ඉන්දු - ලංකා සබඳතා ශක්තිමත්


ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමග දෙරටේ සබඳතා සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය:- ඔබ ලංකාවේ වසර තුනකට වඩා වැඩි කාලයක් ගත කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඔබේ අත්දැකීම් කොහොමද?

පිළිතුර:- වෘත්තීයමය සහ පෞද්ගලික වශයෙන්, මගේ රාජ්‍ය තාන්ත්‍රික ජීවිතයේ අමතක නොවනම කාලය මට ශ්‍රී ලංකාවේ දී ලැබුණා. මහ කොමසාරිස්වරයා වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව නියෝජනය කිරීමට ලැබීම විශාල ගෞරවයක්. මෙහි මාගේ ධුර කාලය පැවතුණේ ශ්‍රී ලංකාවට තීරණාත්මක වූ කාලයක් අතරතුර. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මිත්‍රත්වය මොන තරම් ශක්තිමත් ද කියල මේ වනවිට ඔප්පු වෙලා ඉවරයි කියන එක මම කියන්නේ ඉතාම සතුටින්. මම ශ්‍රී ලංකාවෙන් නික්ම යන්නේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා නව ඉසවු කරා ගමන් කරමින් සිටිනවා කියන හැඟීමත් එක්ක. පෞද්ගලිකව මම හිතනවා ශ්‍රී ලංකාවේ මිනිසුන් අතිශයින්ම උණුසුම් හදවත් ඇති ආගන්තුක සත්කාරයට ලැදි අය කියලා. අපේ මිනිස්සු අතර තියෙන බැඳීම නිසා මට දැනුණේ මම මේ රටේ කොහේ ගියත් ගෙදර ඉන්නවා වගේ. 

ප්‍රශ්නය:- ඔබගේ ධූර කාලය තුළ පැවති ද්විපාර්ශ්වික සබඳතාවල ගමන් මග දෙස ඔබ බලන්නේ  කොහොමද?

පිළිතුර:- සමස්තයක් වශයෙන් එම ගමන් මග ධනාත්මකයි කියල මම කියන්න කැමතියි. අප නව ක්ෂේත්‍ර විවර කර තිබෙනවා, ඒ වගේම තවත් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ අපගේ සහයෝගිතාව තවදුරටත් පුළුල් වීම සඳහා පැහැදිලි ශක්‍යතාවක් තිබෙනවා. 

අපේ අගමැතිවරුන් දෙදෙනා අතර පැවති 2020  අතථ්‍ය ද්විපාර්ශ්වික සමුළුව, දෙරටේම ජනතාවගේ සෞභාග්‍යය වෙනුවෙන් කළ සාමුහික න්‍යාය පත්‍රයේ මාර්ග සිතියමක් සැකසීමේ සන්ධිස්ථානයක් වුණා. ඉන්දු - ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ප්‍රබල ශක්තිය මෑත කාලයේ ප්‍රකට වුණා. 2021 ජනවාරි මාසයේදී ඉන්දියාවේ වැක්සින් මෛත්‍රි  වැඩසටහන යටතේ, ඉන්දියාවේදී නිෂ්පාදනය කරපු පළමු කොවිඩ්-19 එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබුණා. ඒ නිසා නියමිත කාලයට පෙරම  ශ්‍රී ලංකාවේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. 2022 මුල් භාගයේදී, නිදහසින් පසු ශ්‍රී  ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය සිදුවන අවස්ථාවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කරන්න ආහාර, ඉන්ධන, පොහොර, මුල්‍ය උපකාර සඳහා පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික ආධාරයක් සිදු කළා. ශ්‍රී ලංකාවට  උදවු කරන්න  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය කර තිබුණු  මුල්‍ය සහතිකය ලබා දුන් පළමු රට වුණේ ඉන්දියාව. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ අවබෝධයකට එළැඹෙමින් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපති ලෙස ඉන්දියාව ප්‍රධාන භූමිකාවක් ඉටුකළා.

