උගතා පාගා නූගතා උඩදාන ලෝකය වෙනස් කරමු


අද, ලෝකය පුරා බොහෝ රටවල පැතිරයන ඉතා කනගාටුදායක ප්‍රවණතාවක් දකින්නට ඇත. එනම්, රාජ්‍ය පාලනයෙන් උගතා ඈත් කර නූගත් පිරිස් නොයෙක් උපක්‍රම යොදමින් ඉතා බලවත් දේශපාලන තනතුරු ලබා ගැනීමය. මෙම ප්‍රවණතාව, ලෝකයේ බලවත්ම යයි කියා ගන්නා රටේ පවා මෑතකදී දැකගන්නට ලැබුණු බව අපි හොඳින් දනිමු.

නිසි අධ්‍යාපනයක් හෝ අත්දැකීම් රහිත පිරිස් බලවත් දේශපාලන තනතුරු වලට පත්වීම ඉතා භයානකය. එය බොහෝ රටවල්වල ප්‍රගතිය විනාශ කරනවා පමණක් නොව තවත් ලෝක යුද්ධයක් ඇතිවීමට පවා හේතුවිය හැකිය. ‘වඳුරාට දැලි පිහිය දුන්නා වගේය’ යන උපමාවක් ජන වහරේ ඇති බවද බොහෝ දෙනා දනිති.

දේශපාලනයට පමණක් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවන බවත්, අනෙක් සියලු ක්ෂේත්‍රවලට එය අවශ්‍ය බවටත් දුර්මතයක් පවා ගොඩ නැගෙමින් තිබේ. මෙය ඉමහත් ඛේදනීය තත්ත්වයකි.

උසස් අධ්‍යාපනයෙන්, කෙනෙකු තම විෂය ධාරාව පිළිබඳ උගතකු වෙනවා පමණක් නොව තමන්ගේ විෂ්ලේශනාත්මක බුද්ධිය (analytical thinking) සහ විවේචනාත්මක බුද්ධිය (critical thinking) යන ඉතා වැදගත් බුද්ධිමය කුසලතාද දියුණු කර ගනී. ඉතිහාසය පුරාම, සාර්ථක දේශපාලකයන් මෙම කුසලතා යොදමින් ගත් ධනාත්මක තීරණ බොහෝ විය.
එමෙන්ම සුලු පරාසයක් තුළ සිතමින්, නූගත් නායකයන් ගත් බොහෝ ඍනාත්මක තීරණ නිසා රටවල් ප්‍රපාතයට ඇද වැටුණු අවස්ථාද එමටය. දියුණුව අතින් මන්දගාමී හා පසුගාමී රටවල් වලට එසේ වීමට හේතුව එම රටවල් පාලනය කළ සහ කරන දේශපාලකයන්ගේ බුද්ධි මට්ටම් පිළිබඳ සමීක්ෂණයක් කළ විට ඉතා පැහැදිලිවේ.

වාසනාවකට මෙන්, බටහිර යුරෝපයේ බොහෝ රටවල්, කැනඩාව, සිංගප්පූරුව වැනි රටවල ඡන්ද දායකයෝ තම කැමැත්ත පළ කිරීමේදී අපේක්ෂකාගේ උගත්කම තවමත් සැලකිල්ලට ගනිති. රටවල් අතලොස්සක හෝ මෙවැනි ප්‍රවණතාවක් තිබීම සතුටට කරුණකි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයන්ගේ ක්‍රියා කලාපයට වගකිව යුත්තේ ඡන්ද දායකයන්. මන්ද හුදෙක් වාසගම, පක්ෂය, කුලය, බොරු ​ෙපාරොන්දු ආදීන් සලකා බලා ඡන්දය ප්‍රකාශ කර පත්කරන බොහෝ නායකයන් තම රටවල් ආර්ථික හා සමාජීය විනාශය කරා ගෙනගිය සහ ගෙනයමින් පවතින අවස්ථා එමටය. මේ විනාශවලට මග සාදා දුන්නේ හුදෙක් ඡන්ද දායකයන්ය. අද, වෙනිසියුලාවට අත්වී ඇති ඉරණම හොඳම උදාහරණයකි. අප්‍රිකානු කලාපයේද, දකුණු ආසියාවේද මෙයට නිදසුන් බොහෝය.

