මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුවෙමු.
මැතිවරණයකදී දේශපාලන පක්ෂයක් දිස්ත්‍රික්ක පදනමින් වැඩිම ආසන ගණනක් (120) දිනා ගැනීම, වැඩිම ප්‍රසාද ආසන ගණනක් (22ක් 21ක්) දිනා ගැනීම, වැඩිම ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ගණනක් (18) දිනා ගැනීම, වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් (21ක්) පාර්ලිමේන්තුවට පත්වීම පරණ පාර්ලිමේන්තුවේ අඩුම මන්ත්‍රීන් සංඛ්‍යාවක් යළි පත්වීම යනාදිය මෙසේ පළමු වතාවට සිදුවූ දෑය.
එසේම රටේ දකුණු ප්‍රදේශය පදනම් කරගත්, සිංහල නායකත්වයෙන් යුත් පක්ෂයක් දෙමළ හා මුස්ලිම් ජනතාව බහුල වශයෙන් හා බහුතරයක් වශයෙන් සිටින දිස්ත්‍රික්කවලද මුල් තැනට පත්වීම සිතා ගැනීමට පවා නොහැකි විශේෂ තත්වයකි. සිංහල නායකත්වයක් ඇති පක්ෂයක් දෙමළ ජනයා බහුලව ජීවත් වන දිස්ත්‍රික්කවලදි දෙමළ දේශපාලන පක්ෂ පරාජයට පත් කිරීම වෙනම විමසා විග්‍රහ කොට බැලිය යුතු තරම් වැදගත් තත්වයකි. මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වනව නැගෙනහිර පළාතේ ඡන්ද බල ප්‍රදේශවලදී මුස්ලිම් දේශපාලන පක්ෂද ජාතික ජන බලවේගයට පරාජය වී ඇත.
මෙහිදී පෙනෙන්නට තිබෙන වැදගත්ම කාරණයක් නම් රට පුරා ඇති වූ මහා වෙනස මෙන්ම සුළුජන කොටස් ජීවත්වන ප්‍රදේශවල ඇතිවූ වෙනසද පසුගිය මාස දෙකක් තුළ ඇති වී තිබීමය. සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගය ලබා ගත්තේ ඡන්ද 57 ලක්ෂයකි. මෙවර මහ මැතිවරණයේදී එම පක්ෂය ඡන්ද ලක්ෂ 69කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. මෙසේ වී ඇත්තේ ඡන්දය පාවිච්චි කළ ඡන්දදායකයන් සංඛ්‍යාව මෙම මාස දෙක තුළ සියයට 79 සිට සියයට 68 දක්වා අඩුවී තිබියදීය.
එනම් ජනාධිපතිවරණයේදී උතුරේත්, දකුණේත්, නැගෙනහිරත් වෙනත් පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය දී ඇත. ඔවුන්ගෙන් තවත් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැළකී ඇත.
උතුරු, නැගෙනහිර පළාත්වල ඇති වූ වෙනස බොහෝ දෙනකු පුදුමයට පත් කොට ඇත. දෙමළ ජාතික වාදයේ කේන්ද්‍රස්ථානය ලෙසත්, ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ (කලෙක ෆෙඩරල් පක්ෂය යනුවෙන් හැඳින්වුණු පක්ෂය) බලකොටුව ලෙසත් සැලකෙන යාපනය දිස්ත්‍රික්කයේදී ජාජබ මෙම මාස දෙක තුළදී සිය ඡන්ද පදනම 27,000සිට 80,000 දක්වා වැඩි කරගෙන ඇත. දෙමළ ජාතිකවාදී සටන්පාඨ ඉදිරිපත් කරමින් තරග කළ පක්ෂ තුනක් එහි එක් ආසනය බැගින් ලබා ගනිද්දී ජාජබ ප්‍රසාද ආසනය සමඟ ආසන තුනක් ලබාගෙන තිබේ.
