ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමාත්‍ය මණ්ඩලය ඓතිහාසික මහනුවර මගුල් මඩුවේදී ඊයේ දිවුරුම් දුන්නේය. හැටනවලක්ෂයක ජන වරමින් ජනාධිපතිධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ඉදිරි කාලය තුළ ජීවමාන යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ අදහස් සහිත වගකීම දෙවුරට ගත් බල සෙනඟට එම වගකීම එයට හිමි නිසි ගැඹුරින්ම ඉටු කිරීමට ශක්තිය ලැබේවා යන්න ලංකාදීපයේ ප්‍රාර්ථනය වේ. එමෙන්ම නව කැබිනට් මණ්ඩලයට අපගේ උණුසුම් ශුභාශිංසන පිරිනමමු.
මෙවර කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුවේ අලුත්ම ආකෘතියකටය. පළමුවෙන්ම කැබිනට් ඇමැතිධුර හා රාජ්‍ය ඇමැති ධුර ගැසට් කරනු ලැබීය. විෂය පථ හා ආයතන නම්කරනු ලැබීය. ඒ ඒ වගකීමට නිසි පුද්ගලයා තෝරාගනු ලැබුවේ ඉන් පසුවය. මෙය අලුත් දේශපාලන සංස්කෘතියක ආරම්භයකි. එබඳු අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව සමාජය තුළ මතුවූයේ ඇයිද යන්න තම තම නැණ පමණින් වටහා ගැනීම නව කැබිනට් සගයන්ගේ වගකීමය. එම ජනතා අභිලාෂ අමතක කළ ගමනක් ඉතිරිව නැති බව සියලු දෙනා එළැඹ ගත් සිහියෙන් යුතුව වටහාගත යුතුය.
පෙර අත්දැකීම්වලට අනුව ඉදිරි කාලය වෙන්වනු ඇත්තේ පිළිගැනීම් උත්සවවලටය. සුදුසු නැකත එළැඹෙනතුරු නොනගතය ගතකරන මැති ඇමතිවරුන් ප්‍රදර්ශනය වීමය. අමාත්‍යාංශයේ පුටු මේස තිර රෙදි පමණක් නොව මල්පෝච්චි පවා වෙනස් කර අලුත් තීන්ත ආලේප කිරීමේ කටයුතුය. එබඳු මැති ඇමැතිවරුන්ට අපට කීමට තිබෙන්නේ ජනතාව බලා සිටින්නේ හැඩ දෙස නොව වැඩ දෙස බවයි. ජනයාගේ ඒ වුවමනාව සමග සූදු කෙළියක නිරතවීමට කිසිදු කැබිනට් ඇමැතිවරයකුට අයිතියක් නැත.
මෙවර ආණ්ඩුවට තුනෙන් දෙකක බලයකි. එයින් කියැවෙන්නේ 150 ඉක්මවූ මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ආණ්ඩුවට ඇති බවය. එහෙත් ඇමැතිධුර සංඛ්‍යාව 25 කි. රාජ්‍ය ඇමැතිධුර සංඛ්‍යාව 39 කි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අතර ඇති හිඩැස්වලින් රිංගා යමින් ඇමැතිධුර සංඛ්‍යාව තවත් වැඩිකළ හැකි වුවද රටට බරක් නොවන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීම අගනා උපමා නැති ආදර්ශයකි. මෙබඳු ආදර්ශ සැපයීමේ දී ආණ්ඩු පක්ෂයේ සියල්ලන්ට ඇමැතිධුර ලබාදිය නොහැක. එම නිසා ඇමැතිධුර නොලැබූවන් මේ මොහොතේ කෙසේ කටයුතු කරනු ඇත්දැයි යන්න ජනතාවගේ නිරීක්ෂණයට ලක්වී තිබේ.
ඇමැතිධුර නොලැබුවෝද කැමැති ඇමතිධුර නොලැබුවෝද ඇමැතිධුර අපේක්ෂාවෙන් සිටියද රාජ්‍ය ඇමැතිධුර ලැබුවෝද ආදි වශයෙන් නානාප්‍රකාර අය මෙම කැබිනට් මණ්ඩලයේ සිටිති. ඔවුන්ගෙන් ඇතැමකු රටට විහිළු සැපයීමට ඉදිරිපත් විය හැකිය. එබන්දන් කෙවිටෙන් තලා පිටමන් කිරීමට ජනතාව වගබලා ගත යුතුය.
මැති ඇමැති තනතුරු යනු වගකීම්ය. එසේ නොමැතිව ඒවා පළඳනා නොවේ. මහජනයාගේ අනුමැතියෙන් රට හදන තැනට තේරීපත්වු ජනතා පුත්‍රයන්ට රටට වැඩ කිරීමට ලැබුණු අගනා අවස්ථාවකි. ඒ බව තේරුම් නොගෙන නාහෙන් අඬන්නේ නම්, කකුල් මාට්ටු දමන්නේනම්, පිටට පිහියෙන් අනින්නේනම් ඒවා ජනතා අභිලාෂවලට එරෙහි ඒවා වේ. හැත්තෑ දෙවසරකට පසු මෙරට ජනයා ඉල්ලා සිටින්නේ බලකාමී ගමනක් නොවේ. යසස් කාමයෙන් කුල්මත් වූ ගමනක් නොවේ. පදවි ලෝභයෙන් අන්දුන් කුන්දුන් වූ ගමනක් නොවේ. එහෙයින් ගමනේ ගැඹුර දැන ගමන් කිරීම සියල්ලන්ගේම වගකීමය.
මැති ඇමැතිවරුන්ට විශේෂ වරප්‍රසාද තිබෙන බව සත්‍යයකි. ඒ වරප්‍රසාද අතර අසනීපයකට ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට යාමේ අවස්ථා ආදී බොහෝ අවස්ථා ඇත. ජනාධිපති අරමුදලද ඒ වෙනුවෙන් නිරතුරුව සැදී පැහැදී සිටී. ඒ අනුව මෙරට ජනී ජනයාට නොමැති විශ්වාසවන්ත රක්ෂණයක් ගරු කටයුතු මහජන නියෝජිතයන්ට තිබේ. එහෙත් අවශ්‍ය වන්නේ එම වරප්‍රසාද භුක්ති විඳීම නොව ඒවායේ ප්‍රතිලාභ මෙරට ජනයාට අත්පත්කර දීමය. මෙරට සෑම අතින්ම සංවර්ධනය වී තිබේ නම් පිටරට පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැත.
මනාප ක්‍රමය සහිත මෙම පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමද ජනතාවගේ අපේක්ෂාවකි. මෙම අපේක්ෂාව තව දුරටත් කල්දැමිය යුතු නැත. වහා ක්‍රියාත්මක කළ යුත්තකි. පක්ෂ විපක්ෂ සියලු ජනයා එබඳු බලගතු ජයග්‍රහණවල කොටස්කරුවන් වීමට අපේක්ෂාවෙන් සිටිති.
(***)