උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක


පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ  2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ  නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර ජයග්‍රහණයට අවශ්‍ය සියයට 50ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම විය හැකි දෙයක් ද යන්නයි.

එම තර්කය බොහෝ දෙනාට බොහෝ දුරට පිළිගත හැකි බවක් ද පෙනෙන්නට තිබිණි. එම තර්කය ඉදිරිපත් කළ පිරිස් එය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 2019 දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා ප්‍රතිශතය සමග සංසන්දනය කරමින් ඉදිරිපත් කළ විට එය තවත් ප්‍රබල තර්කයක් ලෙස පෙනෙන්නට තිබිණි.

ඔවුන් එසේ සන්සන්දනාත්මකව ඉදිරිපත් කළ තර්කය වූයේ විපක්ෂයේ සිටි අනුර කුමාර දිසානායක මහතාට සියයට තුනේ සිට සියයට 50 දක්වා තම ඡන්ද ප්‍රතිශතය වැඩි කර ගත හැකි නම් 2019 දී සියයට 42ක (සියයට 41.99ක)  ඡන්ද  ප්‍රතිශතයක් ලබාගත් ප්‍රේමදාස මහතාට එය සියට 50 දක්වා වර්ධනය කර ගැනීම ඊට වඩා පහසු නොවන්නේ ද යන්නයි.

සාමාන්‍යයෙන් ආර්ථික අර්බුදයක් හමුවේ විරුද්ධ පක්ෂ ජනප්‍රිය වීමත්, ඉදිරියට ඒමත් සිදුවේ. ඒ අනුව සමගි ජන බලවේගය පසු බෑමකට ලක්වීමට හේතුවක් නැතැයි තර්ක කළ හැකිය.එහෙත් සිදු වූයේ 2019 දී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ජාතික ජනබලවේගය මෙවර සමගි ජන බලවේගය ඉක්මවා ගොස් පළමු වටයේ  ඡන්ද ගණන් කිරීමේදී සියයට 42.31 දක්වා ඉහළ නැගීමයි. සජිත් ප්‍රේමදාස මහතා සියයට 42 සිට සියයට 32.76 දක්වා පහත වැටීමයි. ඔහුගේ ඡන්ද සංඛ්‍යාවද 2019 සිට ලක්ෂ 12කින් පමණ පහත වැටී තිබිණි.

ඉන් පෙනෙන්නේ ගණිතමය වශයෙන් තර්ක කොට සෑම විටම දේශපාලනය තේරුම් ගත නොහැකි බවයි. වර්තමාන දේශපාලන පෙරළිය ඇති වූයේ විශේෂිත ආර්ථික හා දේශපාලන සන්දර්භයක් තුළය. 2021 සිට ආරම්භ වූ වර්තමාන ආර්ථික අර්බුදය මෙරට මිනිස් ජීවිත අවුල් කොට උඩු යටිකුරු කොට  දැමීය. ජීවත්වීම ජනතාවට දරා ගත නොහැකි තරම් දුෂ්කර වූවා සේම ඔවුන්ගේ  හා ඔවුන්ගේ දරුවන්ගේ සිහින සුනු විසුනු විය. ඒ පෙර නොවූ විරූ දුෂ්කරතාව ද ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ තම වාසියට හරවා ගනිමින් ගසා කන්නට පටන් ගත්හ.

මේ හේතුමත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලක්ෂ 69ක ඡන්ද පදනම ඒ දිනවලම පුවක් වල්ල පොළොවේ ගැසූ කලෙක මෙන් විසිරී ගොස් ඔහු වෙතින් ඉවත් වී ඇති බව දැන් පෙනී යයි. මුලින්ම ඔහු වෙතින් ඉවත් වූයේ ඔහුගේ ඡන්ද පදනමේ හදවත වූ ගැමි ජනතාව හා ගොවි ජනතාවයි.

ඒ සමග 2022 දීඇති වූ අරගලය යන නමින් අදත් හැඳින්වෙන ජනතා නැගිටීම සමාජ මාධ්‍ය ඔස්සේ අලුත් සටන් පාඨ ජනතාව අතරට ගෙන ගියේය. තම වේදනාව, අප්‍රසාදය හා අවේගය පිට කිරීමට සමාජයේ බොහෝ දෙනකුටද සමාජ මාධ්‍ය උපකාරී විය. අරගලය මාස හතරක් පැවතීම නිසා තමන් දුක් විඳින්නේ මෙතෙක් රට පාලනය කළවුන්ගේ මහා පරිමාණ වංචා, දූෂණය හා සූරා කෑම නිසාය යන මතය අරගලයේ සටන් පාඨ  ඔස්සේ ජනතාවගේ සිත් තුළ පැළ පදියම් විය.

