උද්ධමනය සැබෑවටම අඩු වෙලාද?


රටේ ආර්ථිකයට සම්බන්ධ සමහර වැඩි වීම් පිළිබඳව මෙන්ම සමහර අඩුවීම් පිළිබඳව ද කතා කිරීම සඳහා දැන් නිතර නිතර අවස්ථා සැලසෙන බවක් පෙනෙන්නට තිබේ. එම අඩු වැඩි වීම් සමහර විට ජන ජීවිතයට විශාල බලපෑමක් කිරීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව නිරන්තරයෙන්ම මහජනතාවගේ අවධානය යොමු වන බවක් ද පෙනේ.

ඒ නිසාම සමාජ මාධ්‍ය ජාලාවල ඒවා පිළිබඳව විවිධ අර්ථකථන ලබා දීම සඳහා මෙන්ම විසිතුරු සහ සාවද්‍ය පුවත් මැවීම සඳහාත් ඒවා උපයෝගී කර ගන්නා බවක් ද පෙනෙන්නට තිබේ.

මෙම වසරේ මැයි මාසයට අදාළ උද්ධමනය පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් වී තිබිණ. ඒ අනුව වාර්ෂික උද්ධමනය සියයට 22.1 දක්වා පහත වැටී ඇති අතර ආහාර උද්ධමනය සියයට 15.8 දක්වා අඩු වී තිබේ. ආහාර නොවන භාණ්ඩවල උද්ධමනය සියයට 27.6 දක්වා අඩු වී තිබේ. ඒ අඩු වීම් අතර වැදගත්ම අඩු වීමය.

වැඩි වීම් අතර වැදගත්ම වැඩි වීම වන්නේ පසුගිය සති දෙකක පමණ කාලය තුළ රුපියලේ අගය ඉහළ යාමය. මෙම සති දෙකක කාලය තුළ ඩොලරය, පවුම ඇතුළු ලෝක මූල්‍ය ඒකක සහ සසඳන විට ඒවායේ අගය පහළ වැටී රුපියලේ අගය වැඩි වී තිබේ. උද්ධමනය අඩු වීමත්, රුපියලේ අගය වැඩි වීමත් යන දෙකම හේතුවෙන් භාණ්ඩ මිල ඉදිරියේදී තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එසේ වුවද මෙසේ මිල අඩු වීම සම්බන්ධයෙන් සමහර සමාජ මාධ්‍ය ජාලා විසින් සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් නිර්මාණය කිරීමට සූදානම් වන බව පෙනේ. 

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය පිළිබඳව ගණන් හැදීම් කරනු ලබන්නේත් සංඛ්‍යාලේඛන එකතු කරනු ලබන්නේත් එම වගකීම පැවරී ඇති ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු විසිනි. රටේ ජන සංගණන පැවැත්වීම, උද්ධමනය පිළිබඳව දර්ශක සකස් කිරීම සහ පවත්වාගෙන යෑම සහ ආර්ථිකයට හා ජන ජීවිතයට අදාළ සංඛ්‍යාලේඛන එකතු කිරීම හා වාර්තා සකස් කිරීම වැනි වගකීම් මෙම දෙපාර්තමේන්තුවට පැවරී තිබේ. උද්ධමනය පිළිබඳ සංඛ්‍යා රැස් කිරීම සහ දර්ශක සකස් කිරීම එය විසින් 1952වර්ෂයේ සිට කරගෙන යනු ලබයි. එබැවින් ඒ පිළිබඳව පුළුල් අත්දැකීමක් එයට සම්බන්ධ වන එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන විද්‍යාඥයන්ට සහ ආර්ථික විද්‍යාඥයන්ට ඇතැයි සිතමි. 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන එවැනි දර්ශක සහ සංඛ්‍යාලේඛන පිළිබඳව කිසිදු අවස්ථාවක ඒවායේ නිරවද්‍යතාව පිළිබඳ චෝදනා නැගීමක් හෝ ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යාත්මක තොරතුරු නොපිළිගන්නා තත්ත්වයක් හෝ මේ දක්වා ඇතිව තිබේ යැයි නොසිතමි. කෙසේ වුවද සමහර මාධ්‍ය ජාලා විසින් උත්සාහ කරනු ලබන්නේ මෙම තොරතුරු සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කිරීමටත් උද්ධමනය සම්බන්ධයෙන් එම දර්ශක වලින් දැක්වෙන තොරතුරු විශ්වාස කළ නොහැකි බවත් ප්‍රකාශ කිරීමටය. 

