උද්ධමනය හරියට කියවීම


ඔක්තෝබර් මාසය සඳහා වන මතුපිට උද්ධමනය පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ පරිදි මතුපිට උද්ධමනය සියයට 8.3ක් අගයක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙය විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ ආදී සියලු මාධ්‍යයේ අවධානය දිනාගෙන තිබිණි. එම අනුපතාය ශ්‍රී ලංකා මහ බැංකුවේ  ‘‘මධ්‍යකාලීන” නම්‍යශීලි උද්ධමනය ඉලක්කය ද ඉක්මවා ගොස් ඇත. සංඛ්‍යාදත්තවලින් මිල ගණන් ඉහළ යෑම තහවුරු වීමටත් පෙර කඩසාප්පුවට, පොළට, ගෑස් මිලදී ගන්නට, සහල් අලෙවි සැල්, පොළට, එළවළු මිලදී ‘ගන්නට යන පාරිභෝගිකයෝ මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසු වූහ. 

ඕනෑම දුෂ්කර අවස්ථාවකදී වුවද විනෝදයෙන් පසුවෙන සිනාසෙන, ඕනෑම දුෂ්කර අවස්ථාවක් වුවද විනෝදයක් බවට හරවා ගන්නා ශ්‍රී ලාංකික පාරිභෝගිකයෝ ග්‍රෑම් කිහිපයක කිලෝග්‍රෑම් කිහිපයක නොව බෝංචි කරල් කිහිපයක, තක්කාලි ගෙඩියක, අල ගෙඩියක යනාදීයේ මිල ගණන්, ගණන් කිරීමට පටන් ගත්හ, මේවා සමාජ මාධ්‍යයේ හුවමාරු විය. තමන් මිලදී ගන්නා එළවළු ස්වල්පය අවසන් නොකර ඒවා අරපිරිමැස්මෙන් භාවිත කරමින් ඉවුම් පිහුම් කරගන්නා ආකාරය දැක්වෙන විඩියෝ පටද පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්විය. 

මිල උච්චාවචන 

අර්බුද අවස්ථාවේදී ‘‘ මිල ගණන් පහත වැටීමත්” ප්‍රකෘති තත්ත්වයට පත්වීමේදී ‘‘මිල ගණන් ඉහළ යෑමත්” සම්බන්ධයෙන් පසුගිය ලිපි කිහිපයකින් ම සාකච්ඡා කරන ලදි. ගෝලීය ආර්ථිකයේ ඇති විය හැකි උද්ධමනය සම්බන්ධයෙන් ද මීට පෙර සාකච්ඡා කරන ලද අතර මේ වන විට එය අපේ ඇස් ඉදිරියේ සිදුවෙමින් තිබේ. ගෝලීය සිදුවීම් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ බොහෝ සිදුවීම්වලට හේතු වී ඇත්තේ දේශීයව ඇති වූ සිදුවීම් සහ උද්ධමනයේ වැඩි වීමයි. 

උද්ධමනයත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ප්‍රතිපත්තිමය ප්‍රතිචාර මොනවාදැයි පහතින් විමසා බලමු. විෂය කරුණක් වශයෙන් ගත් කල ආර්ථික විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ සාකච්ඡා කිරීමටත් ආර්ථික විද්‍යාඥයන් දක්වන්නේ අඩු උනන්දුවකි. කෙසේ නමුත් මෙම ලිපිය මඟින් මම මේ කරුණ සරල භාෂාවකින් පැහැදිලි කරන්නෙමි. විශේෂයෙන්ම මූලධර්ම වශයෙන් වැදගත් කරුණු පහතින් පැහැදිලි කෙරේ. දිගු කාලීන උද්ධමනයේ ස්වභාවයත් එහි උස් පහත් වීමත් යනාදියත් මෙහි සාකච්ඡා කෙරෙන ප්‍රධාන කරුණ වේ. කෙසේ නමුත් විවිධ රටවල සිදුවන කෙටිකාලීන උස් පහත්වීම්වලට හේතුව නම් ඒ ඒ රටවල දේශීය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගය. 

