‘‘සදා උකුලූ තල
මා සුව යහනත
තොලගින් මැතිරූ නැළවිල්ලෙන්
හැරලා මා සුව සිහින විමානෙට
නිදිගන්වා මා ඔබ තුරුලේ’’
සෙත් පිරිතක්ව ගැයුණු නැළවිලි මවු ගීයේ අනුහසින් සියදහස් දස දහස් වාරයක් ඒ කිරිකැටි දියණියගේ සිත සුවපත් වෙන්නට ඇත. රක්තවර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරා බවට පත්කළ ආදරයේ උත්තරීතරත්වය සඳ මඬලක්ව ඒ දරු පැටවුන්ගේ හද මඬල සනසවන්නට ඇත.
එහෙත්
‘‘ඇකය පුරා පැන දැඟලිලි පාලා දෙතොල් පුරා රස කිරි තවරලා.’’
![]() |
![]() |
![]() |
මියගිය කාන්තාව, සැමියා සහ දියණිය සමග |
නැළවිලි ගීයෙන් දරුවන් සැනසූ ඒ අම්මාටම දරු පැටවුන් තුරුලට ගෙන මරණය ඉල්ලා සිටින්නට සිදු වූයේ කොතැනකදී කා අතින් සිදු වූ වරදක් නිසා වුවත් මරණය පැමිණෙන තුරු මරණය සොයා යාම කිසිදු ලෙසකින් සාධාරණීකරණය කළ නොහැකි බව අප හැඟීමයි. ලෙයක් කිරට කර පෙවූ සමනළ පැටවුන්ගේ ජීවිතය මත මරණයේ ඉරණම බලහත්කාරයෙන් ලියවන්නට මේ ලොව කිසිම මවකට, පියකුට අයිතියක් හෝ හිමිකමක් නැති බව අපේ හැඟීමයි.
එහෙත් සෙනෙහසින් ළය හොවා ඇති දැඩි කළ දරු පැටවුන්ද සමඟින් මරණය සොයා යන්නට මවක සිත පෙළඹ වූ ඛේදාන්තය දෙස සානුකම්පිතව නොබලන්නට හිතක්, පපුවක් හැඟීමක් ඇති කිසිවකුටවත් නොහැකි බව අපි විශ්වාස කරමු.
ඇයි අම්මේ මෙහෙම කළේ. කියා දෙන්න මේ දේ විතරක්.. ආදරේ නැති හින්දද? නැත්නම් ආදරේ වැඩි හින්දද? අම්මගේ අත් දෙකින්ම අපව කෝච්චියට තල්ලූ කළේ. ජීවත්වෙන චාරුණ්‍යාත් මියැඳුණු ඉරාජිත් තමන් බිහිකළ අම්මාගෙන් අසන ප‍්‍රශ්නය එයයි සිතේ.
කෝච්චිය එද්දී අම්මා නංගීත් වඩාගෙන මගේ අතින් අල්ලාගෙන කෝච්චි පාරට පැන්නා. මා අම්මාගේ අත ගසා දමා කෝච්චි පාරෙන් පිටතට පැන්නා. ඒ සමඟම අම්මා කෝච්චියේ හැපුණා. ඒ දුම්රියට පැන දිවි නසාගත් පෙර පාසල් ගුරුවරියගේ වැඩිමල් දියණි චාරුණ්‍යා දුන් සාක්‍ෂියයි. මවත් නැගණියත් යකඩ යකාට යටවෙද්දී දිවි ගලවා ගත් දියණිය වතුපිටිවල රෝහලේ පැවති තම මවගේ සහ දියණියගේ මරණ පරීක්‍ෂණවලදී සාක්කි දෙමින් එසේ පැවසුවාය.
ඒ ඉකුත් 13 වැනිදාය. වේයන්ගොඩ කීනවල දුම්රිය නැවතුම්පොළ අසල මවක් තම දියණියන් දෙදෙනා තුරුලූ කොට ගෙන බලා සිටියේ මරණය සොයා යන්නටය. වේලාව සවස 1.10ට පමණ විය. කිලිනොච්චිය සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රිය තමා අසලට ළංවෙන තෙක් පන්නල හොරවඩුන්න පදිංචි පී.ජී. මංජුලා එරන්දි ප‍්‍රියශාන්ති 32 හැවිරිදි දෙදරු මව බලා සිටින බව දැන සිටියේ ඇයම පමණකි.
දෙහැවිරිදි දියණියත්, නම හැවිරිදි දියණියත් මව් සෙනෙහස තුරුලූව බලා සිටියේ මරණය පැමිණෙන තෙක් නොවේ. ඒ මරණය ගැන හැඟීමක් ඒ පුංචි සිත්වල නොතිබූ හෙයිනි.
