මහනුවර නගරය තුළ පවතින ඉතා අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා බොහෝ ආණ්ඩු ඉතා වැදගත් ප‍්‍රයත්නයන් ගන්නා ලද නමුත් ඒ සියල්ල ඇතැම් විට ඇතැම් දේශපාලන බල අධිකාරියේ මන්දෝත්සාහි භාවය හේතුවෙන් සාකච්ඡුාවන්ට පමණක් සීමාවී තිබේ.
මෙම නගරයේ පවතින ඉතා අධික රථවාහන තදබදයට මූලික හේතුව වී තිබෙන්නේ නගරයේ වෙළඳ ආයතන රැසක ව්‍යාපාරික මහත්වරු තම තමන්ගේ රථවාහන සියල්ල නගරයේ ප‍්‍රධාන වීථිවල තම වෙළඳ ආයතන ඉදිරිපිට උදේ වරුවේ සිට රාත‍්‍රි වනතුරු ගාල් කර තැබීමයි.
විශේෂයෙන් දිනකට යතුරුපැදි විශාල සංඛ්‍යාවක් මහනුවර නගරයට පැමිණෙන අතර එම යතුරුපැදිකරුවෝද තම තමන්ට හිතුමතේ නගරයේ වීථිවල හා පදික වේදිකාවලද තම යතුරුපැදි නවතා තබති.
මහනුවර නගරයට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බොහෝ අවස්ථාවන්හිදී පදික වේදිකාවේ පවා ගමන් කිරීමට නොහැකි වන සේ ඇතැම් හිතුවක්කාර අනුවණ රියදුරන් විසින් පදික වේදිකාවද අවහිර කරමින් රථ වාහන නවත්වා තිබේ. මහනුවර මහ නගර සභාව, මහනුවර පොලිසිය, මධ්‍යම පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන මූලිකවී නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීමට විවිධ යෝජනා ඉදිරිපත් කළහ.
දැවැන්ත උමං මාර්ග පද්ධති මහනුවර නගරය තුළ ඉදිකිරීමෙන් නගරය තුළ පවතින අධික රථවාහන තදබදයට විසඳුම් ලැබෙන බව බොහෝ විද්වත්තු රාජ්‍ය නිලධාරීහු මැති ඇමැතිවරු හා උසස් පොලිස් නිලධාරීහු පෙන්වා දුන්හ.
එහෙත් මෙම දැවැන්ත උමං මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කර නිමා කිරීමට අති විශාල ධනස්කන්ධයක් වැය වන බව බොහෝ සාකච්ඡුාවලදී අනාවරණය විය.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වසා තිබෙන මාර්ගය විවෘත කරන ලෙසද ඇතැම් පිරිස් විශාල ලෙස බලපෑම් කළහ. එහෙත් අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ අස්ගිරි මහ විහාරයේ භික්ෂූන් වහන්සේලා පිරිසකුත් එම යෝජනාවට දැඩි විරුද්ධත්වයක් පළ කළහ. එම හේතුව නිසාම ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය විවෘත නොකර ඒ වෙනුවට විකල්ප මාර්ගයක් ඉදිකිරීම සඳහා රාජ්‍ය අංශ ප‍්‍රධානීහු විවිධ සාකච්ඡා පැවැත්වූහ.
එම සාකච්ඡා මේ වනවිටත් සාකච්ඡා මට්ටමේම පවතියි.
මහනුවර මහ නගර සභාව විසින් ඉදිකළ දැවැන්ත රථගාල් සංකීර්ණයද අධික රථවාහන සංඛ්‍යාව හේතුවෙන් ප‍්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව තිබෙන බව එම රථගාල නිරීක්ෂණයට ලක්කළ විට දැනගන්නට ලැබිණි.
මහනුවර නගරයට ඇතුළුවන පේරාදෙණිය මාර්ගය රථ වාහන තදබදයට ප‍්‍රසිද්ධියක් උසුලයි. පේරාදෙණිය මාර්ගය ඔස්සේ විලියම් ගොපල්ලව නව මාවතෙන් හෝ ගැටඹේ මංසන්ධියේ සිට පැරණි පේරාදෙණිය මහනුවර මාර්ගයෙන් මහනුවරට ළඟාවීමට පැය දෙකකට අධික කාලයක් ගතවන බවට බොහෝ රථවාහන පදවන්නෝ මෙන්ම සාමාන්‍ය ජනතාවද පවසති.
