ඉබිගමනේ යන වාරි ව්‍යාපෘති


වංශකථා ආරම්භයේ පටන් විවිධ තැන්හි ජලය හා සම්බන්ධ කතිකාවත් පවතී. වාරි කර්මාන්තයේ ආරම්භය ජනාවාස ආරම්භ වීමත් සමගම සිදුවිය. ඉපැරණි වාරි තාක්ෂණයට උරුමකම් කියන ලංකාවේ වාරි තාක්ෂණය දස්කම් විස්කම්වලින් පරිපූර්ණය.

පවතින ජල ගැටලු‍ විසදාලීමේ පරමාර්ථයෙන් එදා මෙන්ම අදත් නව වාරි ව්‍යාපෘති බිහිකිරීමේ ප්‍රයන්තයක නිරතවෙමින් සිටියි. එහෙත් සමාජ, දේශපාලන, ආර්ථික සමාජ කාරණා මත පදනම්ව ව්‍යාපෘති බොහොමයක් අතරමග නතර වීම හේතුවෙන් එහි අපේක්ෂිත ප්‍රතිලාභ ජනසතු වන්නේ ඉතා අතලොස්සක් ය.

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේ (2023) හඳුනාගත් ජනතාව වෙත අපේක්ෂිත ප්‍රතිලාභ කඩිනමින් ලබා දීමට අපොහොසත් තවමත් මන්දගාමීව ක්‍රියාත්මකවන ව්‍යාපෘතියක් වශයෙන් මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන හඳුනාගෙන තිබේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යනු 1960 දශකයේ ආරම්භ කළ මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වැඩසටහනකි. මෙම වැඩසටහන වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන අතර මේ සඳහා අරමුදල් සපයනුයේ ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය මගිනි. මේ සඳහා උපදේශන සමාගමක් වශයෙන් ජර්මානු සමාගමක් ලංකාවේ උපදේශන සමාගම් දෙකක් හා සම්බන්ධ වී සිටියි.

සමස්ත වැඩසටහනේ අදියර සියල්ල නිම වූ පසු ඉඩම් හෙක්ටයාර් 94300ක් සංවර්ධනය වීමට නියමිත අතර මින් ලක්ෂ 19ක පමණ පිරිසකට ප්‍රතිලාභ හිමිය. මින් පවුල් 465,000ක් ප්‍රතිලාභ ලබන අතර පවුල් 285,000ක පානීය ජල අවශ්‍යතාව ද පවුල් ලක්ෂ දෙකක පමණකගේ වාරි ජල අවශ්‍යතා ද සම්පූර්ණ වේ.

මෙම වැඩසටහන 2013 වර්ෂයේ දී සැලසුම් වී 2015 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක විය. මෙහි පළමු අදියර වසර දහයකින් අවසන් කිරීමට සැලසුම් කළ අතර මේ සඳහා යොදවන මූලික ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන නවසිය හැත්තෑහයකි (976).

මෙම වැඩසටහනේ ප්‍රධාන අ‍රමුණ වූයේ මහවැලි ගංගා ද්‍රෝණියේ තිබෙන අතිරික්ත ජලය උතුරු පළාත, උතුරු මැද පළාත සහ වයඹ පළාත යන දිස්ත්‍රික්කවල ජල අවශ්‍යතාව ඇති ප්‍රදේශවලට ලබාදීමයි. මෙම වැඩසටහන යටතේ කෘෂිකර්මයට අවශ්‍ය ජලය හා පානීය ජල අවශ්‍යතාව සපුරාලීමෙන් එකී ප්‍රදේශවල ආර්ථික සුරක්ෂිතතාවේ සහ පානීය ජලයට තිබෙන ප්‍රවේශ වැඩි කිරීම සිදුවේ.

මෙම වැඩසටහන යටතේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කෙරේ. එනම්, උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, වයඹ මහ ඇළ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතිය වශයෙනි.

මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘතිය වන්නේ උතුරු මැද මහ ඇළෙහි පළමු අදියරට අයත් ඉදිකිරීම් කරනු ලබන ව්‍යාපෘතියයි. මේ යටතේ කළු ගඟ ජලාශයේ අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශයට ලබා ගැනීමේ අරමුණෙන් කිලෝමීටර් 9ක් දිග අන්තර් හුවමාරු ඇළ මාර්ගයක් ජලාශ දෙක යා කරමින් ඉදිකර ඇත. මෙම උමගේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් වී ඇත. මේ අනුව කළු ගග ජලාශයෙන් ලැබෙන ජලය හා මොරගහකන්ද ජාලාශයේ දැනට පවතින ජලය ද සමග සමස්ත පද්ධතිය රඳවා ගනු ලබන ජල ප්‍රමාණය මගින් පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවලට වාරි සහ පානීය ජලය සැපයීමට හැකියාව ලැබේ.

උතුරු මැද මහ ඇළේ පළමු අදියර යටතේ කිලෝමීටර 96ක් දිග ඇළ මාර්ගය මොරගහකන්ද ජලාශයෙන් ආරම්භ වී අනුරාධපුර හුරුළු වැව ආසන්නයේ යකල්ල හරහා මහකනදරාව දක්වා ඉදිකිරීමට සැලසුම් කළ අතර එම ඉදිකිරීම් මේ වනවිට සිදුකරනු ලබයි. මෙම ඇළෙහි දිගින් කිලෝමීටර 28ක්වන භූගත උමගකින් ද යුක්තවන අතර එය ඇලහැර කෝදුරුවාව සිට හබරණ ප්‍රදේශයේ පලු‍ගස්වැව දක්වා වැටී ඇත. මෙම උමං ඉදිකිරීමද උමං කණින යන්ත්‍ර භාවිතයෙන් මේ වන විට සිදුවන අතර දැනට කිලෝමීටර 10ක් දුරට උමං කැණීම සිදුකර ඇත.

යකල්ලෙහි සිට ප්‍රධාන ඇළ අතුරු මාර්ග තුනකට බෙදේ. දකුණු පසට පිහිටි කෙටි ඇළ මාර්ගය හුරුළු වැව පෝෂණය කරන අතර උතුරු දිශාවට පිහිටි අතුරු ඇළ යෝජිත උතුරු මැද පළාත් මහ ඇළේ දෙවැනි අදියරට අයත් වේ. වම් පසට දිවන ඇළ මාර්ගය මානන්කට්ටිය, ඒරුවැව, මහකනදරාව මෙන්ම නාචිචදූව, නුවර වැව හා තිසා වැව යන වැව් පෝෂණය කරයි. මෙම වැව් යටතේ කුඹුරු හෙක්ටයාර 12,250කට වාරි ජලය ලබාදීම සහ වාර්ෂික පානීය ජලය කියුබික් මීටර මිලියන 40ක් සැපයීමට යෝජිතය. උතුරු මැද මහ ඇළෙහි පළමු අදියර යටතේ පවුල් 25000කට පමණ ප්‍රතිලාභ අත්වේ. මූලික සැලසුම්වලට අනුව උතුරු පළාත් මහ ඇළේ දෙවැනි අදියර යටතේ යකල්ල සිට ඇළ උතුරු දෙසට තවදුරටත් ඉදිකිරීමට යෝජිත අතර එය අතුරු ඇළ මාර්ග පද්ධතියක් ද සමගින් කිලෝමීටර 85ක් ගමන් කර වව්නියාවේ චෙම්මඩුකුලම් දක්වා දිවෙනු ඇත.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවැනි ව්‍යාපෘතිය වන්නේ වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය යටතේ වෑමැඩිල්ල ජාලාශයෙන් ආරම්භ වන වයඹ ඇළ මාර්ගයට සම්බන්ධ කර මහකිතුල සහ මහකිරුල යන නව ගබඩා ජලාශ ද්විත්වයක් අලු‍තින් ඉදි කිරීමට යෝජිතය. මෙම ව්‍යාපෘතිය යටතේ පොල්පිතිගම හරහා යාපහුව දක්වා ඇළ මාර්ගයක් ද ඉදිවී යාපහුව ප්‍රදේශයේ ජල දුෂ්කරතා මගහැර ගැනීමට ද සැලසුම් කර ඇත. කිලෝමීටර් 94ක් දිග වයඹ පළාත් ඇළ මගින් පොල්පිතිගම හා ඇහැටු වැව ආශ්‍රිත ප්‍රදේශවල පවතින මහ වැව් 8ක් සහ කුඩා වැව් 350ක් පමණ පෝෂිත වේ. කුඹුරු හෙක්ටයාර 13000කට පමණ ජලය ලබා දීමට හැකිවේ.

