උගතුන් රටහැරයාමේ ආදීනව


ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 12,000 ක අධික පිරිසක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 6000කට ආසන්න පිරිසක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. එහි ආදීනව ගැන විවිධ අය විවිධ කතා කියති. අවශ්‍ය තරමට ගුරුවරුන් නැතිකමෙන් පාඨමාලාවල ගුණාත්මකභාවය සේම ලංකාවේ විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තරයේ හිමි ස්ථානයද පහත වැටීමෙන් තිබෙන බව මහාචාර්ය මානවදේවි ගනේහේනේගේ කියයි. මේ ඇයගේ හඬයි.

උදාහරණයකින්ම ආරම්භ කළොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පාඨමාලාව ඇමෙරිකාව වැනි ලෝකයේ දියුණු රටවල විශාල පිළිගැනීමකට ලක්වූවකි. පේරාදෙණියෙන් ප්‍රථම උපාධිය හදාරා ආචාර්ය උපාධි සඳහා ඒ රටවලට යන අය ඒ රටවල විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි හදාරණ අය අතරින් පළමු ශ්‍රේණියේ සාමාර්ථ ලබන බව ඒ දියුණු රටවල ආකල්පයයි. විශ්වාසයයි. රසායන විද්‍යා විශේෂවේදී උපාධිය හදාරන 30 සිට 35 අතර පිරිසක් සෑම වර්ෂයකම පේරාදෙණියෙන් පිටවෙති. ඒ 35 අතරින් උඩට සිටින 20 දෙනා පශ්චාත් උපාධි විශේෂයෙන්ම ආචාර්ය උපාධි සඳහා යන්නේ ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවලටය. අපේ ප්‍රථම උපාධිධාරීන්ට පශ්චාත් උපාධි සඳහා ජාත්‍යන්තරයෙන් ඒ ඉල්ලුම සහ අවස්ථාව ලැබෙන්නේ ඉතා දක්ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ පාඨමාලාවක් හදාරන්නට ඉඩ කඩ ලැබෙන හෙයිනි. ඒ ගුණාත්මකභාවය ඇමෙරිකාව වැනි රටවල පවතින මට්ටමක පැවැති බව අපේ නිරීක්ෂණයයි.

එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතියි. අපේ රසායන විද්‍යා අධ්‍යයනාංශයේ සිටිය යුතු සමස්ත ආචාර්යවරුන් සංඛ්‍යාව 29 කි. 2020 පෙර ඒ 29 දෙනා වෙනුවට 25 දෙනෙක් පමණ සිටියහ. ඒ 25 දෙනාගෙන් අපි අධ්‍යයන කටයුතු මැනවින් කරගෙන ගියෙමු. ඒ 25 දෙනාගෙන් පස් දෙනෙක් ඉල්ලා අස්වී රට ගියහ. හතර දෙනෙක් විශ්‍රාම ගියහ. තුන්දෙනෙක් අධ්‍යයන නිවාඩු ලබාගෙන සිටිති. දැන් මේ මොහොත වනවිට අපේ අධ්‍යයනාංශයේ සිටින්නේ ආචාර්යවරුන් 11 දෙනෙකි. 29ක් සිටිය යුතු තැන සිටින්නේ 11 කි. 25 දෙනා 11 දක්වා අඩු වූ කාලය පුරාම අපට අලුතින් බඳවා ගැනීමට හැකිවූයේ එක් අයකු පමණකි. ඊට හේතු වූයේ ආචාර්යවරුන් බඳවා නොගන්නා ලෙස මහා භාණ්ඩාගාරයෙන් පනවා තිබූ තහනම් කිරීම් සහ සීමා කිරීම්ය.

අධ්‍යයනාංශයේ දැනට සිටින ඒ ගුරුවරුන් 11 දෙනා ළමයින් 660 කට පමණ ඉගැන්විය යුතුය. ඒ ඉගැන්වීම පාසල් පන්ති කාමරයක ඉගැන්වීමට සමාන නොවෙයි. විශ්වවිද්‍යාලයක රසායන විද්‍යාව වැනි පාඨමාලාවක ඉගැන්වීම් කෙරෙන්නේ පර් යේෂණ සමගය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛ අනුව ලංකාවේ ඕනෑම විශ්වවිද්‍යාලයක විද්‍යා පීඨයක සිටිය යුත්තේ ළමයින් 10 දෙනකුට එක ගුරුවරයෙකි. එහෙත් අපේ විශ්වවිද්‍යාලයේ අපේ විද්‍යා පීඨයේ අපේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් 660කට සිටින්නේ ගුරුවරුන් 11 කි. ඒ අනුව ළමයින් 60කට සිටින්නේ එක ගුරුවරයෙකි. පර් යේෂණ කරන ප්‍රථම උපාධි හදාරන දරුවන් සේම පශ්චාත් උපාධි හදාරන සිසුන්ද අධික්ෂණය කළ යුත්තේ ඒ ගුරුවරුන් 11 දෙනාය. පාසල්වලට විවිධ සේවා සැපයීම, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව වැනි තවත් බාහිර කටයුතු කළ යුත්තේද ඒ 11 දෙනාය. මට සරලව කිව හැක්කේ එක් ගුරුවරයකුට නිදාගැනීමට වේලාවක් නොලැබෙන තරමට වැඩ තිබෙන බවය.