එසේම තමිල් ඊළාම් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූ වන්නි දිස්ත්‍රික්කයේ ද දෙමළ ජාතිකවාදී පක්ෂ ආසන එක බැගින් ලබා ගනිද්දී ජාජබ ප්‍රසාද ආසනය සමඟ ආසන දෙකක් ලබාගෙන තිබේ.
නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලනයේ කේන්ද්‍රස්ථානය ලෙසත් මෙතෙක් කාලයක් රටේ ප්‍රභලතම මුස්ලිම් පක්ෂය වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ බලකොටුව ලෙසත් සැලකෙන කල්මුණේ ආසනය ඇතුළු දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අනෙක් මුස්ලිම් බහුතර ආසන මෙම මහ මැතිවරණයේදී දිනා ගැනීමට ජා.ජ.බ සමත් වී ඇත.
අප පසුගිය සතියේ ද සඳහන් කළ පරිදි දෙමළ ජනතාව මෙසේ ජා.ජ.බට සහාදී ඇත්තේ එම පක්ෂය දෙමළ පක්ෂවල ප්‍රධාන ඉල්ලීම් වන ෆෙඩරල් ක්‍රමය, උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම හා 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ඉටු කිරීම යනාදිය ප්‍රතික්ෂේප කොට තිබියදීය. එපමක් නොව 2006 දී අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් ඒ වනවිටත් ඒකාබද්ධ කරනු ලැබ තිබූ උතුරු නැගෙනහිර පළාත් වෙන් කළේ ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ යැයි දෙමළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් විශාල ප්‍රචාරයක් ගෙන යමින් තිබියදීය.
මේ තත්වය ගැන කතා කරන බොහෝ දෙනා දෙමළ හා මුස්ලිම් ජනයා ජාතිවාදී දේශපාලනය අතහැර ඇතැයි කියති. එහෙත් එසේ කීමට ඉක්මන් විය යුතු නැතැයි අපට හැඟේ. මුළු රටේම දේශපාලනය තුළ ජාතිවාදය එක්තරා දුරකට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය පවා පෙඩරල් ක්‍රමය යනු බෙදුම්වාදායක් නොවේ යැයි තීන්දු කොට තිබිය දී සිංහල ජනයාගෙන් බහුතරයක් එය බෙදුම්වාදී ඉල්ලීමකැයි පවසන්නේත්, සියයට හැට පහකට අධික දෙමළ නොවන ජනගහනයක් සිටින නැගෙනහිර පළාත උතුරු පළාත සමග ඒකාබද්ධ කළ යුතු යැයි දෙමළ ජනයාගෙන් බහුතරයක් ඉල්ලා සිටින්නේත් ඒ නිසාය.
අනෙක් අතට දෙමළ හා මුස්ලිම් ජනතාව අතර මෙම දේශපාලන ක්‍රියාමාර්ගික වෙනස ඇතිවී තිබෙන්නේ මාස දෙකක් තුළය. ජාතිවාදය කිසිදු අධ්‍යාපනික හා විශේෂිත ප්‍රචාරක වැඩ පිළිවෙළක් නැතිව මාස දෙකකින් නොව වසර ගණනකින් වුවද තුරන් කළ හැකි දෙයක් නොවේ.
කොටි සංවිධානය ඉතා ප්‍රබලව සිටි 1994 ජනාධිපතිවරණයේදී උතුරේ ජනයාගෙන් බහුතරයක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඡන්දය දුන්හ. 1982 ජනාධිපතිවරණයේදී එජාප හා ශ්‍රීලනිප ගත් ඡන්දවල එකතුව සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ගත් ඡන්දවලට වඩා වැඩිය. මේ කාරණයේදී වඩාත් වැදගත් සිද්ධිය නම් උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වී මාස හතකින් පමණ 2010 දී පැවැති ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව කොටි සංවිධානය විනාශ කිරීමේ දී ප්‍රමුඛතම වැඩ කොටස කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දීමය.