නාරම්මල මයුරපාද මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ එරංදි ඩිප්ලෝමාධාරී පෙර පාසල් ගුරුවරියක් වූවාය.
ඇය විවාහ වී සිටියේ ඉන්දික නීල් ජයශාන්ත සමඟය. ඔහු පන්නල ප‍්‍රදේශයේ ඇඟලූම් පාලක ගබඩාවක සේවය කරයි. මංජුලා සහ ඉන්දික නෑනලාxමස්සිනාලාය. මේ ඇවැස්ස නෑකම නිසාම කුඩා වියේ සිටම දැන හඳුනාගත් ඔවුන්ගේ සිත්වල ලෙන්ගතුකම කෙළවර වූයේ විවාහයෙනි. විවාහය සඳහා උත්සවයකට දින නියම කරගෙන සිටියත් එරන්දිගේ පියා හදිසි අනතුරකින් මිය යාම නිසා උත්සවයකින් තොරව මේ යුවළගේ විවාහය සිදුවිය.
විවාහයෙන් ඉනික්බිති ඔවුහු පුංචි නිවෙසකට ද අන්තිවාරම් සකස් කළහ. ආදරය, සතුට, නිදහස පිරුණු ඔවුන්ගේම ජීවිතයක් ඔවුන්ගේ ප‍්‍රාර්ථනය විය. පුංචි කැදැල්ල දරු පැටවු දෙදෙනකුගේ සුරතල් සිනා හඬින් පිරෙද්දී ඉන්දිකගේ මවත් පියාත් ඒ පුංචි නිවෙසට පැමිණ ඔවුන්ට අයත් මහගෙදර මේ පුංචි පවුලේ වාසයට පවරා දුන්නාය.
‘‘කාලය ගතවෙද්දී ඉන්දික මත්පැන් වලට ඇබ්බැහි වුණා. ගෙදර තිබුණු සතුට සැනසීම ටිකෙන් ටික අතුරුදන් වී ගියා. රණ්ඩු සරුවල් ඇති වුණා. එරංදි එම ගමේම තිබූ සුමන පෙර පාසලේ සහාය පාලිකාව ලෙස කටයුතු කළේ වයඹ පළාත් සභාවේ සකුරා පුහුණු මධ්‍යස්ථානයෙන් ලබාගත් ඩිප්ලෝමා පුහුණුවක් ද සමඟින්.” නිවසේ අඬ දබර ඉවර නැත්තේ ගෙදර අපලයක් නිසායැයි කියලා සිතූ ඔවුන් ඒ නිසා නිවෙසත් කඩලා වෙනස් කළා.
12 වැනිදා රාත‍්‍ර‍්‍රීයේත් එරන්දි හා ඉන්දික අතර රණ්ඩුවක් ඇති වුණා. ඉන්දික එරන්දිව මඟහැරලා අම්මා තාත්තා ඉන්න නිවෙසට ගියා. ඉන්දිකත් අම්මාත් එරන්දි ගැන කතා කරමින් සිටි සියල්ල ඇය නිවසේ පිටු පස සිට අසා සිටියා.
එරන්දි එතැනට පැමිණීමත් සමඟම නැවත රණ්ඩුව ඇති වී ගුටිබැට හුවමාරුවක්ද ඇති වුණා. යළි ඔවුන්ගේ නිවසට ගිය පසුත් මේ දෙදෙනා රණ්ඩු වුණා.
ඒ ඉන්දිකගේ පියා කියන කතාවයි.
අම්මා මාත්, නංගීත් අරගෙන ගෙදරින් පිටත් වුණා. ඒ යතුරුපැදියෙන් අපි දෙන්නවම යතුරු පැදියේ තබාගෙන අම්මා යතුරුපැදිය පැදෙව්වා. බෝවත්ත හන්දියේ තේ කඩයක් අසල අම්මා යතුරු පැදිය නවත්වලා උදේ තේ බීවා. තේ කඩය ළගින් අම්මා අපවත් අරන් බස් රථයකට ගොඩවුණා. අම්මා අපිවත් අරගෙන ආවේ ගිරිඋල්ලට. ගිිරිඋල්ලෙන් මීරිගමට ඇවිත් අම්මා කීවා අපි චූටි මාමලාගේ ගෙදර යනවා කියලා.
අපි ඉල්ලන්නෙත් නැතුවම අම්මා අපට මීරිගමදී ටිපි ටිප් පැකට් පහකුයි කිරි පැකට් තුනකුයි අරන් දුන්නා. ඇයි අම්මේ අපට මේ තරම් කෑම අරගෙන දුන්නේ කියලා මා ඒ වෙලාවේ අම්මාගෙන් ඇහුවම අම්මා කීවා පුතේ මම ඔයාලට බඩ පිරෙන්නම කන්න අරන් දෙන අන්තිම කෑම තමා මේ කියලා.