මෙම මාර්ග දෙකෙන් පැමිණෙන විට බොහෝ වේලාවක් මහමග රස්තියාදු වීමට ජනතාවට සිදුවෙයි. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ ප‍්‍රධාන මගී මාරු ස්ථානවල සීමාවක් නැතිව මගී ජනතාව එහා මෙහා පාර මාරුවීමයි. පාසල් කාලය අවසන්වූ විට මෙය ඉතා දැඩිව බලපායි. මෙම ස්ථාන හඳුනාගෙන ගුවන් පාලම් ඉදිකළ යුතු බව ජනතාව පවසති.
විශේෂයෙන් හීරැස්සගල හන්දිය (දුම්රිය හරස් මාර්ගය පිහිටි ස්ථානය) දැඩි රථවාහන තදබදයක් පවතින ස්ථානයකි. එහි ගුවන් පාලමක් ඉදිකළොත් කිංස්වුඞ් විදුහල ඉදිරිපිට ප‍්‍රධාන මහා මාර්ගය හා විලියම් ගොපල්ලව නව මාර්ගය ඔස්සේ හීරැස්සගල පෙදෙසට ඉතා පහසුවෙන් ජනතාවට මාරුවිය හැක. එවිට විලියම් ගොපල්ලව මාවතේ ප‍්‍රධාන මාර්ගය ඔස්සේ බාධාවකින් තොරව රථවාහන ධාවනය කළ හැක.
අනෙක් රථවාහන තදබදය වැඩි කරවන ස්ථානයක් ලෙස මහනුවර දුම්රියපොළ ඉදිරිපිට මහනුවර රෝහල දෙසට යොමුවන තුංමන්සන්ධිය පෙන්වාදිය හැක. එම ස්ථානයේද දුම්රිය ස්ථාන පරිශ‍්‍රයට උඩින් ටෙලිකොම් ගොඩනැගිලි පරිශ‍්‍රයේ මගී වේදිකාව දක්වා ගුවන් පාලමක් ඉදිකළවිට කිසිදු රථවාහන තදබදයක් ඇති නොවී ඉදිරියට ධාවනය කිරීමට රථවාහන පදවන්නන්ට පහසුව උදාවෙයි.
මහනුවර නගරයේ මධ්‍යම වෙළඳපොළ අසල දුම්රිය හරස් මාර්ගය හරහා මගී පාලමක් ඉදිකිරීමෙන් මහනුවර ඔර්ලෝසු කණුව ඉදිරිපිට නිතර නිතර ඇතිවන අධික රථවාහන තදබදයද මගහැරී යනු ඇත.
හිටපු ජනාධිපති දිවංගත ශ්‍රීමත් රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පාලන සමයේ මහනුවර නගරයේ මධ්‍යම වෙළඳපොළ අසලින් දුම්රිය හරස් මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදිකර තිබූ නමුත් එය පසුකලෙක කඩා දමන ලදී. එම ස්ථානයේ දිනපතා ඉතා අධික ජනතාවක් පාර හරහා මාරුවී යාම නිසා මහනුවර රෝහල ඉදිරිපිට මාර්ගයත් මහනුවර ගුඞ්ෂෙඞ් බස් රථ ගාල දක්වා ඇති මාර්ගයත් බොහෝ වෙලාවක් රථවාහන තදබදයක් ඇතිවන තත්ත්වයක පවතියි.
මහනුවර නගරයේ ඇතැම් මාර්ග හරහා ගුවන් පාලම් ඉදිකර ඇතත් ඒවා කිසිදු ප‍්‍රයෝජනයකට නොගන්නා තත්ත්වයක් නිතර දැකගත හැකිය.
මහනුවර නගරයේ පුරවැසියෙකු වන කැලණිය, විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා:-
මහනුවර නගරයේ රථවාහන තදබදය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින්, ‘‘නගරය තුළ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස දැනට නගරයේ ස්ථාපිත කර තිබෙන නාගරික රථගාල තවත් මහල් දෙකකින්වත් සංවර්ධනය කිරීම ඉතා අත්‍යවශ්‍යයි.’’
‘‘විශේෂයෙන් මේ නගරය තුළ සාප්පු සංකීර්ණ හදනවිට රථවාහන නවත්වා තැබීම සඳහා පොළොව යට (අන්ඩර්ග‍්‍රවුන්ඞ් පාක්) රථ ගාල් ඉදිකළ යුතුව තිබෙනවා.’’
