(තරිඳු ජයවර්ධන)
සහ
(බිඟුන් මේනක ගමගේ)
රෝහිනී ගංගාවේ ජල ගැටලුව නිසා ඇති වන්නට ගිය මහා විනාශය එදා බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් වැළකී ගියද ගම්පහ රතුපස්වල ‘ජලයෙන්‘ උපන් අරගලය’ විසඳීමට කිසිවකු සිටියේ නැත. ගම්පහ උඩුගම්පොල පේඩිපොල නම් ප‍්‍රදේශයේ දැන් ඇවිලෙමින් ඇත්තේ එවැනිම අරගලයකි. ඒ අරගලය ද ජලය වෙනුවෙනි. ජලය ගැන සොයා බැලිය යුතු රාජ්‍ය ආයතන කොතෙකුත් තිබුණ ද අනෙක් සිදුවීම්වලදී මෙන්ම මෙම සිදුවීමේදී ද එම ආයතන ප‍්‍රමාණවත් මැදිහත්වීමක් නොකරන බව බැලූ බැල්මට පෙනී යයි.
ගම්පහ නගරයේ සිට මිනුවන්ගොඩ පාරේ ගොස් උඩුගම්පොල මංසන්ධියෙන් දකුණට ඇති දිවුලපිටි පාරේ කිලෝමීටරයක් ගිය තැන පේඩිපොල ප‍්‍රදේශය හමුවෙයි. ජලය ගැන කියමින් මාර්ගය වසාගෙන දැවැන්ත උද්ඝෝෂණයක් මේ වසරේ මුල සිදුකළේ මෙම ප‍්‍රදේශවාසීන්ය.
‘ළිඳ කපලා අවුරුදු 10ක් විතර වෙනවා. මෙච්චර කාලෙකට වතුර හිඳිලා නෑ. පහුගිය පෑවිල්ලට වතුර හිඳිලම ගියා. දැන් මෙච්චර වැහැලත් තවම ළිඳේ වතුර අඩුයි. වෙනදා මේවගේ වහිද්දී සෑහෙන්න වතුර පිරෙනවා.’ පේඩිපොල පදිංචි කේ පී කේමාවතී කීවාය. කේමාවතීගේ සැමියා ‘ළිඳ බඹ හතක් විතර ගැඹුරුයි. කවදාවත් නැතිව අපට පහුගිය කාලේ පිටින් වතුර ගේන්න වුණා. මෙච්චර කාලෙකට නැතිව එකපාර වතුර අඩු වුණේ නල ළිං නිසා කියලයි අපි සැක කරන්නේ.’ පොඩි අප්පුහාමි කීවේය.
ගම්වාසීන්ට අනුව කතාව මෙසේය.
උඩුගම්පොල පේඩිපොල යනු අතීතයේ සිටම සශ‍්‍රීක ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශයට නල ජල සම්බන්ධතාවක් හෝ නැත. ඊට හේතුව කිසිම දිනක ජලය හිඟ නොවන බැවිනි. මහා පෑවිලිවලට ද ගම්මානයේ ළිංවල ජලය සිදෙන්නේ නැත.
දේශපාලනය පැත්තෙන් ගත් විට මෙම ප‍්‍රදේශයේ වැඩිපුරම සිටින්නේ ‘රණතුංග පවුලේ’ උදවියට ඡන්දය දුන් ජනතාවය.
කරුණු මෙසේ වෙද්දී සාමකාමීව පැවැති ගම ගිනියම් වෙන්නට පටන් ගන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට ඇරුඹුණු වැහි රහිත කාලගුණත් සමඟය.
‘‘මේ ගමේ තිබ්බා ඉඩමක්. ඕකට කෙටියෙන්ම කිව්වේ මඩවල කියලයි. වැහි කාලෙට මේ ඉඩමේ උල්දිය වගේ තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති මඩවල කියන්නේ.’’ ගම්වාසියෙක් කතාවට මුල පිරුවේය.
