අතීතයේ සිට මේ දක්වාත් ඉදිරියටත් පැවතෙන්නේත් ගෙදර බුදුන් අම්මා ලෙසයි. පියා සිය පවුලේ සියලු බර කරට ගෙන පවුල නඩත්තු කිරීමේ බලය ඔහුට පැවරුණි. පුරාතනයේ පටන් මේ දක්වාම පවතින්නේ මෙම ක්‍රමයයි. එහෙත් වර්තමානය වන විට මෙම තත්ත්වය සමාජයෙන් ඉවත්ව යාමේ පසුබිමක් මතුව පවතී. ඒ සිය නිවසේ ආධිපත්‍යය දරන ස්වාමියාගේ භූමිකාව සඳහා නිවසේ බිරිඳ ද ඉදිරියට ඒමේ ප්‍රවණතාවත් සමඟයි.
අද වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකටත් වඩා සිටින්නේ කාන්තාවන් බව සංඛ්‍යා ලේඛනවලින් හෙළිවෙයි. රටේ පරිපාලන සේවයේ ප්‍රධාන තනතුරු රැසකටම අද කාන්තාවන් හිමිකම් කියන අතර බොහෝ ප්‍රධාන වගකිව යුතු තනතුරු රැසක් ද දරන්නේ කාන්තාවයි.
පිරිමියා පරදවා කාන්තාවන් රැකීරක්ෂා ඇතුළු සමාජයේ මුල්තැන අත්පත් කරගත්තේ ඇයි?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා සතුව මේ පිළිබඳ බොහෝ තොරතුරු ඇත. මේ ඔහුගේ අදහස් දැක්වීමයි.
● අද වන විට පුරුෂ පක්ෂය බුද්ධිමය ක්ෂේත්‍රවලින් ඈත්වීමේ තත්ත්වයක් තිබෙනවා නේද?
-ඇත්තටම මේක රටට පේන්න පටන් ගත්තේ දැන් වසර 5ක් හෝ 6ක වගේ කාලයක සිට වුවත් අපිට මේක පේන්න පටන් ගත්තේ දැනට අවුරුදු 10කට 15කට කලින් ඉඳලා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ සහ බාහිර පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යයන කටයුතු කරද්දී පසුගිය අවුරුදු 10 ශීඝ්‍රයෙන් පිරිමි දරුවන්ගේ අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබුණා. ගැහැනු ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ නැඟගෙන ආවා. මුලින්ම මේක අපි දැක්කේ බාහිර පන්තිවලින් වුවත් දැන් මෙම තත්ත්වය අභ්‍යන්තරය දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඒ නිසා මම මේක අද ඊයේ දැකපු දෙයක් නෙමෙයි. වසර ගණනාවක ඉඳන් තමයි මම මේ දෙය දකින්නේ. වසර 10ක 15ක සිට මේ තත්ත්වය දක්නට ලැබුණත් බුද්ධිමය ක්ෂේත්‍රය තුළින් පැහැදිලිව දක්නට පිළිවන්. උදාහරණයක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් තනතුරු, ග්‍රාමසේවක තනතුරු, බැංකු ක්ෂේත්‍රයේ ලිපිකරු, ගුරු වෘත්තියේ තනතුරු, වෛද්‍ය, නීතිඥ මේ ක්ෂේත්‍ර සියල්ලම තරගකාරී විභාගවලින් පාඩම් කරලා ගන්න පුළුවන් රස්සා සියල්ලම පාහේ ඉංජිනේරු ක්ෂේත්‍රය හැර අනිකුත් සෑම ක්ෂේත්‍රයකම පිරිමින්ගේ අඩුවක් දක්නට ලැබෙනවා. ගැහැනු බුද්ධිමතුන් වැඩිවෙලා.”
● මෙම තත්ත්වය ඇතිවීමට විශේෂ හේතුවක් තියෙනවද?
