වත්මන් අගමැතිවරයා බලයට පත්වීමත් සමග යම් ආකාරයක අන්තර් පාලනයක් රට තුළ ගොඩනැගුණි. එහෙත් එය රටේ පොදු ජනතාව අපේක්ෂා කළ ආකාරයේ පාලනයක් නොවේ. කුමන හෝ පාලනයක් තිබේ. මේ පාලනය දෙස ජනතාව විමසිල්ලෙන් සිටිති. දැන් තිබෙන පාලනය බිහිවීමට පෙර තිබූ ප්‍රශ්න අද වනවිට ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වී තිබේ. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටිති. එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීම පවා ප්‍රශ්නයකි. ගමනාගමනය විශාල අර්බුදයකය. භාණ්ඩ ප්‍රවාහනය ප්‍රශ්නයකි. කර්මාන්ත බිඳ වැටෙමින් විශාල පිරිසකට රැකියා අහිමිවන තැනකට රට තල්ලු වී තිබේ. කෘෂිකර්මයේ බරපතළ පරිහානියකි. විදේශ විනිමය අර්බුදය ඔඩු දුවමින් පවතී. මෙවන් පසුබිමක අාණ්ඩුව ගන්නා තීරණ පිළිබඳ සියල්ලෝ විමසිලිමත් වෙති.
පවත්නා ව්‍යවස්ථාවට 21වැනි සංශෝධනය ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ මෙවන් පසුබිමකය. මේ සංශෝධනයේ අරමුණ වන්නේ ජනපතිට බලය ඒකරාශී කර දුන් රාජපක්ෂ පවුලට ආණ්ඩුකරණයේ වඩා වැදගත් වගකීම් පැවරූ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමය. ඒ වෙනුවට 19 ස්වරූපයේ සංශෝධනයක් ගෙන ඒමය. මේ වන විට අධිකරණ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා පෞද්ගලික කෙටුම්පතක් ලෙස යෝජනා ඇමැති මණ්ඩලය හමුවේ යෝජනා කර තිබේ. ඒ සාකච්ඡා උදෙසාය. ඊට පෙර පාර්ලිමේන්තුවේ පක්ෂවල අදහස් විමසීමක් සහ යෝජනා එක්කිරීමක්ද ඊට කර තිබේ. මූලික අනුමැතියෙන් පසු ඉදිරි කටයුතු හැකි ඉක්මනින් කිරීමට යෝජිත බවද ප්‍රකාශිතය.
මේ සම්බන්ධ මත විවිධය. එකඟතාවට වඩා ඇත්තේ තමන්ගේ පාර්ශ්වයේ විවේචනාත්මක අදහස්ය. සෑහීමකට පත්විය නොහැකි බව සමගි ජනබලවේගයේ අදහසය. ඒ වගේම මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවට පොදුජන පෙරමුණේ ඇතැම් අයගේ මතය වී තිබේ. ජනාධිපතිවරයා ධුරය අත්හැරිය යුතු බව අරගලකරුවෝ කියති. මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ඒ අතර ඉදිරිපත්වන අදහසකි. මෙවැනි ඇතැම් ඉල්ලීම් විවේචන ප්‍රායෝගිකය. එහෙත් ඇතැම් ඒවා එසේ නොවේ. 21 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව සජබයේ යෝජනාවකි. එහෙත් හුදු ව්‍යවස්ථා සංශෝධනයකින් එවැන්නක් කළ නොහැක. එයට හේතුව ජනතා පරමාධිපත්‍යය ක්‍රියාවට නංවන ආයතනවලින් එකක් බවට ජනාධිපති ධුරය පත්ව ඇති නිසාය. ජනතාවගේ ආරක්ෂාව ඇතුළු විධායක බලය ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනාධිපති විසිනි. මෙවන් පසුබිමක ජනතාවගේ පරම බලය උල්ලංඝනය වන කිසිදු සංශෝධනයක් පවත්නා ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් තොරව ගෙනඒමට නොහැක. යම් සංශෝධනයකට ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළත් මේ මොහොතේ රට තිබෙන්නේ එවැන්නක් කිරීමට හැකි පසුබිමක නොවේ. රට තිබෙන්නේ ඉදිරි මාසයේ වැටුප් ගෙවන්නේ කෙසේද කියන බරපතළ අර්බුදයකය. ඒ වගේම මේ මොහොතේ ජනතාව ඉල්ලන්නේ මැතිවරණ නොවේ. ඔවුන් ඉල්ලන්නේ ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයි. හෙට අනිද්දා ඇතිවන ආහාර අර්බුදයට විසඳුම්ය. ඒ නිසා මීට මාස කීපයකට පෙර ඉල්ලා සිටි ඉල්ලීම් ඉටුකරගත නොහැකි තැනකට රට පත්වී තිබේ. අර්බුදය එතරම්ම බරපතළය.
