ඉන්ධන මිලත් ජනතාව පිට


ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළ දමා තිබේ. ඉහළ දැමූ ප්‍රතිශතය විශාල ගණනකි. ආර්ථික ප්‍රශ්න රාශියක් විසින් අන්ත අසරණ භාවයට පත්කරන ලද සමාජය තවදුරටත් කෝපයට පත්කෙරෙන තීරණයක් ලෙස අධික ඉන්ධන මිල හඳුන්වා දිය හැකිය. ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ විට භාණ්ඩ හා සේවාවල සමස්ත මිල මට්ටම් ඉහළ නගී. ආණ්ඩුව පසුගිය කාලයේ කරන ලද ඇතැම් අතපසු කිරීම් සහ වැරැදි තීරණවලට වන්දි ගෙවන්නට සමාජයට සිදුව තිබීම ඛේදවාචකයකි.

මෙවර සාමාන්‍ය පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 84කිනි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 90කින් මිල ඉහළ නංවා තිබේ. ඩීසල් මිල ගණන් ඉහළ දමා ඇත්තේ ද ඊට සාපේක්ෂ මිල ගණනකට යටත්වය. සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල රුපියල් 113කින් ඉහළ දැමීම බරපතළ කරුණකි. එසේම සුපර් ඩීසල් මිල වැඩි වී ඇත්තේ ලීටරය රුපියල් 75කිනි. මේ වන විට ක්‍රියාත්මක ඛනිජ තෙල් සංස්ථා මිල ගණන් බොහෝ දුරට ඉන්දියන් ඔයිල් සමාගමේ මිල ගණන්වලට සමානය.

පසුගියදා පත්වූ අභිනව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, මාස කිහිපයක් ජනතාවට දැඩි ජීවන බරක් දරාගන්නට සිදුවන බවය. එහෙත් මෙතෙක් කල් අධික ජීවන බර දැරීම නිසා කොඳු කැඩී තිබෙන සමාජයකට තවදුරටත් ඉවසා සිටිය හැකි ද යන්න ප්‍රශ්නයකි. ජනතාවගේ ආදායම එක තැනම පල් වෙයි. රුපියලේ සැබෑ වටිනාකම දිනෙන් දින පිරිහෙයි. වෙනදා රුපියල් 1,000කින් මිලට ගන්නා දේ මිලට ගන්නට අද රුපියල් 2,000කුත් මදිවන තරමට උද්ධමනය ඉහළ ගොසිනි. ඒ අතර රටට ලැබෙමින් තිබෙන විදේශ විනිමය තවදුරටත් සීමා වෙමින් පවතී. මේ වසරේ මුල් භාගයේ ඉතා සරු සංචාරක සමයක් රටේ පැවැතුණි. කොවිඩ් රෝගය තුරන් වීමත් සමග විදේශ සංචාරකයෝ කිසිදු බාධාවකින් තොරව නිදහසේ මෙරටට පැමිණියහ. මේ වසරේ දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ත් 3ත් අතර ආදායමක් සංචාරකයන්ගෙන් උපයා ගැනීමට අපේක්ෂිත විය. එහෙත් මාර්තුවෙන් පසු අධික ලෙස විදුලිය කැපීම, ඩීසල් සහ ගෑස් හිඟය ආදිය නිසා සංචාරක හෝටල්වලට මෙන්ම සංචාරක ප්‍රවාහකයන්ට ද මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ අර්බුදවලටය. සංචාරකයන් රැගත් බස් රථ ඉන්ධන නොමැතිව අතරමග නතර වෙද්දී අසරණ වන විදේශිකයෝ සංචාරය අතහැර දමා රටින් පිට වූහ. එම නිසා මේ වසරේ ජනවාරි පෙබරවාරි මාසවල ලක්ෂ ගණනින් පැමිණි සංචාරකයන්ගේ ඩොලර් ආදායම් අපේක්ෂා බොඳ වී ගියේය. ඒ අතර වීදිවල පවත්නා අරගලය ද සංචාරක ආකර්ෂණය පසුගාමී වීමට බලපෑ සාධකයක් බව සඳහන් කරනු වටී. අර්බුද ඇති රටකට සංචාරකයන් නොපැමිණීම සාමාන්‍ය සංසිද්ධියකි.