‘‘මේ ඉඩමේ වතුර බෝතල් කර විකුණන ආයතනයක් දැම්මා. මෙය කලින් තිබුණේ වෙන තැනක. ඉස්සර කළේ පිටින් වතුර ගෙනත් බෝතල් කළ එකයි. ඉන් පසු එතන ඔවුන් නල ළිඳක් හදා වතුර ගන්න පටන් ගත්තා. ආයතනය මෙතනට ගෙනාවට පස්සේ මෙතනත් නල ළිඳක් ගහලා වතුර ගන්න පටන් ගත්තා. ටික දවසක් යද්දී ඒ ළඟම ඉන්න අශෝකා ප‍්‍රියන්තිගේ ළිඳේ වතුර වුණා. කිසිම දවසක මෙහෙම වෙලා නැති නිසා ඒ ගොල්ලොත් කලබල වෙලා බැලූවා ඇයි කියලා.
ඉන් පසු පසුගිය කාලයේ පෑවුම පටන් ගනිද්දිම අවට අනිත් ළිංවලත් වතුර අඩු වෙන්න පටන් ගත්තා. ඒ සමඟම ග‍්‍රාම නිලධාරී, ප‍්‍රාදේශීය ලේකම්, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිසිය, ජල සම්පත් මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවහනය, භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යංශය, ආදී ආයතන රැසකට දැනුම් දුන්නා. ජනාධිපති, අගමැති ඇතුළු දේශපාලන අධිකාරියටත් ලිව්වා. නමුත් කිසිම තැනකින් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ. ටික දවසක් යද්දි බොහෝ ළිංවල වතුර හිඳිලම ගියා.‘‘ යැයි ඔහු කීවේය.
සාගරිකා ලසන්ති මහත්මියගේ පදිංචිය ද පේඩිපොලය. කිසිදා නොසිඳෙන ඇගේ නිවසේ ළිඳද මෙවර සිඳී ගිය බව ඇය කීවාය.
‘‘මීට පෙර කවදාවත් වතුර නැතිව යන්නේ නෑ. මේ පාර වතුර නැතිව ගියා. අන්තිමට අපිට පිටින් වතුර ගේන්න වුණා. නාගන්න තැන තැන යන්න වුණා.’’ සාගරිකා කීවාය.
‘‘මේ ප‍්‍රශ්නය ගැන රජයේ හැම තැනකටම වගේ ලිව්වා. හැබැයි කිසිම ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ.’’ යැයි කියමින් කතාවට මුල පිරුවේ ප‍්‍රසන්න රෝහණ මහතාය.
‘‘ප‍්‍රාදේශීය ලේකම්ට පවා කිව්වා. නමුත් ප‍්‍රතිචාරයක් හම්බුණේ නෑ. ආයතනවලින් කළේ බෝලේ පාස් කළ එක විතරයි. පේඩිපොල කවදාවත් වතුර නැති වෙලා නෑ. මේ පාර ගමේ බොහෝ දෙනකුට වතුර නැතිවුණා. අපි ඉල්ලන්නේ මේ ආයතනයේ නලළිං මගින් වතුර ගන්න එක නවත්වන්න කියලයි. පිටින් වතුර ගෙනත් බෝතල් කළාට අපට ප‍්‍රශ්නයක් නෑ. අපි සැක කරන්නේ නලළිං ගහලා වතුර ගත්ත නිසා තමයි අවට ළිංවල වතුර නැති වුණේ කියලයි.’’ ඔහු කීවේය.
ගම්වාසීන් ආයතනවලින් ඉල්ලා ඇත්තේ අංක 219 ස්ථානයේ ඇති නලළිද පරික්ෂා කරන ලෙස වුවත් මධ්‍යම පරිසර අධිකාරිය එවූ ලිපියක සඳහන් වන්නේ අංක 215 නම් ස්ථානයක් ගැනයි. ගම්වාසීන් චෝදනා කරනුයේ තම පැමිණිල්ලට අදාළ ස්ථානය ආයතන පරීක්ෂා නොකළ බවයි.