මෙයින් මිදීමට කුමක් කළ යුතුද? එතැනදී මතුවන ප්‍රශ්නයයි. පැති දෙකකින් ඒ දෙස බැලිය යුතුය. එනම් ජනතාවගේ පැත්තෙන් සහ ජාත්‍යන්තර ආයතන හා ජාත්‍යන්තර ආයතන පැත්තෙනි. ආධාර උපකාර ලබාගත හැකි ආකාරය එතැනදී ප්‍රධානය. වහා ව්‍යවස්ථා සංශෝධනයකට යමින් නිශ්චිත දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම එතැනදී අවශ්‍යය. ආණ්ඩුකරණයේ ස්ථාවරභාවයද ඊට අවශ්‍යය. දූෂිත පාලන තන්ත්‍රයකින් තොරව නව පාලන තන්ත්‍රයක් අන්තර්වාර පාලනයක් ලෙස පවතින බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීම අත්‍යවශ්‍යය. වත්මන් අගමැති ප්‍රමුඛ පාලනය දේශීයවත් විදේශීයවත් තවමත් ඉහළ පිළිගැනීමකට ලක්නොවී තිබීම එයට හේතුවය. අගමැතිවරයා කෙරේ යම් විශ්වාසයක් තිබුණද ආණ්ඩුව කෙරේ එම විශ්‍වාසය මුළුමනින්ම නැත. පසුගිය ආණ්ඩුවේ දූෂිත වළල්ල තවමත් මේ ආණ්ඩුවත් ජනාධිපතිත් වටා සිටීම එයට හේතුවය. ඒ වගේම ජනාධිපතිවරයා තටු කපාගත් ස්වරූපයෙන් මේ මොහොතේ ක්‍රියා කළද තවමත් ව්‍යවස්ථාමය බලතල ඔහු සතුය. එනිසා කිනම් මොහොතක හෝ ඔහු බලවත් පුද්ගලයකු ලෙස මතුවිය හැකිය. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය එවැනි පසුබිමකය. දැන් තිබෙන පාලනය වඩා ප්‍රජාතන්ත්‍රීය බව ව්‍යවස්ථා සංශෝධනය හරහා ලෝකයට ඒත්තු ගැන්විය යුතුය. යහපාලනයක සියලු ගුණාංග එහි අඩංගු බව වහා විදහා දැක්වීම අවශ්‍යය. පාලන ක්‍රමයේ යම් වෙනසක් වූ බවට ජනතාවට යම් ආස්වාදයක් ඇති කිරීම දෙවැන්නය. එය වැදගත්ය. එහෙත් ආස්වාදය පමණක් ප්‍රමාණවත් නැත. ජනතාවගේ බඩ ඊට වඩා ප්‍රබල බව අමතක නොකළ යුතුය.
ගෑස්, ඉන්ධනවලට අනවශ්‍ය ආකාරයට ප්‍රමුඛතාවක් ලැබී තිබේ. කොපි පොතක මිල දෙගුණයකින් වැඩිවී තිබේ. සබන් කැටයේ මිල තුන් හතර ගුණයකින්, ගිනි පෙට්ටියේ මිල දස ගුණයකින් පමණ ඉහළ ගොසිනි. බෙහෙත් නැත. පොදු ප්‍රවාහනය අඩපණය. මේවායේ කෙළවර කොතැනදැයි කිසිවෙක් නොදනිති. මේ අවුල විසඳීමට ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? මේ සම්බන්ධව ජනතාව සමග පුළුල් සංවාදයකට යාමට කාලයක්ද නැත. මහජන සහභාගිත්වයෙන් අතුරු ව්‍යවස්ථාවක් සකසා ක්‍රියාත්මක කරන තෙක් මේ වෙලාවේ කළ යුතු හොඳම දෙය වන්නේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනය කිරීමය. එයට සියලු කොටස්වල සහාය අවශ්‍යය. බෙදුනු මනසින් එය කළ නොහැක. මෙයට සියලු දෙනාගේ සහාය අවශ්‍ය වුවද දැනට එවැන්නක් දක්නට නැත.
