ඉන්දු - ලංකා පාලමට හරස්වන පටු අදහස්


පසුගිය මස 20, 21 දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉන්දීය සංචාරයේ දී දෙරට අතර තෙල් නළ සබඳතා ගුවන් ගමන් සබඳතා විදුලි රැහැන් හා ගොඩබිම් මාර්ග සබඳතා ආදි කරුණු ගණනාවක් සාකච්ඡාවට බඳුන් කළද ඉන් තවමත් කතාබහට ලක්වන්නේ ගොඩ බිම් මාර්ග සබඳතාවයි.

එහිදී ​ගොඩබිම් සබඳතාව යනුවෙන් කතා බහට ලක් වන්නේ පසුගිය විසි වසරක් තිස්සේ විටින් විට ඉස්මතු වෙමින් යටපත් වන ‘‘ආදම්ගේ පාලම’’ මහා මාර්ගයක් වශයෙන් ඉදිකොට දෙරට අතර වාහන ගමනා ගමනයට පහසුකම් සැලසීමේ යෝජනාවයි.

වික්‍රමසිංහ මහතා ඉන්දීයාවේ සිටියදීම එම සංචාරයේ දී සාකච්ඡා කෙරුණු කරුණු සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ විදේශ ලේකම් විනායි මෝහන් ක්වට්‍රා පැවසුවේ ගොඩබිම් මාර්ග සබඳතාව පිළිබඳව යෝජනාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

ඔහු සඳහන් කරන්නේ 2001 හා 2004 අතර පැවැති වික්‍රමසිංහ මහතාගේ දෙවැනි අගමැති ධුර කාලයේ දී ඔහු ඉදිරිපත් කළ අදහස ගැන  විය යුතුය. ආදම්ගේ පාලම, හනුමාන් පාලම, සේතු ආදී වශයෙන් හැඳින්වෙන මන්නාරම් බොක්කේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන අයුරින් දෙරට අතර වාහන ගමනා ගමනයට පහසුකම් සැලසිය යුතු යැයි වික්‍රමසිංහ මහතා යෝජනා කොට තිබිණි.

එහෙත් අදහසක් වශයෙන් හෝ යෝජනාවක් වශයෙන් හෝ මුලින්ම එය ඉදිරිපත් කළේ වික්‍රමසිංහ මහතා නොවේ. වසර 2500කට ඉහත දී වාල් මිකී විසින් සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද රාමායනයේ  සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ සිටි රාවණා රජු විසින් ඉන්දියාවේ රාම කුමරුගේ බිරිඳ වූ සීතා කුමරිය පැහැරගෙන යනු ලැබීමෙන් පසු රාම කුමරුට ශ්‍රී ලංකාව ආක්‍රමණය කොට සීතා කුමරිය බේරා ගෙන යාම සඳහා හනුමාගේ වානර හමුදාව විසින් පාලමක් වශයෙන් මෙම හුණුගල් පෙළ ඉදිකරන  ලදැයි බොහෝ හින්දු භක්තිකයෝ විශ්වාස කරති.

එහෙත් එම හුණුගල් පෙළට වෙනත් අර්ථයක් දෙමින් යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍ය පාලකයෝ ඊට ආදම්ගේ පාලම ( Adams Bridge) යැයි නම් තැබූහ. තමන් යටතේ පැවැති ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් මෙම හුණුගල් පෙළ මත දුම්රිය මාර්ගයක් හා මහා මාර්යක් ඉදි කිරීමට 1894දී සැලසුම් කළ බ්‍රිතාන්‍ය පාලකයෝ එම සැලැස්ම Indo - Ceylon Bridge (ඉන්දු -ලංකා පාලම) ලෙස ද නම් කළහ. පාලම දෙපැත්තේ දෙරටේම දුම්රිය මාර්ග ද ඉදි කෙරිණි.