මේ අතර භූගත ජලය වැඩිමනක් උකහා ගැනීමෙන් සිදුවන පරිසර හානි ගැන ප‍්‍රදේශවාසියකු වන ජයන්ත ධර්මසිරි මහතා ජල සම්පත් මණ්ඩලයෙන් ලිඛිතව කරුණු විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස ලැබුණු ලිපියේ ජල සම්පත් මණ්ඩලය මෙසේ සඳහන් කර තිබේ.
‘පොම්ප කරනු ලබන ළිංවල ජල මට්ටම සීඝ‍්‍ර ලෙස පහළ බැසීම නිසා ළිං සි`දී යාම ද ඒ සමගම අවට ළිං සිඳී යාමද සිදු විය හැකිය.’
‘2017 වර්ෂයේ දී බලපෑ විලි කාලගුණික තත්ත්වය යටතේ විවිධ ආයතන භුගත ජලය වැඩිමනක් උකහා ගැනීම් සිදු කරීම නිසා අවට ළිං සිඳී ගොස් ජනතාවට බීමට පවා ජලය ලබා ගැනීමට නොහැකි වූ අවස්තා වාර්තා විය.’
ගම්වාසියකු වන අනුර කුමාරසිංහ මහතා කීවේ පසුගිය පෑවිල්ලට ළිදේ වතුර කඳුළක්වත් නොතිබුණු බවයි. ඒ මහතා ප‍්‍රකාශ කළේ ද මින් පෙර කිසි දිනෙක මෙලෙස ළිං සිඳී ගොස් නොමැති බවයි.
නල ළිං සම්බන්ධයෙන් 2017 මාර්තු 16 වැනි දා වාර්මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා නිකුත් කළ 2010/23 අංකයෙන් යුත් අති විශේෂ ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. එහි දෙවැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි.
‘‘නල ළිං ඉදිකිරීම ජල සම්පත් මණ්ඩලය විසින් ලබා දෙනු ලබන උපදෙස් අනුව සිදු කළ යුතු අතර පරිසරයට හානි නොවන පරිදි එයින් ලබා ගත හැකි ජල ප‍්‍රමාණය නිවැරදි ලෙස තක්සේරු කිරීම ජල සම්පත් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදු කර ඊට අදාළ අනුමැතිය ලබා ගත යුතුය. ඒ අනුව දිනකදී ලබා ගන්නා ජල ප‍්‍රමාණය මැනීම සඳහා අදාළ ආයතනය විසින්ම ජල මනු සවි කිරීම සිදු කළ යුතු අතර දෛනිකව ලබා ගන්නා ජල ප‍්‍රමාණය පිළිබඳ දත්ත නඩත්තු කිරීම කළ යුතුය. අවශ්‍ය අවස්ථාවන්හිදී පරීක්ෂා කිරීම සඳහා මෙය ඉදිරිපත් කිරීමට අදාළ ආයතනය බැඳී සිටියි.’’
එම ගැසට්ටුවේ පස් වැනි වගන්තිය මෙසේය.
‘‘ස්වාභාවික ජල උල්පතක් හෝ භූගත ජලය උපයෝගී කර ගනිමින් නිෂ්පාදන හෝ සේවා කටයුතු සිදු කරනු ලබන ආයතන හෝ ස්ථාන පූර්ව දැනුම් දීමක් සහිතව හෝ රහිතව දවසේ කුමන හෝ සාධාරණ කාලයන්හි දී එකී නිෂ්පාදන හෝ සේවා ස්ථානවලට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අයිතිය ජල සම්පත් මණ්ඩලය සතුය.’’
