(ශ්‍රීනාත් ගණේවත්ත)
ලංකාවේ අධ්‍යාපනය ඉංගිරිසි බසින් කළ යුතුය යන හඬ වරින් වර නැඟී මැකී යයි. නොබෝ දා රටේ මහ තැන් කිහිපයෙකින් ම ඒ හඬ ඉතා බලවත් වැ නැඟෙන්නට විය. එහෙයින් ඒ ගැන යන්තම් හෝ විමසා බැලීම කාලීන අවශ්‍යතාවක් වැ ඇත්තේය.
සැබැවින් ම නම් පළමු වැ විමැසිය යුතු කරුණ වැ ඇත්තේ අධ්‍යාපනය දෙන භාෂාව නොව කවර භාෂාවෙකින් හෝ වේවා දෙන අධ්‍යාපනය කිමෙක්ද යන්නයි. මෙරට පාසල්හි දැන් දිගුකලක් තිස්සේ කැරෙන අධ්‍යාපනය මගින් බිහි වනුයේ ස්වායත්ත ස්වාධීන චින්තනයෙකින් තොර වූ ද අලුත් දැනුමක් නොඋපදවන අලුත් යමක් නොනිපදවන අනුකාරක පරම්පරාවකැයි ඇතැම් විද්වත්හු පවසති. ඒ ගැන මෙහිලා වැඩිදුර නොවිමැසෙනුයේ මෙහි අරමුණ අධ්‍යාපනය දෙන භාෂාව ගැන විමැසීම හෙයිනි.
මෙ රට ඉංගිරීසින්ගේ පාලනයට නතු වැ පැවැති (1948 ට පෙර) කල්හි අධ්‍යාපනය දෙන ලදුයේ ඉංගිරිසි බසිනි. ඒ අතර ස්වභාෂාවෙන් උගන්වන පාසල් ගණනාවෙකුදු විය ව(ර්)නක්යුල(ර්) ස්කූල්ස් (Vernacular Schools) යනුවෙන් ඒ පාසල් හැඳින්විණි.
මෙයින් ස්වභාෂාව මෙන්ම පහත් නොවැදැගත් බස යන්න ද හැඟැවේ. ස්වභාෂාව පහත් කොට තැකීමේ තැත මේ වදනිනුදු හැඟැවුණු බව ඉන් පෙනේ.
බොහෝ දෙනෙකු සිතනුයේ අධ්‍යාපනය ස්වභාෂාවෙන් දීම ඇරුඹුණේ (1956 දී) සිංහලය රාජ්‍ය භාෂාව වුවාට පසු ය යනුයි. ඒ වුවද එය කැරුණේ එයට ද තෙ වසරකට පෙර 1953 දීය.
මේ වනාහි ස්වභාෂාව විශේෂයෙන් සිංහලය පිළිබඳ විසිවන සියවසේ දී වූ අතිශයින් වැදගත් සිදු වීමෙකි. එතෙක් ස්වභාෂා පමණක් දන්නවුනට නොහිමි වැ පැවැති මහා ඥාන කෝෂ්ඨාගාරයකට දොර එයින් ඇරිණ. ඒ නම් ඉංගිරිසියෙන් වු බොහෝ පොත්පත් වහවහා සිංහලයට පෙරැළිණ. ඒ මතු නොව නුතන සංකල්ප නව ඥානය සිංහලයෙන් පැවැසිය හැකි පරිදි නව වදන් තැනිණ. ඒ හැමට ම වඩා වටනා කරුණ නම් අන්තර්ජාතික වශයෙනුදු පිළිගැනුණු පරිදි මවුබසින් ඉගැනීමේ හිමිකම අයිතිය මෙරට සිසු පරපුරට ලැබිය හැකි වීමයි.
සියලු පාසල්හි මුල සිටම ඉංගිරීසියෙන් ඉගැන්විය යුතු යැයි දැන් යළි දු නැගෙන හඬ මේ හැම ආපසු හරවන්නක් වේ. විශේෂයෙන් ම මවුබසින් ඉගැනීමට ඇති හිමිකම මුලිනුපුටා දැමීම මහත් අපරාධයක් බව නො වළහා කිය යුතුය. මෙයින් වන හානිය සියුම් ව විමසා බැලිය යුත්තෙකි.