‘‘ලෝකයේ කිසිම දියුණු රටක බස් රථ හෝ වෙනත් වාහන පාරවල් අයිනේ නවත්වා තබන්න අවසර දෙන්නේ නැහැ. අපේ රටේ තමයි හිතුවක්කාරී රියදුරන් තමන්ට හිතුණ හිතුණු ස්ථානවල මහජනතාවගේ දුෂ්කරතාව නොතකමින් රථවාහන පාර මැද්දේම නවත්වන්නේ.’’
‘‘ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය වසා තිබෙන නිසා එයට විකල්ප මාර්ග සංවර්ධනය කිරීම හා හැදීම අවශ්‍යයි.’’
දැනට තිබෙන විකල්ප මාර්ග පුළුල් කර සංවර්ධනය කිරීමත් පරිසරයට හිතකර තත්ත්වයක් ඇතිවන පරිදි උමං මාර්ග පද්ධතියක් ඉදිකිරීමත් වඩාත් යෝග්‍යයි.
මහනුවර නගරයේ මාර්ගවල අධික රථවාහන තදබදය අඩු කිරීමට උමං මාර්ග පද්ධතියක් සැකසීමට පර්යේෂණ කළා. සැලසුම් හැදුවා, සමීක්ෂණ කළා. මෙම වැඩපිළිවෙළ යම් අයුරකින් සාර්ථක වේවි. එම වැඩසටහන ක‍්‍රියාත්මක වුවහොත් නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාගත හැකියි.’’
කටුගස්තොට මාර්ගයේ සිට ලේවැල්ල හරහා තැන්නකුඹුර මාර්ගයට අවතීර්ණ වන ප‍්‍රධාන මාර්ගය වඩාත් පුළුල් කර සංවර්ධනය කිරීමත් වැදගත්වනවා.
විශේෂයෙන් විලියම් ගොපල්ලව මාවත මංතීරු 04 ක් දක්වා පුළුල් කළ යුතුයි.
වඩාත් විධිමත් නගර සංවර්ධන සැලැස්මක් මහනුවරට ක‍්‍රියාත්මක වීම වැදගත්. අද මහනුවර නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නිසාත් මාර්ගවල විශාල රථවාහන තදබදයක් ඇතිවනවා. මේ සම්බන්ධයෙන් අදාළ අංශ පියවරක් ගත යුතුයි. බොහෝ අවස්ථාවල මේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණෙන රථවාහන මාර්ගය අවහිර වන ලෙස නවතා තැබීමත් රථවාහන තදබදයට හේතුවක්.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව, උඩවත්ත රක්ෂිතය (උඩවත්ත කැලේ) වාකරවත්ත ජල පෝෂිත ප‍්‍රදේශය මේවා ආරක්ෂා කරගනිමින් මහනුවර නගරයේ නව අතුරු මාර්ග ඉදිකිරීම කළ යුතුයි.
මහනුවර නගරයේ රථවාහන තදබදයට තවත් ප‍්‍රධාන හේතුවක් ගුඞ්ෂෙඞ් බස් රථ නැවතුම් අංගණ පරිශ‍්‍රය. මේ අවට පාර අවහිර වන ලෙස බස් රථ නවත්වා තිබෙනවා. එයින් නගරය තුළ රථවාහන තදබදය තවතවත් වැඩිවෙනවා. මහනුවර නගරයට වඩාත් හොඳ නවීන පහසුකම් සහිත ආරක්ෂාකාරී බස් රථ නැවතුම් අංගණ පරිශ‍්‍රයක් අවශ්‍යයි. දැනට තිබෙන ගුඞ්ෂෙඞ් බස්රථ ගාල හා අවට පරිශ‍්‍රය රාත‍්‍රී කාලයට පාතාල ලෝකයේ රජදහනක් වගෙයි.
මේ නගරයේ අධික රථවාහන තදබදයට එකම විසඳුම ක‍්‍රමවත් විධිමත් ආරක්ෂාකාරී උමං මාර්ග පද්ධතියක්.
මහනුවර නගරයේ ව්‍යාපාරිකයෙකු වන අජිත් වික‍්‍රමරත්න මහතා:-
මහනුවර නගරය තුළ රථවාහන ගාල් කිරීම කිසිම සැලසුමක් නැති විදිහටයි සිදුවන්නේ. අද නගරයේ රථවාහන තදබදයටත් මෙය ප‍්‍රධාන හේතුවක්. දැනට මහනුවර නගරයේ තිබෙන නගර සභාවට අයත් රථගාල් සංකීර්ණය තවත් මහල් දෙකකින්වත් දියුණු කළ යුතුයි.
