ඉන්දියාවේ නාඩි අල්ලන දේශපාලනය


පසුගිය වසරේ ජූලි 20 වැනිදා දිවුරුම්දීමේදී ජනාධිපති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන් හරියටම වසරක් පිරෙන මේ වසරේ ජූලි 20 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙම සංචාරය සම්බන්ධයෙන් මෙරට උතුරු නැගෙනහිර දේශපාලනඥයන් අපේක්ෂා කරන්නේ ඉන්දියාවට පැමිණෙන ශ්‍රී ලංකා නායකයාට  බලපෑම් කොට ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තමන්ට අවශ්‍ය ආකාරයේ විසඳුමක් දෙන්නට ඉන්දීය නායකයන් කටයුතු කරනු ඇතැයි කියාය. නැත්නම් එසේ කටයුතු කළ යුතුය කියාය.

එහෙත් උතුරු නැගෙනහිර පළාත්වලින් පිටත ජීවත් වන බහුතර ජනතාව අපේක්ෂා කරන්නේ ඉන්දීය නායකයන් එවැනි බලපෑමක් නොකරනු ඇතැයි කියාය. නැත්නම් එසේ බලපෑම් නොකළ යුතුය කියාය.

වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරය කළේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සොයා නොවේ. ශ්‍රී ලංකාව පෙර නොවූ විරු ආර්ථික අර්බුදයක කර වටක් එරී සිටින තත්ත්වය යටතේ ජනාධිපතිවරයාගේ සංචාරයේ ප්‍රධාන අරමුණ එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාවෙන් ගත හැකි ආධාර උපකාර හැකි උපරිමයෙන් ලබා ගැනීම බවට සැකයක් නැත.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාද ජනාධිපතිවරයාගේ දූත පිරිසේ එක් පුද්ගලයෙකි. ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම  පිළිබඳ ප්‍රශ්නයක් දශක ගණනාවක් තිස්සේ පවතී.  දූත පිරිසට දේවානන්දා  මහතාද ඇතුළත් වීම නිසා දෙරට නායකයන් එම  ප්‍රශ්නයද මෙම සංචාරයේදී සලකා බලන්නට ඇතුවාට සැකයක් නැත.

මෙම සංචාරයට පෙර ඉන්දීය විදේශ ලේකම් විනායි මෝහන් ක්වට්රා මෙරටට පැමිණ ජනාධිපති වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කොට තිබිණි. එසේම ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය  ඇතුළු උතුරේ දෙමළ පක්ෂවල නායකයන් හමුවී සාකච්ඡා කොට තිබිණි. එසේම ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ පක්ෂවල නායකයන් ද හමුවී සාකච්ඡා කොට තිබිණි. ඒ අනුව මෙම සංචාරයේදී දෙරට නායකයන් සලකා බලන්නට ඇති ප්‍රශ්න ගැන අනුමානයක් ඇති කර ගත හැකිය.

ඉකුත් 11 වැනිදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කොට ඇත්තේ ජනාධිපති මන්දිරයේදී හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නොව ආරක්ෂක අමාත්‍යාංශයේදීය. එය අහඹු සිදුවීමක්ද නැත්නම් අවශ්‍යතාව අනුව සාකච්ඡා කරන ස්ථානය තීරණය කෙරුණාද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබඳ  ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාද හමුවීම අනුව ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවද මෙම සාකච්ඡාවලදී මාතෘකාවක් වන්නට ඇතැයි  සිතිය හැකිය. එම කරුණ අන් රටවල් හා සංවිධාන කෙසේ  වෙතත් චීන බලධාරීන්ගේ අවධානයද ඇද ගන්නට ඇත.