මෙම යෝජනාව එකල ඉන්දියාවේ ජනප්‍රිය වී තිබුණු බව පෙනෙන්නේ ඒ කාලයේ දී තමිල් නාඩුවේ විසු විශිෂ්ටතම දෙමළ කවියා ලෙස සැලකෙන හා ජනමාධ්‍යවේදීයකු හා සමාජ ක්‍රියාකාරීකයකුද වූ සුබ්‍රමනියම් භාරතී විසින් රචනා කරන ලද කවි පෙළකිනි. එම කවි පෙළේ කවි පද දෙකකින් කියවෙන්නේ ‘‘සිංහල දීපයට පාලමක් තනමු, සේතුව  උස් කොට විදියක් තනමු’’ යනුවෙනි. සංස්කෘත,  හින්දි, දෙමළ වැනි භාෂා ගණනාවකින් සේතු යන්නෙන් පාලම හැඳින් වුව ද විශේෂයෙන්ම මෙම හුණුගල් පෙළ හැඳින්වේ.

මහා කවි භාරතීගේ මෙම කවි පෙළ පසුව1964 දී නිෂ්පාදනය  කරන ලද කෛ කොඩුත්ත දෙයිවම් නම් දෙමළ චිත්‍රපටයේ ගීතයක් වශයෙන් ජනප්‍රිය ගායක ටී.එම්. සෞන්දුරාජන් විසින් ගායනා කෙරිණි. එම ගීතය අද ද අතිශයින්ම ජනප්‍රියය.

ඉංග්‍රීසි පාලකන්ගෙන් පසු මෙම හුණුගල් පෙළ මතින් කිලෝ මීටර් 23ක් දිග පාලමක් ඉදිකිරීමේ යෝජනාව මුල් වරට කරන්නට ඇත්තේ වික්‍රමසිංහ මහතා විය යුතුය. ඒ 2002 ජුනි මස 8-12 යන දිනවල ඔහු ඉන්දියාවේ කළ පස්දින චාරිකාවේදීය. අගමැති අටල් බිහාරි වජ්පායි යටතේ එවක ද ඉන්දියාවේ පැවතියේ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවකි.

එම සංචාරය අවසානයේ දී දෙරට නායකයන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වූයේ යෝජිත දෙරට අතර ගොඩ බිම් මාර්ගය පිළිබඳ පූර්ව අධ්‍යයනය අවසන් බවත් දෙපාර්ශ්වය ශාක්‍යතා අධ්‍යයනයක් සඳහා වූ බවත්ය. වසර 21කට පසු පසුගිය මාසයේ වික්‍රමසිංහ මහතා ජනාධිපති වශයෙන් ඉන්දියාවේ කළ සංචාරයෙන් පසු ද කියවුණේ ඒ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සඳහා දෙපාර්ශ්වය එකඟ වූ බවය.

2002 දී තමිල්නාඩුවේ ප්‍රධාන ඇමැතිනි ජයලලිතා ජයරාම් මෙම පාලම් ව්‍යාපෘතියට විරුද්ධ වූ නිසා ඉන්දීය ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්නට එතරම් උනන්දුවක් දැක් වූයේ නැත. ඉන්පසු මෙම පාලම ඉදිකිරීම පිළිබඳ යෝජනාව යළි මතු වූයේ 2015 දී යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදීය. එවිට ද ඉන්දියාවේ බලයේ සිටියේ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුවකි. ඒ වනවිට එම පක්ෂය හා තමිල්නාඩුවේ  එවිට ද ප්‍රධාන ඇමැතිනිය වූ ජයලලිතා අතර යහපත් සබඳතාවක් තිබිණි. ඒ අනුව අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව පාලම ඉදිකිරීම ගැන කතා කරන්නට ඉදිරිපත් විය.