-මෙයට හේතු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් හේතුවෙලා තියෙන්නේ කෙනකුට කියන්න පුළුවන් පිරිමි ජනගහනය අඩුවීමත් ස්ත්‍රී ජනගහනය වැඩිවීමත් නිසා කියලා. ඒත් මේ තත්ත්වය ඒ තරමටම ගන්න බෑ. මොකද අපි පාසල්වල මේ තත්ත්වය බැලුවොත් පිරිමි ළමුන්ගේ සංඛ්‍යාවත් ගැහැනු ළමුන්ගේ සංඛ්‍යාවත් අතර වැඩි වෙනසක් නෑ. ඒ නිසා මෙය ජනගහනය නිසා බලපානවට වඩා තාක්ෂණය, මෙවලම් බලපානවා. විශේෂයෙන් රූපවාහිනිය, දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය මෙන්න මේවා තුළ වින්දනය හොයන්න යාමත් මේ වින්දනය හොයන්න යාමට අවශ්‍ය මුදල් සෙවීමට යොමුවීමත් නිසා පාසල් අධ්‍යාපනය අතහැර මුදල් සෙවීමේ තත්ත්වයකට යොමුවීම තවත් කරුණක්. මෙම මුදල් සෙවීම සඳහා ඔවුන් ත්‍රිරෝද කර්මාන්තයට හෝ වෙනත් මුදල් සෙවීමේ කටයුත්තකට යොමුවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. තවත් පැත්තකින් සමාජය තුළ ක්ෂණිකව මුදල් ඉපයීමට නැඹුරුවීමේ තත්ත්වයක් මතුවෙලා ශ්‍රාස්ත්‍රීය අධ්‍යාපනය වේගයෙන් පිරිහීමක් ඇතිවෙලා තිබෙනවා. මේ කාරණා සියල්ලන්ටම හේතුව ලෙස දකින්නේ පිරිමි බුද්ධිමය ක්ෂේත්‍රයෙන් ටික ටික ඈත්වීමේ ප්‍රවණතාවක් ඇති බවයි.”
● සරසවිවලට පිරිමි ළමුන් ඇතුළු වීමටම යම් බාධාවක් බලධාරීන් විසින් එල්ල කරනු ලැබ තිබෙනවාද?
“නෑ....නෑ... කිසිම බාධාවක් පනවලා නෑ.
දැන් පාසල් ක්ෂේත්‍රයේ උසස්පෙළ විභාග ලියන අවස්ථාව තිබෙනවානේ. උසස් පෙළ විභාගය මීට පෙරත් වාර්තා වුණා ලංකාවේ සෑම විෂය ධාරාවකම පාහේ ප්‍රථම ස්ථානයට පත්වුණේ ශිෂ්‍යාවන්. එකම එක පිරිමි ළමයකු තමයි ප්‍රථම ස්ථානයට පත්වුණේ. ඔහු යාපනය ප්‍රදේශයේ දෙමළ පුතෙක්. එතකොට ඒක විප්ලවවාදී තත්ත්වයක් නිසා සරසවි සඳහා පිරිමි ළමුන් කප්පාදු කරනවා නම් මෙහෙම වෙන්න බෑ. මේක මම දකින්නේ ළමුන්ටම අධ්‍යාපනය තිත්ත වීමක්. පාඩම් කරලා මහන්සි වෙලා ඒගොල්ලන්ගෙ හිත්වලට ඇතුළු වෙලා ඇති. ප්‍රාදේශීය ලේකම්වරයෙක් ඉන්නේ විශාල පළාතකට එක්කෙනයි. එයත් වෘත්තියෙන් බැබළෙනවා මිසක් සමාජයට ඔබින චරිතයක්. ආදර්ශයට ගන්න දෙයක් නෑ. ඊට වඩා මන්ත්‍රීවරයෙක් හෝ ඇමැතිවරයෙක් වෙන එක ඊට වඩා ආකර්ෂණීය වන චරිතයක්. ඒක හින්දා කොහේ හරි පෞද්ගලික රැකියාවකට පෙලඹෙන්න පිරිමි ළමුන් උත්සාහ කරනවා. එක තැන වාඩිවෙලා පොතක් පතක් බලන්න අපේ වර්තමාන පුත්තුන්ට බෑ. සරසවියට ඒමේ බාධා ශිෂ්‍යයන්ට පනවලා නෑ. මම ඒකට එකඟවන්නේ නෑ. මේක පුතුන් තුළම මේ වටපිටාවේ සිද්ධ වෙන දේ දිහා බලලා තමයි ඔවුන්ගේ මනස වෙනත් පැතිවලට යොමුවෙලා තියෙන්නේ.