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක තෙවැනි ව්‍යාපෘතිය වන්නේ මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියයි. මේ වන විට ව්‍යාපෘතිය යටතේ මිණිපේ අමුණු බැම්ම මීටර 3.5ක් ඔසවා ඉදිකර එමගින් අමුණේ ජල ගබඩා ධාරිතාව වැඩි කර ඇති අතර ඊට අමතරව කිලෝමීටර් 74 දිග මිණිපේ වම් ඉවුරු ඇළ ද නවීකරණය කර ඇත. එමගින් මෙතෙක් ජල හිඟයෙන් පීඩා විදිමින් සිටි මිණිපේ ඇළේ අදියර 03 හා 04 යටතේ ඇති කුඹුරුහිමියන් සඳහා නිසිකලට වාරි ජලය ලබා දීමට හැකියාව ලැබී ඇත. මිනිපේ වම් ඉවුරු ඇළ යටතේ සමස්ත වාරි ජලය සැපයෙන වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර 7600 කි. 60000 කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවේ.

මෙලෙස සැලසුම් කරන ලද මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ වර්තමාන තත්වය කෙබදු ද යන්න සම්බන්ධයෙන් මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමක දී පැවසුවේ මෙවැන්නකි.

 

මේ වෙද්දී සමස්ත ව්‍යාපෘතියෙන් කොපමණ ප්‍රමාණයක් අවසන් කරල ද?

මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්තාපන ව්‍යාපෘතියේ වැඩ නිමා කරලා සම්පූර්ණයෙන්ම ජනසතු කරලා තියෙන්නේ. එහි ජල සැපයුම නියමිත පරිදි ක්‍රියාත්මක වෙනවා. මීට පෙර පැරණි ඇළේ වතුර වස්ගමුව ප්‍රදේශය ආසන්න කුඹුරු වලට යන්න සති දෙකක්, තුනක් ගියා. දැන් ඉක්මනින් ජලය ලැබීම හේතුවෙන් ඒ ගැටලු‍ව විසඳිලා තියෙන්නේ. දැන් ඒ ප්‍රදේශවල ගොවියෝ ජල ගැටලු‍වලින් තොරව වගා කටයුතු කරනවා වගේම ප්‍රධාන කන්න දෙකට අමතරව අතරමැදි කන්නයකුත් වගා කරනවා. වගාවලට වතුර සපයනවාට අමතරව අතිරික්ත ජලය වස්ගමුව වැවට ලබා දෙනවා. එම අතිරික්ත ජලය වන සතුන්ට නියං කාලයේදී ඉතා ප්‍රයොජනවත්.

මීට අමතරව වයඹ පළාත් මහ ඇළෙහි ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත් වලින් සියයට 60 ක් මේ වනවිට අවසන් කරලා තියෙන්නේ. ඉතිරි සියයට 40 මේ වසර අවසන් වන විට නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙත් පවතින ආර්ථික සංකෝචනයත් එක්ක වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කොන්ත්‍රාත් පැකේජ ප්‍රදානය කිරීම තාවකාලිකව නතර කරලා තියෙන්නේ. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම නැවත මේ කටයුතු ආරම්භ කරන්න බලාපොරොතු වෙනවා.

ඒ වගේම උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රදානය කරලා තියෙන කොන්ත්‍රාත්වලින් සියයට 44 ක් අවසන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඉදිකිරීමේ ක්‍රියාවලියේ දී කිලෝමීටර 27ක් දිග උමගේ ඉදිකිරීම් කටයුතු ප්‍රමුඛ වෙනවා. උමගේ කැනීම් කටයුතු 2025 වසර මැද වනවිට නිම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

 

 

ව්‍යාපෘතිය ප්‍රමාද වීමට බලපෑ හේතු සාධක මොනවාද?

