ජීවිතය නිවැරැදි මගට ගැනීමයි, නිවැරැදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
මොරවලපිටිය, රුවන් දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.

ඉබි මස් නිසා නැසුණු පාල.
මෑතකදී රජරට පළාතේ එක්තරා ගමක සිදුවූ සත්‍ය සිදුවීමකි. ඔහු -පාල” යන ආරූඪ නාමයෙන් හඳුන්වමි.
-පාල” ත‍්‍රීවිලරයක් හයර් කරමින් ජීවිකාව කරගෙන ගිය පුද්ගලයෙකි. නරක ඇසුර නිසා සුරාවට මෙන්ම දඩ මසට ද එකසේ ඇළුම් කළ ඔහු නිදහසේ සිටින අවස්ථාවල මිතුරන් සමග එක්ව කැලෑ රොදවල කරක් ගසමින්, තලගොයන්, සාවුන්, ඉත්තෑවන් වැනි අහිසංක සතුන් දඩයම්කොට, කටගැස්ම සාදා මධුවිතෙන් සප්පායම් වීම පුරුද්දක් වශයෙන් කරගෙන ගියේය.
දිනක් ගමේ මාර්ගයට සමීපව ගලාබසින ඇළක සිටි ඉබ්බෙකු පාර දිගේ ගමන් කරනු දුටු තරුණයෝ පිරිසක් ඌ අල්ලා නැවත ඇළට මුදාහැර යන්නට ගියහ. ටික වේලාවකට පසු දෙවන වරටත් ඉබ්බා පාරට පිවිසියේය. ඒ අවස්ථාවේ කොහේදෝ යමින් සිටි පාල එතනට ළඟාවිය. උද්දාමයට පත් පාල වහා ත‍්‍රීවිලරය නතරකොට ඉබ්බා ත‍්‍රීවිලරයට දමාගෙන ආපසු නිවසට පැමිණියේ තවත් මිතුරෙකු ද සමගිනි.
ඉන්පසු දෙදෙනා එක්ව ඉබ්බා මස්කර කටගැස්මක් ද සකස් කර හවස් යාමයේ අරක්කු බෝතලයක් හිස් කළේය. අරක්කු බෝතලයකින් සෑහීමකට පත්නොවූ මිතුරෝ දෙදෙනා, නැවත බෝතලයක් රැුගෙන ඒම සඳහා සූර්පිට යතුරුපැදියක නැගී ඉගිලෙන්නට වූහ. ඔවුන් දෙදෙනාට එසේ යන්නට හැකිවූයේ ඉතා කෙටි දුරකි. ඉදිරියට පැමිණෙමින් තිබූ ලොරියක ගැටී ‘පාල’ එතනම අවසන් හුස්ම හෙළීය. මිතුරා අනූනවයෙන් දිවි ගලවා ගත්තේය.
පාලට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදුන් බව පළමු වතාවේ ඉබ්බාට අභයදානය දුන් තරුණ පිරිසගේ මුවින් පිටවෙනු අසන්නට ලැබිණි.
බිංගිරිය කොස්වත්තේ ඞී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.
කළ කළ දේ පල දුන් හැටි.
මෙය 1988-1989 වකවානුවේ පැවති භීෂණ යුගයේ දරුණුතම දාමරික ක‍්‍රියාවලියන්ගෙන් එකකි. ප‍්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ ඔහු අපි ‘සංජීව’ යන නමින් හඳුන්වමු. තම අමාත්‍යවරයාගේ ඒ සියලූ දාමරික ක‍්‍රියා ඉතා සැහැසි ලෙස ප‍්‍රගුණ කළ ‘සංජීව’ එම මැර ක‍්‍රියා සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ නමක් දරා සිටියේය. ප‍්‍රදේශයේ බොහෝ තැන්වල දී -ගෝනිබිල්ලෙකු” මෙන් වෙස් වළාගෙන අපරාධ පිළිබඳව එම ක‍්‍රියාදාමයෙහි යෙදුණු මොහු තම ගම් ප‍්‍රදේශයේ විරුද්ධවාදීන්ගෙන් පළිගත්තේ කිසිම හිතක් පපුවක් නොමැතිවය. මොහුගේ රැුහැනට අසුවූ තරුණ තරුණියෝ ද බොහෝ වූහ.
