දෙමළ දේශපාලනයේ ප්‍රධාන පක්ෂය කලෙක ෆෙඩරල් පක්ෂය යනුවෙන් හැඳින්වුණු ඉලංගයි තමිල් අරසු කච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය) වුවද එය මෑත කාලයේ දී දකුණේ බොහෝ දෙනා එතරම් දැන සිටි පක්ෂයක් නොවේ.
එසේම පසුගිය ඉරිදා එම පක්ෂයේ සභාපති (නායක) ධුරයට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පිළිබඳවද දකුණේ බොහෝ දෙනා ආර්. සම්බදන් හා එම්.ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් තරම් දන්නේ නැත.
ඉලංගයි තමිල් අරසු කච්චි නම් වූ පක්ෂය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ පක්ෂයකි. අප එසේ පවසන්නේ එම පක්ෂයේ මූලිකත්වයෙන් 1976 දී ගන්නා ලද තීරණයක් පසුව දශක තුනකට වැඩි කාලයක් පුරා දස දහස් ගණනකගේ ජීවිත බිලි ගනිමින් දිග් ගැස්සුණු යුද්ධයට හේතු වූ නිසාය.
එසේ තිබියදී එම පක්ෂයේ නම දැන් දකුණේ බොහෝ දෙනාට එතරම් හුරු නොවන්නේ එම පක්ෂය 1972 සිටම ස්වාධීන පක්ෂයක් වශයෙන් නොව දේශපාලන සන්ධාන තුනක සාමාජික පක්ෂයක් ලෙස කටයුතු කිරීම නිසාත් එම පක්ෂයේ කටයුතු දිගින් දිගටම එම සන්ධාන තුනේ නමට බැර වීම නිසාත්ය.
1949 දී එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා ඇතුළු පිරිසක් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් වෙන්ව ඉලංගයි තමිල් අරසු කච්චි පිහිටුවා ගත්හ. එය මුල් කාලයේ හැඳින්වුණේ ෆෙඩරල් පක්ෂය වශයෙනි. 1972 දී එම පක්ෂය දෙමළ කොංග්‍රසය හා වතුකරයේ ලංකා කම්කරු කොංග්‍රසය සමඟ එක්ව දෙමළ එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තේය.
1976 දී එම සන්ධානය වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ වට්ටුක්කෝට්ටයි යෝජනාව සම්මත කරගෙන තම නම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස වෙනස් කර ගත්තේය. මේ සන්ධාන දෙකේම ප්‍රධාන පක්ෂය වනුයේ තමිල් අරසු කච්චි පක්ෂයයි. එම යෝජනාව නිසා කම්කරු කොංග්‍රසය එතැනින් ඉවත් විය. එම යෝජනාව අනුව දෙමළ සන්නද්ධ සංවිධාන බිහිවූ අතර යෝජනාව සම්මත කළ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටපත් විය. 2001දී කොටි සංවිධානයේ මෙහෙයවීමෙන් දෙමළ පක්ෂ ගණනාවක් එක්වී දෙමළ ජාතික සන්ධානය බිහි විය. එහිදී ප්‍රධාන පක්ෂය වූයේ තමිල් අරසු කච්චි පක්ෂයයි.
එසේම 1980 ගණන්වල මුල සිට 2009 දී යුද්ධය අවසන් වන තුරුම දෙමළ දේශපාලනයේ ප්‍රායෝගීක නායකත්වය දෙමළ සන්නද්ධ සංවිධාන විශේෂයෙන්ම කොටි සංවිධානය විසින් අත්පත් කර ගනු ලැබීම නිසාද මෙම පක්ෂයේ නම දශක ගණනාවක් තිස්සේ යටපත් වී තිබිණි.
යුද්ධය අවසාන වීමත් සමඟ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජනතාවගේ ප්‍රධාන පක්ෂය ලෙස යළිත් වගකීම භාර ගත්තේය. දැන් එම පක්ෂයට මෙරට ජනාධිපතිවරයා තීරණය කිරීමේ විශාල ශක්තියක්ද ඇත. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා එම පක්ෂයේ නායකත්වයට පත්වීමේ වැදගත්කම එයයි.
ඉරිදා ත්‍රිකුණාමලය නගර ශාලාවේ පැවැති පක්ෂ නායකයා තේරීමේ නිලවරණයේ දී අපේක්ෂකයෝ තිදෙනෙක් ඉදිරිපත් වී සිටියහ. රටම ඉතා හොඳින් දන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සහ දකුණේ බොහෝ දෙනා නොදන්නා සීනිතම්බි යෝගේෂ්වරන් තරග කළ අනෙක් දෙදෙනා වූහ. ශ්‍රීධරන් හා යෝගේෂ්වරන් යන දෙදෙනාම දකුණේ දේශපාලන පක්ෂ හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ විවිධාකාරයේ ගනුදෙනුවල යෙදෙන සුමන්දිරන් මහතාට වඩා දැඩි ජාතිකවාදීහු වෙති. ශ්‍රීධරන් මහතා බොහෝ විට උතුරේ හමුදා සමග ආරවුල් ඇති කර ගන්නා අයෙකි.
