බුදුරජාණන් වන්සේගේ ධර්මස්කන්ධය ලංකාදීපයට ගෙන ආවේ මිහිඳු මහ රහතන් වහන්සේය. මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස මිහින්තලා පර්වත මුදුනට පැමිණ බුදුන්ගේ ධර්මය පිළිබඳ හෝඩුවාව ලාංකීය ජන සමාජය වෙත ප්‍රදානය කළේ අද වන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකය. ඒ අවස්ථාවේ ලංකා භූමිය පාලනය කළේ දේවානම් පියතිස්ස මහ රජතුමාය. රජතුමා මුව දඩයමේ ගිය අවස්ථාවේ දී මිහිඳු හිමියෝ රජුට ‘තිස්ස, තිස්ස’ කියා ආමන්ත්‍රණය කළහ. එමගින් තිස්ස රජතුමා පුදුමයෙනුත් පුදුමයට පත්විය. ඔහුගේ කුතුහලය වූයේ රජුගේ නම මිහිඳු හිමියන් දැන ගත්තේ කෙසේද යන්න පිළිබඳවය.
මිහිඳු හිමියෝ පළමුව රජුගේ බුද්ධි මට්ටම විමසා බලා බුදුන්ගේ ධර්මය තේරුම්ගත හැකි මට්ටමක් තිබේදැයි පරික්ෂා කර බැලූහ. ඉන් අනතුරුව රජු පංචශීලයේ පිහිටුවා ලංකාදීපයම බුදු සසුන වැළඳ ගැනීමේ මාර්ගය විවර කළහ.
පොසොන් පොහෝ දිනයේ ඒ ඉතිහාසය පිළිබඳ මතකය ආවර්ජනය කරන විට පොසොන් දිනයදා බුදු දහම සමඟ 18 ශිල්පයක් මෙරටට ලැබුණු බව අපට පසක් වනු ඇත. ඒ ශ්‍රේණි 18ක ශිල්පය සමඟ විවිධ කර්මාන්ත ලංකාව තුළ ස්ථාපිත වන්නට විය. එදා සිට අද දක්වාම කුමන අර්බුද් පැමිණියත් පොසොන් පොහොය වැදගත් දිනයක් ලෙස බෞද්ධයන් සලකන්නේ මේ සියලු කරුණු කාරණා නිසාය. පොසොන් යනු වෙසක් තරමටම බෞද්ධයන් වාර්ෂිකව අභිමානවත්ව සමරන පොහෝ දිනයකි. රාජ්‍ය නායකයන්ගේ අනුග්‍රහය මෙන්ම බෞද්ධ ජනතාවගේ අනුග්‍රහය ද එක සිතින් පොසොන් උත්සවය සැමරීමට ලැබේ.
එහෙත් පසුගිය 2000-2001 වසරවල් සලකා බැලූ විට පොසොන් පොහොය ජනතාවට හරි හැටි සැමරීමට කරුණු කාරණා උදා නොවූයේ ජනතාව කොරෝනා අර්බුදයෙන් බැටකමින් සිටි නිසාය. ලාංකීය ජනතාව එම භයානක අත්දැකීමට මුහුණ පාන්නා සේම දැන් ආර්ථික අර්බුදය නමැති මාරාන්තික වෛරසයට ද මුහුණ දෙමින් පොසාන් සැමරීමට සිදුව තිබේ. මේ අලුතින් ඇතිවී තිබෙන තත්ත්වය අප කිසිසේත් අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. මෙය අලුත්ම අලුත් අත්දැකීමකි. අපගේ රට ලෝකයෙන්ම ගෞරවාදරයට පාත්‍ර වූ රටක් වන්නේ බුදුන් තුන් වරක්ම වැඩම වූ එකම රට ලංකාව වීම නිසාය. එසේම බුදුන්ගේම හස්තයෙන් පරිත්‍යාග කළ යමක් ඇත්නම් ඒ සියල්ල තිබෙන්නේ ලංකා භූමියේ නිසාය. එහිදී ඊට උදාහරණ වන්නේ සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පිරිනැමීමය. එසේම දළදා ධාතු, අකු ධාතු මෙන්ම ශ්‍රී පතුළ ද ලංකා ධරණි තලයේ බෞද්ධයාට වැඳුම් පිදුම් කළ හැකි ආකාරයට පිහිටා තිබේ. මෙතරම් බෞද්ධ උරුමයක් වෙනත් රටක පිහිටා තිබේදැයි සැක සහිතය. ලංකාව පින්බර බිමක් වන්නේ ඒ නිසාය. ලෝක සිතියමේ රටවල් අතර කුඩා තිතක් වන ලංකාව වාසනාවන්ත රටක් බව තේරුම් නොගත්තෝ බහුතරයක් අප අතරම වාසය කරති. ලංකාව යනු පැය හතරකින් උෂ්ණය සහිත ප්‍රදේශයකට යෑමටත්, පැය හතරකින් සීතල ප්‍රදේශයකට යෑමටත් හැකි තරම් සොබා දහමේ අපූර්වත්වයක් ඇති රටකි. අවුරුද්දේ 365 ම පුරාම එකම ආකාරයක අනන්‍යතාවකින් ජීවත් විය හැකි රටකි.