අධ්‍යාපන, අධ්‍යයන සහ පර් යේෂණ කටයුතු එසේ පෙළ ගැසෙද්දී පරිපාලන හා කළමනාකරණ කටයුතුවලටද සෑහෙන කාලයක් කැප කිරීමට සිදුවෙයි. ඒ හේතු සියල්ල සහ ඒ හේතු මගින් ඇතිකරන පීඩනය නිසා පාඨමාලාවේ ගුණාත්මකභාවය පවත්වාගෙන යන්නට සහ නඩත්තු කරන්නට නොහැකි වෙයි. ඇතැම් විශ්වවිද්‍යාල ගුරුවරුන්ට අධ්‍යාපන, අධ්‍යයන සහ පර් යේෂණ කටයුතුවලට අමතරව ලියන මහත්වරුන් සේ විවිධ වාර්තා ලියන්නටද සිදුවෙයි. පර් යේෂණ රැසක් කර නව සොයා ගැනීම් සහ නවෝත්පාදන කරන විද්වතා හා පර් යේෂකයා කැමැති වන්නේ ඒ කටයුතු කිරීමට මිස ඊට අදාළ නොවන පරිපාලන වාර්තා ලිවීමට නොවේ. බොහෝ ගුරුවරුන් රට හැරයාමට ඒ තත්ත්වයද බලපා තිබෙන බව බොහෝ දෙනා නොකියති. නොදනිති.

පර් යේෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නැතිකම තවත් ප්‍රශ්නයකි. මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට කරන ඉල්ලීම් අදාළ මණ්ඩල ඔස්සේ ගොස් අනුමැතිය ලැබෙන්නේ අවුරුදු ගණනාවකට පසුවය. මුදල් ලැබුණත් මිලදී ගැනීම සඳහා තවත් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒ නිසා අවුරුදු දෙකකින් කළ හැකි පශ්චාත් උපාධියක් නිම කිරීමට අවුරුදු හතරක් පහක් ගතවෙයි. එවැනි ප්‍රශ්න නිසා අවශ්‍යම රසායනික ද්‍රව්‍ය නැතිනම් ඒ සඳහා වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන පර් යේෂණ කිරීමට ද සිදුවී තිබේ. ඇතැම් ආචාර්ය මහාචාර්යවරු තමන්ගේ පෞද්ගලික සම්බන්ධතා මත විදෙස් රටවලින්ද විවිධ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගනිති. එහෙත් කළ යුතු පර් යේෂණ කළ යුතු පිළිවෙළට කර ගැනීමට නොහැකි නිසා ඒ බොහෝ දෙනා සිටින්නේ බරපතළ කලකිරීම් මැදය. එහෙයින් නැතිවම බැරි ඒ මහාචාර්යවරුන්ද රට හැර යාමේ භයානක තත්ත්වයක් පවතියි.

පර් යේෂණ කරන ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන්ට පෞද්ගලික ජීවිතයක් ඇත්තේම නැත. ඔවුන් තම ජීවිත කාලයම කැප කරන්නේ පර් යේෂණ සඳහාය. නවෝත්පාදන සඳහාය. එහෙත් වගකිවයුතු තනතුරු දරන ඇතැම් දේශපාලකයන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පින්පඩිකාරයන් ගණනට දමා කරන කතා නිසාද බහුතරයක් සිටින්නේ දැඩි මානසික පීඩා මැදය. ඒ කිසිවෙක් එවැනි කතා ඇසිය යුතු අය නොවෙති. ඒ සියලු දෙනා ලංකාවේ ලබනවාට වඩා ඉහළ වැටුප් ලබමින් ඉහළ ජීවන තත්ත්වයකින් බටහිර දියුණු රටවල ජීවත්විය හැකි සහ පදිංචි විය හැකි විද්වතුන්ය. ඒ ඇතැමුන් ඒ සැප ජීවිත ගත කිරීමට හැකියාව තිබියදී ලංකාවට වී සැප අඩු ජීවිත ගත කරන්නේ රට කෙරෙහි තිබෙන ඇල්ම නිසාය. කළ යුත්තේ ඔවුන්ගේ ඒ කැප කිරීම් අගය කිරීමය. එහෙත් කරන්නේ අවලාද නැගීමය. නින්දා සහ අපහාස කිරීමය. ඒවා කරන්නේද සාමාන්‍ය මිනිසුන් නොව වගකිවයුතු තනතුරුධාරීන්ය. ඒ නිසා උගතුන් රට හැරයාමට බලපාන බොහෝ සාධක තිබෙන බව සමාජයේ කවුරුත් අවබෝධ කරගත යුතුය.