ලෝක ආර්ථිකයේ ප්‍රධාන රටවල් කිහිපයක්ම මේ වන විට ඔවුන්ගේ උද්ධමනයේ සැලකිය යුතු වර්ධනයක් අත්දැක ඇත. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පාලනයත් සමඟ එම තත්ත්වය ඇති විය. කාල පරිච්ඡේදය ඊට වඩා දිගු කරන්නේ නම් ලෝකයේ දිගුකාලීන උද්ධමනය වසර 40කට පෙර එහි උච්ඡතම අවස්ථාවට පැමිණි අයුරු ඔබට නිරීක්ෂණය කළ හැකිය. කෙසේ නමුත් ලෝකය 2008-2009 වසරවලදී ගෝලීය මූල්‍ය අර්බුදයට මුහුණ දෙන තෙක්ම එය අඩුවන මාර්ගයකට පිවිස තිබිණි. ගෝලීය මූල්‍ය අර්බුදය හෝ කොවිඩ් වසංගතය හෝ වේවා  ආර්ථික පිරිහීමේ නැඹුරුවකදී උද්ධමනය පහත අගයක් ගනී. එමෙන්ම සංවර්ධිත රටවල් කිහිපයක් ම අවධමන තත්ත්ව වර්තා කළේය. 

දැන් වන විට ප්‍රවණතාව අනෙක් පස හැරී තිබේ. විශේෂයෙන්ම එන්නත්කරණ ක්‍රියාවලියත් සමඟ ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමක් අත්දකිමින් සිටීමත් සමඟ උද්ධමනය වැඩි වෙමින් තිබේ. ලෝක මිල ගණන්වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණු අතර එය මුලින්ම නිරීක්ෂණය වූයේ ඉන්ධනවල වන අතර දෙවැනුව ආහාරවල ය. මාස 18ක් ඇතුළත බොරතෙල් මිල ගණන් සිවුගුණයකින් වැඩි වී තිබේ. ඉකුත් වසරේ (2020) අප්‍රේල් මාසයේ දී බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 20ක් වූ අතර මේ වන විට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කාලයේදීම ලෝක ආහාර මිල ගණන් ඉහළ ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර කෘෂිකාර්මික සංවිධානයේ මිල දර්ශකයට අනුව සාමාන්‍යයක් ලෙස ලෝක ආහාර මිල ගණන් සියයට 45කින් ඉහළ ගොස් තිබේ. එළවළු තෙල් ධාන්‍ය වර්ග, දෛනික නිෂ්පාදන, මස් වර්ග, සීනි යනාදී ප්‍රධාන ආහාර වර්ග සියල්ලේම සැලකිය මිල ගණන් ඉහළ යෑමක් සිදුව තිබේ. බටහිර අර්ධ ගෝලය ශීත ඍතුවට ළඟා වෙමින් තිබේ. මේ නිසා ඉදිරි මාසවලදී බලශක්ති සහ ආහාර මිල ගණන් ද ඉහළ යා හැකිය. 

ගෝලීය ආර්ථික දැක්මකින් බලන විට, ප්‍රකෘති තත්ත්වය නැතිනම් යථා තත්ත්වයට පත්වීම යනු ආර්ථික යාන්ත්‍රණයේ නිදහස් වීම යි. එම නිසා සෑම ආකාරයකම ආර්ථික කටයුතු /ක්‍රියාකාරකම් ප්‍රාණවත් වේ. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මඟින් ඉල්ලුම වේගවත් කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිල ගණන් මත පීඩනයක් එල්ල කරයි. චීනය සහ ඉන්දියාව යනාදී විශාල රටවල් ඉදිරි වසර කිහිපයේදී ඔවුන්ගේ වර්ධන අනුපාත වේගවත් කරන්නේ නම් මිල ගණන් මත තිබෙන ගෝලීය පීඩනය තවදුරටත් වැඩි වනු ඇත. 