2015 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මෝදි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතා කළ කතාවේ දී මහා කවි  සුබ්‍රමනියම් භාරතීගේ කවි පෙළෙන් ‘‘සිංහල දීපයට පාලමක් තනමු’’ යන පදය උපුටා දක්වමින්  ‘‘මා පැමිණියේ මේ පාලම ඉදිකිරීමේ අපේක්ෂාවෙනුයි’’ යනුවෙන් ප්‍රකාශ කළේය. ඔහු ඉන් අදහස් කළේ භාරතී අදහස් කළ භෞතික පාලම ද නැත්නම් දෙරට අතර සබඳතා ද යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් මේ අතර ඩොලර් බිලියන 8ක වියදමින් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව හා නේපාලය යා කරමින් මාර්ග පද්ධතියක් ඉදිකරන්නට එම රටවල් අතර 2015 ජූනි මාසයේ දී ගිවිසුම් අත්සන් කෙරිණි. භූතානයේ දී මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අදහස් දැක්වූ ඉන්දීය මාර්ග ප්‍රවාහන ඇමැති නීතින් ගැඩ්කාරි පැවසුවේ ඉන්දීය ආණ්ඩුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව  යා කරන්නට ද අපේක්ෂා කරන බවය. පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඇතිවන මෙම මාර්ග සබඳතාව මුහුදු පාලමක හා දිය යටින් යන උමඟක එකතුවක් විය හැකි යැයි ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඉන්දීයාවේ දනුෂ්කොඩි හා ශ්‍රී ලංකාවේ තලයිමන්නාරම අතර ඉදි කරන්නට යෝජිත කිලෝමීටර් 23ක් දිග මෙම පාලම සඳහා ඩොලර් බිලියන 5.19ක් වැයවනු ඇතැයි ඒ දිනවල ඇස්තමේන්තු කරනු ලැබ තිබු අතර ඉන්දියාව මේ මුදල් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට එම බැංකුව සමඟ එකඟතාවක්ද ඇතිකර ගෙන තිබිණි. බංගලාදේශය, භූතානය, ඉන්දියාව හා නේපාලය (BBIN) යා කෙරෙන ව්‍යාපෘතියට ද මුදල් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි.

එම වසරේම (2015) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පාලම ඉදිකිරීම සඳහා ඇමැති ගැඩ්කාරි සමඟ සාකච්ඡා කළ බව 2015 සැප්තැම්බර් 20 වැනිදා පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. එහෙත් සැප්තැම්බර් 23 වැනිදා උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා එවැනි සාකච්ඡාවක් නොපැවැත්වුණු බව පැවසීය. දැන් යළිත් ඒ පිළිබඳ සාකච්ඡා අලුත් වී තිබේ.

ආදම්ගේ පාලම හෙවත් හනුමා පාලම ආශ්‍රිතව තවත් ව්‍යාපාතියක් ද බ්‍රිතාන්‍ය පාලන යුගයේ 19 වැනි සියවසේ සිට විටින් විට මතු වෙමින් පවතී. නැව් යාත්‍රා කළ හැකි අයුරින් මන්නාරම් බොක්ක හා පෝක් සමුද්‍ර සන්ධිය යා කෙරෙන කිලෝමීටර් 83ක් දිග ඇළක් ආදම්ගේ පාලම හරහා කැපීම එම ව්‍යාපෘතියයි. එය සේතු සමුද්‍රම් ව්‍යාපාරය ලෙස හැඳින්වේ.

මෙම ව්‍යාපෘති දෙකේ වෙනස නම් යෝජිත පාලම දැනට පවතින ආදම්ගේ පාලම නම් වූ හුණුගල් පෙළ මතින් එය දිගේ යාමත් ඇළ කැපීම ආදම්ගේ පාලම දෙකඩ කරමින් එහි එක් පැත්තක සිට අනෙක් පැත්තට ගමන් කිරීමත්ය. පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සිටින කණ්ඩායම්වලින් එතරම් විරෝධයක් නැති වුවද ශ්‍රී ලංකාවේ ජාතිකවාදි පිරිස් ඊට විරුද්ධ වෙති.