අම්මා මීරිගම දුම්රිය පොළෙන් ගම්පහට ‘ටිකට්’ ගත්තා. ඊට පසුව දුම්රියකට ගොඩවුණා. දුම්රිය කීනවල දුම්රිය ස්ථානයේ නතර කළාම අම්මා වැඩිය සෙනඟක් නැහැ කියලා අපි දෙන්නවත් අරගෙන දුම්රියෙන් බැස්සා.
කීනවල දුම්රිය නැවතුම් පොළේදී මා අම්මට කිව්වා මට වැසිකිලි යන්න ඕනැ අම්මේ කියලා. අම්මා මාව ඒ ළඟ නිවෙසක වැසිකිළි එක්ක ගියා. මම වැසිකිළියෙන් එළියට එද්දී අම්මා කීවා අන්න කෝච්චියක් එනවා. දැන්නම් කෝච්චියට පනින්නම ඕනැ කියලා. අම්මා මගේ අතින් අල්ලාගෙන නංගීත් වඩා ගෙන දුම්රිය පාරට පැන්නා. මම අම්මාගේ අත ගසා දාලා කෝච්චි පාරෙන් පිටතට පැන්නා. මම දැක්කා මගේ අම්මයි, නංගියි කෝච්චියට හැප්පෙන හැටි.
අම්මයි නංගියි කෝච්චියේ හැප්පුණාට පස්සෙ කෝච්චිය ටික දුරක් ගිහින් නතර වුණා. මගේ නංගී තුවාල වෙලා ලේ පෙරාගෙන වැටී හිටියා. මම මගේ නංගීව වඩා ගත්තා. ඒ එක්කම මට කලන්තයක් හැදුනා. මම මගේ නංගී දඟලන හැටි දැක්කා. මම මගේ අම්මාගේ මූණ දැක්කෙ නැහැ. ඊට පෙර තුන් පාරක් අම්මා කෝච්චියට පනින්න හැදුවත් මම කෑ ගැසුව නිසා අම්මා ඒ තුන්වතාවේදීම කෝච්චියට පැන්නේ නෑ.
චාරුණ්‍යා ඛේදවාචකයක් සුසුමකට ඉඩහැර කඳුළු වැගිරෙන නෙතින් සුසුම්බර හඬකට මුසු කළේ එලෙසිනි.
අපි විවාහ වී වසර 11ක් වෙනවා. මා ගිරිඋල්ලේ පන්නල පිහිටි ඇඟළුම් ආයතනයක පරිපාලකවරයකු ලෙස සේවය කරනවා. අපේ ගෙදර සිටින්නේ මමයි බිරියයි දරුදෙදෙනායි. මගේ මව සහ පියා අපි පදිංචිව සිටින නිවෙස අසලම පිහිටි නිවෙසක පදිංචිව සිටිනවා.
12 වැනිදා මම වැඩ ඉවර වෙලා හවස 6.30ට ගෙදර ආවා. තේ පානය කරලා හන්දියට ගිහින් රෑ 9.00ට විතර ගෙදර ආවා. එදා අපි අතර ආරවුලක් ඇති වුණා.
13 වැනිදා උදේ මගේ බිරිය ගමනක් යාමට ලෑස්ති වුණා. මම ඇයගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. අම්මලාගේ ගෙදර යනවා කියලා ඇය දරු දෙදෙනාත් රැුගෙන නිවෙසින් පිටව ගියා. මම උදේ 8.00 වෙද්දී රැකියාවට ගියා.
![]() |
මියගිය මව හා දියණිය |
බිරිය මට අතරමගදී කතාකරලා කීවා මම ආයේ ගෙදර එන්නේ නෑ කියලා. මේ මරණය ගැන මට සැකයක් නෑ. වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් කළ දැනුම් දීමකට අනුව එතෙනට පැමිණ මම ඔවුන්ගේ මළ සිරුරු හඳුනාගත්තා. ඒ එරන්දිගේ සැමියා කළ විවරණයයි.
ඔබේ සෙනෙහස මගේ ජීවිතයයි යනුවෙන් හැඟුණ හිතටම සෙනෙහසට වඩා මරණය සුවදායි ලෙස දැනෙන ඉරණම එදා කුවේණියට මෙන්ම අද බොහෝ ගැහැනුන්ටද සාධාරණ බවට මේ සමාජය විසින්ම සාක්‍ෂි සපයයි. අපි ලියා තබමු. මේ ඒ සත්‍යයට එක් සාක්‍ෂියක්ම පමණි.