාත් කළ හැක. මෙතෙක් පැමිණි ගමන්මග තුළ තිබුණ සංකීර්ණ නොගැළපීම් වෙනුවට නිසි ප්‍රතිසංස්කරණ අවශ්‍යය.
රටට අලුත් ආර්ථික දර්ශනයක් ඕනෑ කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති ඉලක්කම් සමපාත කරගත හැකි දියුණුවක් ඇති කරගත යුතුය. එය පහසු ක්‍රියාමාර්ගයක් නොවේ. නැවත දැති රෝද කරකවන්නට ශක්තිය ජනාධිපතිවරයාගෙන්, පාර්ලිමේන්තුවෙන් හෝ පළාත් පාලන ආයතනවලින් පමණක් අපේක්ෂා කළ යුතු නැත. සමස්ත ජනතාවගේ කැක්කුම, කැපවීම අවශ්‍යය. ජාතීන් වශයෙන් බෙදී තිබුණ රට දේශපාලනික වශයෙන් මරා ගන්නා තැනකට පත්ව ඇත. ආගම් බේදවලින් පවා විනාශය සොයා ගිය සමාජයකි. මෙකී බෙදීම් හකුලා දමා රට එකතු කළ යුතු අතර එය ඉහළ සිට පහළට එන දැවැන්ත බලවේගයක් විය යුතුය. දූෂණය, හොරකම, රට බෙදීම, රට විකිණීම වැනි මතවාද ඇති කිරීමෙන් දිනාගත් ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්ය.
වැඩිපුර බදු එකතු කරගැනීම සඳහා ව්‍යවසායකත්වය හා ආයෝජනය නැංවිය යුතුය. දේශීය හෝ විදේශීය ආයෝජනවලට ඉඩ දෙන්නේ කෙසේද? යල් පැන ගිය පැරණි නීති වහා සංශෝධනය කළ යුතුව ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හැදීම වැනි 1994 සිට කරගෙන යන සාකච්ඡාවලින් අදට ලැබෙන පිටිවහල අල්ප එකකි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත අංශය හා සේවා දායක අංශය ගැන අලුත් විභවයකින් අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවේ තරුණ පෙළ යමක් නිපදවන, ඒවා වෙනත් රටකට විකුණන, ඒවායෙන් විනිමය උත්පාදනය කරන සමාජයක් බවට පත් කරන්නේ කෙසේ ද යන්න අධ්‍යනය කළ යුතුය. හතර වැනි කර්මාන්ත විප්ලවය කරා ජාත්‍යන්තරය ගමන් කරමින් සිටී. මානව සම්පත එහි දී බලවත්ම ආයෝජනය වී ඇත. තොරතුරු තාක්ෂණය හුරු ශ්‍රී ලංකාවේ නූතන පරපුර එහිලා යෙදවීමට හැකි පරිදි ව්‍යුහය සකස් කළ යුතුව තිබේ.
තරුණ ජවය වාසිදායක ලෙස හසුරුවා ගැනීම
ගාලු මුවදොර එකතු වූ ජන සන්නිපාතය අවධාරණය කළ එක දෙයක් ඇත. ඔවුහු ජවසම්පන්නය. ගතානුගතික ආකල්පවලින් ගැලවී සිටිති. මෙම පිරිස වාසිදායක සේ හසුරුවන්නට තාවකාලික කැබිනට් මණ්ඩලයකට හැකියාවක් තිබේද? සුපුරුදු පරිදි පත් කරන වන සම්පත්, තරුණ කටයුතු, වාරිමාර්ග, මහාමාර්ග හෝ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන වැනි අමාත්‍යංශවලින් පලක් නැත. මේවා තනතුරු පමණකි. තනතුරකට පත් කරන ඇමැතිවරයකු රටට නිෂ්පාදනය කරන සැලැස්මක් ප්‍රකාශයට පත් කළ යුතුය. ඉතාම අධික පාඩු ලබන ඛනිජතෙල්, විදුලිය, දුම්රිය හෝ තැපැල් වැනි අංශවලට ඇමැතිවරුන් කුමටද? ලෝකයේ සමහර රටවල තැපැල් අමාත්‍යාංශයක් නැත. බලශක්තිය එකට එකතු කරන ලද අමාත්‍යාංශයකි. වැවිලි ක්ෂේත්‍රයට සියල්ල අයත්ය. විදේශ විනිමය උත්පාදන අමාත්‍යාංශයක් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙරේ. දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය සඳහා දැවැන්ත අරගලයක් ගෙන යා යුතු අතර එයට ගැළපෙන විශේෂ අමාත්‍යාංශයක් අවශ්‍යය. 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහවැලි අමාත්‍යාංශය පත් කළ පසු එය තුළ දැක්මක් තිබුණි. වේගයෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර කෘෂිකර්මයත්, විදුලියත් සංවර්ධනය කළේය. දැන් රටට අවශ්‍ය මහවැලි අමාත්‍යංශයක් නොවේ. රට අලුත් නිෂ්පාදන ආකෘතියකට ඇතුළු කරන තරගකාරීත්වය ජයගත හැකි අමාත්‍යාංශයකි.