බෞද්ධයෝ නිතරම කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දයාව පිළිබඳව කතා කරති. රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවලින් ද මෙම ගුණයන්වල වැදගත්කම ජනතාවට නිතර දෙවේලේ මතක් කර දෙති. එහෙත් කනගාටුවට කරුණ වන්නේ රටට යම් ස්වාභාවික නොවන ආපදාවක් අභියෝගයක් පැමිණි කල ඉවසීමක් නැතිව දඟලන ජාතියක් බවට ශ්‍රී ලාංකිකයන් පත්ව තිබීමයි. ජාත්‍යන්තර ඇසින් බලන කල ලංකා මාතාවට එය කැළලකි. මෙතරම් පන්සල් පල්ලි කෝවිල් තිබෙන රටේ කුඩා ප්‍රශ්නවලට මෙතරම් දඟලන්නේ ඇයිදැයි අපි අපගෙන්ම ප්‍රශ්න කරගත යුතුය. උද්ඝෝෂණ, පෙළපාලි මේ තරම් ව්‍යාප්ත වී තිබෙන්නේ ඇයිදැයි බෞද්ධ අප විමසා බැලිය යුතුය. අප කිසිවකු නමට බෞද්ධ වී වැඩක් නැති බව වටහා ගත යුතුය. පළමුව ප්‍රතිපත්තිවලින් බෞද්ධ විය යුතුය.
ඉවසීමෙන් ජයග්‍රහණ හිමිවන බව අප තේරුම් ගත යුතු සත්‍යයකි. පාරට බැස කුපිතව හැසිරීමෙන් ද බොරුවට කෑකෝ ගසමින්ද, ගෙවල් ගිනි තබමින් ද අපට අත්වන ශාන්තියක් නැති බව වටහා ගත යුතුය.
ඇතිවී තිබෙන කලකෝළාහලවලින් අගෞරවයට ලක්ව තිබෙන්නේ අපේ රට බව තේරුම් ගත යුතුය. තමන්ගේ ජාතියට බනින ගරහන තමන්ගේ ආගම දහමට බනින මිනිසුන් සිටින රටක් තවත් ඇද්දැයි සැක සහිතය. ප්‍රශ්නයක් පැමිණි විට ජාතියක් ලෙස බුද්ධිමත්ව සාමකාමීව විසඳා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුය. රටේ සිටින කරුණාවන්ත, ගුණවන්ත මිනිසුන් රට ආරක්ෂා කර ගැනීම ජනතාවට අයිති යුතුකමකි. එහෙත් යුතුකම සිදු නොවන බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. ලෝකයේ අය අපේ රට ගැන සිතන ආකාරය පිළිබඳ අපටම කනගාටුවක් ඇති වන්නේ මෙතරම් වාසනාවන්ත රටකට පත්ව ඇති ඉරණම නිසාවෙනි. ඇතැම් අවස්ථාවල බනිමින් කෑකෝ ගහමින් ආරක්ෂක අංශවලට චෝදනා කළත් ඒ අයත් අපගේම පංතියේ මිනිසුන් බව කල්පනා කළ යුතුය. එසේම රටේ සිදුවන අපරාධ, කෝලාහල, උද්ඝෝෂණ රැල්ල වැළැක්වීමට ද ආරක්ෂක අංශවලට ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුය.