2023 ජුලි මස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර අපගේ ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් වුණා. අපගේ නායකයන් අනුගමනය කළ ඒකාබද්ධ දැක්ම ප්‍රකාශය පහසුකම් සපයන්නෙක් වගේ සම්බන්ධකතාව පවත්වා ගනිමින් රටවල් දෙකේම සෞභාග්‍යය සාක්ෂාත් කිරීම සඳහා මාවත සකස් කරනවා.

ගමේ හෝ නගරයේ වේවා, මම ශ්‍රී ලංකාවේ ජනතාව එක්ක කතා කරද්දී මට දැනෙන්නේ ඔවුන් ඉන්දියාව දකින්නේ හරියට  විශ්වාසය තැබිය හැකි  හවුල්කරුවෙක් විදියට. ඒවගේම  විශ්වසනීය මිත්‍රයෙක් විදියට. අන්‍යෝන්‍ය විශ්වාසය සහ හොඳ හිත  වගේම ඉන්දියාවේ ඉහළ තිරසාර වර්ධනය විසින් ලබා දී ඇති විශාල අවස්ථා අපගේ සබඳතා ඉදිරියට ගලායාම සඳහා ශක්තිමත් වේදිකාවක් සපයල තිබෙනවා. 

ප්‍රශ්නය:- පසුගිය කාලය තුළ ආර්ථික ක්ෂේත්‍රයේ බොහෝ දේ සිදු වුණා. ඔබගේ කාලය තුළ දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය වුණේ කොහොමද?

පිළිතුර:- පසුගිය වසර කිහිපය තුළ, ආර්ථික සහ වාණිජ සබඳතා වඩාත් ගැඹුරටත් දිව ගොස් තිබෙනවා. ඒ වගේම එය ඉන්දු - ශ්‍රී ලංකා  ද්විපාර්ශ්වීය හවුල්කාරීත්වයේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ විශාලම වෙළෙඳ හවුල්කරුවා සහ ආයෝජකයා වෙනවා වගේම ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක ප්‍රවාහයක් ලබා දෙන රට විදියටත්  ඉන්දියාව ඉස්මතු වී තිබෙනවා. ගෝලීය ප්‍රශ්න තිබෙද්දිත්, ශ්‍රී ලංකාවේ ඉන්දීය අපනයන වසරින් වසර වර්ධනය වී තිබෙනවා. අප ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා (ETCA) ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කර තිබෙනවා. අපගේ වෙළඳ සහ කර්මාන්ත ආයතන සමඟ පවත්වන සබඳතා වඩාත් සමීප වගේම සුලභ වෙලා. ඉන්දියානු සමාගම් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා විවෘතව පවතින බව දන්නවා. බටහිර බහාලුම් පර්යන්තය, මන්නාරම සහ පුනරින් මෙගාවොට් 500 ක පමණ සූර්ය හා සුළං ව්‍යාපෘතිය, ගාලු මුවදොර ITC රත්නදීප ව්‍යාපෘතිය වගේ මහා පරිමාණ ආයෝජන ඉන්දියාවෙන්  මෙරටට ලැබී තිබෙනවා. 

මෑත අතීතයේ ආර්ථික ක්ෂේත්‍රයේ වූ විවිධ කැපී පෙනෙන ජයග්‍රහණ අතර, වසර 20ක් පුරා ක්‍රියාවට නොනැගුණු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සඳහා බදු ගිවිසුම් අත්සන් කිරීම සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා වන සහයෝගිතාව ගැන මා විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. 

ප්‍රශ්නය:- 2023 ජුලි මස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සංචාරයෙන් අනතුරුව සම්බන්ධකතා වැඩසටහන් කිහිපයක් පිළිබඳව නිවේදනය කෙරුණා.  එම වැඩසටහන්වල වත්මන් තත්ත්වය කොහොමද? 