සමාජ මාධ්‍ය ජාලා විසින් ප්‍රකාශ කරන පරිදි මෙම දත්ත විකෘති කර ඇත්නම් ඒ සඳහා මීට වඩා පහසු පිළිවෙතක් එම දෙපාර්තමේන්තුවට යොදා ගැනීමට හැකියාව තිබිණ. උදාහරණයක් ලෙස 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී රටේ උද්ධමන අනුපාතය සියයට 73.70 දක්වා ඉහළ ගියේය. එය රටේ මේ දක්වා වාර්තා වූ ඉහළම අනුපාතය වේ. රට බංකොලොත් භාවයට පත්වීමෙන් සහ ඩොලරයේ අගය විශාල ලෙස ඉහළ යෑමෙන් පසු රටේ මිල මට්ටම් ද විශාල ලෙස ඉහළ ගිය අතර එහි ප්‍රතිඵලයක් වයෙන් උද්ධමනය ඉහළ ගොස් තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ඇතිතතු සඟවා තබා ගැනීමේ අවශ්‍යතාවක් පැවතුණේ නම් මෙයාකාරයට අතිවිශාල ලෙස උද්ධමනය ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කිරීමෙන් වැළකීමට හැකියාව තිබුණි. එසේම සැබෑ අනුපාතයට වඩා අඩු අගයකින් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ප්‍රකාශ කිරීමට ඉඩ තිබුණි. එසේ වුවද එයාකාරයේ කිසිදු පියවරක් දෙපාර්තමේන්තුව විසින් ගෙන නැති අතර උද්ධමනය ඉහළ ගිය ආකාරය නිවැරදිව රටට ලබා දී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් උද්ධමන අනුපාතය ගණන් ගැනීම ආරම්භ කළ අවස්ථාවේ සිට ඉතා මෑත කාල පරිච්ඡේදයක් දක්වා ඒ සඳහා යොදා ගනු ලැබූයේ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයයි. කොළඹ නගර සභා සීමාව තුළ වෙසෙන ජනතාව විසින් පාරිභෝජනය සඳහා යොදා ගනු ලබන භාණ්ඩවල මිල වෙනස්වීම් ගණනය කිරීම සඳහා මෙම දර්ශකය යොදා ගනු ලැබිණ.

එසේ වුවද රටටම පොදු දර්ශකයක් ලෙස භාවිතා කිරීමේ දී කොළඹ නගරයට පමණක් සීමා වූ මිල වෙනස්කම් ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවට නිරන්තරයෙන්ම විවේචන එල්ල විය. මේ හේතුවෙන් මිල දර්ශක සම්බන්ධයෙන් වෙනස්කම් හඳුන්වා දීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර දැන් අලු‍තින් හඳුන්වා දුන් ජාතික පාරිභෝගික මිල දර්ශකය උද්ධමනය මැනීම සඳහා යොදා ගනු ලැබේ. ඒ අතර කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය ද තවමත් ගණනය කරනු ලබන අතර එයද උද්ධමනය මැනීම සඳහා යොදා ගනු ලබයි. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමේදී පාරිභෝගිකයන් විසින් භාවිතා කරනු ලබන භාණ්ඩ හාරසිය තිස් පහක මිල ගණන්වල සිදුව ඇති වෙනස්කම් උපයෝගී කරගනු ලබයි. යොදා ගන්නා දත්ත මෙන්ම සිදුව ඇති වෙනස්කම් ද දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන බැවින් එම තොරතුරු ඕනෑම කෙනකුට ඕනෑම අවස්ථාවක දී නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව සැලසේ.

උදාහරණයක් ලෙස මෙම වසරේ මැයි මාසයට අදාළව උද්ධමනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන වෙනස්කම් පිළිබඳව තොරතුරු එම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. වාර්තාවේ එම වෙනස්කම් සිදු වූ ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වේ. ආහාර, ආහාර නොවන, රෙදිපිළි, ජලය, විදුලිය සහ ගෑස් සහ අනෙකුත් ඉන්ධන, ප්‍රවාහන, විනෝදාංශ සහ සංස්කෘතික වැනි අංශවලට පාරිභෝජනය කරන භාණ්ඩ හා සේවා වර්ග කර ඒවායේ මිල ගණන්වල සිදුව ඇති වෙනස්කම් ප්‍රකාශයට පත් කෙරේ.