කොටි සංවිධානය ප්‍රබල සිටි 2005 දී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දීමට සූදානම් ව සිටි බව ඉතා පැහැදිලිව පෙනිණි. එහෙත් ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් දී කොටි සංවිධානය ලවා උතුරේ මැතිවරණ වර්ජනයක් ක්‍රියාත්මක කොට එය වැළැක්වූ බව කියවේ.
2015 ජනාධිපතිවරණයේ දී උතුරේ ජනතාවගේ සහාය හිමි වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාටය. සිරිසේන මහතා ඊළමේ ඡන්දවලින් ජයගත් බව මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ එහෙයිනි. 2019 හා 2024 ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව සහාය දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය.
මේවායින් බොහෝ අවස්ථාවලදී දෙමළ ජනතාව තම තීරණය ගත්තේ දෙමළ පක්ෂවල නායකයන්ගේ අනුදැනුම හා මඟපෙන්වීම ඇතිවය. මෙවර විශේෂත්වය වන්නේ දෙමළ, නායකයන් ජාතික ජන බලවේගයට ජනතාව ඡන්දය දීම වැළැක්වීමට උත්සාහ කරද්දී ජනතාව ඊට පිටු පා කටයුතු කිරීමය. යාපනය දිස්ත්‍රික්කයේදී ජාතික ජන බලවේගය තම ඡන්ද සංඛ්‍යාව 27,000 සිට 80,000 දක්වා වැඩි කර ගත්තද එම පක්ෂය මුල් තැනට පැමිණියේ එම පක්ෂයට එරෙහිව දෙමළ පක්ෂ හා කණ්ඩායම් රාශීයක් තරග කොට ඒ සියල්ල අතර ඡන්ද බෙදී යාම නිසාය.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ ප්‍රතිඵල විසින් රට පුරා ඇති කරනු ලැබූ ‘‘රැල්ල’’ හා එම මැතිවරණයෙන් පසු ජා.ජ.බ නායකයන් කටයුතු කළ ආකාරයත් ජාජබ පාලනයක් ඇති වුවහොත් ඇති විය හැකි තත්වය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විරුද්ධ පක්ෂ ප්‍රචාරය කොට තිබූ බොහෝ දෑ අසත්‍ය බව ඔප්පුවීමත් නිසා දෙමළ හා මුස්ලිම් ප්‍රදේශවලද ජා.ජ.බ මහ මැතිවරණයේදී විශාල පිම්මකින් ඉදිරියට පැමිණ තිබෙන බව පෙනේ.
එහෙත් ජා.ජ බලවේගයට මෙම තත්වය දිගටම පවත්වාගෙන යා හැකිද? ජනවාර්ගික සබඳතාවල සංකීර්ණතාව අනුව එය අතිශයින්ම ප්‍රබල අභියෝගයක් වනු ඇත. දැනටමත් කැබිනට් මණ්ඩලයේත් අමාත්‍යාංශ ලේකම්වරුන් අතරත් එකදු මුස්ලිම් පුද්ගලයකු හෝ නැතිවීම විවිධ මුස්ලිම් සංවිධාන තුළත් මුස්ලිම් සමාජ ජාල කණ්ඩායම් තුළත් දැඩි සංවාදයකට ලක්වී තිබේ. මෙම සංවාදයේ ඇති විශේෂත්වයක් වන්නේ ඇතැම් මුස්ලිම් පිරිස්ද මේ තත්වය සාධාරණීකරණය කිරීමයි.