මෙතනදි විශේෂයෙන් කියන්න ඕනැ අද පිරිමි දරුවන්ට කියවීමේ හෝ ඊට යොමුවීමේ විශාල අඩුවක් තියෙනවා. ඔවුන් සාහිත්‍ය රසය විඳින්න දැනුමක් නෑ. ඔවුන්ට ඊට යොමු වෙන්නෑ. ඒක නිසා ඔවුනට අධ්‍යාපනයට හෝ ඒ තුළින් ඉදිරියට ඒමේ අවශ්‍යතාවක් නෑ. ඒක තමයි මම දකින ප්‍රධානතම හේතුව මේ පුතුන් බුද්ධිමය ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට උනන්දුවක් නොදැක්වීම.”
● සාහිත්‍ය විෂයට යොමුවීම පිළිබඳ පිරිමි දරුවන් තුළ වැඩි ප්‍රවණතාවක් නැද්ද?
“ඔව්. මොකද ඔවුන්ට සාහිත්‍ය රසය හෝ උගත් බුද්ධිමතුන්ගේ ලිපි කියවීමේ තත්ත්වයක් අද අඩුයි. පුවත්පත්වල හෝ ජනමාධ්‍යවල සාහිත්‍යයට වෙන්කරන ඉඩකඩත් මදියි. ඉස්සර හොඳ ශාස්ත්‍රීය ලිපි ඒවා ලියපු ලේඛකයන්ගේ ඡායාරුප එක්ක පළ වුණා. ඒත් අද එහෙම දෙයක් පේන්න නෑ. ඒක කනගාටුවට කරුණක්. ඇතැම් ජනමාධ්‍යය ද මේවට වගකියන්න ඕනෑ. බොහෝ උගතුන්ගේ නම් ගම් පවා අද ඉන්න සමාජයට වැඩි දැනීමක් නෑ. ඇතැම් රූපවාහිනී වැඩසටහන්වලදී පවා අනවශ්‍ය පුද්ගලයන් වීර චරිත බවට පත්කරනවා. එම ක්ෂේත්‍රයට කිසිම දැනීමක් නැති පුද්ගලයන් ගෙන්වා ඒ ගැන කතාකොට ඔවුන් මැටි චරිත බවට සමාජයට පෙන්වීමේ වැඩසටහන් ප්‍රචාරය කරවීම ද කනගාටුවට කරුණක්. පුස්සන් වීරයන් කරන සංස්කෘතියකදී නිසැකවම බුද්ධිමතුන් හෝ බුද්ධිමතුන් වෙන්න පරමාදර්ශ දේවල් පසුගිය කාලයේ බිඳවැටුණා.”
● මේක සමාජයේ හෝ අධ්‍යාපනයේ හෝ පවුල් පරිසරයේ සිට පැවතෙන වැරැද්දක් ද?
“මේක අධ්‍යාපනයේ වැරැද්දක්. පවුල් පරිසරයත් යම් තරමකට බලපානවා. මොකද අපේ අධ්‍යාපනය ඇත්තටම අපේ පාසල්වල දැන් කෙරෙන්නේ ගුරුවරු ළමුන් එන හින්දා උගන්වනවා. ළමයි ඉගෙන ගන්න කැමැති තැන්වල ගුරුවරු ළමුන්ට උගන්වනවා. මට හිතෙනවා ඉදිරියේදී අපේ දරුවන්ම එක්කෝ ගුරුවරුන්ට මහමඟදී පහර දෙයි. නැත්නම් මරා දමයි. මොකද ඔවුනට දැනේවි කාලයක් යනකොට ගුරුවරු අපිව ගණන් ගත්තෙත් නෑ. ගුරුවරු අපිට ඉගෙන්වූවෙත් නෑ. අපි ගැන වටිනාකම ගුරුවරුන්ට දැනුණේ නෑ වගේ හැඟීමක් ඒවි ඉදිරියේදී. දරුවන්ගේ අඩුපාඩුකම් සොයා බලා දරුවන් අධ්‍යාපනයට යොමුකිරීමේ සංස්කෘතියක් දැන් දකින්නට නෑ. මාපියන් සියලු වැර යොදලා දරුවව ශිෂ්‍යත්වයට යොමුකරලා ඊට පස්සේ දරුවන් අතරමං කරනවා.”
● පාසල්වල පුතුන්ගේ ඉගෙනීම අඩුවෙලා. අධ්‍යාපනය දූවරුන්ට පවරලා අවසන්. මේ වසරේ සරසවි සඳහා බඳවා ගැනීමේදී ඒ බව පැහැදිලි වුණා නේද?