ප්‍රතිපත්ති ප්‍රතිචාර 

වැඩිවෙමින් තිබෙන උද්ධමනයට ප්‍රතිපත්තිමය වශයෙන් කුමක් කරන්නේ ද යන්න ඒ ඒ රටවල් හමුවේ තිබෙන තේරීමකි. ඒ ඒ රටවල් ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුතුය. මීට දක්වන කඩිනම් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය වන්නේ පොලී අනුපාත ඉහළ දැමීම ය. එසේ කළ යුත්තේ උද්ධමනය වැඩි වීම ගැටලුවක් ලෙස දකින්නේ නම් පමණි. ඇයි පොලී අනුපාත උද්ධමනය අඩු වීමත් සමඟ පොලී අනුපාත පහළ වැටේ. ඒ ආකාරයෙන්ම උද්ධමනය වැඩි වන විට පොලී අනුපාත ආපසු හැරවීම එනම්, වැඩි කළ හැකි ය.

අර්බුද සමයේදී ලෝකයේ පොලී අනුපාත පහළ ගියේය. අර්බුදයෙන් ඇති වන බලපෑම පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්ති උත්තේජක ක්‍රියාත්මක කිරීමේ උත්සහායක් තිබූ බැවින් එලෙස අර්බුද සමයේදී පොලී අනුපාත පහළ ගියේය. දැන් ඇත්තේ යථා තත්ත්වයට පත්වීමේ කාල සමයකි. එම කාල සමයේදී උද්ධමනය ඉහළ යමින් තිබෙන අතර ඒ නිසා පොලී අනුපාත වැඩි කිරීම සඳහා ද තේරීමක් තිබේ. කෙසේ නමුත් මෙහිදි මූලධාර්මික වශයෙන් ගැටලුවක් තිබේ. රටවල් යථා තත්ත්වයට පත්වීමේ ක්‍රමය තුළ උද්ධමනය පාලනය කළ යුතු සහ එමඟින් ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සීමා කළ යුතු ද යන ගැටලුව ලෝකය හමුවේ තිබේ.? 

මේ කරුණ සම්බන්ධයෙන් ලෝකය තුළ බෙදීමක් තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා කලාපයේ රටවල්, ජපානය සහ චීනය යනාදී සියලු ප්‍රධාන රටවල් ඔවුන්ගේ පොලී අනුපාතවල වෙනසක් නොකර උද්ධමනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවීමට තීරණය කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය මේ වන විට සියයට 6.2ක ඉහළ උද්ධමනයක් වාර්තා කර තිබේ.

එය වසර 30කට පසු වාර්තා වී ඇති ඉහළම උද්ධමනය යි. කෙසේ නමුත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සිය ක්‍රියාවලියට බාධා කිරීමට ඔවුන්ට අවශ්‍යතාවක් නොමැති බව පෙනෙනන්ට තිබේ. නිසැකයෙන්ම, අර්බුදය සමයේදී ඔබ පොලී අනුපාත අඩු කළා නම් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාර්ගයට පිවිස ඇති මොහොතක ඔබ වෙනස් කළ යුත්තේ ඇයි රෑ එය තාර්කික සහ වලංගු ප්‍රශ්නයකි. කෙසේ නමුත් උද්ධමනය දිගින් දිගටම ඉහළ යන්නේ නම් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් කිරීමේ හැකියාවක් ද තිබෙන බව අමතක නොකළ යුතුය. 

මේ අතරවාරයේදී සිංගප්පූරුව, දකුණු කොරියාව, රුසියාව, බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බංග්ලාදේශය සහ වියට්නාමය ඔවුන්ගේ සම්මත පොලී අනුපාත (benchmark policy rates) ඉහළ නැංවීමට තීරණය කර ඇත. ආර්ථික සහ මිල ස්ථායිථාව සඳහා දැන්ම ම උද්ධමනය පීඩනය පාලනය කිරීම වැදගත් යන්න ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. 

මෙම සාකච්ඡාවට විනිමය අනුපාත ප්‍රශ්නය නොගෙනෙන්නේ නම් මේ සාකච්ඡාව අසම්පූර්ණ ය. උද්ධමනය, පොලී අනුපාත සහ විනිම​ය අනුපාත යන කරුණු තුන එකිනෙකට සම්බන්ධය. එමෙන්ම එය ප්‍රතිපත්ති සකසන්නන්ට හිසරදයක් වන අභියෝගාත්මක කරුණු තුනකි. අවසානයේ දී ඔබට රට වෙනුවෙන් එයින් දෙකක් තෝරාගෙන එකකට යන්නට දීමට සිදු වේ.