දැනට ලැබෙන වාර්තා අනුව ඉන්දියාව, චීනය, ජපානය, යුරෝපා රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට ආධාර කරන්නට සූදානම්ය. ආධාර කෙටි කාලීන ජීවිතය සඳහාය. රටට අවශ්‍ය ආයෝජනයකි. දැනට ඇති පසුබිම සලකා විදුලිය, ඛනිජ තෙල්, වරාය, ගුවන් සේවා හා කෘෂි අංශවල ආයෝජනයක් කළ හැකිය. රටට ගැළපෙන ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට කැබිනට් මණ්ඩලයට වගකීමක් තිබේ. සියලුම මහජන නියෝජිතයෝ සම්පූර්ණ වගකීම ගත යුත්තෝය. එතැනින් ඇති කරන විශ්වාසය ජාත්‍යන්තරයට පණිවුඩයකි. අද මෙම තීරණ නොගෙන මැතිවරණයකට යා හැක. තීරණයක් නොගෙන තවත් මාස හයකින් හෝ අවුරුද්දකින් මැතිවරණයක් කැඳවුවහොත් මතුවිය හැකි තත්ත්වය ගැන දැන් කල්පනා කළ යුතුව ඇත.
වාද විවාද වලින් පසු අපට අහිමි වූ ප්‍රමාණයක් තිබේ. නිෂ්පාදනය බිඳ වැටුණ අතර පිටරටකින් ගෙන එන දෙයකින් ජීවත් වූ බව සඳහන් කළ යුතුය. ආයෝජන නංවන්නට අපොහොසත්වීම තුළ දක්ෂතම පිරිස රට හැර ගිය අතර තවත් විශාල ප්‍රමාණයක් රජයේ සේවකයන් සේ බැඳී මහජන බදු වලින් නඩත්තු වෙමින් සිටිති. අද මුහුණ පා සිටින ඉරණම රාජ්‍ය සේවයත්, ආර්ථිකයත් ඇති කරන ලද අකාර්යක්ෂමතාව බව අවධාරණය කළ යුතුය. අධ්‍යාපන ක්‍රමයෙහි වරද බව දැක්විය යුතුය. බුද්ධිය වෙනුවට එකිනෙකා කොටවන වොයිස් කට් මාධ්‍ය භාවිතාව බව ප්‍රකාශ කළ හැකිය. පුන පුනා එහි ඇතුළාන්තය අතගා බැලීමෙන් ඇති කරන්නේ වේදනාවකි. ක්‍රෝධය නැවත වතාවක් ඇවිළීම පමණකි. ළඟ ඇති ඡන්දය ගැන නොව අනාගයේ රට භාරගන්නට සිටින දරුවන් ගැන කල්පනා කර තීරණ ගතහොත් රටට පැවැත්මක් තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ පත් කරගන්නට තීරණය කිරීම තුළ එකඟතාවක් ඇති කරගන්නට අවස්ථාවක් ඇත. ප්‍රශ්න නිරාකරණය කරගැනීම සඳහා කතිකාවක් ඇරඹිය හැකිය. නවීන උත්පාදන ආර්ථිකයක් සඳහා දර්ශනයක් ගොඩනගා ගැනීමට නොහැකියාවක් නැත.
(*** සාරා කන්දෙගොඩ)