21 වැනි සංශෝධන යෝජනා දැනට ඉදිරිපත්ව ඇත්තේ පෞද්ගලික මන්ත්‍රීවරයකුගේ යෝජනා හැටියටය. එය විය යුත්තේ එසේ නොවේ. එහි අන්තර්ගතය කුමක් වුවත් මේ යෝජනා ඉදිරිපත් විය යුත්තේ පොදු ලේඛනයක් ලෙසිනි. කෙසේ වුවත් මෙහි ඇති හොඳ නරක දෙස ද බැලිය යුතුය.
වෙන්නේ මොකක්දැයි දේශපාලන විද්‍යා ආචාර්යවරයකු හැටියට මට පූර්ණ අවබෝධයක් නැති නම් රටේ ජනතාව ගැන කුමන කතාද? මෙරට ව්‍යවස්ථා කෙටුම්පත් බොහෝ විට සැකසී ඇත්තේ මහජන අවකාශයෙන් ඈත්කර ප්‍රභූ කණ්ඩායමකින් හසුරුවන ආකාරයටය. මැති ඇමැතිවරු සිතන දේවල් මේවාට ඇතුල් කිරීම සිදුව තිබේ. මේවා නරක පූර්වාදර්ශ බව කිව යුතුය. අරගලය මතුවූයේ ජනතාවගෙනි. 21 වැනි සංශෝධනය ගෙනඒමට පවා මුල් වූයේ පාර්ලිමේන්තුවේ 225 ක්‍රියාකාරීත්වය නොවේ. දියවන්නාවෙන් ඔබ්බෙහි පිහිටි අරගලයේ කොටසක් වශයෙනි. එනිසා මේ සංශෝධනයට එම කොටස්වල අදහස් ගතයුතුව තිබේ. රටේ දේශපාලනයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ උදෙසා කෙරුණු ඉල්ලීම් බොහෝය. මේ සියල්ල 21 ට ඇතුල් කළ නොහැකි වුවද ඒවයේ වැදගත් කාරණා ඇතුල් කිරීමට පුළුවන. ඒ වගේම මේ කෙටුම්පත සකසා එය ප්‍රසිද්ධ කිරීමට තිබුණි. කල්මරණ ප්‍රතිපත්තියක් හැටියට නොව විනිවිදභාවය පාරිශුද්ධභාවය පෙන්වන වැඩ පිළිවෙළක් ලෙස එසේ කළ යුතුව තිබුණි. එසේ වූවා නම් වඩා හොඳය.
21 වැනි සංශෝධනයේ මූලික අපේක්ෂාව වන්නේ ජනපති වටා ඒකරාශී වී ඇති අතිවිශාල බලතල පාර්ලිමේන්තුවට ලබාදීමය. එනම් පාර්ලිමේන්තුවෙන් පත්වන අගමැතිට සහ ඇමැති මණ්ඩලයට ලබාදීමය. එය ආණ්ඩුකරණයේ පරිවර්තනයකි. දැනට ඇති යෝජනා අනුව ඉදිරි කෙටි කාලයට ජනාධිපතිවරයා ඇමැතිධුර දැරීම ප්‍රශ්නයක් නොවන බව ප්‍රකාශිතය. එහෙත් මෙහි ඇත්තේ අනතුරකි. ව්‍යවස්ථාමය ප්‍රශ්නයක්ද තිබේ. ව්‍යවස්ථාව අනුව සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා ජනාධිපතිවරයාය. එනිසා එම තත්ත්වයෙන් ඔහු ඉවත් කිරීමේ හැකියාවක් නැත. එනිසා ජනාධිපතිවරයා සන්නද්ධ සේනාවල හුදු සේනාධිනායකයා බවට පත් කරමින් ආරක්ෂක ඇමති ධුරයක් ඔහු හොබවන අනෙක් ඇමැති ධුරත් 21 වැනි සංශෝධනයෙන් ඇමැති මණ්ඩලයට ලබාදිය යුතුය. ජනාධිපතිවරයා නාමික තත්ත්වයට පත්වන්නේ එසේ වුවොත් පමණි. එසේ නොවන තැනක ආණ්ඩුකරණයේ ගැඹුරු වෙනසක් අපේක්ෂා කළ නොහැක.