-අනිවාර්යයෙන්. මේ වසරේ සරසවියට බඳවාගත් සිසුන් 2200 අතුරින් 2000ක්ම ගැහැනු ළමුන්. ඉන් 200ක් පමණයි පිරිමි ළමුන් ඉන්නේ. සරසවියේ විශේෂ පන්තියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනාගෙන් 24 දෙනෙක්ම ගැහැනු අය. එක් පිරිමි සිසුවෙක් පමණයි ඉන්නේ. බාහිර උපාධිවල ළමුන් 150ක් ඉන්න පන්තිවල පිරිමි ළමුන් 10 දෙනයි ඉන්නේ. දැන් කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පන්තිවල 300ක් ඉන්නවා නම් ඉන් 275ක්ම ශිෂ්‍යාවන්. 25 දෙනයි පිරිමි සිසුන් ඉන්නේ. සෑම විශ්ව විද්‍යාලයකම මේ තත්ත්වය දකින්නට පිළිවන්. සමහර පාසල්වලත් මේ තත්ත්වය දකින්න ලැබෙනවා. මේක කනගාටුවට කරුණක්.
බුද්ධිමය ක්ෂේත්‍රයෙන් පිරිමි අතුරුදන් වීම පටන් ගැන්ම සිදුවී ඇත්තේ පාසල තුළින්. අද වෙන විට රටේ වෘත්තිකයන් වශයෙන් සෑම අංශයකම පාහේ පිරිමි පාර්ශ්වය යටකර ගෙන ස්ත්‍රී පක්ෂය බලය අල්ලාගෙන ඒමේ ප්‍රවණතාවක් දක්නට තියෙනවා. මේ තත්ත්වය මාපියන් හා ගුරුවරුන් වටහා නොගැනීම කනගාටුවට කරුණක්.
මේ වන විට දිවයිනේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් 65%ක් කාන්තාවන් බලය අත්පත් කරගෙන තියෙනවා. වෛද්‍ය වෘත්තියත් මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. බහුතරයක් අද සිටින්නේ කාන්තාවන්. හෙද සේවය සම්පූර්ණයෙන්ම වගේ කාන්තා ග්‍රහණයට හසුවෙලා. බැංකු ක්ෂේත්‍රය ගත්තත් නීතිඥ වෘත්තිය ගත්තත් මේ තත්ත්වයම දක්නට පිළිවන්. රෝහලකට ගියාම ප්‍රධාන වෛද්‍යවරිය ඇතුළු බොහෝ කාර්ය මණ්ඩලය ස්ත්‍රී පක්ෂය. පුරුෂ පක්ෂය ලෙඞ්ඩු. ඔවුන් ඇඳන්වල. මේකයි අද තත්ත්වය.”
● මෙම තත්ත්වය ඉතා කනගාටුදායකයි නේද?”
“ඇත්තෙන්ම ඔව්. ඛේදජනකයි. දැන් බලන්න ඇඟලුම් කම්හලකට ගියාම දාහක්, දෙදාහක් තුන්දාහක් විතර ඉන්නේ ස්ත්‍රී පක්ෂය. අපි පාසල්වලින් දියණියන් බිහිකරන්නේ මේ ඇඟලුම් ක්ෂේත්‍රයට ද? එතකොට පුතුන් බිහිකරන්නේ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයට ද? මේ ගැන තවදුරටත් සිතා බැලිය යුතු තත්ත්වයක් තමයි තියෙන්නේ. අද පාසල්වල ගුණ නැණ කියන දෙක තියෙනවද? සමහර පාසල්වල ඥානය විතරක් දරුවන්ට ලබා දෙනවා. හැබැයි -නැණ, ගුණ” දෙක කලවම් කරලා. ඒක දෙන අධ්‍යාපන ක්‍රමයක් පහුගිය අවුරුදු 10-15 ඇතුළත අපට පෙනුණෙ නෑ.”
● ඉදිරියටත් මේ තත්ත්වයම පැවතුණොත් අනාගතයේ ඔවුන්ට කුමක් වෙයිද?
-අනාගතය ගැන කෙසේ වෙතත් වර්තමානය ගැන අවධානය යොමු කළොත් අද පාසලක් ඉදිරියට ගොස් බැලුවහොත් මත්ද්‍රව්‍ය භාවිත කරන ළමුන් කොච්චර ඇද්ද?