අනෙක් අතට සේතු සමුද්‍රම් ඇළට ඉන්දියාවේ හින්දු භක්තිකයන්ගේ විරෝධය එල්ල වී තිබේ. ඒ දෙවි කෙනකු ලෙස හින්දු ජනතාව සලකන රාම කුමරුගේ අණින් ඉදි කෙරුණා යැයි ඔවුන් සලකන හනුමා පාලම (ආදම්ගේ පාලම) එම ව්‍යාපෘතිය මගින් දෙකඩ වන හෙයිනි. එය ආර්ථික වශයෙන් සලකා දක්වන විරෝධයක් නොව ආගමික වශයෙන් සලකා දක්වන විරෝධයකි.

මෙම සේතු සමුදුම් ඇළ කැපීමේ ව්‍යාපෘතිය සඳහා වූ වැඩ කටයුතු ආරම්භ වූයේ කොංග්‍රස් පක්ෂයේ අගමැතිවරයකු වූ මන්මෝහන් බලයේ සිටි 2005 වසරේදීය. දැන් ඉන්දියාවේ නැගෙනහිර සිට  බටහිරට යන නැව් යා යුතුව අත්තේ ශ්‍රී ලංකාව වටාය. එමඟින් කාලය හා මුදල් විශාල වශයෙන් වැය වන අතර විදේශ නැව් එසේ යාමේ දී කොළඹ වරායට ද එයි. මෙම ඇළ කැපීම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට පාඩුවක් විය හැකි වුවත් ශ්‍රී ලංකාවට ඊට එරෙහි විය නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ ඒ අවශ්‍යතාව ඉටු කරන්නේ ඉන්දියාවේ  හින්දු ජාතිකවාදී කණ්ඩායම්ය.

මෙම ප්‍රශ්නය ඉන්දියාවේ අධිකරණය හමුවට ගොස් ඇති අතර 2007 දී කොංග්‍රසය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධාන ආණ්ඩුව රාමායනය කිසිදු ඓතිහාසික පදනමක් නැති ප්‍රබන්ධයක් බවත් රාම යනු කල්පිත චරිතයක් බවත් පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේය. පසුව හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ විරෝධය මත එය ඉල්ලා අස්කර ගැනිණි. තමන් රාම් සේතු වට (ආදම්ගේ පාලමට) අත නොතබන බව භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව 2018දී අධිකරණයට පැවසීය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව පාලමක් මඟින් යා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇතැම් ජාතිකවාදී පිරිස් විරුද්ධ වන්නේ එය අනාගත ආක්‍රමණයක දී ඉන්දියාවට විශාල පහසුවක් හා ශ්‍රී ලංකාවට අනතුරක් විය හැකි බව පවසමිනි. එසේම ඉන්දියාව මේ සඳහා වියදම් දරන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති. මේ ප්‍රශ්නයේ එක් පැත්තකි. 

අනෙක් අතට යුද නැව් ඇති ඉන්දියාවට ශ්‍රී ලංකාවට හමුදාව එවන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාලමක්ම අවශ්‍ය දැයි කෙනකු ප්‍රශ්න කළ හැකිය. එසේම ලෝකයේ රටවල් වැඩි සංඛ්‍යාවකට ගොඩබිම් දේශ සීමා තිබේ. ඒ රටවලට නිතර ආක්‍රමණයට ලක්වීමේ තර්ජනයක් නැතැයි ද කිව හැකිය. මෙසේ මේ යෝජිත පාලමට පක්ෂවත් එරෙහිවත් තර්ක කළ හැකි වුවද එවැනි පාලමකින් වෙළඳ සබඳතා හා දෙරට අතර ජනතාව අතර සබඳතා වැඩිවීම පිළිබඳ තර්කයක් තිබිය නොහැකිය. ඒවායින් ශ්‍රී ලංකාවට ඇති වාසි හෝ අවාසි තීරණය කෙරෙන්නේ  මෙරට විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි බව අනුව හා හදිසි සිදුවීම්වල දී පාලකයන් ගන්නා ක්ෂණික තීරණ අනුවය.

(*** එම්.එස්.එම්. අයුබ්)