අද වන් පුන් පොහෝ දිනක බෞද්ධයන් ලෙස අප වෛරය, ක්‍රෝධය, ද්වේශය දුරලා සෙත ශාන්තිය, මනුෂ්‍යත්වය ප්‍රචාරය කිරීමට පෙරමුණ ගත යුතුය. අධිෂ්ඨාන කරගත යුතුය.
රටේ අනාගතය තරුණයන් සහ ළමයින් බව අමතක නොකළ යුතුය. එනිසා රටට අහිතකර යමක් නොකිරීමට වැඩිහිටි පරම්පරාව වග බලාගත යුතුය. යහපත් දෙයක් නිර්මාණය කළ හැකි සත්පුරුෂ සමජයක් බවට මේ ලංකා මාතාව පත් කිරීමට අපට තිබෙන වගකීම වටහා ගත යුතුය. කොල්ල කෑම්, ළමා දූෂණ, හොර මැරකම්, අපචාර රට තුළ පැතිරීමට ඉඩ නොදිය යුතුය. බෞද්ධ රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය තුළ අප දිනා ගත් තත්ත්වය, කීර්ති නාමය තවදුරටත් ආරක්ෂා කරගත යුතුය. එසේම සියලු දෙනාටම බියක් සැකක් නැතිව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට ද අප වග බලාගත යුතුය.
දීර්ඝ කාලයක් ජපන් රටේ අත්දැකීම් ඇති භික්ෂූන් වහන්සේ නමක් ලෙස මගේ අත්දැකීම වන්නේ ජපානයේ ලංකාව තරම් බණ කියන්නේ නැති වුවත්, මෙරට තරම් දන්සල් සල්පිල් නැති වුවත් ලෝකයාටම ආදර්ශවත් රටක් බවට පත්ව ඇති බවයි. ජපානයේ තරම් විනයගරුක, ශික්ෂාකාමී, සිරිත් විරිත්වලට ගරු කරන සමාජයක් තවත් නැත. එරට කුඩා කල සිටම ශ්‍රේෂ්ඨ ගති පැවතුම් සහිත දරු පිරිසක් ලෙස පුරුදු පුහුණුවීම් කර ඇත. අප රටේ කුඩා දරුවකුට තනිවම බස් එකේ, කෝච්චියේ යා හැකි විනයක් සහිත සමාජයක් නිර්මාණය නොවීමේ වරද තිබෙන්නේ කොතනකදැයි විමසා බැලිය යුතුය. ජපානයේ මේ සියලු කාරණා අපට ආදර්ශයට ගත හැකිය.
ජනමාධ්‍ය නිදහස පවා වෙන රටවලට සාපේක්ෂව අප රටේ තිබුණත් ඒවායින් අප උපරිම ප්‍රයෝජන ගන්නවාදැයි සැක සහිතය. බත් පිඟානට ප්‍රතිපත්ති පාවා දෙන ජාතියක් බවට අප පත්නොවිය යුතුය. රටක් අභියෝගයට ලක්වීමට ප්‍රධාන හේතුව කොතරම් අලුත් පාලනයක් පත්වුවත් අක්‍රමවත් කළමනාකරණයක් පැවැතීමයි. රටේ ප්‍රතිපත්ති වෙනස් නොකර රටක් දියුණු කළ නොහැකිය. දර්ශනය, නීතිය සාධාරණ හා අපක්ෂපාතී විය යුතුය. ජනමාධ්‍ය ඒ මග අනුගමනය කළ යුතුය. එසේ වුවහොත් යහපත් දේශයක් බවට අපේ රට නැවත පත් කර ගත හැකිය. රාජ්‍ය සේවය වහාම දේශපාලන ග්‍රහණයෙන් මුදා ගත යුතුය. පක්ෂවලට ගැති කරන වන්දි භට්ටයන් රාජ්‍ය සේවයෙන් ඉවත් කළ යුතුය. එක පක්ෂයක් බලයට ආ විට එක කල්ලියකුත්, තව පක්ෂයක් බලයට පැමිණි විට තව කල්ලියකුත් රජකිරීම වහාම නැවැත්විය යුතුය. රට නිසි කළමනාකරණයෙන් යුක්ත වූවා නම් ගෑස්, තෙල් නැති තත්ත්වයක් නිර්මාණය විය නොහැකිය. මෙම තත්ත්වය ඇති කළ සියල්ලෝම ඊට වග කිව යුත්තෝය. රාජ්‍ය සේවය ස්වාධීන වීම තුළ රටේ ප්‍රශ්න බහුතරයකට විසඳුම් සපයා ගත හැකිය. ජපන් දේශය දියුණු වූයේ කෙසේදැයි විමසා බලන විට පක්ෂවලට අයත් වෘත්තීය සමිති එරට නොමැති වීම එක් කාරණාවක් ලෙස පැහැදිලිව වටහා ගත හැකිය. වෘත්තීය සමිති කරනුයේ තම පටු අරමුණු වෙනුවෙන් ජනතාව ගැන නොසලකා කටයුතු කිරීම පමණි.