මෙම ජනතා ආවේගයට ගොනුවන්නට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ අතර තිබූ එකම අවකාශය ජනතා විමුක්ති පෙරමුණයි. එම අවේගය ගොනු කරගන්නට වෙනත් කණ්ඩායම් ද උත්සාහ කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පුළුල් ක්‍රියාකාරිත්වය රටපුරා පැතිරී පැවතීම මගින් අවසානයේ දී අංක ගණිත තර්කවලට හසු නොවුවද ජවිපෙ කේන්ද්‍ර කොටගත් ජාතික ජන බලවේය ජනාධිපතිවරණයෙන් ජය ගත්තේය.

 රාජපක්ෂවරුන් වන්දනා කරමින් ජනතාවට ද එසේ කරන්නට තම කල් ක්‍රියාවෙන් බල කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) බොහෝ දේශපාලනඥයෝ පසුගිය වසරේ සිටම එම පක්ෂය අත්හැර සජබට හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග  එක් වන්නට වූහ. මුලින්ම එසේ කළේ එම පෙරමුණ තුළ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ය. තමන් එතෙක් දරමින් සිටි ඇමැති ධූර ආරක්ෂා කරගන්නට ඔවුහු ජනාධිපතිවරයා සමග එක් වූහ.

මෙසේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂවලට එක්වෙද්දී ඔවුන් සමගම ඔවුන්ගේ ප්‍රදේශවල පොහොට්ටු පාක්ෂිකයන් ද එම පක්ෂවලට යන්නේ ද යන ප්‍රශ්නය මතුවිය. පොහොට්ටුවේ  තර්කය වූයේ පාක්ෂිකයන් එසේ තමන් අත්හැර නොයන බවයි. මහජන මුදලින් වරප්‍රසාද දෙමින්  මන්ත්‍රීවරුන් තමන් වෙත ළං කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත්  ආසන සංවිධායක ධුර පිරිනමමින් ඔවුන් තමන් සමග රඳවා ගත් සජිත් ප්‍රේමදාස මහතාත් සිතන්නට ඇත්තේ එම මන්ත්‍රීවරුන් ඡන්ද මල්ලක් ද සමඟ තමන් වෙත පැමිණෙන්නට ඇතැයි කියාය.

එහෙත් ආසන මට්ටමේ ඡන්ද ප්‍රතිඵල දෙස බලන විට වික්‍රමසිංහ මහතා සමඟ එක්වූවන්ගේ ප්‍රදේශවලින් ඒ මහතාට කිසිදු අමතර වාසියක් අත්වී නැති බව පෙනී යයි. ඊට එක් හේතුවක් නම් ඔවුන් වික්‍රමසිංහ මහතා සමග එක්වන විටත් ජනතාව ඔවුන් ද ඇතුළු මුළු පොහොට්ටුවම අත්හැර ගොස් සිටීමයි. පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඒ බව තහවුරු කරයි. ඒ අනුව සජබ සමග එක්වූ  පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් ද සජබට එතරම් සෙතක් නොවන්නට ඇතැයි නිගමනය කළ හැකිය.

එසේම වුවද 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී  ඡන්ද 249,435ක් (සියයට 2.15) ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඡන්ද 22,99,767ක් (ආසන්න වශයෙන් ලක්ෂ 23ක්) ලබා ඇත. මේ ඡන්ද කොහි සිටි පැමිණි ඒවාද? මෙය බොහෝ  විට අන්  සියල්ලන් පැන යද්දී තමන් අර්බුදයේ ගිලී සිටි රට භාර ගත් බවටත් එසේ භාර ගෙන තමන් රට බේරා ගත් බවටත් වික්‍රමසිංහ මහතා පැතිර වූ මිථ්‍යාව හා  ඊට ජා.ජ.බ හෝ සජබ ශක්තිමත් ලෙස පිළිතුරු නොදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් විය හැකිය.

 අන් අය පැන ගිය බවට ඔහු කළ ප්‍රකාශය සත්‍ය නොවේ. ඔහු අගමැති  වන්නට දින දෙකකට පෙර රට භාර ගන්නට තමන් සුදානම් බවට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යැවූ බව ජාතික ජන බලවේගය පසුගියදා ප්‍රකාශ කොට තිබිණි. එහෙත් ඒ සඳහා අගමැතිවරයා පමණක් නොව ජනාධිපතිවරයා ද ඉල්ලා අස්විය යුතු යැයි එම පක්ෂය කොන්දේසියක් පනවා තිබිණි.

 තමන් අගමැති ධුරය බාර ගැනීමට සුදානම් බව දන්වමින් ඉන් දිනකට පසු සජිත් ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. එවිට තමන් ඒ සම්බන්ධයෙන් ඒ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දුවක් වී ඇතැයි රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය. මේවා ඒ දිනවලම ජනමාධ්‍යවල පළවිය.

එපමණක් නොව 2022 ජුලි  20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායක මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ  සහාය ඇතිව ඩලස් අලහප්පෙරුම මහතාද තරග කළේය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කළ පොහොට්ටුවේ  තේරීම වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහෙයින් අනෙක් අය පලා ගිය බව පැවසීම සත්‍ය නොවේ.

 එසේම වත්මන්  අර්බුදය හමුවේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි බව වික්‍රමසිංහ මහතා පැවසුව ද එය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ  වික්‍රමසිංහ මහතා  අගමැති වන්නට මාස දෙකකට පෙරයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම හෙළිදරව් කරන ලෙස වික්‍රමසිංහ මහතා ඒ දිනවල කළ බලපෑම ඊට සාක්ෂියකි.

රටට විදේශ විනිමය ලැබුණේ රාජපක්ෂ මහතා මුල්‍ය අරමුදල සමඟ ආරම්භ කළ වැඩ සටහන නිසාය. එමඟින් ඉන්ධන පෝලිම් නැති  වී ප්‍රවාහනය යථා තත්වයට පත්විය. අර්බුදයෙන් ගොඩ ආවා සේ සහනයක් දැනෙන්නේ ඒ නිසාය. තුන් ගුණයක් ඉහළ ගිය බඩු මිල එසේමය.

කෙසේ වෙතත් තමන් රට බේරා ගත් බවට රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රචාරයත් රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් භාවිත කරමින් මැතිවරණය ආසන්නයේ දී ඉඩම්, නිවාස, වැටුප් වැඩිවීමේ ආදිය දීම හා නිවේදනය කිරීමත් නිසා වික්‍රමසිංහ මහතාගේ ඡන්ද  සංඛ්‍යාව ලක්ෂ දෙක හමාරේ සිට ලක්ෂ 23 දක්වා ඉහළ ගියේය. එම ද්‍රව්‍යමය හා මානසික අල්ලස් ඵලදායි නොවන බව බොහෝ දෙනා  පැවසුවද ඒවා කොහෙත්ම ඵලදායි නොවන ඒවා නොවන බව දැන් පෙනේ.

මෙවර ජනාධිපතිවරණය මූලික වශයෙන් වෙනදා මෙන් ජාතිය, ආගම මුල් කොටගත් මැතිවරණයක් නොවේ. එහෙත් අවසාන දිනවලදී සජබ නායකයෝ ජාතිවාදී හා ආගම්වාදී අවලාදවල පිහිට පැතූහ. මැතිවරණයෙන් පසු සිදුවන දෑ දෙස බලන  විට ඒවා අවලාද බව ඉතා පැහැදිලිය. එසේම රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන් වැනි මුස්ලිම් නායකයෝද ජාතික ජනබල වේගය මුස්ලිම් විරෝධි පක්ෂයකැයි ප්‍රචාරය කළහ.

 අනෙක් අතට මේවා මෙන්ම 88/89 පිළිබඳ ප්‍රචාරය හා එය පදනම් කරගෙන මෙවර මැතිවරණයෙන් පසු ජාජබ ප්‍රතිවාදීන් දඩයම් කරනු ඇතැයි යන ප්‍රචාරය ද මෙවර  මනාප ගණන් කිරීමට සිදුවීමට හේතු වන්නට ඇත. 1988/89 කාලයේ සිදු වූයේ එජාප ආණ්ඩුව කිසිදු හේතුවකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට එරෙහිව එම පක්ෂය අවි අතට ගැනීමයි. ආණ්ඩුව එම කැරැල්ල මර්දනය කළේ මන්ත්‍ර බලයෙන් නොව කැරැලිකරුවන්ගේ කෲරත්වය මෙන් සිය ගුණයක කෲරත්වයක් මුදා හැරීමෙනි. 1994 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සියයට 62ක් තරම් ඉහළ ප්‍රතිශතයක ඡන්ද ලබා ජයගත්තේ එජාප ආණ්ඩුවේ එම කෲරත්වයට එරෙහිව ගොඩනැඟි තිබූ මහජන අප්‍රසාදය උපයෝගී කරගෙනය.

ලබන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජා.ජබට එරෙහිව මෙවැනි බිල්ලන් මැඩීමට අනෙක් පක්ෂවලට දුෂ්කර වනු ඇත. ජාජබ බලයට පත්වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සිය වැඩසටහනම අත්හැර දමනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා හා සජබ  ආර්ථික විශේෂඥයන් සෘජුව හා වක්‍රව දැක්වූ අදහස් ද තවදුරටත් වලංගු නොවන බවක් පෙනේ.

එහෙත් ජාජබ මුහුණ දෙන බරපතළම ක්ෂණික අභියෝගය ලෙස පෙනෙන්නේ තමන් ගොඩනගා ගෙන ඇති ප්‍රතිරූපයට ගැළපෙන අපේක්ෂකයන් පිරිසක් මහ මැතිවරණය සඳහා සොයා ගැනීමයි. එම මැතිවරණය ජයගත හොත් පොරොන්දු ඉටු කිරීම හා 2027න් පසු විදේශ ණය ගෙවමින් ආර්ථිකය නඟා සිටුවීම ඔවුන් මුහුණ දෙන ඊළඟ අභියෝගය වනු ඇත.

(*** එම්.එස්.එම්. අයුබ්)