ඇත්තටම මෙය වාරි යටිතල පහසුකම් අලු‍තෙන්ම ගොඩනගන හා දැනට තිබෙන පහසුකම් දියුණු කරන දිගු කාලීන වාරි ඉදිකිරීම් වැඩසටහනක්. ඇළ මාර්ගය අඛණ්ඩව ඉදිකරලා නිම කළොත් තමා අපට අදාළ ඉලක්ක ප්‍රදේශවලට ඇළ දිගේ ජලය ගෙනියන්න පුළුවන් වෙන්නේ. එවිට පමණයි අප බලාපොරොත්තු වෙන සමස්ත ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතිං රටේ උද්ගත වුණ අපට පාලනය කළ නොහැකි තත්වයත් සමග වැඩ බොහොමයක් අඩාළ වුණා. එය අප තේරුම්ගත යුතුයි. එහෙත් අමාරුවෙන් හෝ දැන් නැවත යථාතත්වයට ඇවිත් වැඩ කෙරීගෙන යනවා. සමහර පසුබෑම් තත්වයන් ද තියෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදවලට අනුව ඇළක් ඉදිකරන එක, උමං කණින එක, නියම තාක්ෂණයට, ප්‍රමිතියට කරන එක හිතන තරම් පහසු කර්තව්‍යයක් නෙවෙයි. මේ සියලු‍ කර්තව්‍යයන් මේ තියෙන සමාජ, ආරථික අර්බුද මැද කරන්නත් ඕනේ. වරින් වර පැනනගින සමාජ, පාරිසරික ගැටලු‍ විසඳමින් තමා මේ වැඩ අපි ඉදිරියට ගෙනියන්නේ. මොනවා වුණත් මේ ව්‍යාපෘති කටයුතු නිමා කරන දවසට රටටම දැනෙන කෘෂි සංවර්ධනයකට අපට යන්න පුළුවන්. ඒ හරහා නියං ප්‍රදේශවලට ජලය සැපයීමෙන් අලු‍ත්බිම් අස්වද්දා රටේ හොඳ සංවර්ධනයකට යන්න පුළුවන්.

ඇත්තටම පවතින ක්‍රමවේද හරහා වැඩ කරන්න යාමටත් සැලකිය යුතු කාලයක් ගත වෙනවා. හදිසියට කරන්න බැහැ. පිළිගත් අනුමත පියවර අනුගමනය කළ යුතුයි. එක් පියවරක හෝ ප්‍රමාදයක් වුණොත් ඉදිරියට යන්න බැහැ.

මේ වැඩසටහන තුළ ඇති බොහෝ ඉදිකිරීම් ජාත්‍යන්තර කොන්ත්‍රාත් කාණ්ඩයට අයිතියි. සාමාන්‍යයෙන් මෙම කොන්ත්‍රාත්තුවක් සඳහා මිල කැඳවා සුදුසු සමාගම තෝරා අදාළ කොන්ත්‍රාත් කාර්යය භාරදෙන පියවරවලට උපරිම දින 532ක් පමණ ගත වෙනවා. ඒ වගේම මෙම වැඩසටහනේ සමහර ඉදිකිරීම් සඳහා ඉදිරිපත් වූ සමාගම් සුදුසුකම් සපුරා නොතිබීම නිසා නැවත ටෙන්ඩර් කැඳවීමට පවා සිදු වුණා. මේ නිසා අනපේක්ෂිත අමතර කාලයක් වැය වුණා. ශක්‍යතා අධ්‍යනවලින් පසුව ව්‍යාපෘති කටයුතු ආරම්භ වුවත් පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත ජල සංතුලනය පිළිබඳව අවස්ථා කිහිපයකදී පුනරීක්ෂණ කමිටු හරහා නිර්දෙශ ලබා ගැනීමට යාම නිසා උතුරු මැද මහ ඇළෙහි උමං ඉදිකරන කොන්ත්‍රාත් කාර්ය භාර දෙන්න පමණක් වසරක් දෙකක් ප්‍රමාද වුණා.

