ඉදිකිරීම් කර්මාන්තය බිඳවැටීමට ඉඩදෙමුද?


මානව සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය රටක තුලනාත්මකව සිදුවිය යුත්තකි. විවිධ ගැටලු හා අභියෝග හේතුවෙන් රටේ මානව සංවර්ධනය බරපතළ අනතුරකට මුහුණ පා තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධිගලනය ද වේගවත් වී තිබේ. මෙම මානව සංවර්ධනයේ බිඳ වැටීමේ තරම අනාගතයේ දී පෙනෙනු ඇත. එම මානව සංවර්ධනයේ බිඳ වැටීමට හේතුකාරක අතර භෞතික සංවර්ධනය ඇද වැටීම ද ප්‍රධානය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ‘ඉදිකිරීම් නතර වෙලා ලක්ෂ 18 ක් පාරට වැටිලා’ යනුවෙනි. ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් මහතා උපුටා දක්වමින් පළකර තිබූ එම ප්‍රවෘත්තියෙන් වැඩි දුරටත් කියැවුණේ සංවර්ධන ව්‍යාපෘති රැසක් නතර වීම ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 10 කට වැඩි පිරිසකට රැකියා අහිමිවී ඇති බවය.
යුද්ධය නිමවීමත් සමග මුළු රටම එකම වැඩබිමක් වූවේය යන්න දේශපාලන ප්‍රකාශනයක් නොව ඇසට පෙනුණ සත්‍යයකි. එම ඉදිකිරීම් බොහොමයක් ඵලදායි ද නැද්ද යන්න මෙන්ම අත්‍යවශ්‍ය ද නැද්ද යන්න වෙනම ම විභාග කළ යුත්තකි.

කෙසේ වුවද ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව පවුල් ලක්ෂ ගණනක් ජීවත් වූහ. වැඩබිම් සඳහා ආහාරපාන සැපයීමෙන්, නේවාසිකාගාර පහසුකම් සැපයීමෙන් මෙන්ම ‘ප්ලේන්ටියක්’ බුලත්විටක් සැපයීමෙන් අමතර ආදායම් ලද්දෝ ද බොහෝ වෙති. ඉදිකිරීම් ක්ෂේත්‍රය බිඳ වැටීමෙන් මේ සියල්ලන්ටම ‘බඩේ පහර’ වැදී තිබේ.

ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා පවසන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා එම ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් පන්දහසකට ආසන්න පිරිසක් විදේශගතවී ඇති බවය. එමෙන්ම මෙරට ක්‍රියාත්මක වූ ඉදිකිරීම් සමාගම්වලින් සියයට හැත්තෑවක් ද සම්පූර්ණයෙන්ම වැසී ඇති බවය.

පික්පොකැට්කරුවන්, කොල්ලකරුවන් වැඩිවී ඇතැයි සත්‍යයකි. එම සිදුවීම් බොහෝවිට කුඩුකාරයන්ගේ ගිණුමට බැර කිරීම ද සාමාන්‍යය. එහෙත් වැඩබිම් වැසී යාම නිසා මහ මඟට වැටුණු ඇතැමෙකු ද ජීවත්වීම සඳහා අන් මඟක් නොමැති හෙයින් සොරකම් කිරීමට, කොල්ලකෑම්වලට  යොමුවීම ද වටහාගත යුත්තකි. ඉදිකිරීම්  ක්ෂේත්‍රය බිඳවැටීම රුපියල් ශත පිළිබඳ ප්‍රශ්නයක් හෝ යැපීම පිළිබඳ ප්‍රශ්නයක් හෝ නොව මහා සමාජ ඛේදවාචකයක් ලෙස හඳුනාගත යුතුවන්නේ ද එහෙයිනි.

මහ බැංකුවෙන් මුදල් ලබාගෙන කරන සියලු රාජ්‍ය ව්‍යාපෘති මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව යනාදී විදේශීය ණය දෙන ආයතනවල මුදල් මගින් කෙරුණු ව්‍යාපෘති බොහොමයක් ද මූල්‍යමය අර්බුදය හේතුවෙන් නතරවී ඇතැයි ද ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරිස්ටන් පෝල් මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණ.

එමෙන්ම අධික භාණ්ඩ මිල හේතුවෙන් කොළඹ නගරයේ මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් රැසක් නතරවී අතැයි ද අනාවරණය කරන ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීම නිසා අහිමිවී ඇති ඍජු රැකියා සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වන බව ද පෙන්වා දෙයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා නැති වූ පිරිසට ගිණුම් ලිපිකරුවන්, ගබඩා භාරකරුවන්, පෙදරේරුවන්, අත්උදවුකරුවන් සහ ජේ.සී.බී. ක්‍රියාකරුවන් ඇතුළු පිරිස් අයත්වන බව ද සභාපතිවරයා පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල පහත වැටීම, කොවිඩ් මාරාන්තික වයිරසය, යනාදිය ඉදිකිරීම් ක්ෂේත්‍රය බිඳවැටීමට බරපතළ ලෙස බලපෑවේය. මහා භාණ්ඩාරයේ ඩොලර් සංචිත සිඳීයාම නිසා ආනයන භාණ්ඩ සීමා කෙරිණි. ගෘහ උපකරණ නාන කාමර උපාංග ඒ අතර ප්‍රධාන විය කොහොමින් හෝ මුදලක් උපයාගෙන ඉඩමක් ගෙන කුඩාවට හෝ නිවසක් ඉදිකර ගැනීමේ බහුතරයක් පුරවැසියන්ගේ සිහිනය පුපුරාගොස් තිබේ. සමාජ අසහනය වර්ධනය වීමට මෙම පරිසරය ද බලපා තිබේ.

රටේ සන්සුන් සංහිඳියාවෙන් පිරුණු පැවැත්ම සම්බන්ධ අත් නොහළ අරමුණකින් පසුවන්නේ නම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බිඳවැටීම සරලව ගෙන පහසුවෙන් ඉවතලෑම නොකළ යුතුය. මෙම ඉදිකිරීම් ක්ෂේත්‍රය නව වටයකින් පණගසා පෙරට ගත යුතුය. මුළු රටම එකම වැඩ බිමක් බවට පරිවර්තනය කළ යුතුය. නොඑසේ නම් එය මානව සංවර්ධනයට මාරාන්තික ලෙස බලපාන බව වසන් කළ නොහැකි සත්‍යයකි.

(***)