දිනපතා තම විරුද්ධවාදීන් බොහොමයක් ඝාතනය කළ මොහු ඊට අසුවූවන් අවසන් හුස්ම හෙළුවේ තමන් රැුගෙන ආ මෙම -ගෝනිබිල්ලාට” දැඩි ලෙස අනේක වාරයක් සාප කරමිනි. මෙම ක‍්‍රියාවලිය කාලයක් පැවතුණු අතර ඔහුට එරෙහිව කිසිවෙකු කෙළ බිඳක් හෝ බිම නොහෙළුවේ ඔහුට එකල තිබූ බිය නිසාය.
එම භීෂණ යුගය නිමවීමෙන් පසු කාලය මෙසේ ගෙවී යද්දී ‘සංජීව’ ඈත පෙදෙසකින් විවාහ වූයේ ධර්මිෂ්ඨ ගතිගුණවලින් හෙබි දැහැමි පුද්ගලයකු විලසිනි. යටගිය සියලූ දේ සිතින් අමතක කළ ඔහු උත්සවශ්‍රීයෙන් තම මනාලිය කැඳවාගෙන ආවේ තම තමන්ගේ අනාගතය සාර්ථක ලෙස ගෙනයාමේ පරම අභිලාෂයෙනි.
ටික දිනක් ගතවූ විට ඔවුනට දරු සුරතල් බැලීමේ අවස්ථාව ද උදාවිය. දරු ප‍්‍රසූතියට ළංව සිටි සංජීවගේ බිරිඳට එක් දරුවකු නොව දරුවන් දෙදෙනකු නිවුන් දරුවන් ලෙස ලැබුණි. අවාසනාවකට මෙන් ඔවුනට ලැබුණු දරුවන් දෙදෙනාම අතපය කොරවුණු අංගවිකල දරුවන් ලෙස මෙලොවට බිහිවීම සංජීව එදා කළ ඒ පාපකර්මවලට -මේ ජීවිතයේදීම කළකම් පලදෙන හැටි” කියාපන කැඩපතක් බඳුවිය. අදට ද එම දරුවෝ අංගවිකලව කොරුන් ලෙස තම මාපියන් සමගින් දුක සේ ජීවත් වෙති. මෙය සත්‍ය සිදුවීමකි. මෙහි නම මනඃකල්පිතය.
මතුගම, පාන්තිය පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.
බල්ලන් එල්ලා මරා දැමූ ඔහු බල්ලෙක් මෙන් මියගියේය.