පිළිතුර:- 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර ඒකාබද්ධව සම්මත කරගත් ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ සම්බන්ධකතාව මත. මෙම දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා දෙරටම එක්ව ක්‍රියා කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2023 ඔක්තෝබර් මස නාගපට්නම් සහ කන්කසන්තුරේ අතර බෝට්ටු සේවාව දියත් වුණා. සම්බන්ධක කොරිඩෝව, බහු නිෂ්පාදන ධාරාව සහ විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව රජයන් අතර ඵලදායී සාකච්ඡා පවත්වා තිබෙනවා. වඩා විශාල ඩිජිටල් සම්බන්ධතාවක් සඳහා ශ්‍රී ලංකාවේ ලංකා පේ (Lanka Pay) සහ ඉන්දියාවේ NIPLආයතනය ඉන්දියානු සහ ශ්‍රී ලාංකික සංචාරකයන්ට ප්‍රතිලාභ ලබාදෙන පරිදි QR ක්‍රමය මත පදනම් වූ ගෙවීම් පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමට ළඟදීම සූදානම් වනවා.

ප්‍රශ්නය:- දශක ගණනාවක් තිස්සේ විසඳීමට උත්සාහ කළත් තවමත් පවතින ධීවර ගැටලුව විසඳීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග මොනවාද?

පිළිතුර:- දිගින් දිගටම පවතින ධීවර ප්‍රශ්නය දෙපාර්ශවයටම සෑහීමට පත්විය හැකි ආකාරයෙන් විසඳීමට ඉන්දියාව කැපවී සිටිනවා. මෙය දෙරටේම ධීවරයන්ගේ ජීවනෝපාය හා සම්බන්ධ වන නිසා, දෙපාර්ශ්වයේම ධීවර ප්‍රජාව ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් මානුෂීය ආකාරයකින් ආමන්ත්‍රණය කළ යුතු වනවා. ඉන්දීය ධීවරයන් ගැඹුරු මුහුදේ මසුන් මැරීමට යොමු කිරීම ඇතුළු විවිධ වැඩසටහන් මගින් මෙම ගැටලුව විසඳීම සඳහා ඉන්දීය රජය බහුවිධ ප්‍රවේශයක් අනුගමනය කර තිබෙනවා. 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉන්දියානු ව්‍යාපෘතිවල කාලසීමාව සැලකිය යුතු ලෙස දීර්ඝ වන බවට ශ්‍රී ලංකාව තුළ මතයක් ගොඩ නැගී තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස්?

පිළිතුර:- ප්‍රදාන සහ ණය පහසුකම් යන දෙකම ඇතුළුව, ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්ව කළඹ ඇමරිකානු ඩොලර් බිලියන 5කට වඩා වැඩි බව මම ඔබේ පාඨකයන්ට කියන්න කැමතියි. ඉන්දීය රජයේ සංවර්ධන ආධාර ව්‍යාපෘති මුළුමනින්ම ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතා මත පදනම් වනවා. එම ව්‍යාපෘති බොහෝ දුරට ඒවායේ විෂය පථය සහ භූගෝලීය කරුණු කාරණාවලට අදාළව විවිධත්වයක් ගන්නවා. සමහරවිට  ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහේම  සංවර්ධන ව්‍යාපෘති කරන එකම ද්වීපාර්ශ්වීය හවුල්කරුවා ඉන්දියාව වෙන්න ඇති. ඉන්දීය ව්‍යාපෘති මගින් මිනිසුන්ගේ ජීවිත ස්පර්ශ කරන නිසාත්, ඒවායේ විනිවිදභාවයක් සහිත ප්‍රවේශය නිසාත් දේශීය ආර්ථිකයට සහයෝගයක් වන අන්දමෙන් ක්‍රියාත්මක වන නිසාත්  එම ව්‍යාපෘති ජනතාව විසින් සාදරයෙන් පිළිගෙන තිබෙනවා. 