එලෙස සංචාරක ආදායම අහිමි වෙද්දී අපනයන ආදායම තරමකින් ඉහළ ගියේය. එහෙත් අපනයන සැකසුම් කලාපවලට ද ඉන්ධන සහ විදුලිය අර්බුදය දැඩි ලෙස පහරදුන් බව නොරහසකි. එහි ප්‍රතිඵල දක්නට ලැබෙනු ඇත්තේ තවත් මසකින් හෝ දෙකකිනි. අපේ අනෙක් විදේශ ධනෝපායන මාර්ගය වන්නේ විදේශ රැකියාලාභීන්ගෙන් රටට ලැබෙන මුදල්ය. කළු කඩයේ ඉහළ ගොස් ඇති විනිමය මිල පාලනය කරගන්නට තවමත් මහ බැංකුවට හැකි වී නැත. මහ බැංකුවේ නිල විනිමය විකිණුම් අනුපාතය ඩොලරයට රුපියල් 315ක් හෝ 325ක් වන විට වාණිජ බැංකු ඊට වඩා ඉහළ මිලකට ඩොලර් අලෙවි කරයි. ඊට සමගාමී කළු කඩයේ ඩොලර් මිල රුපියල් 400 ඉක්මවා තිබේ. මෙලෙස රට තුළ විනිමය අනුපාත තුනක් ක්‍රියාත්මක වන විට එය බරපතළ අවනඩුවකි. ඩොලරයේ වටිනාකම දිනෙන් දින අධිප්‍රමාණ වීමත්, රුපියල කඩා වැටීමත් නිසා ඉන්ධන ඇතුළු ආනයන ද්‍රව්‍යවල මිල ගණන් සතිපතා ඉහළ දමන්නට සිදුව තිබේ. ඉන්ධන පමණක් නොව මෙයට මාස තුන හතරකට පෙර රුපියල් 150කට පමණ අලෙවි වූ පරිප්පු කිලෝව අද රුපියල් 400 ඉක්මවා ඇත. සීනි, කිරිපිටි මිල ගණන් ගැන කියන්නට දෙයක් නැත.

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කරන විට ද කිරිපිටි මිල වැඩි කරන විට ද බෙහෙත් මිල වැඩි කරන විට ද කියන්නේ ඩොලරයේ වටිනාකම ඉහළ යාම නිසා මෙලෙස මිල ගණන් ඉහළ දමන බවය. එම ප්‍රකාශවලට සවන් දෙන විට හැඟෙන්නේ ඩොලරයේ වටිනාකම ඉහළ ගියේ ජනතාවගේ වරදක් නිසා ද කියාය. කෙසේ හෝ මේ අධික භාණ්ඩ මිල ජනතාව දරා සිටිය යුතු බව ආණ්ඩුවේ මතයයි. යට කී ලෙස ජීවන බර දැරීම නිසා කොඳු කැඩී තිබෙන සමාජයකට තවත් බර පටවා තලා මිරිකා දැමීම සමාජය කෙසේ ඉවසා සිටී ද යන්න ගැන බලධරයන්ට හැඟීමක් නැතිවා සේය. ඒ අතින් ගත් කල වීදි බැස උද්ඝෝෂණය කරනවා හැර කරන්නට අන් යමක් ඉතිරිව නැතැයි උද්ඝෝෂකයෝ පවසති. එය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය.

කෙසේ වෙතත් දැනට සමාජයේ ඉතිරිව ඇත්තේ අදට වඩා හෙට හොඳ වේය යන සුබදායක අපේක්ෂාවක් පමණය. නව මුදල් ඇමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඒ ගැන සිදු කරන ක්‍රියාන්විතය සාර්ථක වුවහොත් ජනතාවට යම් සහනයක් අපේක්ෂා කළ හැක. එය එසේ වේවායි පතනු හැර දැනට කළ හැකි කිසිවක් නැත.

(***)