මෙරට ජනයාගෙන් අතිමහත් පිරිසක් එදිනෙදා වහරන්නේ සිය මවුබසයි. මෙසේ ගෙදර දී මවුබස වහරන දරුවන් පාසලේදී අමුතු බසෙකින් ඉගැනීම ඔවුන්ගේ භාෂා සංවේදීතාව නැති වීමට හේතුවේ. ඒ මතුනොව කුඩා දරුවන්ගේ මනසට මෙසේ භාෂා දෙකෙකින් කටයුතු කිරීම කිසි සේත් දැරිය හැක්කක් නොවන හෙයින් ඔවුනට එක් බසක් වත් නිසිසේ උගත හැකි නොවනු ඇත.
එය ඔවුන්ගේ භාෂා ශක්‍යතාව විනාශ වීමට හේතුවෙකි. සියබසින් හෝ ඉංගිරිසියෙන් හෝ නිවැරැදි වැ වැකියක් ගලපා ලියාගත නොහැකි පරපුරක් ඇති වුවහොත් පුදුමයෙක් නොවේ. දැනුදු ඊනියා ‘ජාත්‍යන්තර’ පාසල්වල එබන්දන් නොඅඩු වැ සිටින බව ඒ පාසල්හි ගුරුවරු මැනැවින් දනිති. භාෂා ශක්‍යතාව වනාහි බුද්ධීය ශක්‍යතා සියල්ලන් හා අත්‍යන්තයෙන් බැඳී පවතී. භාෂා ශක්‍යතාව හා එක්වැ එ හැම ද පරිහානියට යනු නියතය.
බුද්ධීය ශක්‍යතා පිරිහුණු මිනිසුන් තුළ නිර්මාණාත්මක චින්තනයක් කිසි ලෙසෙකින් ඇති නොවේ. ලොවෙහි හැම දියුණු ජාතියක්ම නිර්මාණාත්මක චිත්තනය මගින් ‘අලුත් අලුත් දෑ’ නිපැදැවීමෙහි යෙදුණු ජාතීහුය. මෙසේ විමසා බලන කල්හි ඉංගිරිසියෙන් ඉගැන්වීම යනු සමස්ත ජාතියේ ස්වාධීන, ස්වායත්ත නිර්මාණාත්මක චින්තනය විනාශ කොට පරිහානිය කරා ඇද දමන්නක් බව මැනැවින් පෙනේ.
භාෂාව වනාහි සංස්කෘතියෙහි ද ප්‍රධාන අංගයක් වේ. යම් ජන වර්ගයක් ජාතියක් බවට පත් වනුයේ ඔවුන් එක් සංස්කෘතියෙක පිහිටි කල්හිය. සංස්කෘතියෙහි පැවැත්ම ඒ අයත් දැයෙහි මවුබස හා බැඳී පවත්නේ නොබිඳිය හැකි ලෙසිනි. එ මවුබස නිවෙසින් ඔබට නොගෙන ගොස් සියලු වැදැගත් කටයුතු වෙනත් බසෙකින් කරන්නට වු කල සංස්කෘතිය ද අනුක්‍රමයෙන් වැනැසෙනු නොවැළැක්විය හැකිය.
මෙරට ජාතික සංස්කෘතිය නසා වනසා දමා බටහිරියන් අනුකරණය කරන දීන සංස්කෘතියේ මුල් පියවර ද මේ ඉංගිරිසියෙන් ඉගැන්වීම මගින් සටහන් වේ. සිංහලයෙහි මුල් සිඳගත් ඉංගිරිසියන් (වෙසෙසින් ඇමෙරිකා ජනයන්) අනුකරණය කිරීමේ මුග්ධ ඕලාරික ‘සංස්කෘතියක්’ දැනුදු මෙරට එක් පිරිසක් අතර පවතී. එය සුජාත බවට පත් කොට සමස්ත ජාතියේ පොදු සංස්කෘතිය කිරීම ඉංගිරිසියෙන් ඉගැන්වීමේ ප්‍රයත්නයේ යටි අරමුණ බව ඉතා පැහැදිලිය.