ගැසට්ටුවේ එසේ සඳහන් වූවත් මෙය ප‍්‍රායෝගිකව සිදු නොවන බවට හොඳම උදාහරණය පේඩිපොල ගම්මානයයි. නල ළිං මගින් ලබා ගන්නා ජලය බෝතල් කර විකිණීමේ ව්‍යාපාරයක් නිසා ප‍්‍රදේශයේ ළිං ජලය සිඳී ගොස් ඇති බවට ගම්වාසීන් කෙතරම් පැමිණිලි කළත් තවමත් ජල සම්පත් මණ්ඩලය පැමිණ සිය පරීක්ෂණ සිදු කර නැත.
එමෙන්ම තම ආයතනයේ පරීක්ෂණයක් සිදු කරන ලෙස අදාළ ආයතනය ද මුදල් බැඳ ඇතත් තවමත් ජල සම්පත් මණ්ඩලය පැමිණ පරීක්ෂා කර නැත.
ජලය නිසා උපන් අරගලය ගැන කතා කරන රතුපස්වල ගම්වාසීන් නිතර කියන කාරණයක් ඇත.
‘‘රතුපස්වල ප‍්‍රශ්නය මෙච්චර දුර දිග ගියේ දේශපාලන අධිකාරියෙන් නිසි මැදිහත් වීමක් නොවුණු නිසයි. ඒ වගේම අවුරුදු ගණනක් තිස්සේ මිනිස්සු අදාළ ආයතනවලට පැමිණිලි කළා. ඔවුන් ගණන් ගත්තේවත් නෑ. හැමෝගෙම ඇස් ඇරුණේ තුන් දෙනෙක් මරලා දැම්මට පස්සෙයි.’’ ඒ රතුපස්වල ගම්වාසීන් නිතර කියනා කතාවයි.
උඩුගම්පොළ පේඩිපොල ගැන තවත් කොතෙකුත් කාරණා කියන්නට තිබේ. දේශපාලන අධිකාරියට සහ රාජ්‍ය ආයතනවලට ලියූ ලිපි ෆයිල් පිටින් ගම්මුන් සතුව තිබේ. අප පේඩිපොලට ගිය විට ඒවා එකිනෙක දිග හැර ගම්මු සිය දුක්ගැනවිලි කීහ.
එකක් පැහැදිලිය. ගම්මුන් චෝදනා කරන කම්හල නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ පසුගිය කාලයේ ඇතැම් ළිංවල වතුර කඳුලක් නැතිව සිඳී ගියේය. ඊට හේතුවක් තිබිය යුතුය. ඒ හේතුව සොයා ගැනීමට අපේ නිලධාරීන් තවමත් අපහොසත්ව ඇත්තේ තාක්ෂණයේ දෝෂයක් නිසා නම් නොවේ. ඇත්තටම සිදුවී ඇත්තේ සුපුරුදු පරිදි ‘බෝලය පාස් කිරිම’ පමණි.
අශ්වයා ගිය පසු ඉස්තාලය වසා පළක් නැත. අශ්වයා පැන යෑමට පෙර ඉස්තාලය වැසිය යතුය. උඩුගම්පොල පේඩිපොල ගම්මානය තවත් රතුපස්වලක් ලෙස ඉතිහාස පොතට එකු වීමට ඉඩ නොදීම දේශපාලන අධිකාරියේ මෙන්ම වගකිව යුතු රාජ්‍ය ආයතනවල ද වගකීමකි.
අදාළ ආයතන ඒ සඳහා අදම මැදිහත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පේඩිපොල ජනතාවගේ බලාපොරොත්තුව ද එයයි.
පරිසර අධිකාරියේ නිර්දේශ සහ ප‍්‍රාදේශීය සභාවෙන් අවසර අරගෙන ඉදි කිරීම් සිදු කරන්න පටන් ගත්තා. 2015 දී විශේෂඥයන්ට කියා තැන බලලා ඞීප් වෙල් එකක් ගැහුවා.2017 ජනවාරි මාසේ පෑවිල්ල ආවා. ඉන් පස්සේ මිනිස්සු කියන්න ගත්තා මෙතන නල ළිං ගොඩක් තියෙනවා ඒක නිසා ළිංවල වතුර අඩු වෙනවා කියලා. මිනිස්සු මේකට විරුද්ධව විවිධ දේවල් කරන්න ගත්තා. ඇත්තටම ඞීප්වෙල් එකයි අපි ගැහුවේ. මිනිස්සු කියපු කතා බොරු.
