ඉදිරී වැටුණු මහා වනස්පතිය


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ගල්බොඩ ඤාණිස්සරාභිධාන නාහිමිපාණන් වහන්සේ අගනුවර ඇතුළු සමස්ත රට ම ශෝක කරමින් පසුගිය දෙවැනි දා (2) අපවත් වී වදාළහ. උන්වහන්සේ ගැන සිහිපත් වන විට මගේ මනසට නිතැතින් ම නැඟෙනුයේ අතිපූජනීය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ය.

ගල්බොඩ ඤාණිස්සර හිමියන් නො එසේ නම්  ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වනාහි සුමංගල හිමියන්ගේ සිවුවැනි පරම්පරාව නියෝජනය කළ අග්‍රගණ්‍ය යතිවරයන් වහන්සේ නමකි. උන් වහන්සේ එවන් පුණ්‍යවන්ත පරම්පරාවක විශාල ශාසනික උරුමයක වත්මන් නියෝජනය යි. සමස්ත රටෙහි ම ගෞරව සමාදරය ලැබූ දැවැන්ත සංඝපිතෘන් වහන්සේ යි.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ විසින් සිය රට, දැය, සමය වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණා වූ අනුපමේය මෙහෙවර නම් පරම්පරාගත නිධානයේ වත්මන් පිළිබිඹුව ලෙසින් මම පොඩි හාමුදුරුවන් හඳුන්වන්නට කැමැත්තෙමි. ශ්‍රී ලංකාව බටහිර යටත්විජිතයක් වශයෙන් පැවති වකවානුව තුළ අධිරාජ්‍යවාදීන් එකහෙළා ම බුදු දහමට ප්‍රතිපක්ෂ ව ගොඩනඟමින් සිටි ගැටලු හමුවේ හික්කඩුවේ යතීන්ද්‍රයන් වහන්සේ නිර්භය ව ඒ වෙනුවෙන් පෙනී සිටියහ. එවන් ගැටලු විසඳාලීමත් යටත්විජිත සමය තුළ මෙරට අධ්‍යාපනය නඟා සිටුවීමත් උන් වහන්සේගේ මූලික අපේක්ෂා අතර විය. අනාගත ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජනයක් වශයෙන් 1873 විද්‍යෝදය පිරිවෙන බිහි වන්නේ උන් වහන්සේගේ දූරදර්ශී දැක්ම අනුව ය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වැලිවිටියේ සරණංකර සංඝරාජ හිමි ආදි ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේගේ අදහස්වලට සමාන සහ සර්වෝචිත අදහස්  හික්කඩුවේ හිමියන්ට ද පැවැතීම මේ තුන්කල් දක්නා නිරීක්ෂණයන්ට මූලික ම හේතුව බව මාගේ විශ්වාසය යි. වර්ෂ 1873 දි විද්‍යෝදය පිරිවෙන සමාරම්භ වන විටත් කොළඹ සහ ගාල්ල වැනි ප්‍රදේශවල හික්කඩුවේ හිමියන් විසින් පවත්වාගෙන යනු ලැබූ මුද්‍රණාල පවා සක්‍රීය ව පැවැති ජාතික සටනට සහ ආගමික ප්‍රතිසංවිධානයන්ට අවශ්‍ය පොත්, පත්‍රිකා ආදිය ඒවායේ දිනපතා මුද්‍රණය වූ අතර යටත්විජිත වාසී සියලු දෙනා ඒ ඔස්සේ දෛනික ව අභිප්‍රේරණ ලැබුවේ ඒවායිනි. මිෂනාරින්ගේ විකෘති ප්‍රචාර මැඬලීමට මෙම මුද්‍රිත කඩදාසිවලින් ලැබුණු දායකත්වය සහ සුළු පටු නැත.

හික්කඩුවේ සුමංගල හිමියන් ගැන බොහෝ දෙනා නො දන්නා කතා තව ඇත.  1880 දී ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමන් පවා මෙහෙයවන ලද්දේ උන්වහන්සේ විසිනි. ඕල්කට්තුමාට ලංකාවට පැමිණීම සඳහා මූලික අඩිතාලම සැපයූ පානදුරාවාදය ආදි කොටගත් සියලු සාධකයන්හි න්‍යායාචාර්යවරයා වූයේ සුමංගල හිමිපාණන් වහන්සේ ය. වෙනෙකක් තබා එවක ඇමරිකාවේ දි පැවැති ලෝක බෞද්ධ සම්මේලනයට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සම්බන්ධ වන අවස්ථාවේ එතුමා විසින් එහි පැවැත්විය යුතු දේශනය සකස් කොට දෙනු ලැබුයේ ද උන් වහන්සේ විසිනි.