ජනාධිපතිවරයා නීතියට යටත් කිරීම මේ කතා කරන ව්‍යවස්ථා සංශෝධනයේදී එතරම් අවධානයට ලක් නොවූ කරුණකි. ජනාධිපතිවයා අර්ධ වශයෙන් නීතියට යටත් කිරීම 19 වැනි සංශෝධනයෙන් සිදුවුණි. එය ප්‍රමාණවත් නැත. නීතියේ ආධිපත්‍යය රට තුළ ගොඩනැගීමට නම් ජනාධිපති ඇතුළු සියලු කොටස් නීතියට යටත් කළ යුතුය. රට ආණ්ඩුකරණයක් ගොඩනැගිය හැක්කේ එවිටය. සියලු අර්බුදවල මුල නීතියට ඉහළින් ජනාධිපතිවරයා තැබීම බව අමතක නොකළ යුතුය. ඇතැම් ස්වභාවික ව්‍යසනවල මූලය පවා දේශපාලන හේතුවකි. අද රටේ කෘෂිකාර්මිකව ඇතිව තිබෙන විපත එක් පුද්ගලයකුගේ උද්ධච්ච තීරණයක ප්‍රතිඵලයකි. එවන් තැනකට තල්ලු වූයේ තිබෙන අසීමිත බලය සහ නීතියට ඉහළින් සිටීම නිසාය. ජනමත විචාරණයකින් තොරව මේ කාරණා දෙකම වෙනස් කිරීමට පුළුවන. 21 වැනි සංශෝධනයෙන් මේ කාරණා දෙක මගහැර වෙන කුමක් කළත් ප්‍රයෝජනයක් නැත.
ඒ වගේම ‘‘පොදු සමාව’’ දීමට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට දී ඇති බලය වැරැදි ආකාරයට භාවිත කළ බවට චෝදනා තිබේ. 1977 පටන් සෑම ජනාධිපතිවරයකුම මේ බලය පාවිච්චි කර තිබේ. ‘‘පොදු සමාව’’ දීම සම්බන්ධ වරින්වර ආන්දෝලනාත්මක ස්වරූපයේ පුවත් වැටුණි. එනිසා ජනාධිපතිට ඇති මේ බලය ඉවත් කළ යුතුය. දේශපාලන පක්ෂයකට තදින් බද්ධ වූවකුට මෙවන් බලයක් දීම සුදුසු නැත. ‘‘රජු වැරැදි නොකරයි’’ යන ස්ථාවරයේ පිහිටා එංගලන්තයේ නාමිකව එම ධුරයට ‘‘පොදු සමාව’’ දීමේ බලය ලබාදී තිබේ. එහෙත් පූර්ණ විධායක බලයක් හොබවන නීතියට උඩින් සිටින ජනාධිපතිවරයකුට එවන් බලයක් සුදුසු නැත. එවැනි කාරණයක් 21 වැනි සංශෝධනයෙන් කෙතෙක් දුරට අවධානයට ගෙන තිබේදැයි අපි නොදනිමු. කොතරම් ගැඹුරු සංශෝධනයකට යනවාදැයි තේරුම් ගැනීමට මේ කරුණු වැදගත්ය. 19 සංශෝධනය හා සමාන තැනකට යනවා නම් මේ අඩුපාඩු නිවැරදි කරගත යුතුය. 19 ප්‍රශස්ත සංශෝධනයක් නොවේ. 19 න් අත්විඳි ගැටුම් සහගත අප්‍රසන්න අත්දැකීම්වලට 21 වැනි සංශෝධනයෙන් ඉඩ නොදිය යුතුය.