‘සුදුසු’ දේශපාලන නායකත්වයක් බිහිකළ හැක්කේ ‘උගත්’ ඡන්ද දායකයන්ටය. මෙහිදී ‘උගත්’ යනුවෙන් කියැවෙන්නේ කාලීන කරුණු හොඳින් වටහාගෙන රටේ දියුණුව සඳහා පැහැදිලි දර්ශනයක් ඇති, විශ්වසනීය පුද්ගලයන්ට තම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය වටහා ගැනීමේ හැකියාවයි. රූප සුන්දරියන්ට, කායවර්ධකයන්ට, නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට ඔවුන්ගේ එම ක්ෂේත්‍රවල හැකියාවන් පමණක් සලකා ඡන්දය දීමේ ඉහළ ප්‍රවණතාවක් ඇත. දේශපාලන කටයුතුවලදී ඔවුන් අනුවන ලෙස හැසිරීම පුදුමයක් නොවේ. වැඩිම මනාප ගණනකින් පාර්ලිමේන්තුවට පැමිණියත් වචන පහක් එක දිගට ගලපා ගත නොහැකි ‘දක්ෂ කලාකරුවෝ’ එමට සිටිති.

රජයේ හෝ වේවා පෞද්ගලික අංශයේ හෝ වේවා. ඕනෑම රැකියාවක් සඳහා කිසියම් අධ්‍යාපන සුදුසු කමක් අවශ්‍යවේ. එහෙත් දේශපාලනයට පිවිසීමට එවැනි කිසිම සුදුසුකමක් අවශ්‍ය නොවීම වටහාගත නොහැකි කරුණකි. එය ඉමහත් අභාග්‍යයකි. යාන්තමට අටවැනි ශ්‍රේණිය සමත් ඇමැතිවරුන්ට ‘සර්’ හෝ ‘මැඩම්’ කියා හිස නමන උපාධිධාරීහු කොතරම් වෙත්ද?

අඩුම වශයෙන්, ඇමැතිවරයකුට, තමන් පාලනය කරන අමාත්‍යාංශයේ විෂය පිළිබඳව මූලික දැනුමක් හෝ පලපුරුද්දක් වත් තිබීම ඉතා වැදගත්ය. මෙයට සරල උදාහරණයක් ලෙස කැනඩාව දැක්විය හැකිය. කැනඩා ෆෙඩරල් රජයේ ඉතිහාසය පුරාම සිටි අගමැතිවරුන් සහ ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ උපාධිධාරින්ය. නැතිනම් තමන්ට භාර විෂයේ ඉහළ වෘත්තීයමය පලපුරුද්දක් ඇති අයය. උදාහරණයක් ලෙස, 2015 අලුතින් පත් කෙරුණු රජයේ අමාත්‍ය මණ්ඩලයේ 30 දෙනාගෙන් 15 ක් නීතිඥයන්, 3 ක් ප්‍රවීණ මාධ්‍යකරුවන්, 2 ක් ෙජ්‍යෂ්ඨ පරිපාලන නිලධාරින්, එක් වෛද්‍යවරයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක්ද විය. එම අමාත්‍ය මණ්‍ඩලයේ 50% ක් කාන්තාවන් විමද ඉතා වැදගත් කරුණකි. අගමැතිවරයා උපාධිධාරී ගුරුවරයෙකි.

මෙවැනි ප්‍රවණතාවක් ලෝකය පුරාම දියුණුවී ඇති සහ හොඳින් දියුණුවෙමින් පවතින බොහෝ රටවලින් දැකගත හැකිය. කලාපීය පැහැදිලි උදාහරණයක් ලෙස සිංගප්පූරුව පෙන්වා දිය හැකිය.
මේ කනගාටුදායක තත්ත්වයට වගකිවයුත්තේ කවුද? ඡන්දදායකයන් වන අපමය. නූගත් හොරුන් පාර්ලිමේන්තු යන්නේ අපේ කර පිටිනි. අපි නූගතුන් රජ කරවනවා පමණක් නොව ඔවුන්ට හොරකම් කිරීමට අවශ්‍ය පසුබිමද හදා දෙන්නෙමු.

සමහර විටක, රටක නායකයා හෝ විෂය බාර ඇමැතිවරුන් තම විෂයයන් පිළිබඳ සුළු හෝ දැනුමක් නැති අය විය හැක. එසේ වූවිට, සුදුසුකම් ඇති උපදේශක වරුන්ගේ අදහස් විමසා නිවැරදි තීරණ ගැනීමට දක්ෂ පාලකයෝ කටයුතු  කරති. වැඩි ප්‍රවණතාවක් ඇත්තේ කිසිම සුදුසුකමක් නැති තම නෑදෑයන් සහ හිතවතුන්ට උපදේශක තනතුරු ලබාදීමයි.