උදාහරණයක් ලෙස අදාළ මාසයේ මිල ගණන් දක්වා ඊට පෙර මාසයේ මිල ගණන් සමග වෙනස්වන ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත. මාළු, මස්, බිත්තර, සීනි, පලතුරු, කුළුබඩු වර්ග ආදී වර්තමාන මිල ගණන් පෙර මාසයේ මිල ගණන් සමග සන්සන්දනය කොට කවර ප්‍රමාණයකින් වැඩි වී හෝ අඩු වී තිබේද ආදිය පිළිබඳ සවිස්තර තොරතුරු අන්තර්ගත කර තිබේ. 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසික උද්ධමන පිළිබඳ ප්‍රකාශය සමග මෙම තොරතුරු බොහෝමයක් ප්‍රකාශයට පත් කරන නමුදු මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්වන්නේ උද්ධමන අනුපාතය, ආහාරමය උද්ධමන අනුපාතය සහ ආහාර නොවන උද්ධමන අනුපාතය වැනි තොරතුරු කිහිපයක් පමණි. ඒවා දොපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන සවිස්තර තොරතුරු පළ කරන්නේ නම් උද්ධමන අනුපාතය පිළිබඳ සැක සංකා බොහෝමයක් දුරු වීමට ඉඩ තිබේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබඳව ගිවිසුම අත්සන් කර එහි පළමුවන වාරිකය ශ්‍රී ලංකාව විසින් ලබාගෙන තිබේ. ගිවිසුම අනුව රටේ ආර්ථිකය යථාතත්ත්වයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු කොන්දේසි රැසක් තිබේ. උද්ධමනය සහ පොලී අනුපාත කළමනාකරණය පිළිබඳ වගන්ති ද කොන්දේසි අතර වේ. ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් පිළිගත් පිරවිතරයන්ට අනුකූලවය. එවැනි තත්ත්වයක් තුළ උද්ධමනය සම්බන්ධයෙන් වැරැදි තොරතුරු ඉදිරිපත් කිරීමට එම ආයතනවලින් ඉඩක් ලැබේ යැයි ප්‍රකාශ කළ නොහැකිය.

2022 සැප්තැම්බර් මාසය මෙරට ඉතිහාසය තුළ උද්ධමන අනුපාතය ඉහළම මට්ටමකට පත් වූ අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. එම මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 73.7ක් වූ අතර ආහාර උද්ධමනය සියයට 85.8ක් ද ආහාර නොවන උද්ධමන අනුපාතය සියයට 62.8ක් ද විය. මේ වසරේ මැයි මාසය වන විට වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 22.1ක් ද ආහාර උද්ධමන අනුපාතය සියයට 15.8ක් ද ආහාර නොවන උද්ධමන අනුපාතය සියයට 27.6ක් ද විය. පසුගිය වසරේ සැප්තැම්බර් වන විට උද්ධමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටියේ ලෝක වාර්තා අතරේය. වරෙක උද්ධමන අනුපාතයේ ඉහළම රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබුණි. 

2023 මැයි 31 දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව සියයට 22.9කින්ද යූරෝවලට සාපේක්ෂව සියයට 22.3කින්ද බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව සියයට 19.4කින්ද ජපානයේ යෙන්වලට සාපේක්ෂව සියයට 29.6කින්ද ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 27.9කින්ද ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 22.8කින්ද රුපියලේ අගය ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය තුළ මේ ආකාරයට රුපියලේ අගය ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.

බංකොලොත් බව ප්‍රකාශ කළ රටක සියලු‍ ප්‍රශ්න එකවර විසඳාගත හැකියැයි සිතිය නොහැක. එසේ වුවද සැප්තැම්බර් සිට මේ දක්වා මාස නවයක කාලය තුළ අපේ උද්ධමන වාර්තාව යහපත් තත්ත්වයට පත්ව තිබීම පිළිබඳ අපට සතුටු විය නොහැකිද? යන ප්‍රශ්නය ඇසිය යුතුව ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර