උපසර්ග


ගුණ පක්ෂය දක්වන උපසර්ගයත්, අගුණ පක්ෂය දක්වන උපසර්ගයත් දෙකම එකම පදයේ දැක්වීම වියත් වහර නොවේ.

සුනිමල - වචනයේ උප සර්ග දෙකක් යෙදේ. එහි නිමල යන පදය ඉදිරියෙන් ‘සු‘ උපසර්ගය යෙදීම නිසා නිමල යන්නෙහි අර්ථය වඩාත් තීව්‍ර කර පෙන්වයි. එහෙත් දුර්ලභ යන වචනයට මුලින් ‘සු‘ උපසර්ගය යොදන්නෝ වියත්හු නොවෙති.

දුර්ලභ වචනයේ තේරුම වඩාත් තීව්‍ර කිරීමට යෙදිය හැක්කේ ‘ඉතා‘ හෝ ‘අති‘ යන පද බවට ඕනෑ තරම් නිදසුන් දැක්විය හැකිය.

මේ ලිපිය සිංහල භාෂාවේ උපසර්ග ගැනයි.

උපසග හෙවත් උපසර්ග 

සංග්‍රහ ප්‍රකෘතියක් නිපදවනු සඳහා ප්‍රකෘතියෙ කැ මුලට යොදනු ලබන්නේ උපසග හෙවත් උපසර්ග යැ .

සංග්‍රහ ප්‍රකෘතියක් නිපදවනු සඳහා අගට යොදනු ලබන්නේ ප්‍රත්‍යය යැ . ප්‍රකෘතියෙන් වෙන් වැ සිටි උපසර්ගයේ හෝ ප්‍රත්‍යයයේ හෝ අරුතක් දක්නට නො ලැබෙය් . උපසර්ගය හෝ ප්‍රත්‍යය හෝ ප්‍රකෘතියක් හා යෙදී ම අරුත් පළකරය් .

ආඛ්‍යාත ප්‍රකෘතියෙකැ මුලට උපසර්ගයක් යෙදීමෙන් උපසර්ග සංග්‍රහ ආඛ්‍යාත නිපැයේ . 

"ගන් "  යන මූල ධාතුවට පිළිවෙළින් උ ,ස ,නි ,අනු ,පිළි යන උපසර්ග යෙදීමෙන් සංග්‍රහ ධාතු තැනෙන සැටිය කුමරතුඟුවෝ සිය ව්‍යාකරණ විවරණයේ පහදති .

උ +ගන් =උගන් =(උගනී )(උද්ග්‍රහ කරය් )

ස +ගන්=සගන් =(සගනී )(සංග්‍රහ  කරය් )

නි +ගන්=නිගන් =(නිගනී )(නිග්‍රහ  කරය් )

අනු+ගන්= අනුගන්=(අනුගනී )(අනුග්‍රහ  කරය් )

පිළි+ගන්=  පිළිගන් = (පිළිගනී )(ප්‍රතිග්‍රහ  කරය් )

 මැවිසුරු ඊලියන් ද සිල්වාණන්  උපසග කිරිය මුල්හි ඈඳමින් ද නම් පියෙවියෙහි  ඈඳමින් ද නව වදනින් සිංහලය පොහොණි කළ සැටිය "සිංහළයෙන් සිප්යුරු වදන් " පොතින්  ඉමැනැවින් දැකගත හැකි ය .

 කිසි විටෙක උපසර්ග දෙකක් වුවද නාම ප්‍රකෘතියෙක මුලින් සිට අන්‍ය නාම ප්‍රකෘතියක් නිපදවන තැන් ද වෙය් ."පිරි " යන උපසගය මුලින් ඈඳුණු "සුදු " "පිරිසුදු " වෙය් . "සුදු " යන්න "සු " "පිරි " යන උපසග දෙක ම ඈඳී "සුපිරිසුදු" යැය් අනෙක් නාම ප්‍රකෘතියක් නිපදවය් .

සිංහලයේ උපසර්ග විස්සකි .

1.ප (පබඳ )

2.පර (පරදිනු)

3.අව (අවගුණ )

4.ස (සබඳ )

5.අනු (අනුබඳ )

6.ඔ (ඔවා )

7.නි (නිමල් )

8.දු (දුගඳ )

9.කු(කුකවි )

10.වි (විමල්)

11.අ (අසිඳිනු )

12.අදි (අදියර )

13.ඉ (ඉබොහෝ )

14.සු (සුදන )

15.උ (උගත් )

16.අබි (අබිදම් )

17.පිළි (පිළිගනු )

18.පස් (පසක් )

19.පිරි (පිරිසිඳි )

20.උප (උපවන)

අනුගිය යනු නුගිය යැය්  ද අබිදම් යනු බිදම් යැය්  ද "අ" ලොප් ව සිටි .උවසර යන තැන "උව" යනු "උප " යන්න මැ වේ.

 

වාසිංහලයේ  මෙන් ම සංස්කෘතයේ ද උපසර්ග විස්සක් දක්නට ලැබේ.

1.ප්‍ර  (ප්‍රබන්ධ )

2.පරා  (පරාජය )

3.අප  (අපවාද  )

4.සම් (සම්පත්ති  )

5.අනු (අනුරූප  )

6.අව  (අවවාද  )

7.නිස් (නිස්සාර  )

8.දුස් (දුස්කර  )

9.වි (විමල  )

10.ආ  (ආදාන )

11.නි (නිබන්ධ )

12.අධි  (අධිකාර )

13.අපි  (අපිධාන  )

14.අති (අතික්‍රම )

15.සු (සුගත  )

16.උද් (උද්ග්‍රහණ  )

17.අභි  (අභිවාදන )

18.ප්‍රති  (ප්‍රතික්‍රියා  )

19.පරි  (පරිර )

20.උප (උපකාර )

නිස් +චය =නිශ්චය 

දුස් +චරිත =දුශ්චරිත 

නිස් +කම්පන =නිෂ්කම්පන 

නිස් +ගමන =නිර්ගමන 

දුස් +ගන්ධ =දුර්ගන්ධ යන වෙනස්කම් සිදුවනුයේ සකු බසේ සන්ධි නියමය අනුව යැ .

සියලු උපසර්ග ඒ හා බැඳෙන පදයට එක් ව මැ සිටී .

සුසිරි,දුසිරි,අවගුණ ,පිළිගනි ,අනුදනී ආදිය මෙනි.

පිළිගනී,අනුදනී ආදී ක්‍රියා පදවල විරුද්ධාර්ථය පැවසිය යුතු තැන දී "නො පිළිගනී ,නො අනුදනී ඈ විසින් ලිවිම මැ නිවැරැදි වෙය් .

පිළි නො ගනී,අනු නො දනී ඈ විසින් ලිවිම වැරැදි යි.