චින්තනය මෙන්ම වින්දනය ද ජාතියෙක ශිෂ්ටත්වයේ සාධකයෙකි. ලලිත කලා මෙන්ම ප්‍රබන්ධ සාහිත්‍යයේ ද චින්තනයේ ප්‍රධාන ප්‍රභව වේ. සම්පූර්ණ අධ්‍යාපනය ඉංගිරීසියෙන් ලද්දෙන් කෙසේ නම් සිංහලයෙන් ප්‍රබන්ධ කරණයේ යෙදේද? යන්තම් හෝ එබන්දෙක් යමක් ලියන්නේ නම් ඒ ව්‍යක්ත භාෂාවෙන් නොව එතැනින් මෙ තැනින් අහුලාගත් රොඩු බස් වහරෙකින් වනු නිසැකය. සියබසෙහි වියරණය වත් ව්‍යඤ්ජන ශක්තිය වත් නොදැන ඉංගිරිසියෙන් ලෑටි ගාගත් සිංහලයෙකින් ලියන්නෝ දැනුදු දුලබ නොවෙති. ඉතින් චිත්තනයෙන් පිරිහුණු වින්දනයෙන් පිරිහුණු ඉංගිරිසි දැනුමේ මානයෙන් ඉදිමුණු ජාතියක් කවර නම් දියුණුවකට යෙයිද?
මේ සියල්ල පසකට කොට ඉංගිරීසියෙන් ඉගැන්වීමට හේතු සේ දැක්වෙන කරුණු මඳක් විමසමු. අනාගත ලෝකයට මුහුණ දීමට නම් ඉංගිරීසිය දත යුතු යැයි යනු එහිලා ප්‍රධාන හේතුව සේ දැක්වේ. ලොව දිනන පුරවැසියන් බිහි වන්නේ ඉංගිරීසි දැනුම නිසා යැයි ද කියනු ලැබේ. එසේ නම් එයට එක් ම පිලියම වනුයේ ඉංගිරීසිය මැනැවින් ඉගැන්වීමයි. කවුරු නම් එයට එරෙහිවෙත්ද? ඉංගිරීසිය ඉගැන්වීමත් ඉංගිරීසියෙන් ඉගැන්වීමත් ඉඳුරා වෙනස් කාර්ය දෙකක් යැයි මොවුනට නොවැටැහීම කවර පාපයක් ද? ඉංගිරීසිය ඉගැන්වීමට ගුරුවරුන් නැති පාසල් මෙරට බෙහෙවින් වේ. කොළඹ පවා එ බඳු පාසල් ඇති කල ගම ගැන කියනු කවරේද? තතු එ බඳුවැ තිබිය දී ඉංගිරිසියෙන් උගන්වන්නට යෑම නිකම්ම විහිළුවක් බව නොකිව මනාය. දේශපාලකයන් මෙබඳු විහිළු කිරීම ඉවැසිය හැකි වුවද බුද්ධිමතුනැයි කියා ගන්නවුනුදු මේ විහිළුව කිරීම නම් ඉවැසිය නොහැකිය. තව සියවසෙකිනුදු ප්‍රායෝගික වැ කළ හැක්කෙකැයි නොපෙනෙන මෙ බඳු ලිහිල් කිරීමෙන් මොවුන්ගේ හීනමානයේ තරම මනාවැ පෙනේ.
යම් හෙයකින් මේ ඊනියා අදහස ක්‍රියාවට නැගුණහොත් ප්‍රායෝගික වැ නිසැක වැ සිදුවන සේ පහසුකම් ඇති නාගරික විද්‍යාලයවල ඉංගිරීසියෙන් ද පහසුකම් නැති ග්‍රාමීය විද්‍යාලයවල ස්වභෂාවෙන් ද උගන්වන්නට වීම කොතරම් දරුණු භේදයකට ඉඩ සලසනු ඇත්ද? එය බලවත් සමාජිය වෛරයකට මඟ නොපැදතියි කිය හැකිද?
පෙරහරකට පෙර කසකරුවන් එනු සිරිතෙකි. ඒ මෙන් මැද කලකට පෙර නීති විද්‍යාලයේ අධ්‍යාපනය මුළුමනින් ම ඉංගිරිසියෙන් දීමට ගත් බලවත් ප්‍රයන්තය ව්‍යර්ථවැ ගිය සැටි දක්නා හැකි විය. මුට්ටිය බිඳුණ ද දැන් සොරා කෙසේ හෝ ගෙට රිංගන්නට මාන බලයි. මේ හීන දීන ප්‍රයත්නය වළකාලන්නට නව භාෂා හිතකාමි දේශමාවත ජාතිමාමක සකල ජනයා එක් විය යුතුය.