මේක සමස්ත පාසල් ප්‍රජාව තුළම සිටින ළමුන්ට චෝදනා එල්ල කරන්න විදිහක් නෑ. ඇතැම් පාසල්වල ළමුන්ට මෙම චෝදනාව එල්ල වෙනවා. බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළමුන්ව ග්‍රහණය කරගන්නේ දරුවන්ට කිසිම අරමුණක් නොමැති බව දැනගැනීම නිසා. ඔවුන් රජයෙන් ඇඳුම් දෙන හින්දා ඒවා ඇඳගෙන පාසල් එනවා මිසක් අරමුණක් නෑ ඔවුන්ට. ලංකාවේ තානායම් ටික එක් දිනකදී වැටලුවොත් ලංකාවේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 40%ක් හෝ සොයාගන්න පුළුවන් කාමර සංස්කෘතිය තුළ. මෙතනදි දෙමාපියන් දරුවන්ට දැනමුතුකම් දීමේදීත් පොඩි අඩුවක් තියෙනවා. ඒකයි ඔතන තිබෙන මූලික වැරැද්ද. මේ නිසා අනාගතය තනිකරම භයානක දේකට මුහුණ දෙන අවදානමක් තිබෙනවා. අද 70%ක්ම දරුවන්ගේ දුරකථනවල තියෙන්නේ දරුවන් නැරඹිය යුතු නැති දේවල්. ඒවා වළක්වන්න මාපියන් උත්සාහ නොගැනීම කනගාටුවට කරුණක්.”
● මේ තත්ත්වය පෙරට වඩා දැන් වැඩිවෙලා නේද?
“අදටත් වඩා පෙර කාලයෙත් මේ තත්ත්වය තිබුණා. මොකද අදට වඩා එදා ජනගහනය අඩු නිසා ඒක වැඩිය පෙනුණේ නෑ.
අද වන විට ජනගහනය වැඩිවෙලා. අධ්‍යාපනයේ අරමුණු වෙනස් වෙලා. ලංකාවේ දරුවන්ට තිබෙන්නේ හීන දෙකයි. වෛද්‍යවරයෙක් වෙන හීනයයි. ඉංජිනේරුවෙක් වෙන හීනයයි. ඒ හීන දෙක බිඳවැටුණු ගමන්ම සෙසු රැකියා අහම්බයෙන් කරන රැකියා මිසක් හීනයක් තියාගෙන කරන රස්සා නෙමෙයි. ගුරුවරයෙක් හෝ ගුරුවරියක් වෙන්නේ අහම්බෙන්. විශ්වවිද්‍යාලවලට තේරුණේ නැත්නම් වෛද්‍ය පීඨයට නොගියනම් ඒ පීඨයට රිංගලා ගුරුවරයෙක් වෙනවා.
දිවයිනේ වෘත්තීයවේදීන් අතර ප්‍රධාන තැනක් ගන්නා වෘත්තියන් අතර බොහෝ දෙනෙකු ස්ත්‍රී පාර්ශ්වය වීම කැපී පෙනෙන සිද්ධියක්. නීතිඥ වෘත්තියේ අද 70%ක්ම කාන්තාවන්ගේ නියෝජනයක් දක්නට ලැබෙන අතර විනිශ්චයකාර තනතුරුවලට ද අද බොහෝ කාන්තාවන්ගේ ග්‍රහණයට නතු වීම ද කැපී පෙනෙන ලක්ෂණයක්. ඉදිරියේදී පුරුෂ ශ්‍රම බුද්ධියට පමණක් සීමා වූ රැකියා බිහිකිරීමේ තත්ත්වයකට අපට මුහුණ දීමට මේ නිසා සිදුවෙනවා. මේ තත්ත්වය හමුවේ පුරුෂ පක්ෂයේ බුද්ධිමය ක්ෂේත්‍ර පිළිබඳ දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
එදා ග්‍රාම සේවක තනතුර නිර්මාණය කළේ පුරුෂ පක්ෂය ඉලක්ක කර ගෙනයි. එහෙත් අද වෙන විට එම තනතුරට කාන්තාවන්ගේ වැඩි නියෝජනයක් දක්නට පිළිවන්.
ඇත්තටම මෙම තනතුරු පුරාණයේ හැඳින්වූයේ ගම්මුලාදෑනි කියලා. වර්තමානය වෙන විට ඔවුන් ග්‍රාම නිලධාරීන්. පසුකාලයේ තමයි ඒක ග්‍රාම සේවක වුණේ. එතකොට ගම්මුලාදෑනියා දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද ග්‍රාමයේ තොරතුරු විමසිය යුතුයි. ස්ත්‍රීන්ට ඒක අපහසුයි. ඒත් දැන් ග්‍රාමසේවක තනතුරුවලින් 75%ක්ම දක්නට ලැබෙන්නේ කාන්තා නියෝජනයක්. ඒ විතරක් නෙමෙයි. බැංකු ක්ෂේත්‍රය ගන්න. අද 65%ක්ම ඒ ක්ෂේත්‍රයේ ඉන්නේ කාන්තාවන්.
