ඉබාගාතේ ගිය රාජ්‍ය මූල්‍ය කළමනාකරණය


(ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන පර් යේෂණ නිලධාරී ජී. කුමානායක)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ඉකුත් 13 වැනි දින පාර්ලිමේන්තුව ඇමතුවේය. ශ්‍රී ලංකාව නිදහස ලබා ගත වූ වසර 75 තුළ රටක් වශයෙන් අප ආදායමට වඩා වියදම් කළ බවත් විදේශ ණය ලබාගැනීම හා මුදල් අච්චු ගැසීමෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම හා විවිධ සහනාධාර ලබාදුන් බවත් පාඩු ලබමින් රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම අවුරුදු 75න් අවුරුදු 46ක්ම මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ වික්‍රමසිංහ මහතාටම එබඳු ප්‍රකාශයක් කිරීමට සිදුවීම එක් අතකින් දෛවෝපගත සිදුවීමකි.

අද වනවිට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වී හමාරය. අප ලබාගත් විදේශීය ණය ආපසු ගෙවීමට හැකියාවක් නොමැති බව නිල වශයෙන්ම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ගැන අසා කම්පා වූ ඉන්දියාවේ යාචකයෙක් තමා සිඟමනෙන් උපයා ගත් මුදල් අප හට ලබාදීමට ඉදිරිපත් විය. අපේ මාතෘ භූමියේ අභිමානය නැත්තටම නැතිවිය.

මෙම ඛේදජනක තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තෝ මෙරට පාලන බලය අත් කරගෙන සිටි විවිධ දේශපාලන පක්ෂවල දේශපාලනඥයෝය. අකාර්යක්ෂම අවස්ථාවාදී නිලධාරි තන්ත්‍රය ද එයට නොමදව දායක වී ඇත.

ශ්‍රී ලංකාවේ පුරවැසියනට සර්වජන ඡන්ද අයිතිය ලැබුණේ 1931 දීය. එ අනුව මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට දිගු ඉතිහාසයක් ඇත. රටේ පොදු මුදල් භාවිතය හා ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් සුවිශේෂී කාර්යභාරයක් ව්‍යවස්ථාදායකයට හිමිවේ. අද අප මුහුණ දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව බෙහෙවින් වගකිව යුතුව ඇත. ඒ පිළිබඳව සැකෙවින් විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

මහජන මුදල්වල භාරකාරත්වය පාර්ලිමේන්තුව සතුවේ. ජනතා නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එක රුපියලක් හෝ වැය කළ නොහැක. මහජන මුදල් භාවිතය අධීක්ෂණය කිරීම සඳහා විවිධ යාන්ත්‍රණ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ක්‍රියාත්මක වේ. එසේම විවිධ අණ පනත් මගින් ද රාජ්‍ය මූල්‍ය භාවිතය විධිමත් කරනු ලැබේ. මේවායේ මූලික අරමුණ දූෂණය හා නාස්තිය වැළැක්වීමයි.

එහෙත් අතිශයින් දුර්වල ආර්ථික කළමනාකරණයේ අනිටු විපාක මේ වනවිට අපි අත්විඳිමින් සිටින්නෙමු. පාර්ලිමේන්තුව සිය වගකීම් පැහැර හැර ඇති බව කනගාටුවෙන් යුතුව වුවද පිළිගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ක්‍රියාත්මක වන්නේ වෙස්ට්මින්ස්ටර් හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයයි. විවිධ වෙනස්කම්වලට භාජන වෙමින් වුවද මූලිකව එම මූලධර්මවලට අනුකූලව මෙම රටවල පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක වේ. රාජ්‍ය මූල්‍ය  සම්පත් ඵලදායි ලෙස භාවිතවීම සහතික  කිරීම සම්පත් ඵලදායි ලෙස භාවිත වීම සහතික කිරිම සඳහා කමිටු ක්‍රමයක්  ක්‍රියාත්මකවේ. මෙම කමිටු විසින් ඉතා දැඩි ලෙස  පොදුමුදල් භාවිතය අධීක්ෂණය කළ යුතුය. එබැවින් මෙම කමිටු ‘මුර බල්ලන්’ ලෙස හැඳින්වේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සමන්විත වන්නේ ඇමැතිවරුන් නොවන මන්ත්‍රීවරුන් 16 දෙනකුගෙනි. මහජන වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රදාන කරනු ලබන මුදල් විසර්ජනය කිරීම පෙන්නුම් කරන ගිණුම් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ගිණුම් ද විගණකාධිපතිවරයාගේ සහාය ඇතිව පරික්ෂා කිරීම මෙම කමිටුවේ කාර්යයයි. සෑම මාස තුනකට වරක්ම පරික්ෂා කරන ලද ගිණුම් මූල්‍ය කාර්ය පටිපාටි දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතනවල කාර්ය සාධනය හා කළමනාකරණය සහ ඒ ආශ්‍රිතව පැනනගින කරුණු පිළිබඳව මෙම කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. එම වාර්තා මුදල් ඇමැතිවරයාට සහ අදාළ අමාත්‍යවරයාට යොමු කෙරේ. එවිට මුදල් ඇමතිවරයා සහ විෂය භාර ඇමැතිවරයා විසින් තම නිරීක්ෂණ සහ ගන්නා  ලද පියවර සති 8ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ගිණුම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි නම් රාජ්‍ය මුදල් නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත හේතු පැහැදිලි කළ යුතුය. පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවක එම වාර්තා නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ හැක.

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඇමැතිවරුන් නොවන මන්ත්‍රීවරුන් 16 දෙනකුගෙන් සමන්විත වේ. රාජ්‍ය සංස්ථා සහ මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් මුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් හා මුල්‍යමය ගනුදෙනු මෙම කාරක සභාව විසින් විගණකාධිතිවරයාගේ සහාය ඇතිව පරීක්ෂා කරනු  ලැබේ. එම ව්‍යාපාරවල කාර්ය සාධනය හා කළමනාකරණය පිළිබඳ සෑම මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. රාජ්‍ය මුදල් නිසි ලෙස පරිහරණය කිරීම සහතික කිරීම සඳහා අදාළ විසඳුම් සැපයෙන ක්‍රියාමාර්ග  පිළිබඳ නිරික්ෂණ සහ නිර්දේශ මෙම වාර්තාවේ අඩංගු විය යුතුය. මුදල් ඇමැතිවරයා සහ අදාළ විෂය භාර ඇමැතිවරයා එම නිර්දේශ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග සති 8ක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. එම නිර්දේශ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ නොහැකි නම් රාජ්‍ය මුදල් නිසි ලෙස භාවිතා කිරීම විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ලිඛිතව හේතු පැහැදිලි කළ යුතුය. එම වාර්තා නීතිපතිවරයා වෙත යොමු කිරීමටද පුළුවන.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයේ මන්ත්‍රීවරයකු සතු විය යුතුය. අමාත්‍ය ධුර නොදරන සභාපතිවරයකු හා සාමාජික මන්ත්‍රීවරුන් 11 දෙනකුගෙන් මෙය සමන්විත වේ. රාජ්‍ය ආදායම් එකතු කිරීම, ඒකාබද්ධ අරමුදලට කරනු ලබන ගෙවීම්, විශේෂ කාර්යයන් සඳහා මහජන අරමුදල් භාවිතා කිරීම රජයේ අරමුදල් යෙදවීම පවත්නා වසර සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ණය සහ ණය සේවා, බදු පැනවීම යනාදිය පිළිබඳව මෙම කාරක සභාව නිරතුරුව සොයා බලයි. පැන නගින ගැටලු කලින් කලට පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය. මුදල් වෙන් කිරීම සහ ආර්ථික උපකල්පන පිළිබඳව මෙම කාරක සභාව විසින් මුදල් ඇමතිවරයාට වාර්තා ඉදිරිපත් කරනු ලැබේ. මුදල් ඇමැතිවරයා විසින් සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර සති 8ක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මෙම කමිටුවල සාමාජිකත්වය දරනුයේ සියලු දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් විසිනි. මෙම කාරක සභාවලට අමතරව 2003 අංක 3 දරන මුලය කළමනාකරණ (වගකීම්) පනත තුළින් ද අපේක්ෂා කෙරෙනුයේ රටේ මනා මූල්‍ය විනයක් පවත්වාගෙන යාමයි.

එහෙත් අද වනවිට  රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉබාගාතේ ගොස් රට නන්නත්තාර වී ඇත. මෙරටට කිසිසේත් යෝග්‍ය නොවන අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයේ අඳුරු සෙවණැල්ල රටපුරා විහිදී ඇත. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළින්  අපේක්ෂා  කෙරෙන අභිමතාර්ථ ඉටුකර ගැනීමට අපොහොසත් වී ඇත. රාජ්‍ය මුදල් අවභාවිතය දූෂණය, නාස්තිය විසින් රට අකර්මණ්‍ය කරනු ලැබ ඇත.