ඒ වගේම ව්‍යාපෘතිය නියමිත කාලයට අවසන් කරන්න බැරිවෙන්න ස්වභාවික හේතු කිහිපයක් ද බලපෑවා. කොරෝනා වසංගයත් එක්ක රටම පසුගාමී වීම හරහා ඉදිකිරීම් සඳහා ඉන්දන සපයා ගැනීම නතර වුණා. මිනිස් ශ්‍රමය සොයාගැනීමේ ගැටලු‍ පැවතුණා. ආයතනවලට මුදල් ගලා යාම ගැටලු‍ සහගත වුණා. මේ හේතුවෙන් වැඩ තාවකාලිකව නතර වුණා. ඒ වගේම කොන්ත්‍රාත් සමාගම්වල කළමනාකරණ දුර්වලතා ද ව්‍යාපෘති ප්‍රමාදවීමට බලපෑවා. විශේෂයෙන් මේ ආර්ථික අවපාතයත් සමග සමහර කොන්ත්‍රාත් සමාගම් බංකොලොත් භාවයට පත්වීම හේතුවෙන් ඉදිකිරීම් පවා අතරමග අතහැර දමා යාම නිසා බොහෝ අපහසුතාවලට ලක් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට ව්‍යාපෘති කටයුතු සමීපව අධීක්ෂණ කෙරෙනවා. සතියකට වරක්, මාසයකට වරක් වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලෙනවා. ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යන්න සමාලෝචන හරහා හැකිතාක් කටයුතු කරගෙන යනවා.

 

මේ වෙද්දී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී පවතින ගැටලු‍ මොනවාද?

ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේදී මතු වෙලා තියෙන ප්‍රධාන ගැටලු‍වක් තමයි ආර්ථික අවපාතයත් සමග ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් ඉදිකිරීම් සඳහා වැය කරන්න සිදුවීම. වියදම වැඩිවීමත් එක්ක දැනට ඉතිරිවී තිබෙන ණය මුදලින් අවසන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය සංකෝචනය වෙලා තියෙන්නේ. මේ තත්වයට අනිවාර්යයෙන්ම විකල්ප මූල්‍ය ප්‍රභවයක් හොයාගන්න වෙනවා. පවතින තත්වය එක්ක ඒක අභියෝගයක් වුණත් කළ හැකි සෑම උත්සාහයක්ම වැඩසටහන පැත්තෙන් අපි ගන්නවා.

වැඩ ඉදිරියට කරගෙන යද්දි විවිධ සමාජ හා පාරිසරික ගැටලු‍ පැන නගිනවා. ඒවා විසඳාගන්න විවිධ ආයතන හා පුදුගලයන් සමග සම්බන්ධවීම හරහා අනපේක්ෂිත කාලයක් වැය වීමත් අභියෝගයක්.

 

කඩිනමින් ව්‍යාපෘතිය අවසන් කිරීමට මොනවගේ ක්‍රියාමාර්ග ද අරන් තියෙන්නේ?

මේ වන විට සමස්ත වැඩසටහනේ මූලික සැලසුම් තරමක් වෙනස් වෙලා තියෙන්නේ. දැනට වෙන්කර ඇති මූල්‍ය සංචිතයට අනුව වැඩ ප්‍රමුඛතා ගත කරලා පවත්වාගෙන යනවා. කොන්ත්‍රාත් සමාගම්වලට උපරිම සහයක් ලබා දෙනවා වැඩ ඉක්මනින් නිම කරන්න. නිරන්තරයෙන් පවත්වන ප්‍රගති සමාලෝචන හරහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී පැනනගින ගැටලු‍ හඳුනාගෙන ඒවා විසඳමින් ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන්න ඉක්මන් පියවර ගන්නවා.

ඒ වගේම උතුරුමැද මහ ඇළේ ඉදිකිරීම්වල ඉතිරි කොටස් නිමා කරන්න ආසියානු සංවර්ධන බැංකුව, ඉෆාඩ් අරමුදල හා ඔපෙක් සංවිධානය යන මූල්‍ය සංවිධාන සමග අරමුදල් සපයාගැනීම සඳහා පැවති සාකච්ඡා සාර්ථක වී තියෙනවා. ඒ අනුව සමස්ත ඇළෙහි ඉදිකිරීම් කටයුතු 2028 වනවිට මුළුමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අහසින් වැටෙන එක දිය බිදුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ මුහුදට යන්නට ඉඩ නොදෙන්න යනුවෙන් පරාක්‍රමබාහු රජතුමා ඉතිහාසයේ කළ ප්‍රකාශය යථාවත් කිරීමේ අරමුණින් ඇරඹී මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි අපේක්ෂිත ඉලක්ක කඩිනමින් ළගා කරගැනීමෙන් කර්කෂ පොළවට දියවර ලබා දීමෙන් සශ්‍රීක ගොවිබිම් නැවත ජනිත කිරීමේ කාලය දීර්ඝ නොවනු ඇත.

(***  මනීෂා වීරසිංහ)