උත්තරීතර ආයතනයක විගඩම් සහ නාඩගම්


පාර්ලිමේන්තුව ඊයේ රැස්වීමෙන් පසු ඇති වූ කලහකාරී, ප්‍රචණ්ඩ හා ජුගුප්සාජනක තත්ත්වය හේතුවෙන් අද පස්වරු 1.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක කරු ජයසූරිය මහතාට සිදුවිය. පාර්ලිමේන්තුව තුළ ඊයේ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක් ඊට පෙරදා ද වාර්තා විය.

පාර්ලිමේන්තුවේ ඊයේ රැස්වීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළ අතර එය නිමවීමත් සමඟම එම ප්‍රකාශය විශ්වාස නොකරන බව පවසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් බවට පත්වූයේ ඒ සමඟය. ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මහජන නියෝජිතයෝ සභා ගර්භය මැදට පැමිණ වාග් හරඹයක යෙදුණාහ. කතානායක කරු ජයසූරිය මහතා දෙසට යම් යම් ද්‍රව්‍යවලින් පහර එල්ල කෙරුණු බව ද දිස් විය. ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ලේ ගලන තුවාලයක් ද සමගින් රෝහල් ගත කිරීමට සිදුවිය. ඇතැම් මහජන නියෝජිතයන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් ද දක්නට ලැබිණි.

රට තුළ බරපතළ දේශපාලන අර්බුද සුළියක් නිර්මාණය වී තිබේ. දවසින් දවස එම අර්බුද ආවාටයේ මුව තව තවත් පළල් වන බවද පෙනේ. සාක්ෂරතාවෙන් ලොව ඉහළ අංකයක් හිමිකර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙම අර්බුදය හමුවේ ලොව ඉදිරිපිට මවමින් සිටින චිත්‍රය රටේ ප්‍රතිරූපයට කිසිසේත්ම යහපත් නැත. මෙම අර්බුදය විසඳීමට ඇති වඩාත් වැදගත්ම ස්ථානය වන පාර්ලිමේන්තුව තුළින් විද්‍යමාන වන අජූත තත්ත්වය බල වියරුවත්, මෝහයත් මනාව ප්‍රදර්ශනය කරවන්නක් මිස අන් යමක් නොවන බව ඒකාන්ත සත්‍යයකි.

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ මෙන්ම නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මූල්‍ය පාලනය සම්බන්ධ අනුල්ලංඝනීය වගකීම ඇති හෙයින් පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය වේ. එසේ නොමැතිව දියවන්නාව මැද ඉදිවූ මහා ප්‍රතාපවත් ගොඩනැගිලි සංකීර්ණය නිසා නොවේ. රටේ මූලිකම නීතියවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පණ පොවන වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටය. කෝටි දෙකකට වැඩි මෙරට ජනයාගේ පරමාධිපත්‍යයේ බලය නියෝජනය වන්නේ එම පාර්ලිමේන්තුවටය. එම පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මහජන නියෝජිතයන් වෙතින් බරසාර ආදර්ශ ප්‍රදර්ශනය විය යුත්තේ එහෙයිනි.

කරුණු කාරණා එපරිදි වූවද රටේ පාර්ලිමේන්තුවෙන් ප්‍රදර්ශනය වන්නේ එම වගකීමට උචිත ඔබින හැසිරීමක් නොවේ. මුළු රටේම සිටින මදාවියන්, මංකොල්ලකාරයන්, චෞර කප්පිත්තන් ගෙන් පිරීගිය තිප්පොළක් බවට පාර්ලිමේන්තුව පත්වී ඇතැයි සැක සිතෙන තරමට තත්ත්වය භයානකය. අංගපුලාවක් නැති කඩප්පුලියන් මෙන් හැසිරෙන මහජන නියෝජිතයන්ට මේ රටේ ඉරණම ජනතාවට වාසිදායක ලෙස විසඳීමේ හැකියාවක් වේද?
බලය කොහොමත් දූෂිතය. වැඩි බලය කොහොමත් දූෂිතය. කොමිස් ගැහිලි, ටෙන්ඩර් යටි මගඩි, බැඳුම්කර වංචා ආදී කී නොකී දේවල් ද මොවුන් අතින් සිදුවේ. දේශපාලනය විසින් රටට උගන්වා ඇති එකම පාඩම එයය. එහෙයින් මෙම තත්ත්වය තේරුම් ගත යුත්තේ එයට යටත්වය. රටකට නීතියක් තිබිය යුතුය. පාර්ලිමේන්තුවට ද එය එසේමය.

පාර්ලිමේන්තුවට නීති පද්ධතියක් තිබෙන්නා සේම ස්ථාවර නියෝග ද, සම්ප්‍රදායන් ද තිබේ. පාර්ලිමේන්තුවට තේරී පත්වන ගරු කටයුතු මහජන නියෝජිතයන්ට මෙම තත්ත්වයන්ට ගරු කරමින් හා යමක් වෙමින් කටයුතු කිරීමේ විනය තිබිය යුතුය.

විනය නැති තැන කොඩිවිනය බවට කියමනකි. අද පාර්ලිමේන්තුවෙන් ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ එම කොඩිවිනය විනා අන් යමක් නොවේ. ශිෂ්ටත්වය වෙනුවට අශිෂ්ටත්වය වෙතත්, ශීලාචාරභාවයේ සිට අශීලාචාර තත්ත්වයටත් වේගයෙන් පසුබසින තත්ත්වයක් පාර්ලිමේන්තුවෙන් ප්‍රදර්ශනය වෙමින් තිබේ. විරෝදාර රණවිරුවන් ඇස්, ඉස්, මස්, ලේ හා ජීවිත පූජා කරමින් මේ රට කොටි ත්‍රස්තවාදයේ සැහැසි ග්‍රහණයෙන් මුදා ගනු ලැබූවේ දේශපාලන පිසාචයන්ට මෙයාකාරයෙන් පිස්සු නැටීමට නොවේ.

පාර්ලිමේන්තුවේ රූප රාමු ලොව පුරා පැතිරී ගියවිට අප රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මතය කුමක් විය හැකිද? මේ රටේ මිනිසුන් පුනරුත්ථාපනය කළ යුතු මිනිසුන් යැයි ජාත්‍යන්තරය කල්පනා කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමතියක් ඇති කර ගත යුතු නැත.

මේ මහා අවමානයෙන් රට මුදාගැනීමේ අන්තිම පැය එළැඹ තිබේ.