දැනට දශක හතර පහකට පෙර ගමේ ගෙදරක වයස් ගතවූ අයෙක් මියගිය ද එය මුළු ගමටම ශෝකාන්තයක් වූ බව නොරහසකි. මියගිය තැනැත්තා ගැහැණු, පිරිමි, බාල මහලූ, වැඩිහිටි හෝ කවුරුන් වුවත් මියයෑමෙන් පසු යකුන්, යක්ෂණියන්, පේ්‍්‍රතයන්, කුම්භාණ්ඩයන් හෝ පිශාච වී කරදර ලෙඩදුක් ආදී විපත් කරන බවට ගම්මුන් තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. ඇඳිරි වැටුණාට පසු ගමේ සොහොන් බිම අසලින් කිසිවෙකු තනියම ගමන් නොගියේ අවතාරවලට ඇති බිය නිසා හා අඳුර අමනුෂ්‍යයන්ට පවරා දෙමිනි. කල්යෑමේ දී ගම නගරය වීම යකුන් පේ‍්‍රතයින් ගම හැරගොස් ‘මරණය’ පවා සිල්ලර තත්ත්වයට පත්වී ඇති බව පැහැදිලිව පෙනේ. හැත්තෑ එකේ හා අසූ නවයේ රටේ ඇතිවුණ කැරලි, තිස් අවුරුදු ත‍්‍රස්තවාදී අරගලය, සුනාමි ඛේදවාචකය ආදී විපත්තිවලින් අමු අමුවේ ඇස්පනාපිට සිදුවුණ මරණ සංඛ්‍යාව නිසා එම වකවානුවල හැදී වැඞී දැඩිවුණ තරුණ පෙළට මරණය ඒ හැටි බියජනක දෙයක් නොවන බව හැබෑවකි. -කවද හිටියත් මැරෙනවනේ”, -කොහොමත් මැරෙනවනෙ”, -කවදහරි මැරෙනෙවනෙ” හෝ -ඔන්න ඔහේ මැරෙද්දෙන්” යනුවෙන් සමහර දඩබ්බරයන් පවසනු ඇසුණත් මරණයට බිය නැති කෙනෙක් සොයාගැනීමට අපහසු කරුණක් වෙන අතර, මරණයට බිය දැක්වීම ගැන ද පුදුමවිය යුතු නොවේ.
එකල ගමේ සිටි තෙපානිස් හැඩිදැඩි දඩබ්බරයෙකි. වැඩිහිටි කිසිවෙකුගේ අවවාදයක් නොඅසා තම කැමැත්තට තනිපංගලමේ වැඩකළ ‘නාහෙට නාහන’ අයෙකි. ගමේ චණ්ඩියා වූ ඔහුගේ හිසට ඉහළින් කපුටෙක්වත් ඉගිලී යනවාට කැමැත්තක් නොදැක්වූ අතර, තමා කෙදිනක හෝ මියයන බවක් ගැන නොසිතුවා පමණක් නොව සියලූම දුෂ්චරිතයන්හි ඇලී ගැලී ජීවිතය ගෙනගියේය. තම ගෙවත්තට එන දඩාවතේ යන බල්ලන් පවා තමාගේ මිදුලේ ඇති දොඩම් ගසේ එල්ලා මරා එම ගස මුලම වළදැමීම ඔහුගේ විනෝදාංශය විය. ඔහුගේ මෙම පව්කාර ක‍්‍රියාවලට විරුද්ධවීමට කිසිවකු ඉදිරිපත් නොවුණේ ඔහුට ඇති බිය නිසාය. -ඔය අපරාධවලට දඬුවම් පොලියත් එක්ක ලැබේවි” යයි සමහරුන් පැවසුවේ තෙපානිස්ට ශාප කරමිනි. මේ අතර දිනක් තෙපානිස් කොස් ගෙඩියක් කඩාගැනීමට තම වත්තේ තිබූ කොස් ගසකට නැග ගස මුදුනේ දී පය ලිස්සා ගලක් මතට ඇදවැටීමෙන් නොමැරී බේරුණේ අනූනවයෙනි. ඔහුගේ මරහඬ අසා එහි පැමිණි අසල්වැසි දෙතුන් දෙනා ළඟම ඇති රෝහල කරා ගෙනගිය ද තෙපානිස්ගේ අතපය කැඞීබිඳී ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවිය. සති කීපයක් රෝහලේ මරලතෝනි තබමින් පසුවූ තෙපානිස් දෙසතියකට පසු බල්ලකු මෙන් මියගියේය. ඔහුගේ මරණයට කම්පා නොවූ ගම්මුන් පැවසුවේ -තම තමන් කළ හොඳ - නරක මේ ආත්මයේ දී තමා පසුපස එන බව සත්‍යයක්” බවය.
මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ‘ඉරිදා ලංකාදීප’යට යොමු කරන්න.