මම කියන්න ඕන, කොවිඩ් 19 ව්‍යසනය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් යම් බිඳ වැටීම් සිදුවුණත් ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හැකි උපරිමයෙන් ක්‍රියාත්මක වුණා. මේ සියලුම දේ සිදුවන ගමන්, ශ්‍රී ලංකාවේ මිනිසුන්ට පැන නැගී ඇති අභියෝගවලට මුහුණ දිය හැකි බව සහතික කිරීම සඳහා ඉන්දියාව කිසිදු කොන්දේසියකින් තොරව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක ආධාරයක්ද ලබා දුන්නා. 

මම තවදුරටත් කියන්න ඕනේ ඉන්දීය රජයේ ආධාර මත සංවර්ධන ව්‍යාපෘති  ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව විසින්.  ඒවා ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ රජය, රේඛිය අමාත්‍යාංශ සහ දේශීය ආයතන මගින්. මෙම අමාත්‍යංශ ප්‍රමුඛතා  සංශෝධනය කරන විට ඒ අනුව ව්‍යාපෘතිවල වපසරියත් වෙනස් වෙනවා. ඉතා ඉක්මනින්ම එම වෙනස්වීම්වලට අනුගත වෙමින් නව තත්ත්වයට අවශ්‍ය කරන ප්‍රතිචාරය ඉතා කඩිනමින් ලබා දීමට අපි උත්සහ කරනවා.

ප්‍රශ්නය:- ඔබට ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබඳ සමස්ත අදහසක් ලබා දෙන්න පුළුවන්ද?

පිළිතුර:- ශ්‍රී ලංකාව සමඟ ඇති අපගේ ආරක්ෂක සබඳතා සඳහා වන ප්‍රවේශය ඉන්දියාවේ වසුධෛව කුටුම්බකම් ක්‍රමය මත පදනම් වෙනවා,  එයින් කියවෙන්නේ ලෝකය එක පවුලක් කියන එක. අපගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙය තවදුරටත් සමීප වෙලා තිබෙනවා. මෙම ආරක්ෂාව රඳා පවතින්නේ සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන පොදු අභියෝගවලට මුහුණ දෙන්න අපි හවුල්කරුවන් ලෙස එක්ව ක්‍රියා කිරීම මත.

ශ්‍රී ලංකාව කියල කියන්නේ ඉන්දියාවේ සමීපතම සමුද්‍ර අසල්වැසියා වගේම ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන හවුල්කරුවෙක්. ආරක්ෂාව කියන අංශය තුළ ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමේ දී, සියලුම ආකාරයේ යුද උපකරණ සැපයීම, ඒකාබද්ධ අභ්‍යාස, ඉහළ මට්ටමේ සංචාර, ඉන්දීය උපදේශකයන් සහ පුහුණු කණ්ඩායම් යෙදවීම, මාණ්ඩලික සාකච්ඡා, සුහද සංචාර යනා දී සියල්ල ඇතුළත් වනවා. ඇත්ත වශයෙන්ම ඔබ මතක් කරන්න කැමැති වෙයි, ඉන්දියානු නාවික සබ්මැරීනයක් වන වාගීර් එහි මංගල ගමන දියත් කළේ මේ වසරේ මුල කොළඹට. මිනිසුන්ගේ සබ්මැරීනය ලෙස ප්‍රසිද්ධියට පත් වුණු එම සබ්මැරීනය නැරඹීමට පාසල් සිසුන්, බාලදක්ෂයන්, මාර්ගෝපදේශකයන්, ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයන් වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ සිටියා. මේ අනුව, ආරක්ෂාව සහ විශ්වාසය ඇති පරිසරයක් නිර්මාණය කිරීම අපගේ ආරක්ෂාව සහ ආරක්ෂක සහයෝගීතාවේ කේන්ද්‍රීය පරමාර්ථය වන අතරම, අපගේ ජනතාවගේ සාමය, ප්‍රගතිය සහ සමෘද්ධිය අප සැමවිටම ප්‍රමුඛස්ථානයට පත් කරනවා. කෙටියෙන් කිව්වොත් ඇත්තටම, අපි ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව දකින්නේ එකිනෙකට අන්‍යෝන්‍ය සහ  නොබිඳුණු එකක් විදියට. ඉන්දියාව ආරක්ෂිත වන විට ශ්‍රී ලංකාවත් ආරක්ෂිතයි. 