මහ බැංකු අධිපති මුදල් මණ්ඩලය පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් පත්කිරීමට අවධානය යොමුව තිබීම සුබදායකය. එහෙත් අමාත්‍යාංශවල ලේකම්වරුන් පත්කිරීම සම්බන්ධයෙන් 21 වැනි සංශෝධනයෙන් අවධානයට යාමුව ඇති බවක් පෙනෙන්නට නැත. පැරැණි ක්‍රමයට ඉදිරියට යන බව දැකගත හැකිය. ජනාධිපති ලේකම්ගේ සිට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙතෙක් පත් කළේ ජනපතිගේ අභිමතයටය. මෙය හානිකරය. ජනපති බලතල පාර්ලිමේන්තුවට විතැන් කළද අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ බලය ජනපති සතුනම් ඒ හරහා අමාත්‍යාංශ හැසිරවීමේ බලය ඔහු සතුය. මින් පෙර සිටි ජනපතිවරුන් අඩු වැඩි වශයෙන් මේ කටයුත්ත කර ඇති නිසා මෙහි වෙනසක් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමද ව්‍යවස්ථා සභාවට පැවරිය යුතුය. අවශ්‍ය නම් ඒ සඳහා ඇමෙරිකාවේ අත්දැකීම් ලබාගන්නට පුළුවන. ජනමත විචාරණයකට නොගොස් 21 වැනි සංශෝධනයෙන් කළ හැකි බොහෝ දේ තිබෙන බව අමතක නොකළ යුතුය.
ස්වාධීන කොමිෂන් සභාව බලගැන්වීම අත්‍යවශ්‍යය. ඒ සම්බන්ධව සාධනීය කාරණා ඉදිරිපත්ව තිබේ. ජනපතිගේ ඇතැම් නිර්දේශ පවා ව්‍යවස්ථා සභාවෙන් අනුමත වන තැනට තල්ලුවීම සුබදායකය. මේවා ගැටුම් ඇති නොවන ආකාරයට විය යුතුය. අපේක්ෂා කරන ආණ්ඩුකරණය ස්ථාපිත වීමට නම් කඹ ඇදීම් සිදු නොවන ආකාරයට ව්‍යවස්ථාවේ තිබෙන අඩු පාඩු නිවැරැදි කරගත යුතුය. ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම මෙන්ම ඔවුන් ක්‍රියාත්මක වීමේදී සිදුවන වැරැදි නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගැනීමේ බලයද ව්‍යවස්ථා සභාවට තිබිය යුතුය. ඒ වගේම යුරෝපීය රටවල තිබෙන ආකාරයට නැවත කැඳවීමේ බලය දීම කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වුවමනාය. ඉහළ ධුර හොබවන පුද්ගලයන් වැරැදි කරන විට ඒ අය ඉවත්කර සුදුස්සන් පත්කිරීමට ඉඩ ලබාදීමේ බලයත් ජනතාව අතට පත්විය යුතුය. මෙය 21 වැනි සංශෝධනයට ඇතුල් කිරීමේ නෛතික හැකියාව තිබේදැයි සොයා බැලිය යුතුය.
කෙසේ වුවත් 21 වැනි සංශෝධනයෙන් සියල්ල ඉටුවේයැයි සිතිය නොහැක. ආණ්ඩුකරණයේ ගැඹුරු වෙනසක් කිරීමට උත්සාහ ගෙන නැති බව දැනට ඇති දළ සැලැස්මෙන් පෙනෙන කරුණකි. ජනාධිපතිවරයාගේ පටන් මැති ඇමැතිවරු ඇතුළු සියලු දෙනා සම්බන්ධ විගණනයක් අවශ්‍යය. ඒ සමගම දඬුවමද වුවමනාය. මෙවැන්නක් සම්බන්ධ පැහැදිලිතාවයක් නැත. කුමක් වුවත් නියෝජන ක්‍රමයේ වෙනස සම්බන්ධ කරුණුද අමතක නොකළ යුතුය. ඒ වෙනසට යම් මුල පිරීමක් මේ අවස්ථාවේ කළ හැකිය. එසේ නොවුණහොත් අනාගතයත් වර්තමානය මෙන්ම වන්නට පුළුවන. 21 තවත් ඇස් බැන්දුමක් නොවිය යුතුය. වෙනසක් වන බවට විශ්වාසය එතුළින් ගොඩනැගිය යුතුය. මහජන පීඩනයට පූර්ව සහනයක් මෙමගින් ලබා ගැනීම හැර මෙය සියල්ලට එකම බෙහෙත නොවේ.
(*** සටහන – චමින්ද මුණසිංහ)