ඔවුන් මෙහිදී මතු කරන ප්‍රශ්නයක් නම් මෙතෙක් පැවැති ආණ්ඩු විසින් පත් කරන ලද මුස්ලිම් ඇමැතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් මුස්ලිම් සමාජයට කළ සේවය කුමක්ද යන්නයි. දැනට පත් කරනු ලැබ සිටින ඇතැම් ඇමැතිවරුන්ගේ අධ්‍යාපනික හා බුද්ධිමය මට්ටමටත්, අනෙක් ඇමැතිවරුන්ගේ දීර්ඝ කථා කැපකිරීම්, වලටත් සරිලන මට්ටමේ පුද්ගලයන් ජාතික ජන බලවේගය වෙනුවෙන් පත්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටීදැයි තවත් පිරිසක් ප්‍රශ්න කරති.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා කුරුණෑගල, මාතර, මහනුවර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් ජා.ජබ යටතේ මුස්ලිම් මන්ත්‍රීවරුන් තේරී පත් වී සිටින අතර මුස්ලිම් ජනතාව බහුලව වසන දිගාමඩුල්ලෙන් මුස්ලිම් කිසිවකු පත් නොවූ නිසා ජාතික ලැයිස්තුවෙන් මුස්ලිම් මන්ත්‍රීවරයකු පත් කළ බවත් ජාජ බ ජාතිවාදී ලෙස කටයුතු කොට නැති බවත් පවසා තිණි.
දේශපාලනය යනු මුදල් ඉපයිමේ කටයුත්තක් නොවේ නම් අමාත්‍ය ධූර හා ලේකම් ධුර යනු වගකීම් විනා පුද්ගලයන්ට, ජාතියකට, ආගමකට හෝ කුලයකට කරන සැලකිල්ලක් නොවේ. ඒවාට පත් කිරීමේදී මූලික වශයෙන් එම කරුණු සලකා බැලීම යෝග්‍ය නොවේ. අනෙක් අතට මේ මුහුණ දී ඇති තත්වය හමුවේ ජා.ජ.බ ඉදිරියේ ඇත්තේ විශාල හා බරපතළ අභියෝගයකි. එහිදීද වගකීම් දරන්නා කුමන ජාතියකට වර්ගයකට අයත්ද යන්න වැදගත් නොවේ. අවශ්‍ය වන්නේ පුද්ගලයන්ගේ දැනුම කුසලතාව, අවංකබව, කැපවීම හා මතවාදී ඉතිහාසය වැනි කරුණුයි. මෙවැනි නිර්ණායක අනුව ජාජබ මන්ත්‍රීවරුන් අතර ඇමතිධුර දැරීමට සුදුසු මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇතැයි ජාජබ නායකයන් සිතනවා විය යුතුය.
එහෙත් සමාජ පරිවර්තනයකදි විවිධ සමාජ කණ්ඩායම්වල සිතුම් පැතුම්, සංස්කෘතික හැසිරීම් ආදිය ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ගලා යාමේ ක්‍රමයක් තිබීම අතිශයින්ම වැදගත්ය. එම කණ්ඩායම් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ හොඳ අවබෝධයක් තිබීමද වැදගත්ය. උදාහරණයක් වශයෙන් පසුගිය කාලයේ මුස්ලිම් විරෝධි ප්‍රචාරය සිදුවෙද්දී මුස්ලිම් කාන්තාවන් අඳින අබායාව අන්තවාදයේ සලකුණකැයි ඇතැම් ජවිපෙ නායකයන්ද පවසා තිබුණේ ඔවුන් ජාතිවාදීන් නිසා නොව ඉහත කී අවබෝධයේ තිබු අඩුව නිසාය. මෙවර මැතිවරණවලදී අබායාව ඇඳි බොහෝ මුස්ලිම් කාන්තාවෝද ජාජබට ඡන්දය දුන්හ.
අන්තර්ග්‍රහණය හා වාර්ගික තුලනය (ethnic balance) වැනි සංකල්ප ගොඩනැඟී ඇත්තේ විවිධ සමාජ කණ්ඩායම්වල සිතුම් පැතුම් හා සංස්කෘතික හැසිරීම් පිළිබඳ අවබෝධය ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ගලායාම අවශ්‍ය නිසාය.
(*** එම්.එස්.එම්. අයුබ්)