ප්‍රශ්නය:- චීන සබඳතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා දෙන සමස්ත ප්‍රවේශය දෙස ඉන්දියාව බලන්නේ කොහොමද? මෙහිදී ආරක්ෂාව කියන්නේ සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණයක්ද? 

පිළිතුර:- ඉන්දියාවට ශ්‍රී ලංකාවත් සමඟ ඇති සම්බන්ධතාව ස්වාධීන එකක්.  එය තුන්වැනි පාර්ශවයේ රටවල්  මත රඳා පවතින්නේ නැහැ.  වෙනත් තුන්වැනි රටක් සමග ශ්‍රී ලංකාව පවත්වන සබඳතා ඔවුන්ගේ ස්වෛරී තීරණයක්. ඉන්දියාව ශ්‍රී ලංකාවත් එක්ක පවත්වන සබඳතා  පිළිබඳව මට කතා කරන්න පුළුවන්. එය අනන්‍යයි. ඉන්දු- ශ්‍රී ලංකා සබඳතාව එහි දිගුකාලීන, ගැඹුරට මුල් බැසගත් බහුවිධ ශිෂ්ටාචාර සබඳතා නිසා සුවිශේෂී එකක් වෙනවා. මෙම පොදු සබඳතා ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම අන්තර් සම්බන්ධතා පෝෂණය කරලා තිබෙනවා. අපිට පුළුල් පරාසයක දිවගිය ද්විපාර්ශ්වීය සබඳතාවක් ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් වගේම, අප කලාපය තුළ වැඩි වැඩියෙන් සහයෝගයෙන් යුතුව කටයුතු කරනවා.  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර සංගමය, බිම් ස්ටෙක් සංවිධානය, කොළඹ ආරක්ෂක පර්ෂදය වැනි කලාපීය වේදිකාවල එක් ඉන්දියානු සාගර කලාපයක් යන ඉදිරි දර්ශනය සමඟ සමීපව කටයුතු කරමින් කලාපීය අවශ්‍යතා අන්‍යෝන්‍ය වශයෙන් ආමන්ත්‍රණය කරනවා.  

ප්‍රශ්නය:- අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වසර තුනකට වඩා වැඩි කාලයක් ගත කළ අයෙක් ලෙස, ශ්‍රී ලංකාවේ ජනතාවට දෙන ඔබගේ සමුගැනීමේ පණිවිඩය කුමක්ද?

පිළිතුර:- ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. එය විශාල විභවයක් සහිත රටක්, මොකද එය භුගෝලීයව පිහිටා තිබෙන්නේ ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි ඉන්දියාවේ අසල්වැසි රට වශයෙන්. මම දන්නවා ශ්‍රී ලංකාවේ ජනතාව විස්මිත දරා ගැනීමේ හැකියාවක් ඇතිව ඉතා දුෂ්කර අවධියක් පසුකරල ඉන්නේ. ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටියා. ඒවගේම මින් ඉදිරියටත් එය එසේමයි කියල කියන්න මම කැමතියි. රුධිරය ජලයට වඩා ඝන බව අපි තරයේ විශ්වාස කරනවා, ඒ වගේම ඔබට නියත වශයෙන්ම අප කෙරෙහි විශ්වාසය තියන්න පුළුවන්.

(*** සාකච්ඡා කළේ - කැළුම් බණ්ඩාර)