පර් යේෂණ සඳහා ඉල්ලා සිටින ප්‍රතිපාදන ලබාදීමට ලබාගන්නා කාලය අතිවිශාලය. අනුමැතිය ලබාදීම සඳහාම දිගුකාලයක් ගනියි. ඒ පරිපාලන යාන්ත්‍රණ කාර්යක්ෂම නැත. මා ඉදිරිපත් කළ පර් යේෂණ වාර්තාවකට ලක්ෂ 78ක ප්‍රතිපාදන ජාතික පර් යේෂණ සභාවෙන් අනුමත වූයේ 2014 දීය. එහෙත් ඒ ප්‍රතිපාදන අපට ලැබුණේ 2017 දීය. ඒ පර් යේෂණයට සහභාගි වන දරුවන්ගේ නම් පවා ඒ පර් යේෂණ වාර්තාවට ඇතුළත් කළ යුතුය. එසේ කළවිට ඒ දරුවන්ට වෙනත් තැනකට හෝ පිටරටකට හෝ යා නොහැකිය. පශ්චාත් උපාධි කරන වයසේ දරුවන් ආදායමක් නොලැබෙන ව්‍යාපෘතිවල රඳවාගත නොහැකිය. ඔවුන් රඳවා ගැනීමට අපට විවිධ දේ කිරීමට සිදුවෙයි. එහෙත් අරමුණු සියයට 100ක් ඉටු නොවෙයි. පර් යේෂණ සඳහා දෙන මුදල් අනුමත කිරීමට දිගු කාලයක් ගන්නා පරිපාලකයන්ට ඒ කිසිවක් ප්‍රශ්න නොවේ. එවැනි පරිපාලකයන් සිටීම රටේ ඉදිරි ගමනට බාධාවකි. ප්‍රතිපාදන අනුමත කළ දා සිට ප්‍රගති වාර්තා ඉල්ලයි. හැබැයි ඒ ප්‍රගති වාර්තා ඉල්ලන්නේ අවශ්‍ය මුදල් නිදහස් නොකරය. ඒ අපබ්‍රංසවලින් පීඩාවට පත්වීමට බොහෝ උගතුන් පර් යේෂකයන් කැමැති නැත. එහෙයින් ඔවුන් එවැනි හිරිහැර නැති රටවලට යාම සහේතුක මිස අහේතුක නොවේ. ඒ සියල්ල අවසානයේ බලපාන්නේ පාඨමාලාවල ගුණාත්මකභාවය ය. දැනට පවතින තත්ත්වය මෙලෙසින් දිග් ගැසුණොත් අනාගතය ඉතා භයානකය.

උගතුන් රට හැරයාමට ආසන්නතම හේතුව අසාධාරණ අයුක්ති සහගත සහ දරාගත නොහැකි බදු ය. පෞද්ගලිකව මා ද එහි ගොදුරකි. බදු ලෙස මගේ වැටුපෙන්ද රුපියල් 1,40,000ක් පමණ කැපෙයි. එහෙත් මේ බදු වැඩිවීමට පෙර මගේ වැටුපෙන් බදු ලෙස කැපුණේ රුපියල් 40,000 ක් තරම් ප්‍රමාණයකි. එය දරාගත හැකිය. දරාගත යුතුය. බදු ගෙවිය යුතුය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් දැන් බදු ලෙස අයකරගන්නා ප්‍රමාණය දරාගත නොහැකිය. එය දරාගත නොහැක්කේ පසුගිය කාලයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඩීසල්, පෙට්‍රල්, ගෑස්, විදුලි, ජල හා දුරකතන බිල් අධ්‍යාපන සහ සෞඛ්‍ය යනාදී සියලු වියදම් සියයට තුන් හාරසියකින් ඉහළ ගොස් තිබෙන නිසාය. වියදම් එසේ ඉහළ ගියාට වැටුප් හෝ ආදායම් ඉහළ ගියේ නැත. මා මේ කියන තත්ත්වයත් රටේ සියලු දෙනාට පොදුය. වියදම් ඉහළ ගොස් ආදායම් හා වැටුප් එලෙසම පැවතියදී බදු ඉහළ නැංවීම අසාධාරණය.