මෙරට නායකයන් ඉන්දියාවේ සංචාරයන්හි නිරත වන විටත් ඉන්දිය නායකයන් මෙරටට පැමිණෙන විටත් අනිවාර්යයෙන්ම සාකච්ඡාවට භාජන වන කරුණක් වන්නේ මෙරට ජනවාර්ගික ප්‍රශ්නයයි. ජනාධිපතිවරයා තම සංචාරයට පෙර ඉකුත් 18 වැනිදා දෙමළ මන්ත්‍රීවරුන් හමුවුයේද ඒ අනුව විය යුතුය. එසේම මෙම සංචාරයට පෙර මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේද දෙමළ ජාතික සන්ධානය සමග  අදහස් හුවමාරු කර ගත් බව කියවිණි. ඒ අනුව පසුගිය දශක තුනකට වැඩි කාලයක් තිස්සේ දෙරට නායකයන් මුණගැසුණු විට චාරිත්‍රයක් මෙන් සාකච්ඡාවට භාජන වූ 13 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම මාතෘකාවක් වීම තේරුම් ගත හැකිය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් තුළ එතරම් ප්‍රසාදයක් නොවූ බව ඇතැම් දෙමළ දේශපාලන විචාරකයන් පවසා තිබිණි. ඒ වික්‍රමසිංහ මහතා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සහායෙන් මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දක්වන ආකල්පය ඉන්දියාවේ ප්‍රසාදයට ලක්වූවක් නොවේ. විශේෂයෙන්ම 1987 අත්සන් කරන ලද ඉන්දු- ලංකා ගිවිසුම ප්‍රකාරව එම වසරේම සම්මත කරන ලද 13 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් සම්මත කිරීම හා බලය බෙදීම සම්බන්ධයෙන් වූ පොදුජන පෙරමුණේ නායකයන්ගේ ස්ථාවරය ඉන්දියාවේ ප්‍රසාදයට ලක්වූවක් නොවේ.

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2012 සිට ‘තර්ටීන් ප්ලස්’’ යැයි කියමින් 13 වැනි සංශෝධනයෙනුත් ඔබ්බට යන බවට ඉන්දීය නායකයන් හට කිහිප වරක්ම පවසා තිබුණද ඇත්ත වශයෙන්ම ඔහුට එවැනි අවශ්‍යතාවක් තිබුණේ නැත. එය ඉන්දීය නායකයන්ටද වැටහෙන්නට ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී සති දෙකක් යන්නටත් මත්තෙන් ඉන්දියාවේ සංචාරයක නිරත විය. එහිදී ඉන්දීය නායකයන් පුළුල් බලය බෙදීමක් හා 13 වැනි සංශෝධනය පිළිබඳ තම විරෝධය ඉන්දීය ජනමාධ්‍යයනට පවසා පෙරළා පැමිණියේය. මෙය තමිල්නාඩුව හමුවේ ඉන්දීය නායකයන් අසීරුවට පත්කිරීමක් විය.

එසේම පොදුජන පෙරමුණේ නායකයන්ගේ චීන හිතවාදීභාවය ලෝකයම දන්නා කරුණකි. පොදුජන පෙරමුණේ ආධාරයෙන් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ හෙයින් ඔහු එම පෙරමුණේ ප්‍රාණ ඇපකාරයකු සේ කටයුතු කළ හැකි යැයි ඉන්දීය  නායකයන් මුලදී සිතූ බව ඉහත කී දෙමළ දේශපාලන විචාරකයන් අදහස් දක්වා තිබිණි. ඒ නිසාදෝ තමා රනිල් රාජපක්ෂ නොව රනිල් වික්‍රමසිංහ යැයි ජනාධිපතිවරයා ඉකුත් 18 වැනිදා දෙමළ දේශපාලනඥයන් සමග පැවැති සාකච්ඡාවේදී පවසා තිබිණි. ජනමාධ්‍යයද ඔහුගේ එම ප්‍රකාශයට විශාල  ප්‍රචාරයක් දී තිබිණි.

වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් තුළ එවැනි ඍණාත්මක මතයක් තිබුණේ වුවද ඔහු එම තත්ත්වය බොහෝ දුරට වෙනස් කර ගත්තේය. ඔහුට ඒ සඳහා ද උපකාරී වූයේ මෙරට මුහුණ දී සිටින වත්මන් ආර්ථික අර්බුදයයි. මෙම අර්බුදයේ හේතුවක් මෙන්ම ප්‍රතිඵලයක් වූයේ මෙරටට ආධාර දෙන්නට ඉන්දියාව හැර කිසිදු රටක් හෝ ආයතනයක් ඉදිරිපත් නොවීමයි. මෙවැනි තත්ත්වයක් යටතේ තම කොන්දේසි යටතේ හෝ  ආධාර දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට ආණ්ඩුවට සිදුවූයේ ඒ අනුවය.

ඊට පෙර වෙනත්  රටවල් ආධාර දෙන්නට මැලි වුවද ඉන්දියාව   මෙරටට සහාය දෙන්නට ඉදිරිපත්වීම විශේෂත්වයකි. ගත් ණය ගෙවීමට නොහැකියැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නිවේදනය කළ පසුත්  ඉන්දියාව මෙරටට ඩොලර් බිලියන තුනකට වැඩි ණය ආධාර දී තිබේ.

