ඉන්ධන පෝලිම් අස්සේ ජාවාරම්


“රස්සාවට ඉන්ධන ගන්න අය සිටින තුරු රස්සාවලට යන මිනිසුන්ට ඉන්ධන ගන්න ලැබෙන්නේ නෑ.” මේ ඉන්ධන පෝලිම්වලින් ඇසෙන කතාවකි. එය ඒකාන්ත සත්‍යයකි. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අයිතිකාරයෝ ද කළමනාකරුවෝ ද දැන් ජාවාරම්වල යෙදෙති. ඔවුහු ඉන්ධන සඟවති. ඊට පසු වැඩි මිලට විකුණති. එවැනි ජාවාරම්කාර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවකු පිළිබඳව අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

ඉන්ධන තොග තිබියදී සුපර් ඩීසල් ලීටර් 5,813ක් ද පෙට්‍රල් ලීටර් 1,540ක් ද සඟවාගෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන නැතැයි අසත්‍ය ප්‍රකාශ කර තමන් සතුව තිබූ ඉන්ධන අලෙවි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවකුට එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මාස තුනක සිරදඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිරදඬුවම වසර තුනකට අත්හිටවූ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඊට අමතරව ඉන්ධන පිරවුම්හල් හිමියාට ද මුදලින් රුපියල් දසදහසක දඩයක් නියම කර යළි මෙවැනි වැරැදි නොකරන ලෙසටත්, යළිත් එසේ වැරැදි කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය දැඩිව ක්‍රියා කරන බවටත් අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළ බව ද ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

රට මානව ආපදාවකට ගොදුරු වී තිබේ. තුන් වසරක් පුරා කොවිඩ් මාරක වසංගතයෙන් ද ඩොලර් අහේනියෙන් ද ජනයා අප්‍රමාණ ලෙස පීඩා විඳිති. මෙවන් ශාපලත් පරිසරයකදී අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් පණ පෙවී අවදි කරගත් සාමූහික විචාර බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු වුව ද ඇතැමකුගෙන් එවැන්නක් මතු නොවේ. අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගෙන් මෙන්ම කළමනාකරුගෙන් ප්‍රකාශයට පත් වූයේ එයය. මේ එවැනි සිද්ධි වාර්තා වූ පළමු අවස්ථාව නොවේ. රට පුරාම මෙබඳු සිදුවීම් වාර්තා විය. ඉන්ධන පිරවුම්හල් අසල නන්දිකඩාල් පන්නයේ සටන් ඇවිළී යාමට මෙයත් එක් හේතුවකි.

ඇතැමෙක් තමන්ගේ සුපුරුදු රාජකාරියට නොයා ඉන්ධන එකතු කිරීම කරති. ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ මෙහි පෙරමුණේම සිටිති. වාහනයට ගසා ගන්නා ඉන්ධන පිටතට ගෙන බෝතල්වලට පුරවා එක් බෝතලයක් රුපියල් තුන් හාර දහසට විකුණති. එබඳු දවසේ ආදායමක් විසි හතර පැය පුරා ‘හයර්’ දිව්ව ද ඔවුන්ට උපයාගත නොහැකි බව ඔවුහු දනිති. “මිල කීය වුවත් ඉන්ධන ලාභයි” යැයි සිතන්නෝ ද ඒවා මිලදී ගනිති. සමාජ ආපදාවක් ගසාකන්නන්ගේ ජාවාරම්කාරයන්ගේ ග්‍රහණයට හසු වී තිබෙන්නේ එසේය.

මෙයට පෙර ද අවධාරණය කර ඇති පරිදි මෙම ඉන්ධන අර්බුදය නිසා පාසල් අධ්‍යාපනය කඩා වැටී තිබේ. එහි වන්දිය ගෙවීමට සිදුවන්නේ මුළු මහත් ජාතියටමය. රජයේ කාර්යාලවලට නිලධාරීන් කැඳවීම සීමා කිරීම තවත් මසකින් දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය. මෙම තත්ත්වය අප රටේ ආර්ථිකයට ඇති කරන බරපතළ බලපෑම සුළුපටු නොවේ. ඉන්ධන සමග නිර්මාණය වන ජාවාරම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. මන්දයත් වැඩි මිලට ඉන්ධන විකුණා උපයා සපයා ගන්නා මහා ධන නිධානය වියදම් කිරීමට රටක් ඉතිරි නොවනු ඇති හෙයිනි.

“නොදන්නාකම විනාශයන් නොවළක්වන බව” ඒකාන්ත සත්‍යයකි. අපට දැන් කොවිඩ් මාරක වසංගතය මතක නැත. ඉන්ධන පෝලිම්වල සිටින බොහෝ දෙනකු ළඟ මුව ආවරණ නැත. මීටරේ පරතරය තබා සෙන්ටි මීටරයක පරතරයක් ද නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉදිරියේදී මතු විය හැකි කොවිඩ් අවදානමෙන් මිදීම සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය. මේ වන විට කොවිඩ් ආසාදිතයන් හමු වීම සියයට 10කින් පමණ වැඩි වී ඇති බවත්, තත්ත්වය පාලනය නොකළහොත් සැප්තැම්බරය වන විට යළිත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

මෙම අනතුරු ඇඟවීම් නොතකා කටයුතු කළහොත් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ තම තමන්ටමය. එහෙයින් ජාවාරම් සඳහා ඉන්ධන එකතු කරන්නන් කාරුණිකව එම ජාවාරම්වලින් ඉවත් වුවහොත් ඉන්ධන පෝලිම් ඉතා අඩුවනු ඇත. මෙයට පෙරත් අවධාරණය කළ පරිදි ඉන්ධන සුලභ කිරීම මෙම ප්‍රශ්නයට ඇති නොවරදින පිළියම වේ. එහෙයින් සියලු කටයුතු පසෙකලා එයට මුල් තැන දීම බලධාරීන්ගේ වගකීමය.

(***)