මේ නගරයට විකල්ප මාර්ග කීපයක් නම් අවශ්‍යමයි. නගරයේ සමහර ව්‍යාපාරික මහත්වරු තමන්ගේ රථවාහන වලින් නගරයට එන්නේ නැහැ. ඔවුන් එන්නේ ත‍්‍රිරෝද රථවලින්. නගරයේ පාරවල් අයිනේ රථවාහන ගාල්කර තබන විට ඒවායින් දිනකට රුපියල් 500 ක මුදලක් අය කරනවා. ඒක නගර සභාව විසින් කරන වැඩක්.
මහනුවර පුරපති සේන දිසානායක මහතා (එජනිස):-
මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදය මහනුවර මහ නගර සභාවටත් විශාල ප‍්‍රශ්නයක් තමයි. මේ සම්බන්ධව යම්කිසි පියවරක් ගතයුතුව තිබෙනවා.
මම දැනටමත් මේ සම්බන්ධව අවධානය යොමුකර තිබෙනවා. විශේෂ රථවාහන කමිටු රැස්වීමක් කැඳවා මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍යතුමාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාත්, නගරයේ සියලූම වෙළඳ සංගම් නියෝජිතවරු හා සියලූම රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ප‍්‍රභූන් ඒකරාශී කරවා මේ නගරයේ රථවාහන තදබදය වෙනුවෙන් ගතහැකි ක‍්‍රියාමාර්ග ගන්නවා.
තාවකාලිකව හෝ නගරය තුළ රථවාහන නවත්වා තැබීම අත්හිටුවීමට පියවර ගන්නවා. ඇතැම් හිතුවක්කාර ජනතාව මේ නගරයේ ප‍්‍රධාන ජනාකීර්ණ මාර්ග සහ පදික වේදිකාවන් පවා අවහිර කරමින් රථවාහන නවත්වා තබනවා. මේ සම්බන්ධවත් අවධානය යොමුකර තිබෙනවා.
මහනුවර හිටපු පුරපති වත්මන් නාගරික මන්ත‍්‍රී, මහාමාර්ග අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්, රාජා පුෂ්පකුමාර මහතා (එජාප)
ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත නොකරන නිසා (බොහෝ දෙනෙකුගේ විරෝධතා හා අකමැත්ත නිසා) මහනුවර උඩවත්ත රක්ෂිත වනය අයිනෙන් නගර සභා කාර්යාලය ඉදිරිපිට මාර්ගය ඔස්සේ ගොස් ලේවැල්ල හන්දියට අවතීර්ණ වෙන්නට විකල්ප මාර්ගයක් ඉදිකිරීමට යෝජනා වූවා. ඒත් එයට පරිසර සංවිධාන දැඩි විරෝධය පළ කළා. එය පසුව නතර වූවා. ඉන් අනතුරුව උමං මාර්ග පද්ධතියක් ඉදිකිරීම ගැන යෝජනා වුණා.
එම උමං මාර්ග පද්ධතිය ඉදිකිරීමෙන් ජල මූලාශ‍්‍ර වලට හානි සිදුවෙන බවට කරුණු ඉදිරිපත්වුණා. ඒකත් නතර වුණා. දැන් කරන්න කිසිම පිළියමක් නැති නිසා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡුා කරල මහනුවර වැව අයිනෙන් වැවේ වළාකුළු බැම්මට සමාන්තරව වැව පැත්තෙන් යකඩ පාලමක් සහිත මාර්ගයක් ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඒ මාර්ගය තනි අතට රථවාහන ධාවනය සඳහා (වන්-වේ) ඉදිකිරීමටයි යෝජනා වූයේ. එහි බර වාහන නොව සැහැල්ලූ වාහන ධාවනයට පමණයි අවසර ලබා දෙන්නේ. මෙම ව්‍යාපෘතිය දැන් යෝජනා තත්ත්වයේ තිබෙනවා. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය වසා තිබෙන නිසා රථවාහන තදබදයට විසඳුමක් ලබා දීම ඉතා වැදගත්.