උන් වහන්සේ වැඩ විසූ හුණුපිටිය ගංගාරාමය වනාහි එවන් ශ්‍රේෂ්ඨ යතිවර පරම්පරාවක ආශීර්වාද ලත් පුණ්‍යස්ථානයකි. පොඩි හාමුදුරුවන්ටත් ඒ මහා සෙවණැල්ල නිතැතින් වැටී තිබුණු බව මාගේ විශ්වාසය යි.  පොඩි හාමුදුරුවෝ කිසි විටෙකත් උඬගු නො වූ අතර සිය තනතුරු ආදිය නිසා බැබළෙන්නට උත්සාහ නො කළ යතිවරයන් වහන්සේ නමකි. මල්වතු මහාවිහාරයෙන් ලැබුණු බස්නාහිර පළාත් සංඝනායක පදවිය පවා උන් වහන්සේ ඉස්මතු නො කළේ එබැවිනි. උන් වහන්සේගේ නිර්මාණශීලි සහ දුරදක්නා නුවණ පිළිබඳ සමස්ත හුණුපිටිය ම සාක්ෂ්‍ය දරන්නේ එකී සමස්ත හුණුපිටිය ම උන් වහන්සේගේ සංකල්පයක් හෙයිනි. බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගේ ම නායකත්වය උසුලමින් එම ප්‍රදේශයේ ගැටලු නිරාකරණය කරමින් එහි සාමකාමී වාතාවරණය උදෙසා උන්වහන්සේ කළ මෙහෙය අනභිභවනීය ය.

පොඩි හාමුදුරුවන්ගේ නූතන සහ යාවත්කාලීන අදහස් උන් වහන්සේ නොමැති මේ මොහොත වන විටත් ලංකාව පුරා සක්‍රිය ව ක්‍රියාත්මක වන බව රහසක් නො වේ. විශේෂයෙන් ම ලාංකේය තරුණ ප්‍රජාව උන් වහන්සේගේ ප්‍රධාන අවධානයට ලක් වූ අතර ඒ අය වෙනුවෙන් තාක්ෂණික පාසලක් පවා ඉදිවන්නේ ඒ අනුව ය. මෙතෙක් සමාජයේ වරප්‍රසාද අහිමි වූ තරුණයන් නැවත අලුත්වන සමාජයක ස්ථානගත වන්නේ පොඩි හාමුදුරුවන් නිසා ය. නිදසුනක් ලෙස 1977 දී එවක රජය විසින් අප රටට විදේශීය වාහන ආනයනය කිරීමට සූදානම් වන විට කොළඹ ජිනරතන කාර්මික විද්‍යාලය පිහිටුවා, ඈත ගම් දනවුවල දුවාදරුවන්ට මෝටර් කාර්මික විද්‍යාව උගන්වන්නට කටයුතු කිරීම තරම් උන් වහන්සේගේ යාවත්කාලීන දැක්ම ප්‍රශස්ත ය. එයට සමගාමී ව ම වායුසමීකරණ තාක්ෂණය, ගුවන්විදුලි කාර්මික විද්‍යාව, රූපවාහිනී කාර්මික විද්‍යාව, වඩු කර්මාන්තය වැනි ප්‍රායෝගික සහ යාවත්කාලීන දැනුම උන් වහන්සේ නිහඬ මේ මොහොත වන විටත් එම ආයතනවල ඉගැන්වෙන බව සිහිපත් කළ යුතු ය. දරුවන්ගේ අනාගතය ඒකාලෝක වීමට මේ සිදුවීම්වල ඒකාබද්ධ බලපෑම සක්සුදක් සේ පැහැදිලි ය. හේතුඵලවාදී ය. මෙවන් අධ්‍යාපන ආයතනවලින් බිහිවූ දක්ෂතා පූර්ණ ඉංජිනේරුවන්ගෙන් චිරාත් කාලයක් පවතින අගනා නිර්මාණ අතීතයේ බිහි වූ අතර ඉදිරි අනාගතයේ ද නො අනුමාන ලෙස බිහිවනු ඇත.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් පරිබාහිර ඈත පිටිසර ගම්දනවුවලින් මෙම ආයතන වෙත අධ්‍යාපනය උදෙසා පැමිණෙන දරුවන්ට පොඩි හාමුදුරුවන් විසින් උගන්වන ලද්දේ ආහාර පාන සහ අනෙකුත් අවශ්‍යතා පවා සලසා දෙමිනි. උන් වහන්සේ තුළ කිසිවිටෙකත් ලොකු කුඩා, දුප්පත් පොහොසත් ආදි භේද නො තිබුණු අතර රටේ සියලු නායකයන්ට උන් වහන්සේගේ දූරදර්ශී සහ අපාක්ෂික අනුශාසනා නිවැරැදි ආලෝකයක් වූ බවත් අනිවාර්යයෙන් සඳහන් කළ යුතු ය. අනුශාසනාවෙන් ඔබ්බට ගොස් රටෙහි ප්‍රශ්න ගණනාවකට මැදිහත් වී ඒවා නිරාකරණය කිරීමේ හැකියාව උන්වහන්සේට පැවති අතර ඉහත සඳහන් කළ පරිදි ඒ මගින් පොඩි හිමියන් තුළ තිබූ දූරදර්ශී නුවණ ම තහවුරු වේ. අනාගතයේ ඇතිවන ගැටලු එයට දශකයට පමණ පෙරාතුව හඳුනාගැනීමට තරම් උන්වහන්සේ තුළ පුදුම සහගත සංවේදී දෘෂ්ටියක් පැවැතිණි.