මෙය විශේෂත්වයක් වන්නේ චීනය පමණක් නොව විවිධ දුෂ්කර අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට සහායට ඉදිරිපත් වූ බටහිර ආසියාවේ මුස්ලිම් රටවල්ද පිටුපෑම නිසාය. එම රටවල් එසේ පිටු පෑවේ කොවිඩ් රෝගයෙන් මියගිය මුස්ලිම් පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසායැයි විදේශ ඇමැති අලි සබ්‍රි මහතා පවසා තිබිණි.

කෙසේ වෙතත්  ඉන්දියාවේ මෙම ආධාර වික්‍රමසිංහ මහතාට ඉන්දියාවට සමීප වන්නට උපකාරී විය. ඔහු බොහෝ අවස්ථාවලදී ඉන්දියාවේ මෙම ආධාර සිහිපත් කරමින් එරටට ස්තුති කළේය. මේ වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේදී ප්‍රකාශයක් කළ වික්‍රමසිංහ  මහතා ශ්‍රී ලංකාව දුෂ්කර තත්ත්වයට මුහුණ දුන් විට පිහිට වූ කාන්තාවන් තිදෙනකු ගැන සටහන් කරමින් ඉන්දියාවේ මුදල් ඇමැතිනි නිර්මාලා සීතාරාමන්  ගැන විශේෂයෙන් සඳහන් කළේය.

එසේම ලෝක ආර්ථික ආධිපත්‍යය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරයද ඉන්දීය නායකයන්ගේ සතුටට හේතු වන්නට ඇත. ලෝක ආර්ථික ආධිපත්‍යය බටහිරින් ආසියාවට විතැන් වන බව වික්‍රමසිංහ මහතා නිතර පවසයි. මෙය ආසියාවේ ආර්ථික බලවතුන් වන චීනයේ හා ඉන්දියාවේ ආර්ථික ආධිපත්‍යයය පිළිගැනීමකි.

මෙසේ ජනාධිපතිවරයා ඉන්දියාව සතුටු කළද ඔහු පසුගිය 18 වැනිදා දෙමළ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී කළ ප්‍රකාශය නම් ඉන්දියාවේ සතුටට හේතු නොවන්නට ඇත. ඔහු එහිදී පැවසුවේ පළාත් සභාවලට පොලිස් බලතල පැවරීමෙන් තොරව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ හැකි බවය. මෙය  ඔහු මීට පෙර දැරූ ස්ථාවරයට වෙනස් ස්ථාවරයකි. ඉකුත් දෙසැම්බර් මාසයේදී දෙමළ මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදීත් ජනවාරි 15 වැනිදා යාපනයේ පැවැති ජාතික තෛපොංගල් උත්සවයේදීත් ඔහු පැවසුවේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවය. එහිදී පොලිස් බලතල පිළිබඳ කිසිදු සඳහනක් නොවීය.

එහෙත් වත්මන් ඉන්දියාව 1980 ගණන්වල පැවැති ඉන්දියාව නොවේ. එදත් අදත් ඉන්දියාව කටයුතු කළේත් කරන්නේත්, දෙමළ ජනයා පිළිබඳ ආදරයකින් නොව තම ආර්ථික හා උපාය මාර්ගික යහපත වෙනුවෙනි. එදා ඒ සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගත්තේය. අද වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය ගැන ප්‍රසාදයක් නැති වුවද ඉන්දියාවට දෙමළ ජනයාට වඩා ශ්‍රී ලංකාවේ තම ආර්ථික ඵල ප්‍රයෝජන වඩා වැදගත්ය.

ඉන්දියාව චීනය අබිබවා ශ්‍රී ලංකාවට ආධාර දෙන්නට ඉදිරිපත් වන්නේ ඒ නිසාය. මූල්‍ය අරමුදලේ වැඩ  සටහන යටතේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රශ්නයේදී ද ඉන්දියාව චීනයට වඩා ශ්‍රී ලංකාව ගැන සිතා කටයුතු කළේද එය කලාපයේ තම ඵල ප්‍රයෝජනවලට අවශ්‍ය නිසාය.

ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ එක්තරා විදියක පරෙස්සමකිනි. ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයෙන් පසු ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක්ද සැලසුම් කොට ඇත්තේ ඒ අනුවය. දේශපාලනය එක්තරා ආකාරයක චෙස් ක්‍රීඩාවකි.

(*** එම්.එස්.එම්. අයුබ්)