මහනුවර නගරයේ අධික රථවාහන තදබදය කෙතරම්ද යත්, මේ වනවිට නගරය තුළ පිහිටි හදිසි අවස්ථාවක ආරක්ෂාකාරී පියවරක් ලෙස භාවිතා කිරීමට ඇති අතුරු මාර්ග සියල්ල ඇතැම් ව්‍යාපාරිකයන්, ත‍්‍රිරෝද රථ හා යතුරුපැදි ගාල්කර තබන්නන්ගේ ග‍්‍රහණයට නතුවී අවසන්ය. මෙම අතුරු මාර්ග සියල්ල ඉංග‍්‍රීසි පාලන සමයේ මහනුවර නගරය තුළ ස්ථාපිත වූ ඒවාය. අද එම අතුරු මාර්ග සියල්ල අවහිර කර තිබේ. මහනුවර මහ නගර සභාවේ වගකිවයුතු නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා නොබැලීමද කනගාටුවට කරුණකි.
නගරයේ රථවාහන ගාල්කිරීමේ ටෙන්ඩරය ලබාගෙන ඇති පුද්ගලික ආයතනයේ ඇතැම් සේවකයන් රථවාහන ගාල්කිරීමේ ගාස්තු ඉතා අසාධාරණ ලෙස අයකරන බවට ජනතාව චෝදනා කළද එකී කොන්ත‍්‍රාත්තුව නගර සභාව වෙතින් බාරගත් ආයතනයේ බලධාරීන් දැනුවත් කිරීමට නගර සභාවේ වගකිවයුතු බලධාරීන් පියවර නොගන්නා බවට ජනතාව චෝදනාව කරති.
රථ වාහන ගාල්කිරීම සඳහා මුදල් අයකර රිසිට්පත් නිකුත් කරන තාවකාලික සේවකයන්ද මහා මාර්ගය අවහිර වන පරිදි ඇතැම් අවස්ථාවල කටයුතු කරති.
පේරාදෙණිය මාර්ගයේ රථවාහන තදබදය බොහෝ විට ඇතැම් අලස පොලිස් නිලධාරීන් සුළු පිරිසකගේ ක‍්‍රියාකාරකම් නිසාද සිදුවන බවට ජනතාව චෝදනා කරති. එහෙත් පොලිසිය පවසන්නේ පුද්ගලික බස්රථ රියදුරන් පේරාදෙණිය මාර්ගය අවහිර කරමින් බස් මගී ආවරණ අසල බස් රථ නවත්වාගෙන තැබීම නිසාද එම මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවන බවයි.
මහනුවර නගරයේ අධික රථවාහන තදබදයට විසඳුම් කීපයක් ඉදිරිපත්වී තිබේ. උමං මාර්ග පද්ධති, ගුවන් පාලම් සහ මාර්ග පුළුල් වී මං තීරු වැඩි කිරීම් සහ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දැනට වසා තිබෙන මාර්ගය රථවාහන ධාවනය සඳහා විවෘත කිරීම එම විසඳුම්ය.
හොඳම විකල්පය උමං මාර්ග පද්ධති සහ ගුවන් පාලම් බව මේවන විටත් බොහෝ දෙනා අනුමත කර තිබේ.
මහනුවර නගරය ඉදිරියේදී දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද මහනුවර පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේදී ප‍්‍රකාශ කරමින් ඒ සඳහා සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම සහාය උපරිමව ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
ලංකාවේ දෙවැනි අග නගරය ලෙසත්, ජාත්‍යන්තර ප‍්‍රජාව වාර්ෂිකව මහනුවර පුරවරයට ඓතිහාසික ඇසළ පෙරහැර සමයේ පැමිණෙන නිසාත් මේ නගරය තුළ පවතින ප‍්‍රධානම ගැටලූව වන අධික වායු දූෂණයෙන් නගරයත් ජනතාවත් බේරා ගැනීම සඳහා අනිවාර්යෙන්ම පාරිසරික හිතකාමි තත්ත්වයෙන් යුතුව විකල්ප මාර්ග පද්ධති ආරම්භ කළ යුතු බව සෑම අංශයක්ම නියෝජනය කරන පාර්ශ්ව රජයෙන් ඉල්ලා සිටිති.
අහිතකර වායු දූෂණය හේතුවෙන් මහනුවර පරිසරයට හානි සිදුවීම සේම දැනටමත් මහනුවර පාසල් දරුවන් රැසක් ස්වශන රෝග වලට ගොදුරුවී ඇති බවට විශේෂඥ වෛද්‍යවරු හෙළිදරව් කර සිටිති. යථාර්ථය අනාවරණය කිරීම් ගැන බොහෝ පිරිස් බියවී ඇත්තේ විවිධ පාර්ශ්වයන් හරහා එල්ලවන දෝෂාරෝපණ, විරෝධතා හා අපවාද හේතුවෙනි.