නිදසුනක් ලෙස අදින් වසර දෙක තුනකට පළමු රටෙහි වූ අරගලය පවා උන්වහන්සේ ඊට බොහෝ කලකට පෙර හඳුනාගත් අතර පෞද්ගලික ව ඒ පිළිබඳ අපටද පෙන්වා දුන් ආකාරය සිහිපත් කළ හැකි ය. එවන් අරගලයක් හටගන්නේ කෙසේ ද? ඒවාට හේතු සපයන නිලධරයන් කවුද? යන්නත් එහි දී උන් වහන්සේ වදාළේ අනාවැකියක් තරම් ස්ථිරසාර ලෙසිනි.

කෙසේ නමුත් මේ ශ්‍රේෂ්ඨ යතිවරයාණෝ මේ වන විට අප අතර නැත. එහෙත් උන්වහන්සේගේ සංකල්ප තව සියවස් ගණනක් ඉදිරියට පවතිනු ඇත. මන්ද ඒ වෙනුවෙන් උන්වහන්සේ මනුෂ්‍ය ජීවිතයට අදාළ සීමිත කාලය තුළ දි උපරිමයෙන් කටයුතු කර ඇති බැවිනි. එම කටයුතු ඉදිරියට රැගෙන යාම සඳහා සුපසන්, දක්ෂ ශිෂ්‍ය පිරිසක් තනා ඇති බැවිනි. කිරින්දේ අස්සජි හිමි ඇතුළු පොඩි හිමියන්ගේ ශිෂ්‍ය රත්නයන් වෙත එම වගකීම දැන් පැවරී ඇත. පොඩි හිමියන්ගේ අදහස වූයේ සිය ශිෂ්‍ය භික්ෂුන් හොඳින් උගෙන ආචාර්ය උපාධි පවා ලැබිය යුතු අතර රැකියාවල නියුතු නො වෙමින් විහාරස්ථානයේ වැඩ වසමින් රට, සමාජය, බෞද්ධ ධර්මය වෙනුවෙන් කැපවිය යුතු බව ය. එම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගේ ඇටමස්ලේනහර ආදියට ම එවන් සමාජ මෙහෙවරක කාලීන අවශ්‍යතාව උන්වහන්සේ දැනවූහ.

තව වසර ගණනාවකට ප්‍රමාණවත් වන්නට ගංගාරාමයේ අඩිතාලම වැටුණේ එකී දුරදක්නා මෙහෙයවීම මත ය.

මේ සිදුවීම අසාමාන්‍ය කම්පනයක් වන්නේ ද එම නිසා ය.

 ගංගාරාමාධිපති, ගල්බබොඩ ඤාණිස්සර අපේ පොඩි හාමුදුරුවන්ට නිර්වාණාවබෝධය බොහෝ දුර නො වේ වා යි ප්‍රාර්ථනා කරමි.

(***)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ​
ෙජ්‍යෂ්ඨ මහාචාර්ය​ - සම්පත් අමරතුංග