අනෙක දැන් බදු අය කරන්නේ මූලික වැටුපෙන් පමණක් නොවේ. අපේ අධ්‍යයනාංශවල කටයුතු පවත්වාගෙන යාමට අපට විවිධ සාකච්ඡා සඳහා රැස්වීම් පැවැත්වීමට සිදුවෙයි. ඒවාට සහභාගිවන අයට සංග්‍රහ කිරීම සඳහා සුළු මුදලක් ලැබෙයි. ඒ මුදල වැයවන්නේ ඒ සංග්‍රහ සඳහාමය. එහෙත් දැන් ඒ දීමනාවෙන්ද බදු අය කරයි. කාර්යාල දුරකතනයට යම් මුදලක් ඇතුළත් කර එයටද බදු අය කරයි. නිල නිවාසවල සිටිනවාටද බදු අය කරයි. ඒ නිල නිවාස නඩත්තු කරන්නේත් ඒවායේ ජල හා විදුලි බිල් ගෙවන්නෙත් අපමය. එසේ තිබියදීත් ඒවායේ සිටිනවාටත් බදු අය කරයි. නිවාස කුලියක්ද වෙනම අය කරයි. මේ තත්ත්වයන් නිසා ඇතැම් ආචාර්යවරු දැන් නිල නිවාස පාවිච්චි නොකර කුලී නිවාසවල සිටිති. ඒ නිසා දැන් ඒ නිල නිවාස බොහොමයක් පාළුවට ගොසිනි. නිල රථ දී තිබෙන අයගෙන් ඒ වාහන සඳහාද බදු අය කරයි.

ආචාර්යවරුන් හැටියට අප නිතර පර් යේෂණ කළ යුතුය. ප්‍රකාශන කළ යුතුය. ඒවාටද සුළු දීමනාවක් ලැබෙයි. ඒ දීමනාවෙන්ද බදු අය කරයි. පශ්චාත් උපාධිධාරීන්ගේ නිබන්ධන බලනවාට එක නිබන්ධනයකට ගෙවන්නේ රුපියල් 1000 කි. ඒ රුපියල් 1000නුත් සියයට 36ක් බදු ලෙස අය කරයි. පශ්චාත් උපාධි ආයතනයේ ඉගැන්වීම් කටයුතු සඳහා ආචාර්යවරුන් සොයා ගැනීමද දුෂ්කරව පවතියි. පශ්චාත් උපාධි නිබන්ධනයක් තත්ත්වාකාරයෙන් පරීක්ෂා කරනවාට මාසයක් පමණ කාලයක් ගතවෙයි. ඒ මාසයටම ලැබෙන්නේ රුපියල් 1000කි. ඒ 1000න් 400ක් බදු ලෙස කපා ගනියි. එවිට අතට ලැබෙන්නේ රුපියල් 600කි. එහෙත් දැන් කුලී වැඩ කරන පුද්ගලයකුටත් දිනකට රුපියල් 2,500 සිට 3,000 අතර මුදලක් ගෙවයි. මා මේ තොරතුරු සඳහන් කළේ රටේ උගතුන්ට කෙතරම් නිහීන ලෙස සලකනවාද යන්න තේරුම් ගැනීම සඳහාය.

උගත් දක්ෂයන්ට දියුණු රටවලින් එන්නැයි අත වනන සහ ඒ රටවලට ගොස් මීට වඩා කරදර හිරිහැර අඩු සැපවත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හැකියාව, කැමැත්ත සහ වුවමනාව තිබෙන අය මේ නිහීන සැලකිලි දරා ගැනීමට කැමැති නැත. යම් පිරිසක් එය දරාගෙන සිටින්නේ රට ගැන තියෙන හැඟීම සහ පවුල් සමග තිබෙන බැඳීම් නිසාය. එහෙත් ඒ දරා ගැනීම්වල ද සීමාවක් පවතියි. සීමාව ඉක්මවා ගිය තැන ඒ පිරිසද රටෙන් පිටවෙති. එදාට ලංකාවේ විශ්වවිද්‍යාලවලට දැනට ලෝකයේ තිබෙන තැන සහ පිළිගැනීම් ද සුණුවිසුණු වී යනු නිසැකය.

 

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)