එහෙයින් නිලවරණයෙන් පසු උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබුණේ ශ්‍රීධරන් මහතා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් දෙමළ ජාතිකත්වය ආරක්ෂා වී ඇති බවය. පක්ෂ ක්‍රියාකාරිකයන් දෙමළ ජාතිකත්වය විනාශ නොවිය යුතුය යන පණිවිඩය තම තීන්දුව මඟින් දී ඇති බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය.
යෝගේෂ්වරන් මහතා නිලවරණය පැවැතිදා නිලවරණයට මොහොතකට පෙර තම අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගෙන ශ්‍රීධරන් මහතාට සහාය පළ කළේය. ඒ අනුව අවසානයේ දී තරගය පැවතුණේ ශ්‍රීධරන්, සුමන්දිරන් යන දෙදෙනා අතරය. ශ්‍රී ධරන් ඡන්ද 184ක් ලබාගෙන ජයග්‍රහණය කළ අතර සුමන්දිරන්ට ලැබුණේ ඡන්ද 137ක් පමණි. අවසාන මොහොතේ දෙදෙනකු අතර පමණක් තරගය පැවැති හෙයින්, පක්ෂ ක්‍රියාකාරිකයන් දෙමළ ජාතිකත්වය විනාශ නොවිය යුතුය තීන්දු කළ බවට කළ ප්‍රකාශය මඟින් විග්නේෂ්වරන් මහතා කළේ සුමන්දිරන් මහතාට ටොක්කක් ඇනීමය.
යුද්ධය අවසන් වීමෙන් පසුද දෙමළ දේශපාලනයේ ඉල්ලීම් වූයේ ෆෙඩරල් ක්‍රමය ඇතුළු ඉල්ලීම් ගණනාවකි. මේවා සමඟ දකුණේ දේශපාලනය කළ නොහැකි බව සුමන්දිරන් හා දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් වැනි අයට ඉතා හොඳින් වැටහිණි. එහෙත් එම ඉල්ලීම් හා සටන් පාඨ අත්හැරීම දේශපාලන වශයෙන් දිවි නසා ගැනීමට සමාන බවද ඔවුහු දැන සිටියහ. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ සහායෙන් කෙටුම්පත් කරන ලද යහපාලන ආණ්ඩුවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාව දෙමළ භාෂාවෙන්, හැඳින් වූයේ ඒකීය රාජ්‍යයක් වශයෙන් නොව ඔරුමිත්ත නාඩු (එක් වූ රටක්) ලෙසය. මෙසේ ෆෙඩරල් වචනය ඉවත් කිරීම උතුරේ දේශපාලනඥයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.
‘‘ෆෙඩරල් වචනය අපට අවශ්‍ය නැහැ’’ යනුවෙන් වරක් සුමන්දිරන් මහතා දකුණේ පැවැති රැස්වීමක දී කළ ප්‍රකාශයක් ද එසේම උතුරේ පැවැති රැස්වීමක දී කළ ප්‍රකාශයක්ද එසේම උතුරේ දැඩි ලෙස විවේචනයට ලක්විය. තවත් අවස්ථාවක දී කොටි සංවිධානයේ සන්නද්ධ අරගලය තමන් නොපිළිගන්නා බව සිංහල භාෂාවෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී සුමන්දිරන් මහතා කළ ප්‍රකාශයක් ද එසේම විවේචනයට ලක්විය.
මෙවැනි සිද්ධි නිසා උතුරු නැගෙනහිර දෙමළ ජාතිකවාදීන් සුමන්දිරන් මහතා වැනි අයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ නිසා එවැනි සිද්ධියක් පාසා උතුරේදී නිදහසට කරුණු කියන්නට ඔහුට සිදුවිය. කෙසේ වෙතත් ජාතිකවාදී කණ්ඩායම් ඔහු පරාජය කළහ. එවිට දෙමළ ජාතිකත්වය ආරක්ෂා වූ බව විග්නේෂ්වරන් මහතා කීවේය.
අනෙක් අතට ශ්‍රිධරන් මන්ත්‍රීවරයා සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙන් කොළඹ ජීවත් වන අයෙක් නොවේ. ඔහු ජීවත් වන්නේ උතුරේය. එහෙයින් ඔහු යුද්ධය තුළ ජීවත් වූවෙකි. යුද්ධ කාලයේදී මළ සිරුරු හා ගුවන් ප්‍රහාර පිළිබඳ සමීප අත්දැකීම් ඇත්තෙකි. ඒ අනුව ඔහුගේ ප්‍රකාශ හා කටයුතු බොහෝ දුරට ආණ්ඩුව සමඟත් හමුදාව සමඟත් ගැටෙන සුළුය. මෙහිදි සිදුවන්නේ දකුණේ ඇතැම් දේශපාලනඥයන් නිතර උතුරේ දේශපාලනඥයන්ට දෙස් දෙවොල් තබමින් දේශපාලනය කරන්නා සේ ශ්‍රීධරන් වැනි අය මෙවැනි ගැටුම් මගින් දේශපාලන ලකුණු රැස් කිරීමය.
සුමන්දිරන් මන්ත්‍රීවරයා වැන්නන් සමඟ ගනු දෙනු කරන්නා සේ පහසුවෙන් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සමඟ දේශපාලනය කිරීම දකුණේ නායකයන්ට පහසු නොවනු ඇත. ඒ ඔහු දැඩි ජාතිකවාදියකු වීම නිසා පමණක් නොව භාෂා ප්‍රශ්නයක් ද ඇති හෙයිනි. සුමන්දිරන් මන්ත්‍රීවරයා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ගනු දෙනු කරන්නෙකි.
එසේ වුවද ඉරිදා පැවැති පක්ෂ නිලවරණයෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයා ජයග්‍රහණය කළේ වුව ද ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ගමන් මග ශ්‍රීධරන් මහතා යන්නට අපේක්ෂා කරන ගමන් මගෙන් තීරණාත්මක ලෙස වෙනස් වනු ඇතැයි සිතිය නොහැකිය. ෆෙඩරල් විසඳුම පිළිබඳ හා කොටි සංවිධානයේ සන්නද්ධ අරගල මාවත පිළිබඳ අප මුලින් සඳහන් කළ ඔහුගේ ප්‍රකාශ උතුරේ දේශපාලනඥයන්ගේ දැඩි ප්‍රහාර මධ්‍යයේ ආපස්සට ගැනීමට සිදුවීමෙන් ඒ බව පෙනේ.
ආණ්ඩුවේ කටයුතු ද උතුරේ දැඩි මතධාරී දේශපානඥයන්ගේ දෑත් ශක්තිමත් කරන බවක් පෙනේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීම සඳහාම ඉදිරිපත් කරන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමට ඉඩ නොදී එය නීතිමය ගැටයක සිරකොට තබා ගැනීම මෙහි දී පෙන්වා දිය යුතුය. 2017 සිට රටේ පළාත් සභා ක්‍රියාත්මක නොවේ. එක්සත් ජාතික පක්ෂය ගෙන ආ නීතියක් නිසා එතැන් සිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වි තිබේ.
පළාත් සභා ක්‍රියාත්මක වූ කාලයේ ද උතුරේ නායකයන් උතුරු පළාත් සභාව තම දේශපාලනය සඳහා යොදා ගත්තා විනා ජනතාවගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීමට එම සභා යොදා නොගත් බවට එල්ල වන චෝදනා එක්වරම ඉවත දැමිය නොහැකි වුවද ජනතාවගේ ප්‍රශ්න එක්තරා දුරකට එම සභාවලින් විසඳිය හැකිය යන්නත් දැන් රටට හුරු වී ඇති එම සභා හෝ නැති තැන දෙමළ නායකයන් අන්තවාදී ලෙස සිතන්නට පෙළඹීමත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයයි.
දැන් ඉලංගයි තමිල් අරසු කච්චි නායක ශ්‍රීධරන් මහතා ඇතුළු දෙමළ නායකයන් මුහුණ දී සිටින්නේ විසඳුම් නැති ප්‍රශ්නයකය. වෙනම දෙමළ රාජ්‍ය සංකල්පය තවදුරටත් වලංගු නොවේ. එය වලංගු යැයි තර්ක කළ ද එය සාමකාමීව ලබා ගන්නා ක්‍රමයක් කිසිවෙක් නොදනිති. ඒ සඳහා අවි අතට ගැනීම යනු තවත් පරම්පරා දෙකක් හෝ මහා විනාශයකට මුහුණ දීමයි. එයද සාර්ථක වේ යැයි සිතිය නොහැකිය.
අනෙක් අතට දෙමළ නායකයන් ඉල්ලා සිටින ෆෙඩරල් ක්‍රමය යනු රට බෙදිමක් නොවේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබුණ ද එය ක්‍රියාත්මක කරන්නට කිසිදු ආණ්ඩුවක් ඉදිරිපත් වන්නේ නැත. 2002 දෙසැම්බර් මාසයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව හා කොටි සංවිධානය ෆෙඩරල් ක්‍රමය පිළිබඳ එකඟතාවක් ඇතිකර ගත් විට රටේ කිසිවකු ඊට එරෙහිව නිවේදනයක් හෝ නිකුත් කළේ නැත. එහෙත් අද එය පිළිගන්නට දකුණේ ප්‍රධාන පක්ෂ කිසිවක් සූදානම් නැත.
දේශපාලන ඉල්ලීම් දෙවැනි තැනට දමා සංවර්ධනය පිළිබඳ කරුණු පෙරට ගෙන ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුවට බල කොට ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමේ උනන්දුවක් හෝ වුවමනාවක් ද දෙමළ නායකයන් වෙතින් පෙනෙන්නේ නැත. තවත් බොහෝ කාලයක් ඔවුන් දේශපාලන සටන් පාඨ පසුපසම යනු ඇත. ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස ශ්‍රීධරන් පත්වුවත් සුමන්දිරන් පත්වුවත් මේ තත්ත්වය වෙනස් වේ යැයි සිතිය නොහැකිය.
(*** එම්.එස්.එම්. අයුබ්)