ලංකාවට අවශ්‍ය සියලු දෙනා එකමුතුවී නිර්මාණය කරගත් ප්‍රතිපත්තියකි. රට හැදීමට නම් හොඳ මිනිස්සු එකට එකතු විය යුතුය. රට බංකොලොක් නොකර අනාගතයට යහපත් දේශයක් නිර්මාණය කළ යුතුය. රට බේරා ගැනීමට හැම ජාතියකම පුද්ගලයන් පෙරට ආ යුතුය. ලංකාව යනු පොළොව, සුළඟ පවා ආශිර්වාදයක් වන රටකි. ඒ නිසා මේ රට බොහොම ඉක්මනින් දියුණු කළ හැකි බව අපගේ විශ්වාසයයි. ජනතාව කන්න නැහැ කියා නාහෙන් අඬනවා වෙනුවට වවාගෙන කන ජාතියක් බවට පත්විය යුතුය.
ආහාර අර්බුදයක් පිළිබඳ රටේ සෑම තැනින්ම මැසිවිලි නගන බවක් පෙනේ. 1948 නිදහසින් පසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක යුගයේ බරපතළ හාල් හිඟයකට ලංකාව මුහුණ දුනි. ඒ කාලයේ ඉන්දියාව අපේ රටට හාල් නිකන් ලබාදීමට සාකච්ඡා කර ඇත. එහිදී ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසියක් වූයේ ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයන් සියලු දෙනාට පුරවැසිකම ලබා දිය යුතු බවයි. එහෙත් ඩී.එස්. සේනානායක මහතා පවසා තිබෙන්නේ බත් පතකට යටවී රට පාවා නොදෙන බවයි. එවැනි උදාර නායකයෝ අප රටේ අතීතයේ සිටියහ. බණ්ඩාරනායක, සිරිමාවෝ වැනි නායකයෝ රටවල්වලට මිත්‍රත්වයේ දෑත් දිගු කළහ. නොබැඳි සමුළු පැවැත්වූහ. ඒ හරහා සියලු ජාතීන් දිනා ගත්හ. රටේ ප්‍රශ්න දෙස දේශපාලන නායකයන් බුද්ධිමත් ඇසින් බැලිය යුතුය.
රටේ ප්‍රශ්න දෙස බැලීමට නම් මුලින්ම රටේ ප්‍රශ්න නායකයන්ට තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුය. එහෙත් අද නායකයන්ට රටේ ප්‍රශ්න තේරෙනවාදැයි සැක සහිතය. අපේ රටේ නායකයන් හරි හැටි රට පාලනය කළා නම් සිංගප්පූරුවක්, මැලේසියාවක් බවට අපේ රට පත් කරගත හැකිව තිබුණි. මෙතරම් සම්පත් පිරිවරාගෙන නොදියුණු රටක් බවට අපේ රට පත්වීම සැබවින්ම ඛේදවාචකයකි. අතීත නායකයන් කෘෂිකර්මය දියුණු කිරීමට උත්සාහ කරනවිට හාල් පොලු, මිරිස් පොලු වැනි කතන්දර හැදුවා මිසක් රටට මෙවැනි තත්ත්වයක් උදාවනු ඇතැයි කිසිවකු නොසිතන්නට ඇත.