උද්ධමනය අඩු අගයක පවතින විට පොලී අනුපාත පහළ අගයක තබාගෙන යෑමට යම් රටක මහ බැංකුවක් තීරණය කරන්නේ නම් විනිමය අනුපාතය අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකිය. උද්ධමනය ඉහළ යන අවස්ථාවකදී පොලී අනුපාත ඉහළ දැමීමට යම් රටක මහ බැංකුවක් තීරණය කරන්නේ නම් විනිමය අනුපාතය අතිප්‍රමාණය වේ. කෙසේ නමුත් මේ සියල්ල සිදුවන්නේ සාමාන්‍ය තත්ත්වයකදීය. කෙසේ වෙතත් ‘‘විශේෂ” තත්ත්වවලදී ප්‍රතිපත්ති උභතෝකෝටිකය නරක අතට හැරේ. ්‍

අප සිටින්නේ කොහේ ද?  

ශ්‍රී ලංකාවේ උද්ධමනය වැඩි වෙමින් තිබෙන්නේ ගෝලීය මිල ගණන් ඉහළ යෑමේ ප්‍රතිඵලයක් නිසාම නොවේ. මෙරට තුළ උද්ධමනය ඉහළ යෑමට දේශීය ඉල්ලුම් හිඟය සහ ආනයන සීමා යන දේශීය කරුණු ද බලපා තිබේ. අඩු උද්ධමන පීඩනයක් තුළ පොලී අනුපාත සැලකිය යුතු අඩු කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාව තුළ තිබිණි. එහෙත් එය කළ හැක්කේ ආනයන සීමා පැනවීමෙන් සහ නිල විදේශ සංචිත කැපකිරීමෙනි. එහෙත් එසේ කිරීමෙන් රුපියල සැලකිය යුතුව අවප්‍රමාණය වේ. ඊට හේතුව ශක්තිමත් සහ ස්ථාවර ලෙස විදේශ විනිමය ගලා ඒම් නොමැති වීමය. 

මිල පාලනය ඉවත් කිරීම, පොහොර අර්බුදය සහ දූෂණය සම්බන්ධ චෝදනා යනාදිය බලපෑම දේශීයව මිල ගණන් ඉහළ යෑමට හේතු වී තිබේ. අනෙක් අතට මේවායෙන් ඇතැම් ඒවා බලපෑම් එල්ල කරන්නේ කෙටි කාලීන උද්ධමනයට පමණි. කෙසේ නමුත් අප හමුවේ මේ වන විට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය අපගේ මේ උද්ධමනයේ වැඩි වීම කෙටිකාලීන ද දිගුකාලීන ද යන්නය. 

ගෝලීයව ඉන්ධන සහ ආහාර මිල ගණන් වැඩි වීම දේශීය මිල ගණන්වලට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. දේශීය සැපයුම් හිඟය මධ්‍ය කාලය දක්වා පවතිනු ඇත. සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් සහ අපනයන වර්ධනය වන තෙක් ආනයන සීමා පවතිනු ඇත.

ලබන වසර සඳහා ඉදිරිපත් කර තිබෙන අයවැයේ සඳහන් පරිදි එළැඹෙන වසරේ දී ආණ්ඩුවේ ආදායම් ඉලක්කය පවත්වාගෙන යෑම දැවැන්ත අභියෝගයකි. මේ සියල්ල මධ්‍යයේ පොලී අනුපාත වැඩි කිරීම වේදනාත්මක ප්‍රතිපත්තිමය තේරීමකි. දේශීය මිල ගණන් සහ විනිමය අනුපාත මත තිබෙන පීඩනය ලිහිල් කිරීමට නම් ශ්‍රී ලංකාව තිබෙන්නේ එම වේදනාත්මක තේරීමය.

මහාචාර්ය සිරිමල් අබේරත්න විසිනි

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ  පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා