උතුවන්කන්දේ සරදියෙල්ගේ මීගමුවේ පරම්පරාව



03
 

උතුවන්කන්දේ සූර සරදියෙල් හැර ඉතිරි දරුවෝ සිව් දෙනා සරදියෙල්ගේ පියා වන දීකිරිකෑවගේ ආදාසි අප්පු විසින් හලාවත ප‍්‍රදේශයට රැගෙන යන ලදී. 02ඉන් එක් දරුවකු වූ පේදුරුව ආදාසි අප්පු විසින් බාර දෙන ලද්දේ හලාවත ප‍්‍රදේශයේ පල්ලියක පියතුමකුටය.

පේදුරු නමැති සරදියෙල්ගේ බාල සහෝදරයාගේ සහජ හැකියා තේරුම් ගත් පියතුමා කළේ පේදුරුට චිත‍්‍ර ඇඳීමට හා ප‍්‍රතිමා නෙළීමට පුහුණු පුරුදු කිරීමයි. පසුව මීගමුව පමුණුගමින් විවාහ වූ පේදුරුගේ පරම්පරාව අදටත් පමුණුගම සහ ඒ අවට ගම්මානවල ජීවත් වෙති. මේ අය අතුරින් සරදියෙල්ගේ නම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන එම පරම්පරාවේ අයකු අපට හමු විය. ඒ දීකිරිකෑවගේ එඞ්වඞ් මහතාය.

උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ බාල සොහොයුරන් තවත් කිහිප දෙනකු සිටිය ද ඔවුන් ගැන හෝ ඔවුන්ගේ පරම්පරා පිළිබඳව හෝ තොරතුරු අනාවරණ නොවූව ද පේදුරුගෙන් පැවැත එන පරම්පරාවේ බොහෝ දෙනකු පමුණුගම හා ඒ අවට සිටිති. එහි කේන්ද්‍රස්ථානය වන්නේ පමුණුගම ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ දෙව් මැදුරයි.

හලාවත ප‍්‍රදේශයේ ජීවත්වූ පේදුරු ඒ වන විට ප‍්‍රතිමා නෙළීමේ සහජ දක්ෂතා පෙන්නුම් කළ අයෙකි. පමුණුගම පල්ලියේ පියතුමා තම පල්ලියේ තැබීම සඳහා ප‍්‍රතිමාවක් නෙළා ගැනීමට පේදුරුව එහි කැඳවා ගත්තේය. අදටත් පමුණුගම දෙව මැදුරේ ඇති ජුසේ මුනිඳුන්ගේ ප‍්‍රතිමාව පේදුරු විසින් සකස් කරන ලද ප‍්‍රතිමාවයි. මීට අමතරව වැලිගම්පිටිය ශුද්ධ වූ ආනා දෙව් මැදුරේ ඇති ශුද්ධ වූ ආනා මුනිවරියගේ ප‍්‍රතිමාවත්, උස්වැටකෙයියාව දෙව් මැදුරේ ඇති දේවමාතා ප‍්‍රතිමාවත් පේදුරු විසින් කරන ලද නිර්මාණ වේ.

පමුණුගම හා අවට දේවස්ථානවල පිළිම නෙළමින් සිටිය දී පමුණුගම ප‍්‍රදේශයේම තරුණියක හා විවාහ වූ පේදුරු පසුව එම ප‍්‍රදේශයේම පදිංචි වූ බව කියැවේ. පේදුරුට නිකුලස්, මත්තෙස්, ඇන්තනි, නමින් දරු තිදෙනෙක් වූහ. අද පමුණුගම ප‍්‍රදේශය පුරා විසිරී සිටින්නේ දීකිරිකෑවගේ මත්තෙස් සහ දීකිරිකෑවගේ ඇන්තනි යන අයගේ දරු මුණුබුරන්ය. නිකුලස්ගේ දරු මුණුබුරන් පදිංචිව සිටින්නේ මීගමුව දුන්ගාල්පිටිය ප‍්‍රදේශයේය. ඒ අතුරින් දීකිරිකෑවගේ මත්තෙස්ට දාව වර්ලියානු, රෝසමරියා, පේදුරු, ලෝරි සහ නිකුලස් නමින් දරුවන් පස් දෙනෙක් ද ඇන්තනිට දාව ආනා, සරදියෙල්, රෙබෙකා, ජුසේ, ගබ්රියෙල් සහ රයිෆෙල් නමින් දරුවන් හය දෙනෙක් ද සිටියහ. මේ වන විට ඔවුන් කිසිවකු ජීවතුන් අතර නැති අතර, එම පරම්පරාවෙන් පැවැත එන දරු මුණුබුරෝ පමුණුගම, සේදවත්ත, ඇළෙන්එගොඩ යන පමුණුගමට අයත් බල ප‍්‍රදේශයේ ජීවත් වෙති.

සරදියෙල්ගේ එක් බාල සොහොයුරකු වන පේදුරුගෙන් පසු හතර වැනි පරම්පරාව දැන් ජීවත්ව සිටිති. මේ අතුරින් දීකිරිකෑවගේ යන වාසගම සමහරු අකැමැත්තෙන් පාවිච්චි කරති. සමහරු එය වෙනස් කරගන්නට උත්සාහ කරති. නමුත් දීකිරිකෑවගේ එඞ්වඞ් මහතා සිටින්නේ දැඩි ආකල්පයකය. සරදියෙල් යන ජාතික වීරවරයකු වන නිසා ඔහුගේ වාසගම තම නමට භාවිත වීම ගැනත්, සරදියෙල් වැනි අයකුගේ ලේ නෑයකු වීම පිළිබඳවත් ඔහු ඉතා ආඩම්බරයෙන් පසු වෙයි.

04”සරදියෙල්ගේ පරම්පරාවෙන් පැවැත එන පරම්පරා මේ රටේ තවත් තැනක සිටිනවා ඇති. ඒ අය හඳුනා ගන්න මා කැමැතියි. දුප්පතුන්ගේ වීරයා ලෙස සැලකෙන උතුවන්කන්දේ සරදියෙල්ගේ නාමය තව දුරටත් ඉදිරියට රැගෙන යන්න මා කැමැතියි. ඒ සඳහා මා උපරිමයෙන් කටයුතු කරනවා” යැයි ද එඞ්වඞ් මහතා පවසයි.

පිචෝහාමිට හා අදාසි අප්පුට දාව උපන් වැඩිමහල් දරුවා වූයේ සරදියෙල්ය. ඊට පසුව පේදුරු, ගබ්රියෙල්, මාර්තා හා අන්තෝනි යන දරුවන් හතර දෙනා බිහි වූහ. ඔවුන් අතුරින් මාර්තා නමැති සරදියෙල්ගේ එකම සහෝදරිය අකාලයේ මිය ගිය බව කියැවේ. ඉතිරි සහෝදරයන් තිදෙනාගේ පරම්පරාව එකතු කරමින් සරදියෙල් එල්ලා මරා වසර 150ක් සපිරෙන මෙම වසරේ දී සරදියෙල් වෙනුවෙන් යම් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීම ද තම අරමුණක් බව දීකිරිකෑවගේ එඞ්වඞ් මහතා පවසයි.

 

01