දුක් වින්දොත් සැප ලැබිය හැකි බව වටහා ගත යුතුය. සිද්ධාර්ථ බුද්ධත්වයට පත්වූයේ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුවය. සෑම රටක්ම දියුණු තත්ත්වයට පත්වූයේ කැපකිරීම් කර බව අප වටහා ගත යුතුය. මේ මොහොත තරුණයන් පිට්ටනිවල කාලය කා දමමින් කටයුතු කළ යුතු මොහොතක් නොවේ. වගා සංග්‍රාමය ඇරැඹීමට මේ සුදුසුම මොහොතකි. අතීතයේ දී ජපානයට පවා මෙරටින් හාල් යවා තිබේ. එවැනි වාසනාවන්ත අතීතයක් නැවත උදාකරගත යුතුය. දුක් විඳ සැප ළඟාකර ගැනීමට අපේ රටට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අවශ්‍යය. කෘෂිකර්මය සැලසුම් කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සතියෙන් දෙකෙන් මාරුවෙන රටක ආයෝජකයන් නොපැමිණෙන බව වටහා ගත යුතුය.
ණය ගත්තා සේම ණය ගෙවීමේ හැකියාවක් ද එදා අපේ රටට තිබුණි. පෞද්ගලික ජීවිතයේ දී මෙන්ම රටක් වුවත් අනවශ්‍ය ලෙස ණය ගතහොත් කඩා වැටෙන බව අප වටහා ගත යුතුය.
රටට ඩොලර් නොඑවන ලෙස ඇතැම් අය විදේශ රැකියාවල සිටින අයගෙන් ඉල්ලා සිටිති. එහෙත් පිටරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ හැකිතරම් මෙරටට ඩොලර් එවන ලෙසය. දේශපාලනයට වඩා රටේ මිනිසුන්ගේ බඩගින්න ගැන අප සිතිය යුතුය. රටක ජනතාව සේම රටේ නායකයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ද සිතිය යුතුය. ප්‍රතිපත්ති හොඳවන තරමට රටේ නායකයන්ගෙන් උදවු උපකාර අපට දිනා ගත හැකිය. පසුගියදා රුසියාව සමග අප බලෙන් ඇති කරගත් ප්‍රශ්නය ද අනවශ්‍ය ගැටලුවකි. ඇතැම් රටවල් අපට උදව් නොකළ ද එම රටවල් සමග අමනාප නොවිය යුතුය.
රටේ ආපදාවක් ඇතිවන විට ක්‍රියා කළ යුතු අන්දම බුදුදහම ද විග්‍රහ කර තිබේ. රට කරවන ඇත්තන් ඒවාට අනුරූපව ක්‍රියා කළ යුතුය. ආයතනයක පරිපාලකවරයා අකාර්යක්ෂම වන විට එම ආයතනය බංකොළොත්වීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
දේශපාලන නායකයන්ට සේම ආගමික නායකයන්ට ද මේ රට ගොඩනැගීමේ වගකීමක් ඇත. අප සැම එකාවන්ව මෙම අභියෝගයට මුහුණ දිය යුතුය. ඇති හැකි පමණින් හැමෝගෙන්ම උදවු උපකාර ලබා ගත යුතුය. අනුන්ට බැණ අඬ ගැසූ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බව වටහා ගත යුතුය. උද්ඝෝෂණකරුවන් සමග ද සාකච්ඡා කර ඔවුන්ගේ ද නියෝජනයක් ලබාදිය යුතුය. තරුණයන් යනු අපේ රටේ ජවය බව අප වටහා ගත යුතුය. තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතුය. තාරුණ්‍යයේ දක්ෂතාව අනුව රට සශ්‍රීක කිරීමට හැකිය. පොහොර ප්‍රශ්නය යනු ආණ්ඩුව අනාගත් තවත් ප්‍රශ්නයකි. එය එක දිස්ත්‍රික්කයක් ගෙන ආදර්ශයෙන් මග පෙන්නුවා නම් දැනටමත් ඒ ප්‍රශ්නය ජයගෙන හමාරය. වැරැදි මගක ගොස් අභියෝග ජයගත නොහැකිය. දියුණු රටවල් ආදර්ශයට ගෙන අපේ ලංකාව ද මීට වඩා ඉහළින් තැබීමට අප සැම උනන්දුවී කටයුතු කළ යුතුය.
(*** සටහන – අමිල චින්තක ගමගේ)