හදිසියේම පහළවන ‘ආචාර්ය’ ‘මහාචාර්ය’ වරු කූඨ අපදේශකයන් ලෙස බල කේන්ද්‍රයන්ට හේත්තුවී වැරදි උපදෙස් දී නායකයන් නොමග යැවීමත් සිදුකරනවා විය හැකිය. තමන්ගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ පට්ටම් යොදාගන්නා සමහරු ‘වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොඩ වැදී නැතැයි’ කියන අදහසකුත් පැතිර යයි.

බොහෝ ප්‍රජාතාන්ත්‍රික රටවල් මැතිවරණයකට පසුව, පාර්ලිමේන්තුවට තෝරා පත්වන සභිකයන්ගේ දිව්රා සහතික කළ වත්මන් ශුද්ධ වත්කම් ප්‍රකාශයක් රජයට ලබාදිය යුතුය. එමෙන්ම, තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ එම වත්කම් විස්තර ලබා ගැනීමේ හැකියාව සෑම පුරවැසියකුටම ඇත. එහෙත්, මේ අයිතිය භාවිත කොට කිසිවකු දූෂිත දේශපාලකයන්ගේ වත්කම් සොයා බලන බවක් නොපෙනේ. හොඳින් ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රික සමාජයක, මෙම වගකීම පැවරෙන්නේ අපක්ෂපාතී ප්‍රජා සංවිධාන වලටය.

රටක, සක්‍රීය අපක්ෂපාතී ප්‍රජා සංවිධාන තිබීම එම රටේ ප්‍රජාතාන්ත්‍රික භාවයේ සරු බව පෙන්වන ලකුණකි. එවැනි සංවිධාන නැතිවීම, දූෂිත දේශපාලකයන්ට දෙවියන් දුන් වරමක් මෙන්ය.
මෙවැනි පසුබිමක, ප්‍රජාතාන්ත්‍රිකව පත්කළ රජයන් හි ක්‍රියාවලින් විමර්ශනය කොට දූෂණ හා වංචා මහජනතාවට හෙළිදරව් කිරීම ප්‍රජා සංවිධාන මෙන්ම විශ්වවිද්‍යාල වලද වගකීමකි. මන්ද, තොරතුරු ලබා ගැනීමේ හා හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියේ තාක්ෂණය ඔවුන් සතු නිසාය.

සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට උගතුන්ට ඇති අයිතිය හා යුතුකම පැහැර හැරීම තුළින් සිදුවන්නේ දූෂණය සහ වංචාව සාමාන්‍ය දෙයක් බවට පිළිගැනීමට සාමාන්‍ය ජනතාව පුරුදු කිරීමයි. මෙම විනාශයට වැඩිපුරම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල පද්ධතියේ දේශපාලන විද්‍යා අංශවල ගරු ප්‍රධානීන් සහ සෙසු ආචාර්යවරුන්ය. කූඨ දේශපාලනික උපක්‍රම දැක දැකත් නිහඬව සිටීම විසින් ඔවුන් සමාජයට කරන අයහපත ඉතා දරුණුය.

කිසියම් අපක්ෂපාතී කණ්ඩායමක් විසින් ‘ගෝලීය දේශපාලන දත්ත’ වෙබ් අඩවියක් පවත්වා ගත යුතුය. පවතින රජයන් හී සෑම සාමාජිකයකුගේම අධ්‍යාපන සුදුසුකම්, වාත්තීයමය සුදුසුකම්, බලයට පත්වන විට වත්කම, දැනට වත්කම වැනි දත්ත ගොනුකොට ප්‍රකාශ කළ යුතුය. එවිට, දේශපාලන විනිවිද භාවය බොහෝ දුරට තහවුරු කළ හැකිය. මෙවැනි දත්ත සියල්ලක්ම ඉතා පහසුවෙන් ලබාගත හැකිය. පුද්ගලයන් වත්කම් දත්ත සැපයිය යුතු බව බොහෝ රටවල නීතිගත කර ඇත.

මේ වැනි විස්තර, ඡන්ද අපේක්ෂකයන්ගෙන්ද ලබා ගැනීමට හැකිනම් කොතරම් අගනේද? අපේම ඡන්දයෙන්, නුසුදුස්සන් පාර්ලිමේන්තු යවනවා පමණක් නොව ඔවුන්ට දූෂණ හා වංචා කිරීමට වාතාවරණය සාදා දෙන ඡන්දදායකයාට අත්වන ඉරණම ලෝකය පුරා බොහෝ රටවලින් සක්සුදක් සේ පැහැදිලි වී ඇත.

(***)
නිමල් රාජපක්ෂ
එඩ්මන්ටන්, කැනඩාව.