සෑම ක්ෂේත්‍රයකම කාන්තා නියෝජනයේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන නිසා දැන් පුරුෂ පාර්ශ්වයට කරන්න ඉතුරු වෙලා තිබෙන්නේ පළාත් සභාවයි, පාර්ලිමේන්තුවයි, නගර සභාවයි විතරයි. මොකද ඒවාට විභාග අවශ්‍ය නැති නිසා. මොළේ තියෙන සියලු ක්ෂේත්‍රවල රැකියා කාන්තා පාර්ශ්වය අත්පත් කරගෙන අවසන්. ගුරු වෘත්තියේ 90%ක්ම කාන්තාවන්. බැංකු ක්ෂේත්‍රයේ 75% වඩා කාන්තාවන්. දැන් පොලිසියේ සේවය කරනවා 11,000ක් පමණ පොලිස් කාන්තාවන්. මේ 11,000 අතරින් ඔවුන් ඉල්ලා සිටියා පොලිස් කොමිසමෙන් අපිට පොලිස්පතිවරියන් තනතුරටත් ඉල්ලන්න අවස්ථාව ලබාදෙන්න කියලා. පොලිස් කොමිසම පිළිගත්තා සහකාර පොලිස්පතිනි තනතුර දක්වා ඔවුනට ඉදිරියට යා හැකි බව. ඒකෙන්ම පෙනී යනවා අපේ රටේ කාන්තාව ඉතා වේගයෙන් පිරිමින්ට අයිති රැකියා ටික පැහැර ගනිමින් ඉන්න බව. ඒක පැහැර ගැනීමට වඩා අයත් කරගනිමින් ඉන්න බව තමයි පැහැදිලි වෙන්නේ. කාන්තාවන්ට අද තැන්පත් මනසක් තියෙනවා. එහෙත් පුරුෂ පක්ෂයට ඒ තැන්පත් මනස ගිලිහී ගිහින්. අන්න ඒ නිසා මෙම තත්ත්වයට යම් තරමින් හෝ ඔවුන්ගේ තැන්පත් මනස සෑදීම වැදගත්.
තවත් වසර 5ක් පමණ යන විට ශ්‍රී ලංකාවේ ප්‍රසූත නිවාඩු ලබා දීමේදී ස්වාමි පුරුෂයාට එය ලබා දීමේ අවස්ථාවක් උදාවීමට පුළුවන් බව මා සිතනවා. සිය බිරින්දෑවරුන් ඉහළ තනතුරු දරන නිසා දරුවන් බලාගැනීමේ අයිතිය ස්වාමි පුරුෂයාට පැවරී තියෙනවා. ඉදිරියේදී නිවසේ ගෘහ මූලිකයා හැටියට කාන්තාව පත්වීමේ ඉඩකඩ දැන් බෙහෙවින් පවතිනවා.
අද රටට අවශ්‍ය වෙන්නේ ගැහැනු උගතුන් 50%ක් පමණයි. සෙසු 50% බුද්ධිමත් පුරුෂ පක්ෂය විය යුතුයි. එසේ නොමැති වුවහොත් අනාගතයේ සිදුවන මහා භයානක සමාජ විපර්යාසයෙන් රට ගලවා ගැනීමේ ඉඩකඩ ඇහිරෙනු ඇති. මෙම තත්ත්වයට වහා පිළියම් සෙවිය යුතු කාලය දැන් එළඹ තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පුරුෂ ශ්‍රමය විදේශ රටවලට විකිණීමේ අවස්ථාව අහුරාලිය යුතුයි. නොමැති නම් ශ්‍රී ලංකාවේ පුරුෂ ශ්‍රමය විදේශ රටවලින් සූරාගෙන කනු ඇත. මේ නිසා ශ්‍රී ලංකාව තුළ පුරුෂ පක්ෂයේ බුද්ධිමය ක්ෂේත්‍රවලට යොමු කරලීමේ ඉඩ පහසුකම් පුළුල් කිරීමේ අවස්ථාව දැන් උදාවී තියෙනවා.