මම පොලිසියට, ප‍්‍රදේශීය ලේකම්ට සහ අදාළ බලධාරීන්ට මෙන්ම ගමේ මිනිසුස්සුන්ටත් විවෘත ආරාධනාවක් කළා ඇවිත් පරීක්ෂා කර බලන්න කියලා. හැබැයි සමහරු දැන්වීම් ගසා තිබුණා එතනට යන්න එපා කියලා. පොලිසිය, ප‍්‍රදේශීය ලේකම් නියෝජනය කරමින් ග‍්‍රාම නිලධාරිවරයෙක් වගේම අනෙකුත් ආයතනවල පිරිස් ආවා. ප‍්‍රදේශවාසීන් කිහිප දෙනකුත් ඇවිත් හිටියා. අපි පැය 24 ටෙස්ට් එකක් කළා. එතැනදි ඔප්පු වුණා ළිංවල වතුර නැතිව යෑම සහ මේ ආයතනය අතර සම්බන්ධයක් නැති බව. ඞීප්වෙල් එකෙන් වතුර ගන්න ගමන් අවට ළිං පරික්ෂා කළා. නමුත් වතුර අඩුවීමක් වුණේ නෑ.
අවශ්‍ය සියලූ නිර්දේශ අරගෙනයි මම මේක කරගෙන යන්නේ. තවමත් ෆැක්ටරිය හදන ගමන්. මෙතන ගහලා තියෙන්නේ එක නල ළිඳයි. මේ නිසා ළිංවල වතුර අඩු වෙලා නෑ.
මම ඕනෑම කෙනකුට විවෘත ආරාධනාවක් කරනවා ඇවිත් බලන්න කියලා. ඕනෑ කෙනකුට පුළුවන් ඇවිත් බලලා ඇත්ත නැත්ත තේරුම් ගන්න.’
ප‍්‍රශ්නය - ජල සම්පත් මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තියෙනවද?
පිළිතුර - තවම කරලා නෑ. පරීක්ෂණයක් කරන්න අපි සල්ලි බැඳලා තිබෙනවා.
නොමිලයේ වතුර බෙදූ ජී පී ගුණවර්ධන
‘‘මේ ප‍්‍රදේශයේ ළිං රැසක වතුර නැතව ගියා. අපේ අවුරුදු 200ක් පමණ පැරණි ළිඳක් තිබෙනවා. ඒ ළිඳේ වතුරත් වෙනදාට වඩා අඩු වුණාට හිඳුනේ නෑ. ඒ නිසා ලොකු ටැංකියක් ගහලා ගමේ මිනිස්සුන්ට වතුර දෙන්න කියලා මම කිව්වා. මම ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලයි ඉන්නේ. ටැංකිය පුරවද්දී ළිඳේ වතුර මට්ටම බලන්න (වතුර අඩු නම් හුළං අදින නිසා) කෙනෙක් දැම්මා. පෑවිල්ල වැඩි වෙද්දි අපේ ළිඳෙත් වතුර ගොඩක් අඩු වුණා. ලීටර 50ක්වත් ටැංකියට ගහන්න බැරි වුණා. හැබැයි ගහන ටික මිනිස්සුන්ට දුන්නා. මම ඉඩමක් ගන්න බලං හිටපු නිසා මම ගමේ මිනිස්සුන්ට අවුස්සනවා කියන කතාව සම්පූර්ණ බොරු. ප‍්‍රශ්නය තියෙනවා කියන ෆැක්ටරියේ හිමිකරු මාත් එක්ක ප‍්‍රශ්නයක් නැහැ. හමුවුණාම කතා කරනවා. ගමම මං ගැන දන්නවා.’’