තුන්වැනි ලෝකයේ සෑම රටකම මහා ව්‍යාධියක් ලෙස පැතිර පවත්නා දුප්පත්කම විසින් ලෝකයට දායාද කරන ලද අතුරුඵල රාශියකි. ඉන් පළමුවැන්න ආහාර හිඟය සහ මන්දපෝෂණයයි. මේ වන විට ශ්‍රී ලංකාවේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763ක් සිටන බව සමීක්ෂණයකින් හඳුනාගෙන ඇතැයි පසුගියදා වාර්තා කළේ මෙරට පවුල් සෞඛ්‍ය කාර්යාංශයයි.
අපේ අනාගත පරපුර මේ ආකාරයට අනතුරකට ලක්වීම මහා ඛේදවාචකයක පෙර නිමිත්තක් බව නොකියා බැරිය. රටේ දැයේ අනාගතය බාරගන්නට සිටින දරුවන් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි නම් රටේ ජාතියේ අනාගත චිත්‍ර ගැන සැක සංකා ඇතිවීම ස්වාභාවිකය.
ළමා මන්දපෝෂණය ගැන පර් යේෂණ පැවැත් වූ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළ තොරතුරු අනුව ළමා මන්දපෝෂණය උග්‍රව ඇත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙනි. අධික ජන ගණත්වයක් ඇති කොළඹ නාගරික බල ප්‍රදේශයේ බහුතර දරුවන් මන්දපෝෂණයෙන් පෙළීමට හේතු ගණනාවක් හඳුනාගත හැකිය. නාගරික දුප්පත්කම, මූලික සෞඛ්‍ය හුරුපුරුදුකම් ගැන ඇති නොදැනුවත්කම, දෙමව්පියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අධ්‍යාපනයේ ඌනතා ආදිය මෙහිදී ඉදිරිපත් වන ප්‍රධාන හේතු හා සාධකය.
මෙකී සමීක්ෂණ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කරන විට සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබෙන වගය. එසේම මන්දපෝෂණය සහිත අඩු බර දරු උපත් විශාල ගණක් නිතිපතා සිදුවන බවද පවුල් සෞඛ්‍ය කාර්යාංශ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය වසරේ සියයට 15.3 ක් ලෙස පැමිණි අඩු බර දරුවන් සංඛ්‍යාව මෙම වසරේදී සියයට 17ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.
අඩු බර දරුවන් සේම අඩු බර දරු උපත් ගණනද ඉහළ ගොසිනි. 2022 වසරේ සියයට 14.5%ක් වූ අඩු බර දරුවන් ගණන මේ වසරේ සියයට 15ක් දක්වා වර්ධනය වී තිබේ. දරුවන්ගේ පමණක් නොව අඩු බර සහිත දෙමව්පියන්ද නාගරික බල ප්‍රදේශයේ වාසය කරන බවත් එම දෙමව්පියන් රක්තහීනතාව (ලේ අඩුකම) වැනි පෝෂණය සම්බන්ධ රෝගාබාධවලින් පීඩා විඳින්නන් වගත් දැක්වෙයි.
අගනුවර මන්දපෝෂණය වර්ධනයට සාපේක්ෂව ප්‍රාදේශීය වශයෙන් ද මෙම තත්ත්වය දක්නට ලැබෙයි. මෙරට පවුල් ලක්ෂ 47ක් පමණ සමෘද්ධි අස්වැසුම හෝ වෙනත් සහනාධාර ක්‍රමයකින් ජීවිකාව නෙ යයි. ඒ බොහෝ දෙනාගේ ආදායම් මට්ටම අනුව ඔවුනු සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළම මට්ටමේය. එවන් පවුල්වල වැඩිහිටියෝත් මෙන්ම දරුවෝත් මන්දපෝෂණයේ ගොදුරු බවට පත්ව සිටිති.
පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හා කෝරෝනා වසංගතය නිසාද රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය ඔඩු දිව්වේය. විශේෂයෙන් ජනතාවට පෝෂ්‍යදායි ආහාර සපයා ගැනීම දුෂ්කර තත්ත්වයට පත්ව ඇත. මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය එක්ව පැවැත්වූ ලෝක ව්‍යාප්ත සමීක්ෂණයේදී අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 55ක් හෙවත් ලක්ෂ 123ක් පමණ ක්ෂේත්‍ර ගණනාවකින් බරපතළ අවදානමකට ලක්ව සිටින වගය.
මෙම ජන සංඛ්‍යාවෙන් ලක්ෂ 60ක් පමණ දැඩි ආහාර අනාරක්ෂිත බවකින් පෙළෙන්නේ යැයි ද අදාළ වාර්තාව කියයි. මෙලෙස ආහාර අනාරක්ෂිතතාවට ආර්ථිකමය වශයෙන් රට තුළ පවතින අධික උද්ධමනකාරී තත්ත්වය ද බලපා තිබේ. පුත්තලම දිස්ත්‍රික්කය ලංකාවේ ආහාර අවදානම අධික දිස්ත්‍රික්කය බව ඔක්ස්ෆර්ඩ් වාර්තාව පවසයි. එහි ප්‍රතිශතය සියයට 71.8ක් මඩකපුව, නුවරඑළිය, වව්නියාව, කිලිනොච්චි, අම්පාර දිස්ත්‍රික්කයන්ද ආහාර අවදානම සහිත සෙසු දිස්ත්‍රික්කයෝය. මෙම ප්‍රදේශවල අවදානම සියයට 63කි. ඒ අතර ආහාර හා සෙසු අවදානම් අඩුම දිස්ත්‍රික්කය ලෙස ඔක්ස්ෆර්ඩ් වාර්තාව පෙන්වා දෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයයි. එහි අවදානම් ප්‍රතිශතය සියයට 41.5කි.
විශේෂයෙන් ආහාර අනාරක්ෂිත බව මන්දපෝෂණය අඩු බර දරු උපත් ආදිය වැඩිපුර වාර්තා වන්නේ ග්‍රාමීය ප්‍රාදේශවලිනි. ග්‍රාමිය ණයගැති භාවය හා දුප්පත්කම විසින් මෙම තත්ත්වය නිර්මාණය කරන ලද බව කීම වඩාත් නිවැරැදිය. ආහාරපාන සපයා ැනීම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම හා අධ්‍යයන අවශ්‍යතා ඉටුකර ගැනීම යන හේතු සඳහා ණය වී සිටින්නන් සංඛ්‍යාව සියයට 33.4කි. එසේම පිරිසුදු පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින්නන් සංඛ්‍යාත්මකව ගත් කළ රටේ සමස්ත ජනහනයෙන් සියයට 35.6ක් නියෝජනය කරන වග ඔක්ස්ෆර්ඩ් සමීක්ෂණ වාර්තාව වැඩිදුරටත් කියයි. මන්දපෝෂණය සෘජුව සමාජයට දැනෙන පෙනෙන ප්‍රශ්නයක් නොවේ.
එහෙත් දරුවන් අතර පැතිර පවත්නා උග්‍ර මන්දපෝෂණ තත්ත්වයට වහා පිළියම් යෙදීම අත්‍යවශ්‍ය කරුණකි. දරු පරපුරට රටේ අනාගතය බාර දෙන්නට සුදානමින් කල් බලන වැඩිහිටි පරපුරටත් වඩා මේ අර්බුදයට විසඳුම් ලබාදිය හැක්කේ රාජ්‍ය ප්‍රතිපත්තිසමය තීරණ මගිනි. ඒ සඳහා ප්‍රතිපත්ති හා සැලසුම් කොපමණ තිබුණත් ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. වගකීමකි. නොඑසේනම් මන්දපෝෂණය ගැන කතා සාප්පු පැවැත්වීමෙන් පමණක් මෙම උග්‍ර සමාජ අර්බුදය නොවිසඳෙන බව සඳහන් කරනු වටී.
(***)