මූල්‍ය විනය සහ නිසි ආර්ථික කළමනාකරණය පසෙකට විසි වී විධායකයේ මනදොළ පිරෙන ආකාරයට කටයුතු සිදුවිය. ආර්ථිකයට මහත් බරක් එක් කරමින් සුදු අලින් රාශියක් බිහි වී ඇත. කිසිදු ඵලදායිත්වයකින් තොර ගුවන්තොටුපොළවල්, වරාය, කුලුනු, සම්මන්ත්‍රණ ශාලා යනාදිය ඉදි කරන ලදී. ශ්‍රී ලංකාව ණය බරින් මිරිකීම හැර අන් කිසිවක් සිදුවී  නැත.

රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට කාලාන්තරයක් තිස්සේ ආණ්ඩු අපොහොසත් වී ඇත. සෑම වසරකම පුරා මාසයක් මුළුල්ලේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ලක් වුවද රට සැබෑ සංවර්ධන මාවතකට යොමු කර ගැනීමට සමත් නොවේ.

ඉහත සඳහන් කළ ‘මුර බල්ලන්ගේ’ කර්තව්‍යය ඉටුකරන කමිටුවලට අමතරව විවිධ විෂයයන් පිළිබඳව තියුණු අවධානය යොමු කිරීම සඳහා තවත් පාර්ලිමේන්තු කාරක සභා වර්ග දෙකක් අප පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වේ. ඒවා නම් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභාය.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කරනු ලබන්නේ විෂයය භාර ඇමැතිවරයාගේ සභාපතිත්වයෙනි. පවතින අමාත්‍යාංශ සංඛ්‍යාවට සමාන උපදේශක කාරක සභා සංඛ්‍යාවක් පත් කෙරේ. රාජ්‍ය ඇමැති නියෝජ්‍ය ඇමැති සහ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනකුගෙන්   කාරක සභාව සමන්විත වේ. එහෙත් සභාපතිවරයාගේ අනුමැතිය ඇතිව ඕනෑම මන්ත්‍රීවරයකුට රැස්වීම්වලට සහභාගි විය හැක. අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ කරුණු මන්ත්‍රීවරුන් විසින් උපදේශක කාරක සභාවේ අවධානය යොමු කළ හැක. සභාපතිවරයා හෝ පාර්ලිමේන්තුව විසින් යොමු කරනු ලබන යෝජනා නියෝග හෝ ලේඛන ඇතුළු අදාළ කරුණු පිළිබඳ විමසා බලා ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීම මෙම කාරක සභාවේ කාර්යයකි.

ආංශික අධීක්ෂණ කාරක සභා 20කට නොවැඩි සංඛ්‍යාවක් පත්කර ගත හැක. කෘෂිකර්මය, ප්‍රවාහනය, පරිසරය, සෞඛ්‍ය ආදී විවිධ විෂයයන් හා කාර්ය ඒවාට පැවරේ. ඇමැතිධුර ඇතුළු කිසිදු ධුරයක් නොදරන මන්ත්‍රීවරුන්ට මෙම කාරක සභාවල සාමාජිකත්වය ලබාගත හැක. තම විෂය පථයට යටත්වන ආයතනවල වාර්ෂික වාර්තා ඇතුළු පාර්ලිමේන්තුව  විසින් යොමු කරනු ලබන වාර්තා ඇතුළු පාර්ලිමේන්තුව විසින් යොමු කරනු ලබන වාර්තා හා කරුණු පිළිබඳ විභාග කිරීමේ බලය මෙම කාරක සභාව සතුවේ. යෝග්‍ය යයි සලකනු ලබන විමර්ශන පැවැත්වීමේ  බලය ද ඇත.

රජයේ ප්‍රතිපත්ති පරිපාලනය සහ ඒවායේ ඵලදායිත්වය පිළිබඳව විශ්ලේෂණය කිරීම, විකල්ප ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව විශ්ලේෂණය කිරීම, විකල්ප ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිණිස අනාගත පර් යේෂණ හා පුරෝකථන සඳහා වන ක්‍රියාකාරකම්වල යෙදීම නීතිවල යෝග්‍යතාව ඇගයීම සංශෝධන සිදුකිරීම ආදී කාර්යයන් රැසක් මේවාට පැවරේ. අවශ්‍ය වූ විට අදාළ ඇමැතිවරුන්ට රැස්වීම් සඳහා ආරාධනා කිරීමටද හැකියාව ඇත.

ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන්ට සහ එම කාරක සභාවල සේවය කරන පාර්ලිමේන්තු නිලධාරීන්ට එක්සත් රාජධානියේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාදායක කමිටු ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන  චාරිකා පිළියෙළ කරන ලද බව ද සඳහන් කළ යුතුය.

මෙම කාරක සභාවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී තිබේදැයි ඇගයුමක් කළ යුතුව ඇත. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳ වැදගත් ප්‍රශ්න මන්ත්‍රීවරුන් විසින් මෙම කමිටුවල අවධානයට යොමු කර තිබේද? නිදසුනක් ලෙස අනුරාධපුරයේ නුවර වැව ආශ්‍රිතව මහා පරිමාණ පස් හා වැලි කැණීම නීති විරෝධීව සිදුවේ. එසේම අනුරාධපුරයේ තිස්ස වැව ආශ්‍රිත භූමි ප්‍රදේශයේ ඉඩම් නීති විරෝධීව යම් යම් පුද්ගලයන් විසින් අත්පත් කර ගනු ලැබේ. ඉපැරණි වටිනා ගස් කපා දමා ගිනිබත් කොට දෙමහල් නිවාසයක් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙක් විසින් ඉදිකරනු  ලැබ ඇත. මෙම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් මෙම කරුණු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා හෝ ආංශික අධීක්ෂණ කාරක සභා හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබේද? එවැනි කරුණු සම්බන්ධයෙන් එම කාරක සභා විසින් ගන්නා ලද පියවර මොනවද?

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස නුසුදුසු පුද්ගලයන් පත් කරනු ලැබීම මෙරට ආර්ථික පරිහානියට බල පා ඇති තවත් ප්‍රධාන සාධකයකි. අදක්ෂ දේශපාලන හිතවතුන් විවිධ ආයතනවල ප්‍රධාන නිලතලවලට පත් කිරීම සෑම ආණ්ඩුවක් විසින්ම කරනු ලැබේ. මහා පරිමාණ අල්ලස් ගන්නන් පවා මුල් පුටුවලට පත් කළ අවස්ථා තිබේ. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවක් පාර්ලිමේන්තුවේ ඇත. මන්ත්‍රීවරුන් 12 දෙනකුගෙන් සමන්විත එම කාරක සභාව විසින් යම් තැනැත්තෙක් යම් තනතුරකට පත් කරනු ලැබ හෝ නම් කරනු ලැබ ඇති විටෙක එම තැනැත්තාගේ යෝග්‍යතාව පරීක්ෂා කොට අදාළ නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. අමාත්‍යංශ ලේකම්වරුන්, තානාපති නිලධාරීන් ඇතුළු උසස් නිලධාරීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා අදාළ පුද්ගලයන් කැඳවීම පොත් වාර්තා, වෙනත් ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කිරීමට මෙම කාරක සභාවලට බලය ඇත. එසේ වුවද උසස් තනතුරු සඳහා නුසුදුසු පුද්ගලයන් පත්වීම බහුල ලෙස සිදුවේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් ‘කෝප්’ කමිටුව විසින් වරින් වර මහා පරිමාණ දූෂණ, වංචා පිළිබඳ තොරතුරු අනාවරණය කරනු ලැබේ. ජනමාධ්‍ය විසින් ඒවාට විශාල ප්‍රසිද්ධියක් ද ලබාදෙනු ලැබේ. එහෙත් විවිධ වංචනික ක්‍රියාවල නිරත වෙමින් රටට අතිමහත් අලාභ සිදු කරන පුද්ගලයන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගනු දක්නට  නොලැබේ. එම සාහසික ආර්ථික අපරාධ පාර්ලිමේන්තුවේ වාර්තාවලට  පමණක් සීමාවේ. ඇතැම් විට මෙම වාර්තා සභාව කල් තැබීමේ විවාද (Adjournment Debates) වලට භාජන වේ. ඉන්පසු ඒවා සියල්ලන් විසින්ම අමතක කරනු ලැබේ.

අධික වියදමක් දරමින් පවත්වාගෙන යන අප රටේ පාර්ලිමේන්තුවද වත්මන් ආර්ථික අර්බුදයට නොමදව දායක වී ඇති බව එකහෙළාම කිව හැක. එය අතිශයින්ම ඛේදනීය තත්ත්වයකි.

(***)